මුහුණු පොතේ අකුරු කෙරුම

 ඡායාරූපය:

මුහුණු පොතේ අකුරු කෙරුම

එ'හැම පැළ

 

සිව් දිගින් පැමිණ

වවුල් හපයකින් පැළවුණ

කැලේ කොළේ ගමේ නගරයේ

නොයෙක ඵල වැල

තවාන් ගතව සිටින්නෙය

අඳුරු තල ගස යට

 

දල්ව දල්වා පත් පෙන ගොබ

අවුළුවා සෙවණ

රැකවල් ලූවත් තව තව

කේඬෑරිව එ'හැම පැළ

ඉරු එළිය යදින්නෙය

ස්වීය බිම් කඩක් සොයන්නෙය

 

■ සුමේධ විජයරත්න

 

 

 

 

මුහුදු රළ

 

සිනිඳු රැළි මත විසක් මුසු කොට

නැවියෝ රැළිමත මතින් තව ඇති

 

තැනින් තැන රළ දෙබෑ කරමින්

වේදනාවන් මවනවා ඇති

 

කිසිත් නොකියා අදත් නිහඬව

මුනිවතින් ඇය නිදනවා ඇති

 

කඳුළු හැම රැය ගලන හින්දම

මුහුදු රළ ලුණු රසක් ගන්නැති

 

■ සුභා හංෂනී රත්නායක

 

 

රෝහලේ අවුරුද්ද

 

බිත්ති හතරට මැදිව

කැවුම් සුවඳක නොමැති

බෙහෙත් සැර හැම එන

අලුත් අවුරුද්ද අද

 

සේලයින් කැනියුලා

පුළුන්වලටම මැදිව

ලේ නහර විද විදා

බෙහෙත් කටුවක් නැඟින

 

ගිලන්වූ සයනයේ

ඇතිරිල්ලේ හයියටම

සිහි උනා මගෙ දුවේ

උඹව හැම දවසකම

 

ගතේ රිදුමට වැඩිය

වැඩිවෙලා හිත ඉකිය

අසරණව සුසුම්ලන

හුදෙකලා දිනය අද

 

වේද නලාවේ පිහිට

තුන් දොහක් යයි මෙහෙම

එනවිටදී අප්පච්චි

ගෙනෙන්නම් මල් වෙඩිලි

 

අනේ නාඩා ඉදින්

මගෙ දොණියෝ ඉතින්

අද නැකැත් අවුරුද්ද

උඹයි මගේ පන කෙන්ද

 

■ හංසිනී උත්පලා
සඳලංකාව

 

තිගැස්සී අවදි වෙමි

සැනෙක,

අද ඇගේ නිවාඩු දිනය බව දනිමි

ඔබ මොබ දුවමි

සැරසෙමි...

 

කලු පාට කමිසය අඳිමි

ඈ ආස පාට ම බලමි

පාරට බසිමි...

 

හදිසියෙන් සිහිවෙයි

ඇය දැන් විවාහක බව ....

 

■ ගයාන් අබේසිංහ

 

 

අදත් මම බිව්වා

 

ගල් වෙච්ච හිත් ගාව

හැප්පිච්ච හින්දා

නුඹෙ කඳුළු මම ගාව

සිල්ලරට දැණුනා

 

හංගන්න මට උඹව

වටින් නැති හින්දා

රත් වෙච්ච තැන්වලදි

මම උඹව වින්දා

 

පිම්ඹෙන්න පිම්ඹෙන්න

පිපිරෙනා හන්දා

මැණික උඹ නැවතියන්

අදත් මම බිව්වා

 

■ චතුරිකා ලියනාරච්චි

 

 

මාව ඇවිත් අරන් යන්න

ඉක්මන් කර අදවත්....

 

රණ්ඩු කරන් නෑ ආයේ

මමනම් කවදාවත්.

හීනෙන්වත් ඇවිත් යන්න

අම්මේ අද රෑවත්.

චූටි දෝණි මම තනියෙන්

ඉන්නට බෑ ගෙදරත්.

මාව ඇවිත් අරන් යන්න

ඉක්මන් කර අදවත්.....

 

අප්පච්චී නෑ ආවේ

මා බලන්න තාමත්.

පාර බලන් මම හිටියා

කඩුල්ල ළඟ රෑටත්.

අප්පච්චිත් කොහෙද ගිහින්

තනිකර සුදු දුවවත්.

බලන් හිටිය එනකල් මන්

නෑ ආවේ තාමත්.......

 

චූටි මල්ලි චූටි නoගි

පාළුයි මට නැතුවත්.

අම්මේ එයාලා කොහේද

කියන්නකෝ දැන්වත්.

ඉන්නට බෑ මට තනියෙන්

එන්නකෝ අද දිනවත්.

මඟ බලාන මම ඉන්නවා

නොනිදා අද රෑටත්.......

 

■ කළුබෝවිටියන හිමි

 

 

වෙනදට ඉඟිකරන්

 

ඔය දෙනුවන් මෙමට,

පසන් පෙමට

බව සිතුවෙමි

හෑම රෑම......

 

කාලය ගෙවුණත්

දින දින එකපෙළට

සැකයයි අාවේ

අපතුරේ තනිමකන්නට

 

අද ඔය නෙතට

මගේ රූපෙත්

පිළිකුලක් වෙලා

අද මා හෙනහුරා වෙලා

අපේ අලේටම

 

ඇයි දෙවියනි

ඔබ මෙලෙසින් හරස්වෙලා...

 

■ ඉමාෂා සෙව්මිණි

 

 

ගිය සතියෙ බැන්දා

 

ගල් කුලුනු හැප්පෙද්දි

මහ කඳුත් රිද්දා..

මතකයිද උඹට, මම

ඔය කඳුළු ඉම්ඹා..

 

හැංගෙන්න උඹේ අස්සේ

වරම් නැති හින්දා..

රත් වෙච්ච අහස යට

මගේ කඳුළු බින්දා..

 

පිම්ඹෙන්න තව උඹේ

ප්‍රේමේ නැති හන්දා.

දන්නවද මැණික මම

ගිය සතියේ බැන්දා..

 

■ දිනී ප්‍රනෑන්ඩු

 

මාතෘකා