කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ආපසු බැලූ සඳ

දිරි දිය සිඳී ගත දුබලව අවසඟව

නෙතු මත රූ බොඳව ඡායා මැකී යන

යන මඟ වැරද යා යුතු මඟ අඳුරු වැද

ආපසු ගමන් කළ නොහැකිය ඉතින් තව

 

රූ මල් සුවඳ විඳි පෙරදා වසන්තය

විෂ නිය විලස පාරයි හද නොයෙක වර

වැර යොදමින දිනු කිරුළද අත රැගෙන

අද සුසුමක්ය හිස් බව පමණද උරුම

 

ආ මං නොමැත ලැබගත් දිනුමක්ද නැති

සතුටක් නොමැත දුකකුත් කඳුළක් නොමැති

හිස් බව පමණි අත ඉතිරිය කිසිත් නැති

සංසාරයේ දිනුමද මෙය සිත කියති

 

[කිත්සිරි කොතලාවල]

 

 

 

 

දුක්බර දැරිය

 

 

දුක්බර දැරිය, අමතක කරන්න ඔබේ දුක

තවම වයස දහසයයි ඔබට

මුළු දිවියම තිබේ ඔබ ඉදිරිපිට

සිය කැමැත්තෙන් ඔබ දැන් වැළඳ ගන්නේ නම් දුක

කුමක් කරන්නේද ඔබ පසු කලෙක?

ඔබේ කඳුළුවලින් කුමක් කරන්නේද ඔබ එවිට?

 

දුක්බර දැරිය, අමතක කරන්න ඔබේ දුක,

හැර දමන්න සියලු කවුළු පියන්,

ආලෝක හා සුළං කුණාටුවේ රඟන්න

ඔබ කැමති විලසට

 

දුක්බර දැරිය, විඳින්න ඔය දිවිය!

 

(ප්‍රකට බංග්ලාදේශ ලේඛිකා තස්ලිමා නස්රින් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

 

තස්ලිමා නසරින් (Taslima Nasrin)

 

කලක් වෛද්‍යවරියක ලෙස කටයුතු කළ තස්ලිමා නස්රින් ලොව පුරාම කතාබහට ලක්වූ බංග්ලාදේශ ලේඛිකාවකි. කිවිඳියක, නවකතා රචිකාවක මෙන්ම පුවත්පත් තීරු ලිපි රචිකාවක ලෙසද ඇය ප්‍රකටය. කලක් තිස්සේ කාව්‍ය නිර්මාණ රචනයෙහි නියැළෙමින් කාව්‍ය සංග්‍රහයන් ගණනාවක් ලියා පළ කළ ඇය 1993 වසරේ රචනා කළ ‘ලජ්ජා’ (Lajja) නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. එම කෘතියෙන් ඉස්ලාම් ආගමට අපහාස කෙරෙන්නේ යැයි චෝදනා කරමින් මූලධර්මවාදීන් විසින් එල්ල කරන ලද පීඩනය හමුවේ රටින් පලා යන්නට පවා ඇයට සිදුවිය. වර්ෂ 1994 සිට රටින් පිටුවහල්ව සිටිමින් විප්‍රවාසී දිවියක් ගත කරන ඇය දැනටද කාව්‍ය නිර්මාණ ඇතුළු විවිධ නිර්මාණ මෙන්ම ස්වයං ලිඛිත චරිතාපදානයක්ද කොටස් වශයෙන් ලියා පළ කරමින් සිටින්නීය.

 

[අජිත් නිශාන්ත]

 

 

 

අපේ වැස්ස

 

පුන් ඉර යට අඩසඳ යට

එක අහසක එක පොළොවක

ළාදළු රත් තොල් සිඹගෙන

වහින වැස්ස මේ බලන්න

 

කටු ඔටුන්න විසි කරන්න

සළුපිලි අබරණ මුදන්න

එන්න සබඳ එන්න සබඳ

හිරිපොද අහුරට තෙමෙන්න

 

පියපත් අහසේ විදහා

කුරුළු රංචු ඉගිලෙනකොට

ගල්පොත්තක වාඩිවෙලා

උන්ගේ නිරුවත විඳින්න

 

අකුණු සරට බිය නොවන්න

මහවැස්සට ඔහෙ තෙමෙන්න

එන්න සබඳ දිගාවෙලා

මහපොළොවට සවන් දෙන්න

 

ඒ හඬ ඔබෙමද බලන්න

මේ බිම ඔබෙදැයි බලන්න

 

[නයනසේන වන්නිනායක]

 

 

 

 

 

ගස්

දුක් දරා විද ලෙයින් බිහි කළ

මලක් ගිලිහෙන විටදි නාඬා

තවත් මල් දහසකින් අලුයම

සිනාසීමය ගසක සිහිනය

 

[අයු ප්‍රනාන්දු]

 

අඹ ගස කැපුවාට පසුදින....

 

හැමදාම කොළ හැලෙන

අමැද ඉවරක් නොවුණ

 

වැටී බිම අපුල ඉහිරෙන

පණුවන්ට නොමිලේ ගෙවල් දෙන

කුරුම්බා තරම් ලොකු ගෙඩි හැදෙන

 

දුටුවනින් ඇඟ හිරිවැටෙන

දළඹුවන් සන්නද්ධ වී හිඳින

 

තුඹසකට කැමති බව කියන

කඳේ තෙත වේයන්ට පුදන

අඩ සියවසට දින ගණින

 

දසවදේ මළවදේ නම් දරන

අඹ රාජයා ඊයෙ කැපිණ

 

උදෑසන කළ එළිය සිරි මැවිණ

දහවලේ දෙකන්සෙන් දිය හැලිණ

කිසිදාක නුවූ රස්නෙක දැවෙන

ඉර හැරෙද්දිත් තවත් තරු පෙනිණ

 

[දේවිකා මධුවන්ති ගෝවින්නගේ]

 

 

 

මේ වැහි සීතයේ...

 

අතින් අල්වා ගත් වැහි පොද

දුර ගමන් යනාතර සුළං රැලි

මා සිරවූ කුඩා කුටියෙහි

වීදුරු මුහුණෙහි ගැටී

පසු බසින මොහොතේ පවා

මා හා සිනාසෙන අන්දම

 

දිරා යන සැකිලි බඳ

මුදු සුළඟකින් වුව තිගැස්සී

අත් මිදුණු සරුංගලයකි

විදුලි රැහැනක වෙළී

මේ වැහි සීතයේ

වියළි හැඟුමන් ශේෂ කරලන

 

අනවසර පිවිසුම් බිඳ

හිරිකඩින් පෙඟුණු දොර පළුව

දොරට බස්නා මං අහුරවයි

දිනෙක මෙහෙවර ගිලන් කරවා

වැසි දියෙහි හෝරා දිය කර හැර

 

හීගතුව කුස තුළ ඇලී

අසුබ පෙර නිමිති කැටිව ගෙන

වැසි ඉසින විට මේ අඳුර

අරුණැල්ල සිනාසීයන්

ළිපේ අළු මැලව යා නොදී

වලා පීරා අහස් බිම පාදවාගෙන

 

[වින්යා ජයසේකර]

 

 

නොට්ටිගෙ පුතා

 

"අප්පා කළ දේ

පුතා නොකළා නම්

ඌ නොට්ටිගෙ පුතාලු"

මට ඕන වුණා

නොට්ටිගෙ පුතෙක් වෙන්න

ඉතින්,

මම වගබලාගත්තා

හැමතිස්සෙම

තාත්තා කරන දේවල්

නොකරම ඉන්න

 

ඒත් තාත්තගෙ

ඇතැම් චරිත ලක්ෂණ

කොහෙන් හරි මතුවෙනවා

මගේ තුළින්

ඉතින්,

මම දන්නවා

මට කවදාවත් බෑ

නොට්ටිගෙ පුතෙක් වෙන්න

 

[දිනීප මධුෂාන්]

 

 

 

 

රළ

 

පිනි පිනි වැටුණු හැන්දෑවරු ගිනිගත්තා

යළි යළි නැගෙන රළ පතුළට ඇදගත්තා

තනි තනි බැලුම්ගල්වල අපි හිටගත්තා

පෙනි පෙනි ඇස් දෙකට මුහුදක් බිලිගත්තා

 

[දක්ෂිණා වික්‍රමසිංහ]

 

 

 

 

මල් සරා මහා කුපාඩියා

 

කන්දෙ දෙයියන් පල්ල මං

කපනවා පුහුලක් ඕකා නමින්

ඉන්න තැනකින් බඩගාන්

එන්න උඹවම හොයන්

 

මල් සරා මහා පල් හොරෙක්

කිව්වා මං බැල්ලිට කලින්

හිත අරන් තොගේ හොරෙන්

ඌ යයි කියා ගැබ්බර කඳුළක් තියා නෙතින්

 

බලාගත්ත අත බලාගෙන

බත් පතටත් ඔරෝගෙන

ඉදෙන බත් මුට්ටියට වහන් වෙන

ඔන්න මගේ සැකය පුපුරපු තැන

 

දැන් ඉතින් තොට කිතුල් ඇට පුච්චලා කවන්නද

බැල්ලියක් නං එහෙම කරන්නත් තිබුණ වෙදකම

තුන් මසක් වෙන කලලය කොහොම ඇද එළියට දාන්නද

ගම්බාර දෙවියන්ගෙ පිහිටයි සිතා හදාගන් පැටියව ඉතින්

[හිල්මි සුපුන්]

 

 

 

 

මාතෘකා