කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

සේකර....


මේ මගේ අම්මාය...
පියමංකර ඈත අතීතයට
සිම්බෙමි ඇගෙ සුවදැති හැට්ටය
දැනුණේය ඇගේ දහඩිය සුවද
වැව් ඉවුරෙ සඟවන කසිප්පු අතරින් එන..

දස මාසයක් කුස දරා නොඉඳ
ශ්‍රී මහා බෝධියට රුවන්වැලි සෑයට
දරුවෙකු ඉල්ලා වැලි මලුවේ හැඬූ
දරුවන් නොලත් වඳ අම්මා ඔබය...

බඩගිනිව කුණු ගොඩක හඬන විට
තුරුලට ගෙන ළැමට තදකොට
කිරි නැති තන කටට දමා
බඩගිනි නිවූ අම්මා ඔබය...

නැගිට උදයෙන් ගිහින් ගං ඉවුරට
දමා සැඟවූ කසිප්පු තිප්පොළට
රැගෙන් ඉන් ලැබෙන සුලු මුදලක්
මට කරාබු දමා
කරපින්චා නැටි කනලාගත් අම්මා ඔබය...

ඇවිත් පොලිසිය දැමූවිට කූඩුවට
තියා පතිවත මගේ පණ රැක්ක
කදුළු පිස දා සිනාසෙන්න කිව්
කදුළු හංගපු අම්මා ඔබය...

දමා පන්සල්, දහම් පාසල්
උගන්වා මට අකුරු ගුණදම්
අසා හාමුදුරුවන්ගේ බැනුම් බණ පද
මා කැම්පස් යැවූ අම්මා ඔබය...

ඉපෙව්වෙමි මහ මුදල්
සෑදුවෙමි මහ ගෙවල්
පැදෙව්වෙමි මහ කාර්
සොයාගත්තෙමි වැදූ මව
ඒත් ඒ කිසිවකින්
නොලද්දෙමි සැනසුමක්..
සොයා පැමිණියෙමි නුඹව..

මහ උළුගෙදර
මා එන මග බලා සිට
ඒ සුසුමින්ම සමු ගත් අම්මා ඔබය..
සැබෑ අම්මා ඔබය..

[නිලක්ෂි වික්‍රමසිංහ]

-----------------

හඳවතී


කටු ගහන පොළොව උඩ - තටු ගසා පියඹ එන
හිටි ගමන සුවඳ දෙන - කැහැටු හඳවතිය ඈ

නිස්කාරණෙ වැනෙන
ඇස් ගාව නතර වෙන
කෙස් කැරැල්ලේ එතෙන
හුස්ම රස්නෙයි තාම

දුං ගගා ළං කෙරෙන
වැව් හුළං මග හරින
වැලි පොළොව සිඹින
ඉනික්බිති මියෙන
විඩාබර මයිල පතකි
එති එතී ඔය රුව අඳින

හිනා අහුරක් මවන
කහට තැවරුණු ඇස්!
ඉන්ට බැරි ඇයි අතන
පහළ නැවතුම හිස්

පිපෙන මියයන පොළොව උඩ
කැහැටු හදවත රැගන

[පසන් සංජය සමරතුංග]
---------------

චණ්ඩි


හන්දිය දොස්තරව
හඳුනනවා අපේ අම්මා
උඩ පැනලා
ලොවි කැඩුවේ ඒකයි මං

[හිල්මි සුපුන්]

--------------

ඔව් ඒ ඇයයි

"අසීමිත ප්‍රේමයක කෙළවර
එළඹෙන වෙන්වීමේ හෝරාව
අපිට නම් බෝ දුරයි"

ඔව් ඒ මගේ සිතයි...

"තරගයෙන් ඉවත්විය යුතුමය නුඹ
ඔහු මා සෙවූ ලොවයි,
ඉතින් අපට වෙන්වීමේ හෝරාව බොහෝ ළගයි"

නෑ මේ නම් ඇය නොවෙයි....

[කවිඳු අමරතුංග]

-----------------

වැවක දියවර හෙවත් ඇය උවනත

ඝන ඇහි බැමි ය
කෙළවර ම පිහාටුව හීං හුළඟට
හිමි ය

ඇස හරින විට බිසෝ දොරටුව අසල කැලඹෙයි
මඩ මතක කැලතී සොරොව් කොපුලත කඳුළු ඇරඹෙයි
ඇළ නහර අතරමැද හූල්ලන්නට හිතින් පෙළඹෙයි
අස කුඹුරු පපුවක හිස ගසා වැලපුමක් එළඹෙයි
කෙළවර ම පිහාටුව හීං හුළඟට හෙලවෙයි
නැමි නැමී දුක්බර ව සසල විලසට ඇලවෙයි

ඝන ඇහි බැමි ය
සැලෙන ඒ පිහාටුව හීං හුළඟට
හිමි ය !

[කසුන් සමරතුංග]

-----------------

නංගි අපි කවි පොතක් කරමුද...?

දුකට සතුටට හිතට එන පද
බුකියෙ බිත්තියෙ ඔහේ ලිව්වට
මමත් කවිකාරියක් කියලා
හිතුණෙ ඇත්තට එයා කිව්වම

අග මුලක් මටවත් නොතේරෙන
පෙළක් දේවල් ඔහේ ලිව්වම
ලැබුණ පැසසුම් මටත් පුදුමයි
මොන දෙයක් කළ හැකිද කවියට

මොකවත්ම නොලියනා දවසට
දැම්මහම සෙල්ෆියක් බුකියට
සීගිරියෙවත් ලියවිලා නැති
කවි කමෙන්ට් වැටෙනවා ඒකට

"නංගිගේ කවි තමයි ලස්සන
මම ලියන්නද චූටි ඇස් ගැන
තනියි පාළුයි වගේ දැනුනොත්
කතා කරමුද ටිකක් විස්තර"

"කොහෙන් එනවද මන්දා ඇත්තට
ඔහොම අදහස් චූටි පපුවට
මොකද නංගියෙ කියෙනේ අපි
මෙහෙම්මම කවි පොතක් කරමුද"

"ෆීල්ඩ් එකෙ උන් දන්න හින්දම
වැඩේ කරලා දේවි නියමෙට
මමත් දවසක් දෙකක් එන්නම්
ඕනෙ නම් නංගිගේ තනියට"

මැසෙන්ජර් හා ඉමෝ වට්සැප්
වීඩියෝ ඇමතුම් අතර තුර
කවි පොතේ මුල් පිටුව ලියවුණෙ‍
තිසර තුඩු පිබිදුණු පපුව මැද

ප්‍රේම කවියක් තුටින් ලිව්වත්
පටන් ගත්දිම කවි පොතේ මුල
ඉතිරි කවි බොහොමයක් ලියවුනෙ
අඳුර ඉතිරුණු ලැගුම්හල්වල

පොතේ මැද කවි ලියන් යනකොට
මගෙන් සිදූවුණ දෝස බොහොමයි
ඉඳ හිටක ඇමතුමක් අරගෙන
එයා හිමිහිට කිව්වෙ එහෙමයි

තවම හරි අවසානයක් නැති
පෙරවදන හදවතේ මැද කෙටු
කවි පොතේ වැඩිපුර තියෙන්නේ
කිසිම වැඩකට නොමැති හිස් පිටු

[සමීර මදුසංක]
-----------------

වැහිදාක

මඳ සුළඟ, සැඩ වෙන්න
මොහොතකට කලියෙන්ම
කළු පාට බොඳ වෙන්න
හිස් අහස මඟ සොයන
වැහිලිහිණියෝ යත්ද
පියඹාම රිසිසේම
වැහිදාක
මතකයකට
වැහි බිංදු ඇහැරන්න

පතිත වන හැම තැනෙක
උණුසුමම සිසිල් කරන්න
නිදා වැටුණු ළ දළු කොළ
ප්‍රබෝධයෙන් ඇහැරන්න
රටාවකට නැමී හැදෙන
කඩදාසි බෝට්ටුවකට
මඟ කියන්නෙ කවුරුන්ද
කාටත්ම නොහැඟෙන්න

සමුගැන්මක් කොයිවෙලේද
නොකියාම වැටෙනා වැස්ස
සිලි සිලි හඬ සොරකම්
කරන්නේම කල්පනාව
මනහර බැව් පාට වර්ණෙන්
දෑස් අයාම විඳගන්න
ඉතිං, කොහොම තව ඉන්නද
දේදුන්න නුඹ නොදැක

[ශාමිනී නටාෂා]

----------------

ඒ අඳුර


ඔබේ ඡායාවමය
ඉදින් සිටිය යුතුය ඔබ නිසැකව
පියඹා යන්නේ අප අසරණව,
ඇයිදැයි, කොයිබදැයි කියා


(ප්‍රකට ඉන්දියානු කවියකු වන සීතාකාන්ත් මහාපාත්‍ර විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

ආචාර්ය සීතාකාන්ත් මහාපාත්‍ර


ඉන්දියානු කාව්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරිපෙළේ කවියකු, විචාරකයකු මෙන්ම විද්වතකු ලෙසද ඇගයීමට පාත්‍රව සිටින ඔහු සමාජ මානවවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියකුද වෙයි. ඔරියා සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන්ම ලිවීමේ හැකියාව ඇති ඔහු කාව්‍යකරණයේ යෙදෙන්නේ සිය මව්බස වන ඔරියා බසින් පමණි. යමෙකුට කවි ලිවිය හැක්කේ තමන්ට වඩාත් දැනෙන භාෂාවෙන් පමණක් යැයි විශ්වාස කරන ඔහු මේ වන විට ඔරියා බසින් රචිත කාව්‍ය නිර්මාණ සංග්‍රහ පහළොවකට අධික ප්‍රමාණයක් මෙන්ම ඉංග්‍රීසි බසින් රචිත විචාර කෘති, සංචාරක සටහන් කෘතියක්, විවිධ විෂය කරුණු ආශ්‍රිත කෘති තිහකට අධික ප්‍රමාණයක් සහ පරිවර්තන කෘති කිහිපයක්ද පළ කර ඇත. ඔහුගේ කාව්‍ය නිර්මාණ විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. වර්ෂ 1937 සැප්තැම්බර් 17 වැනිදා ඉන්දියාවේ චිත්‍රෝත්පලා නදිය අසබඩ මහාංග නමැති ගම්මානයක ඉපදී හැදීවැඩුණු ඔහු ඉන්දියාවේ විවිධ අධ්‍යාපන ආයතන කිහිපයකින් මෙන්ම විදෙස් විශ්වවිද්‍යාල දෙකකින්ද අධ්‍යාපනය ලැබීය. කලක් විශ්වවිද්‍යාල ගුරුවරයකු ලෙසද කටයුතු කළ ඔහු ඉන්දියානු පරිපාලන සේවයේද නියැලී සිටියේය. සිය කාව්‍ය නිර්මාණ සඳහා සාහිත්‍ය ඇකඩමි සම්මානය, ඥාන්පිත් සම්මානය, පද්ම භූෂන් හා පද්ම විභූෂන් සම්මාන ඇතුළු විවිධ ඇගයීම් රැසකින් ඔහු පිදුම් ලබා ඇත.


[අජිත් නිශාන්ත]

මාතෘකා