සාරදා

 ඡායාරූපය:

සාරදා

ගුරු පාට පසුම්බිය ඔබට මතකද
ඔබ බොහෝ ප්‍රවේශම් කළ
රංඩු කරලා දවසක් ආසාවට
වද කරලා උදුර ගත්ත හැටි අමතකද....?

හැඳුනුම්පත තිබුණා බොර පැහැ වුණ
පිංතූරය ටිකක් අපැහැදිලි ඒ තරමට
දිය වුණ කරදහි තිබුණ තරමට
මම හිතුවෙ කසළ ගොඩක් කියලමනෙ....

දිග හැර හැර එකින් එක හෙමිහිට
උඩින් පල්ලෙන් කියෙව්වට මොකද
මට හොදට මතකයි හුඟක් කවි තිබුණා
කොණ්ඩෙ දිගට තිබුණ සාරදා කෙනෙක් ගැන....

ඊට පස්සෙන් පහු අපි වෙන් වුණා ඔබට මතකද
සාරදා එක්කම හිටපන් ගිගිරුවා ඒ මමමද?
හත් දවසෙ දානෙ දවසෙයි දන්නෙ මම
අම්මා සාරදා වේදනා විඳලා මියගිය බව.....

යන්නම් ඉන්ද්‍රජිත් ගන්න පසුම්බිය
දුක් වෙන්නෙපා මේක රාජකාරිය
මොනවා කරන්නද මම තමයි
ගැට කපන්නාගෙ ගෙදර ගැහැනිය....

■ දිල්කි නදීශානි


ඔබට

කොහේදෝ
ඈතකට
"ගොරවයි..."

නොදන්නා
බැවින් ඔබ,
කොහේදැයි
කොතැනදැයි,
මා හද
අකුණකින්
"පිපිරෙයි..."

■ පැතුම් බණ්ඩාර


දැන දැන ම

මා අත
මඟුල් මුදුවක්
පලඳනා තුරුම
නිවනක් නැති හැටි
අම්මාට

ඇට මිදුලු කකියවන
දරු දුකට පමුණුවන
ගිහි ගෙය ‘ගිනි ගෙයක්’ බව
දැන දැනම...

■ මල්ෂා සේරසිංහ


සත්තකින්ම

මල්වඩම් සිනාසිය යුතුය

ඒකෙ එක මලක්වත්....
එකකට එකක්
දෙවැනි නැතුව
මගේ ඇස් අස්සෙන් ගිහින්
හිත එක්ක හිනා වුණා

ඒ හැම මලකටම තිබුණෙ
එක වගේ ලස්සන
පාට පාට හිනාවක්

ආදරෙයි මං
ඒ මල්වල
පාට පාට
හිනා වලට...........

■ නදී අබේසිංහ


මංගල්ලෙ

පිත්තල හෙප්පුව දනී අත සීතල
හිනාවක් පෑවට කට කනට ලාවට
පහන් කළ රැය පුරා දුක කියා කොට්ටෙට
තීන්දුව ගත්තෙමි පෙනී ඉන්ට නඩුවට

පිරිවරක් ඇවිදින් වටවෙලා සාලෙට
අසනවා දිගටම දෑවැද්දෙ මායිම
මිනින්දෝරු මහතුන් රංචුවක් එලෙසට
තක්සේරු මගෙ මිල කනටියට වෙල ළඟ

කෙළවරයි ගනුදෙනු උන් ගියේ පිඹගෙන
කේන්දර අරගෙන නැවත එයි හනිකට
නොදන්නා ඔහු ළඟ කෙසේ වෙමි පතිනිය
මගේ ගස අතු ඉති සිදී ඔහු එදිනම

ගේ ඇතුළෙ දුවණිය නාකි උනත් යහපත
අකැප දීග පොළවල බිත්ති පවා හෙල්ලෙන
පතිනිදම් කෙලෙසද හිත නොදුන් දීගෙක
මවුපියන් පාමුල දියණියකි ඉකිලන

■ නිකේතනී ජයකොඩි


ලංකාව

ගොඩ කාලයක්
පොළොවෙ ඉඳලා
හඳට ගිය මිනිහෙකුයි

ගොඩ කාලයක්
හඳේ ඉඳලා
පොළවට බැහැපු මිනිහෙකුයි

ගොඩ කාලයක්
දෙන්නට
වෙන වෙනම

දෙන්නටම
එකට

යටවුණ
ගෑනියෙක්
ලංකාව

■ ඉසුරු චතුරංග රම්බණ්ඩාරගේ


ඉතින් නික්මෙමි

කිසිදු කවියක් නොලියමි
තරුත් හඳත් නුඹට ම තබා
අඳුර ම වැළඳගමි...

■ ගයාන් අබේසිංහ

මාතෘකා