දුම් පානය අතහරින්න ඔහුට උදවු වෙන්න

 ඡායාරූපය:

දුම් පානය අතහරින්න ඔහුට උදවු වෙන්න

අධික ලෙස දුම් පානය කරන්නකුට කැස්සකින් පටන් ගෙන පෙණහලු පිළිකා දක්වා බරපතළ රෝගය උරුම විය හැකිය. බොහෝ පුද්ගලයන් දුම් පානය කරන්නේ එම පුරුද්දෙන් මිදිය නොහැකි වීම නිසාය. ඇතැම් විට ඔබේ සැමියා/පෙම්වතාද දුම් පානය අතහැරීමට කැමැත්තෙන් සිටිනවා විය හැකිය. එසේ නම් බිරිඳක/පෙම්වතියක ලෙස ඔබේ සම්පූර්ණ සහයෝගය ඔහුට ලැබිය යුතුය.

දුම්වැටි තුළින් සිදුවන අහිතකර බලපෑම පිළිබඳ නැවත නැවත කිවයුතු නොවේ. දුම් පානයේ ඇති අහිතකර තත්ත්වය වන්නේ දුම් පානය කරන පුද්ගලයා පමණක් නොව ඔහු අවට සිටින පුද්ගලයන්ට පවා එම විෂ දුම ආඝ්‍රාණය කිරීමට සිදුවීමය. ඔබේ සැමියා, පෙම්වතා දුම් පානයට දැඩි ලෙස ඇබ්බැහි වූවකු නම් ඒ පිළිබඳ අත්දැකීම ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ.

අධික ලෙස දුම් පානය කරන්නෙකුට කැස්සකින් පටන් ගෙන පෙණහලු පිළිකා දක්වා බරපතළ රෝගයක් උරුම විය හැකිය. බොහෝ පුද්ගලයන් දුම් පානය කරන්නේ එම පුරුද්දෙන් මිදිය නොහැකි වීම නිසාය. ඇතැම් විට ඔබේ සැමියා/පෙම්වතාද දුම් පානය අතහැරීමට කැමැත්තෙන් සිටිනවා විය හැකිය. එසේ නම් බිරිඳක/පෙම්වතියක ලෙස ඔබේ සම්පූර්ණ සහයෝගය ඔහුට ලැබිය යුතුය. ඒ සඳහා පළමුව කළ යුත්තේ ඔහුගේ සිරුරින් සම්පූර්ණයෙන්ම 'නිකටින්' ඉවත් කිරීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා සිරුරට හිතකර ආහාරපාන ලබාදිය යුතුය. මේ ඒ සඳහා උපකාරී වන ආහාරපාන වර්ග කිහිපයකි. මෙම ආහාරපාන වර්ග දිනපතා ගැනීමෙන් දුම් පානය කිරීමට ඇතිවන සිතිවිල්ල යම් තරමකට හෝ පාලනය කරගැනීමටද ඔහුට හැකිවනු ඇත.

කැරට් යුෂ

කැරට් යනු රුධිරයේ මෙන්ම ශරීර ඉන්ද්‍රියයන්ගේද විෂ ඉවත් කිරීමට උපකාරී වන්නකි. කැරට්වල විටමින් ඒ සහ විටමින් සී අඩංගු වේ. සෑම උදෑසනකම කැරට් යුෂ වීදුරුවක් පානය කිරීමෙන් රුධිරය පිරිසුදු වන අතර කැරට් දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ ස්වභාවික ආරක්ෂණය ශක්තිමත් කරයි.

නිවිති

දුම් පානය නතර කරන්නට උත්සාහ දරන අයට කොළ පැහැති එළවළු ආහාරයට ගැනීම ඉතා හිතකරය. විශේෂයෙන් නිවිති යනු ඒ සඳහා හොඳ ආහාරයකි. නිවිති දුම් පානය නිසා රුධිරයට එක්වී ඇති විෂ ඉවත් කිරීමට උපකාරී වේ. විටමින් හා ෆෝලික් අම්ලයෙන් පොහොසත් නිවිති දුම් පානය කිරීමට ඇතිවන ආශාවද පාලනය කරයි. නිවිතිවල ඇති කැරොටිනොයිඩ් පිළිකා ඇතිවීමේ අවදානමද අඩු කරයි.

බ්‍රොකලි

දුම් පානය කරන අයෙක් නිතර හරිත ආහාර ගැනීම වැදගත්ය. නිකටින් ඇතුළු බොහෝ විෂ ද්‍රව්‍යවලින් ඔබේ පෙණහලු පිරිසුදු කිරීමට එය උපකාරී වේ. විටමින් සී අඩංගු බ්‍රොකලි ආහාරයට ගැනීම පෙණහලුවල නිරෝගී බවට හේතු වේ.

කුරුඳු

දුම්වැටියක් පානය කිරීමේ ආශාවක් ඇතිවන විට කුරුඳු පොතු කැබැල්ලක් සැපීම මඟින් එම ආශාව පාලනය කරගත හැකිය. කුරුඳු සුවඳ ආඝ්‍රාණය කිරීමද ඊට විසඳුමකි.

ඉඟුරු

ඉඟුරුද දුම් පානය කෙරෙහි වන ආශාව සහ උනන්දුව අඩු කරන්නකි. ඉඟුරු කෑල්ලක් සැපීම, ඉඟුරු දැමූ තේ කෝප්පයක් පානය කිරීම තුළින් දුම් පානය සඳහා වන රුචිය පාලනය කරගත හැකිය. එමෙන්ම දුම් පානය නිසා සිරුරේ ඇතිවන විෂ නැසීමටද ඉඟුරු උපකාරී වේ.

ඩාර්ක් චොක්ලට්

මෙයද දුම් පානය කිරීමේ කැමැත්ත පාලනය කිරීමට සමත් ආහාරයකි. නමුත් එය ඩාර්ක් චොක්ලට් වීම වඩාත් ප්‍රතිඵලදායකය.

සුදු ලූනු

ඔහු ආහාරයට ගන්නා සෑම දෙයටම සුදුලූනු එක් කරන්න. සලාද, සුප්, වෑංජන මේ සියල්ලටම සුදුලූනු එක්කර පිසීමෙන් එහි සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් ඔහුට දුම් පානය පිළිබඳ ආශාව ක්‍රමයෙන් නැතිවී යා හැකිය. සෑම දිනකම සුදුලූනු බික් දෙක තුනක් අමුවෙන් ආහාරයට ගන්න. දුම් පානය නිසා ශරීරයේ ඇතිවන පිළිකාකාරක විනාශ කිරීමට සුදු ලූනුවලට හැකියාවක් තිබේ.

හරිත තේ

දුම් පානය කළ අයකු සාමාන්‍ය තේ පානය කිරීම මඟින් සිරුරට තවත් විෂ එකතු විය හැකිය. එබැවින් හරිත තේවලට මාරු වීම සෞඛ්‍යයට හිතකරය. එය ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ බැවින් සෞඛ්‍යයට හිතකරය. මුලින් හරිත තේ පානය කිරීමේදී එහි රසයේ වෙනසක් දැණුනද පුරුදු වීමෙන් පසුව එය අත්‍යවශ්‍ය පානයක් බවට පත්වනු ඇත. ඒ තුළින් නිරායාසයෙන්ම දුම් පානය කෙරෙහි ඇති ආශාවද නැතිවී යනු ඇත.

දෙළුම්

දෙළුම් සිරුරේ රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීමට උපකාරී වන ගුණදායී පලතුරකි. එමෙන්ම දුම් පානය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා දෙළුම් පානය උපකාරී වන අතර එය අක්‍රමවත් හෘදස්පන්දනය හා රුධිර පීඩනය නිසි මට්ටමට ගෙන ඒමටද උපකාරී වේ.

ජලය

දුම් පානය කරන පුද්ගලයකුගේ සිරුරේ විෂ නැසීම සඳහා වඩාත්ම හිතකර සහ පහසු ක්‍රමය වන්නේ වැඩිපුර ජලය පානය කිරීමයි. දුම් පානය නතර කිරීමෙන් පසු දිනකට ජලය ලීටර දෙකකට වඩා පානය කරන්න. ඒ තුළින් දුම් පානය නිසා වකුගඩුවල රැඳී ඇති නිකටින් ඇතුළු සියලුම විෂ ද්‍රව්‍ය නසා දැමිය හැකිය.

[තුෂාරා සන්දනායක]

 

මාතෘකා