වදන් නොමැතිව

 ඡායාරූපය:

වදන් නොමැතිව

 

 

තුරු මුදුන්වල ඇති පත්

දරන්නෙය දැන් පොළොවෙ සලකුණු

පිරිමදිනු මැන ඒවා හෙට ඔබේ දෑසින්

එවිට ඒවා හැළී යනු ඇත

 

වැල් සැකිලි සිනාසෙයි

ශ්‍රැති පිනූ මියැසි සර

කෙඳිරිලයි සුසර වන විට

කපුටු සුසරයන්ගෙන්

 

තට්ට තනියම

ආලෝකය දණ ගසයි එ‘බිම

සෙත් පතමින් එයට

සරණ විහඟුන් මවන පොඩි කුරුස සමඟින්

 

(චෙකොස්ලොවැකියානු කිවි මිරොස්ලාව් ෆ්ලෝරියන් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

මිරොස්ලාව් ෆ්ලෝරියන්

චෙකොස්ලොවැකියානු සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ කවියකු සහ ප්‍රබන්ධ රචකයකු ලෙස ඉහළ පිළිගැනීමට ලක්ව සිටි ඔහු 1931 වසරේ මැයි 10 වැනිදා චෙකොස්ලොවැකියාවේ කුට්නා හෝරා නමැති ප්‍රදේශයේ දී උපත ලැබුවේය. තරුණ වියේ සිටම ලේඛනය සහ පොතපත පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඔහු පුස්තකාල විද්‍යා විෂයයද හැදෑරුවේය. කලක් චෙකොස්ලොවැක් ගුවන්විදුලියේද සේවය කළ ඔහු පසුව සෙස්කොස්ලොවෙන්ස්කි නමැති ප්‍රකාශන ආයතනයක සංස්කාරකවරයකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ කාව්‍ය නිර්මාණ සමූහය අතර බහුතරය සමාජ දේශපාලන තේමා පාදක කරගනිමින් රචිත ඒවා විය. එවැනි නිර්මාණ ඇතුළත් කාව්‍ය සංග්‍රහයන් රැසක් ලියා පළ කළ ඔහු 1996 වසරේ මැයි 10 වැනිදා ප්‍රාග් නුවරදී මිය ගියේය.

 

[අජිත් නිශාන්ත]..........................................

 

 පයින් ඇවිදින 

මිනිහෙක් මං

 

"මව්පියන් බලන්නට

දූපුතුන් යනවා වෙන්නැති,

උඩහ පාරේ කාර් පෝලිම,

අද කාලෙ හැමෝටම වාහන"

මේ වාරේ අවුරුද්දට

මහගෙදර ගිය විට දි

අම්ම කිව්වේ නිකමට වෙන්නැති

 

මසකට වරක් දෙවරක්

ගමට යනකොට

මගදි හමුවෙන වැඩිහිටියෙක්

"මහත්තය මොකදෑ පයින් ම

ත්‍රීරෝදයක් තිබුණෙ නැතුවය"

අහන්නෙත් නිකමට වෙන්නැති

 

වැඩට යන එන විට

සැතපුමක දෙකක දුර

පයින් යනකොට

"මොකද මචං පයින් ම"

දකින අය අහන්නත් කලින්

"ඇඟට හොදයින්නෙ" කියන්නේ

නිකමටම නෙවෙන්නැති

 

එදා වාගේම නැතත්

ගමට යන ගමන දුෂ්කරයි

දුම්රියෙන් බස් රියෙන්

ආයිමත් බස් රියෙන්

ගුරු පාරෙ ටික දුරක් පයින්

එහෙම නැත්නම් තුන් රෝදයෙන්

අඹු දරුවො එක්කල

ගමට එනකොට පෙරැත්තට

තුන් රෝදයෙන් එනවා මිසක

එහෙම යන්නට කවමදාවත්

හිතෙන්නෙම නැතුවැති

 

ලොකු පුතා වාහනෙත් ගෙදර එන

සිහිනයක්

අඹු දරුවන්ගෙ හිතේ වාගෙම

ඔබෙ හිතෙත් තියෙන්නෙනැති අම්මේ

 

වගකීම් දරාගෙන

ජීවිතේ සමබරව යන්නට

සකසුරුවමට වෙහෙස දරන්නැති

ඒ හීනෙ මට මඟහැරෙන්නැති

පයින් යන මගෙ දෙපා

දහසක් වටින්නැතුවැති

ඒත් අම්මේ මං තවම

පයින් යන මිනිහෙක් !

 

[සු. ප්‍රි. සමරසිංහ]..........................................

 

 

ජෝසප් අහනවද මතක් කරලා

 

ජෝසප් ඔබ

මොළකැටි පුතු ක්‍රිස්ටිව

තුරුළු කරගෙන

ඔබේ බිරිඳ මේරි සමග

ස්වර්ගයේ උත්ථාන වුණා නේද

පාස්කු ඉරිදා

 

සහාරන් හසීම් හමුවුණෝතින්

අහනවද මතක් කරලා

එයාගේ බිරිඳවයි

සිඟිති දියණියයි

කුරිරු මිනිසුන් ළඟ තියලා

තනියම දෙවියන් දකින්න

ගියේ ඇයිද කියලා

 

[රුවංක ජයතිලක]..........................................

 

කන්දක කොටාපු

 

ලී තුණ්ඩුවක් !

 

ජාතික පත්තරේක

"හිමාල අඩවියෙ භූතයෝ"

ඒක, ෆුල් පේජ් ලිපියක්,

පිටුවෙන් භාගෙකම

ෆුජියාමා කන්දෙ සෙල්ෆියක් !

 

මතායස් බාස්

ලී තුන්ඩුව ලියල තිවුණෙ

ඒ හිම කන්දෙ !

 

ඒ මදිවට,

මේකා

බුලත් විට ඔතල තිබුණේ

විශේෂාංග මුල් පිටුවක!

 

අපරාදෙ සල්ලි !

 

[වජිර දීප්ති වීරකෝන්]..........................................

 

ඒ අනෛතික

ස්නේහය

 

(පුවතක්- කුකුළන් විශාල ප්‍ර්මාණයක් කා දමමින් ඌරියාව අන්දරවැව ප්‍රදේශයේ ජන ජීවිතයට තර්ජනයක් වූ විශාල ගැබ්බර කිඹුලියක අල්ලා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය පවසයි.)

 

දෙගම්බඩ දිමුතු සොයමින් ආ මලවී

පිය සුතනඹුව දැක ඇත වැව තුළ පැළවී

බඩ දරුවන් දරා වැව් ඉවුරේ තනිවී

ලණු බැඳි සිතිනි සොල්මන් වී ඇත කිඹුලී

 

සක්වළ ගලේ ගල පල්ලේ උපන් සතා

අන්දර වැවේ තාවුල්ලේ දිවූ සතා

ඇල් දිය තලේ කිරි කඳුළක සුවය පතා

තල්ල සුදුද නොඅසා බහ දුනිය සතා

 

වැවෙන් උදුරවා අඩවිය පිට ඉන්දා

වනජීවී පුතුන් ඈ අත්පා බැන්දා

බුදුතුල් පෙම්බරාණනි කිරි මැටි හන්දා

ඈ හද මඬල ඇහිරී මව් බැමි බින්දා

 

[ඩිල්ෂානි චතුරිකා දාබරේ]..........................................

 

 

දුවේ...මං යනවා

 

ෆර්ෂාඩ්ගෙ කඩෙන් ගත්තු

සුදු රිබන් මල් මහපු

ලේස් ගවුමේ යටින්

සිඟිති පා දඟ කරපු

 

දෙව්පුදටමං ආපු

ළය පුරා කිරි ගලපු

දින මැවුණෙ හීනයක්

කඳුළකින් අද ලියපු

 

නුඹ අතින් අත දරා

මල්, වේල් ගවසලා

හිතවතුන් පිරිවරා

පුදසුනට නංවලා

 

සීනු හඬ නැංවිලා

පැතුම් ලොව පීදිලා

මැවූ මගෙ හීනයේ

මනමාලි දුව වෙලා

 

දෙවි යාගෙ පිදෙද්දී

අපිට අපි නැති වුණා

ජේසු මරණෙන් දිනපු

අපේ ලේ බිම තෙමපු

 

ලොකු හදිසියට වත්

කාසියට නොපෙරළපු

නුඹෙ තාත්තා දාපු

මගුල් මුද්ද නැතිවුණා

 

හිතේ දුක තද කරන්

හැම තැනම පීරුවත්

මගේ වෙදැඟිල්ලවත්

හොයන්නට බැරි වුණා

 

තාත්තට කියාපන්

රැක්ක බව කියා මං

විසිවසක් පොරොන්දුව

දුන්නු දෙවි අසිරිමැද

 

සංවේග සෝ සුසුම්

ඇසූ බැලූ හැම අහක

ඒත් බෑ කාටවත්

හුස්ම ඩිංගක් දෙන්න

 

ගමේ හඳුනන ගොඩක්

මගෙ වටේ සැරිසරත්

සැනසීම නෑ දුවේ

මේ ගමන යායුතත්

 

මේක පිළිගන්න බෑ

දෙවිතුමන් මෙහෙම නෑ

කදුළු නවතන්න බෑ

හිත කාගෙ පෙනෙනු නෑ

 

කොහොම හිතුවත් හඬා

සුරලොවට මග අසා

යන්නටම වෙන නිසා

දුව හඬන්නට එපා

 

[තාරකා අබේසේකර]

මාතෘකා

ජනප්‍රිය ලිපි