ඔබටත් ස්මාර්ට් අත්බෑගයක්

 ඡායාරූපය:

ඔබටත් ස්මාර්ට් අත්බෑගයක්

අත්බෑගය කියන්නේ කාන්තාවකට නැතිවම බැරි දෙයක්. වත්මන් වෙළෙඳපොළේ විවිධාකාර අත්බෑග් දක්නට ලැබෙනවා. නමුත් කෙතරම් මිල අධික සහ අලංකාර අත්බෑගයක් වුවත් එය අපිරිසුදු සහ අපිළිවෙළට තිබෙනවා නම් එයින් ඵලක් නැහැ. බොහෝ යුවතියන් සහ කාන්තාවන් ස්මාර්ට් ජංගම දුරකථනය පිළිබඳව නම් විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ සැලකිල්ල අත්බෑගය කෙරෙහිද දක්වනවා නම් වැදගත් වනවා.

මේ දිනවල පවතින ආරක්ෂක විධිවිධාන නිසා ඔබට මඟතොටේදී ඔබේ අත්බෑගය පරීක්ෂා කිරීම් සඳහා යොමු කිරීමට සිදුවනවා. එවැනි අවස්ථාවකදී ඔබේ අත්බෑගය කසළ ගොඩක් සේ දිස්වීම එවැනි පරීක්ෂා කිරීම්වලට බාධාවක් වනවා මෙන්ම එයින් ඔබේ පෞරුෂත්වයටද හානියක් සිදුවනවා. එම නිසා ඔබේ අත්බෑගය පිළිවෙළට, පිරිසුදුව තබාගැනීම සඳහා නිතරම සැලකිලිමත් වන්න. මේ ස්මාර්ට් අත්බෑගයක් පවත්වාගෙන යෑම සඳහා උපකාරී වන ඉඟි කිහිපයක්.

අත්බෑගයේ තිබිය යුතු දේවල් පිළිවෙළකට අසුරා තබන්න. ඔබ මේකප් කරන යුවතියක් නම් ඔබට අවශ්‍ය රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ කුඩා බෑගයක දමා අත්බෑගය තුළට දමන්න. නිතර අවශ්‍ය වන ටිෂූ පේපර් අත්බෑගයේ පිටත ඇති කුඩා පොකට්ටුවකට දමන්න. වැසි සහිත දිනවලදී ඔබ භාවිත කරන තෙත කුඩය දමා ගැනීමට පොලිතීන් කවරයක්, ඇඳුමක් ඉරීම, සෙරෙප්පුවක් කැඩීම වැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ආයා කටු කිහිපයක්, සෙරෙප්පු අලවන ගම් වර්ගයක් පවා තබා ගැනීම සුදුසුය. මුදල් පසුම්බියට අමතරව ඇතුළත පොකට්ටුවක මාරු කාසි දමන්න. හදිසි අසනීපයකදී අවශ්‍ය වන පැරසිටමොල් පෙති කිහිපයක්, කුඩා බාම් ටියුබ් එකක්ද වෙනම බෑගයක දමා තබන්න. මේ සියල්ල කලවමේ තබාගැනීම වෙනුවට වෙන වෙනම අසුරා තබාගන්න.

ඔබ පාවිච්චි කළ ටිෂූ, ටොෆි චොක්ලට් කොළ, පරණ පෑන් ආදිය අත්බෑගයෙන් ඉවත් කරන්න. ඔබ වතුර බෝතලයක් රැගෙන යනවානම් එහි පියන තදින් වසා බෑගයට දමා ගන්න.

ඔබ කාර්යාලයට ගෙනියන බෑගයේ දහවල් ආහාර රැගෙන යනවානම් එය එහි එක් පැත්තක අසුරන්න. නැතිනම් ආහාර ගෙනයෑමට කුඩා බෑගයක් භාවිත කරන්න.

දිනපතා අත්බෑගය තුළ ඇති අනවශ්‍ය දේ ඉවත් කරන්න. සතියකට වතාවක්වත් බෑගය සෝදා හෝ අව්වේ වේළා පිරිසුදු කරගන්න.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා