ගැහැනියකට පෙම්කිරීම

 ඡායාරූපය:

ගැහැනියකට පෙම්කිරීම

ගැහැනියකට පෙම්කිරීම යනු
මුදවාගැනීමය, ඇය නිද්‍රාවෙන් බැඳුණු ගල්බවකින්,
පිරිමැද හිසේ සිට දෙපතුල් දක්වාම සෙනෙහසකින්
සාපයෙන් ගල්ගැසුණු රුධිරය ඇගේ එක ලෙසකින්
උණුසුම්ව අවදි වන තුරුම සොඳුරුතම සිහිනයකින්*

ගැහැනියකට පෙම්කිරීම යනු
දුම්වැකුණු දවසේ සැරිය ඇය ගෙවන
හැරවීමය විහඟකු බවට ගගන සරන
පාරාදීසයේ කුසුම්-රොන් සුවඳ සිඹින
පත්වෙමින් ඔබද තුරකට පිපුණු මල් දරන
විඩාපත් ඇගේ තටුවලට රැයේ ඉඩකඩ සදන

ගැහැනියකට පෙම්කිරීම යනු
යාත්‍රා කිරීමකි සැඩ කුණාටු ඇති සයුරක
වැහි අඳුරෙන් අහස වැසී ගිය මොහොතක
යෙදීමය අලුත් මහාද්වීපයක් සොයා යන ගමනක
රැගෙන ගොස් රතු කූඩලු මල් පැළයක් දවසක
ඔබේ ගෙමිදුලෙන් නෙළා නොදන්නා වෙරළක
සිටුවීමය එය එතැන කල්යල් බලා නිසි මොහොතක

ගැහැනියකට පෙම්කිරීම යනු
හුවමාරු කිරීමය රළුබව ඔබේ මස්පිඩුවල
මලක දැවටුණු මුදු බවට සිනිදු සුකොමල**
හැර දමා මුරකාවල් සහ කිරුළු එඩිබල
හිස් අතින්, සැරිසැරීමය අන් ගුවන් තල
මුසුකර ඔබේ ලෙය මස සමඟ මඳ නළ
වෙනත් ලොවක, වෙනත් ජලතලවල
ගැහැනියකට පෙම්කිරීම යනු
උරදීමය ඇයට සොයාගනු වස් තියුණු කගපතක්
ඇගේ ඉපැරණි ලප කැළැල් අතරින්
වැතිරී සිටීමය තබා එහි තුඩ මත ඔබේ හදවත
සිඳී යන තුරු ඔබ ගත මුළු රුහිරු නොනැවත
පෙම්කර නොමැත්තෙමි මම කිසිදා ගැහැනියකට

 

*ඉන්දියානු පුරාවෘත්තවල සඳහන් වන පරිදි, රිෂි විශ්වමිත්‍ර නමැති සිය සැමියාගේ සාපයකින් ගලක් බවට පත් වන අහල්යා නමැති කාන්තාවට රාම විසින් නැවත ජීවය දෙනු ලබයි.

**මහාභාරතයේ සඳහන් වන පරිදි, පාණ්ඩව සෙහොයුරන් පස්දෙනෙකුගේ බිරිඳ වන ද්‍රව්පදී විසින් සිය සැමියන් අතරින් වඩාත්ම ශක්තිවන්ත තැනැත්තා වන භීමව සුගන්ධිකා පුෂ්පය රැගෙන ඒම සඳහා වනාන්තරයට පිටත් කර හරින අතර, බොහෝ දුෂ්කරතා ජයගෙන ඔහු විසින් එය ඉටුකරනු ලබයි.

(මලයාලම් කවියකු වන කේ. සචිදානන්දන් විසින් රචිත කාව්‍ය නිර්මාණයකි)

කේ. සචිදානන්දන්

මලයාලම් නව කවියේ පුරෝගාමියකු ලෙස සැලකෙන කේ. සචිදානන්දන් වර්ෂ 1970 දී ‘අංජුසූර්යන්’ (පංච සූර්යයන්) නමින් පළ කළ සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන්ම මලයාලම් සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමක් හිමි කරගත්තේය. එයින් පසුව තවත් කාව්‍ය සංග්‍රහයන් විසි එකක් පළ කර ඇති ඔහුගේ කාව්‍ය නිර්මාණ ඉන්දියාවේ මෙන්ම ලොව බොහෝ රටවල පළ වන ජාත්‍යන්තර මටට්මේ ප්‍රකාශනවල පළ වී ඇත. මලයාලම් සහ ඉංග්‍රීසි යන දෙබසින්ම නිර්මාණකරණයේ යෙදෙන ඔහු පරිවර්තකයෙකු, විචාරකයෙකුද මෙන්ම සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකු ද වෙයි. කේරල සාහිත්‍ය ඇකැඩමි සම්මානය, සිව්වරක් හිමිකරගෙන ඇති ඔහු ජාතික මට්ටමේ තවත් සම්මාන ගණනාවක් මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසක්ද හිමි කරගෙන ඇත.

 

අජිත් නිශාන්ත

මාතෘකා