කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

කාලය

 

රළ ගහන සද්දෙට

මන් හරිම ආසයි

උරහියට ගුලිවෙලා

ඔයා කිව්වෙ එහෙමයි

 

හඳ දිහා බැලුවාම

පේන්නෙත් ඔයාමයි

මතක් වෙන්නෙම

අපි උන්නු විදිහයි

 

අපි උන්නු බංකුවේ

අදත් මන් විතරමයි

තනිකමට ළඟ හිටියා

කළුවරයි පාළුවයි

 

අපිත් දැන් වයසයි

ඔයාටත් දරුවො දෙන්නයි

 

ඒත් සත්තයි

 

උහුලන්න බැරිවෙන්නෙ

රිදෙන කොට හිතයි පපුවයි

[ශනීෂ් ශ්‍රීමාල්]

---------------

අපි ඒ ඇඳ යට අස් කළා...

 

ආට් වැඩ ම ය නිතර නිතර

ලියන වැඩ ඒ අතර පතර

වැරෙන් ගති තව සිල්ප සතර

මේ ඇඳේ හුන් අපේ මිතුර

 

ගිය සුමානේ යද්දි පාරේ

ඇවිත් මරුවගෙ හොඳම වාරේ

විසි පහක් වුණු යොවුන් සාරේ

වළ දැමිණ යහළුවන් බාරේ

 

බිඳුණු නො බිඳුණු හූනු බිත්තර

කවි කපාගෙන ඉතිරි පත්තර

දළ රූප ලෙස ඇඳපු සිත්තර

බැතින් රැක ඇත අපේ මිත්තර

 

කුලී බැල මෙහෙකොට සනසවා මන්දිර

නික්ම ගිය අම්මාගේ සිනා රූ සුන්දර

ඇඳුම් බෑගය කීය තව බොහෝ අන්දර

අඟුරු අතරේ රැඳී තිබී ඇත ගින්දර

 

දිනපොත් ද හය හතකි ඒ තුනක විතර

හමු වුණත් අප නොදත් ඈ කවුද මිතුර

කාත් කවුරුත් නැතිව ජීවිතේ කතර

මිරිකුවට වැලි අහුරු සිහිනයකි වතුර

 

[දේවිකා මධුවන්ති ගෝවින්නගේ]

මිතුරු සන්තානයක විප්‍රවාසී අත්දැකීමක් ප්‍රස්තුත කරගත් මේ කවිය ජීවිතයක කටුසටහන් කිහිපයකින් කරුණ රසපූර්ණ කාව්‍යමය අත්දැකීමක් ගොඩනඟයි.වාර්තාරූපී බව ඉක්මවන කාව්‍යෝචිත බස්වහරක් භාවිතයට ගැනීමට කිවිඳිය බොහෝ දුරට සමත් වෙයි. නිර්ව්‍යාජ බව සහ මිනිස් දිවිය කෙරෙහි හෙළන දයාර්ද්‍ර බැල්ම කැපී පෙනෙයි.

--------------------

බම්බුව...

 

හැදුණු බවබෝගෙනුත්

බාගයක් වාසලට

ඉතින් ඉඟ සුඟ එකට

ගන්න බැරි ඇයි මිටට..?

විලිකුන් සුරත් ඵල

වගේලු බහින ඉර..

බම්බුව!

 

බඩගින්නට හඬා

යුද ගින්නට නොනිදා

ඉදිමිලා රතු වුණ

අපේ ඇස් ගෙඩි

දැක්කෙම නැද්ද ඔය හිමි...

[නිලක්ෂි වික්‍රමසිංහ]

---------------

ශේෂ කන්දක අවසාන කවිය

 

තුංග ශේෂ කඳු හිසට පෙම්කර

එය අතැර ගිය

බොහොමයක් වලාකුළු පෙම්වතියෝ

දැන් විවාහකය

 

ඇතැම් වලාකුළු වෙනත්

කඳු හිස් හා පෙමින් වෙලී ඇත

නමුත් අප හිතවත් ශේෂ කන්ද

තවමත් තනිකඩය

 

ඒ බොහොමයක් පෙම්වතියන්

කුතුහලයෙන් සිටි කරුණකට පිළිතුරු සපයා

ඒ නිහඬ ශේෂ කණ්ද තව නොබෝදිනකින්

අකාලයේ නාය යෑමට නියමිතය

[සමීර මදුසංක]

------------------

සියොතුනි සරන අසරණ!

 

හිමි තරමට ම අහස

සියොතුනගෙ නිදහස

මිල කරන අදහස

කුමට කවුරුන් පිණිස

 

කුරුලු පාළුව අත්හළ

බත් ලෑල්ලකි ගෙමිදුල

පන්සිල් රකින පහන් පැල

එයයි පිළිවෙත හුරු කළ

 

ඇනවුමක් ලද කල

එලයි වටු වැද්දන්ගේ දැල

පැටලැවෙයි සියොත් කැල

පිංකමේ තරමටයි මිල

 

මුදාහළ විට පොදියට

පොරකයි ඉගිල්ලෙන්නට

තටු සලන ගැටෙන හඬට

ලැබේද නිරාමිස සතුට

 

සියොතුනි නිති සරන

නැත තොපට වටු නුවණ

විඳින නිදහස විකුණන

බව නොදත් කම පමණ

 

අහස විතරද අයිති

නැතිද ගම් බිම් අයිති

මග කොතන හෝ ඇති

තුරක ලගින්න ද කැමති

 

නිජ බිම අහිමි දවසක

මුදාහල විට නුහුරු අහසක

අනේ යන්නෙද කොයි අතක

නන්නාඳුනන නගරයක!

 

කුරිරු ගිජු ළිහිණි නෙත

ගොදුරු කර ගත් විට ජීවිත

ඉතිරි වන එක මුදු පියාපත

පවසාවි මේ නොදුටු පිරිපත

[සු.ප්‍රි. සමරසිංහ]

--------------

විසිදැල

 

හීං නංගිගෙ කොරල කබරල අදත් අම්මා හීරුවේ

ඒව දැක්කම ටීච බනිනව කිසිත් කමකට නෑ වගේ

මාසෙ විසි අට වෙළුම් බැන්දා මමත් දැක්කා කාමරේ

ආස විදිහට ගෙදර ඉන්නට පැලැල්ලක් අපි දාමුනේ

 

සීත හබරල කීර කෙකටිය උදුරගත්තා දහවලේ

දාං ඇං කෙම පරලගත්තා තාත්තා වැව් තාවුලේ

රාං කට්ටට රූං පෙත්තට නෙවෙයි සිරිලා ආදරේ

මීන් මත්තට කෑං පැත්තට නංගි දැක්කුවෙ දහවලේ

 

ලෝං ගන්නට ඔළු දෙකක් නැති හීන කියවන පාරුවේ

පුංචි අම්මා පේන බැලුවලු ඔරු කඳේ කොල්ලෑ දිගේ

මාත් එක්කම හේන ඇඬුවා යන්න දුර දිග පාසැලේ

ඈත් බත් පත බෙදාගත්තා කොරළි වත්කර බලු කුණේ

 

දාර කිඹුලැති උදළු කෙටියට සිරිල් පුළුවනි මරන්න

පාර අකමැති ඇහැළ මල් නැති දෙකයි දෙක පොලු තලන්න

බෝර බැන්දට බීරි කන් දෙක තාත්තගෙ සුව කරන්න

වීසිදැල් පොට බෙල්ලෙ එල්ලා හිතෙනවා මට පනින්න

 

අයුක්තියකට කටක් ඇරලා නෙවෙයි මාළුව නහින්නේ

අසාධාරණ ඉඩම් භුක්තිය.. ?? ගැඩිවිල්ලු දිවි පුදන්නේ

මාළු හූරන ගහල පිහියයි හූර කන වග හඟින්නේ

බෝය විස්සට විසි දෙනෙක්වත් මැරෙන පහරයි පතන්නේ

[සජිත් පට්ටියකුඹුර]

------------

නිවහන

මීදුම් මඳ නළ ඔදතෙද පතුරන

කැලඹිලි නිම්නයෙ

හිස් බිම් අද්දර,

නටබුන් ගෙය ඇත

උරුමෙන් මා ලද

 

පතුරු හැළෙයි බිත්තිවලින්

සුව වෙමින් ඇති වණවලින් සේ

නැගී සිටිත් කුලුනු වෙහෙසින්

වියපත් වන සිය දෙපා මත

ගඩොල් බුරුල්ව ඇත

ගෙවී ගිය දත් විලස

ජනෙල් ඇල වී ඇත

ඇද ගැසුණු අත්පා විලස

ඒවායේ වීදුරු පියන් පත්

බිඳී අඳුරු පැහැ ගෙන ඇත

කලෙක ඒවා විවර විය

දුර අහස් ගැබ වෙතට

විවර නොවෙයි ඒවා දැන්

ඉඩකඩක් නැති කුටිය වෙතවත්

 

වලාවන්ගෙන් දූලි තැවරුණු,

බිඳුණු මඳ නළවලින් වට වුණු,

මෙයයි නිවහන

මා මුතුන්මිත්තන් තැනූ

ඉතින් උරුමව ඇත මට

එහි දිවිය ගෙවනට

 

(ප්‍රකට උර්දු කවියකු වන ගුල්සාර් විසින් රචිත

කාව්‍ය නිර්මාණයකි.)

 

ගුල්සාර්

විශිෂ්ටතම උර්දු කවියකු මෙන්ම ගීත රචකයකු, කෙටිකතා රචකයකු සහ සිනමාකරුවකු ලෙසද ප්‍රකට ඔහු 1934 වසරේ අගෝස්තු 14 වැනිදා බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ ඉන්දියාවේ (දැන් පාකිස්තානයේ) ජෙලුම් දිස්ත්‍රික්කයේදී සම්පූරන් සිං කාල්රා නමින් උපත ලැබීය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ නිර්මාණ කටයුතු සඳහා යොදාග්නා ලද ගුල්සාර් නමැති ආරූඪ නාමයෙනි. කාලයක් ගැමි පරිසරයක ජීවත් වූ ඔහු පසු කලෙක ඉන්දියාවේ මුම්බායි නුවරට සංක්‍රමණය විය. ඉන්දියානු සිනමාවේ දැවැන්තයින් වූ බිමල් රෝයි, රිෂිකේෂ් මුකර්ජි සහ හේමන්ත් කුමාර් වැනි ප්‍රවීණයින් සමඟ සිය සිනමා නිර්මාණ දිවිය ඇරඹූ ඔහු ඉතා මිහිරි සහ අර්ථවත් චිත්‍රපට ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. නව මුහුණුවරක් ගත් සිනමා තිරපිටපත් ගණනාවක් රචනා කළ ඔහු පසුව සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළේය.

[අජිත් නිශාන්ත]

------------

කවියේ ඉම් ඉසව් සොයා යා යුතු

‘‘අහස් ඉම සිපගනිමි’’

[කපිල එම්. ගමගේ]

කවිය යනු හුදු භාෂා හරඹයක් හෝ ආකෘති හරඹයක් හෝ නොවේ. එහි තිබිය යුත්තේ සියුම් විඳීම් දැනීම් ඔස්සේ ජීවිත පරිඥානය කරා රසිකයා කැඳවා යන කලාත්මක ප්‍රඥාසහගත භාවිතයකි. "කවිය යනු රසවත් වැකි ය" යැයි භාරතීය විචාරකයින් පැවසූ කාරණය අදටත් වලංගුය. අනුභූතිය වෙනස් වුවද, එය නූතන සමාජ දේශපාලන කාරණාවලින් පැන නැග්ගේ වුවද කවිය සෞන්දර්යයෙන් වියෝ වූ විට එය රසික රස ජනනය හරහා සිදුකෙරෙන ජීවිත සංජානනයෙන් බැහැර වේ. කවිය සියුම්ව රසික සිත අභ්‍යන්තරය රිදවිය යුතුය. ඒ රිදුම් රසිකයා ජීවිතය හා සමාජය කෙරෙහි අවදිව තබන්නට උත්සාහ කරයි. නූතන කවියේ ඇතැම් තැනෙක දකින්නට ලැබෙන කඩතොලු සහගත තැන්වලින් මතුවන්නේ හුදු භාෂා හරඹයන් හා ආකෘති හරඹයන් පමණි. එයට බොහෝ විට හේතුව වන්නේ කවියා හෝ කිවිඳිය ව්‍යුත්පත්තිය හෝ සතතාභ්‍යාසය හෝ නොවැදගත් යැයි සිතමින් එය නොසලකා හැරීම නිසා විය හැකිය. මේ නිසා නූතන සිංහල කවියට එල්ල වන චෝදනා බහුල වෙමින් තිබේ.

ගුරුගොඩ සිරිවිමල ස්වාමින්වහන්සේද අයත් වන්නේ මේ නව කවි පරපුරටය. යති පරම්පරා කවින් නියෝජනය කරණ නූතන කවියෙකු වන උන්වහන්සේ ගේ දෙවන කාව්‍ය එකතුව වන්නේ "අහස් ඉම සිපගනිමි" කාව්‍ය එකතුවයි. එම කාව්‍ය එකතුව තුළ දැකිය හැකි මූලික ලක්ෂණ කිහිපයක් අපට නිරීක්ෂණය කළ හැකිය. එනම් ජීවිතය කියවීමේදී උන්වහන්සේ තුළ පැන නගින යති දෘෂ්ටියයි. අනෙක ලෞකික ජීවිතය හා ආබද්ධ කාරණා උපයුක්ත කර ගන්නා විට උන්වහන්සේ විසින්ම යම් සීමාවන් පනවා ඒ තුළ කොටු වී සිය නිර්මාණාක්ෂිය අවදි කරන ආකාරයයි. අනෙක් අතට උන්වහන්සේ සමාජ කාරණා සියුම් ඉවකින් ඇසුරු කරන ආකාරයත් ඒවා නිර්මාණ බවට පෙරළීමේදී භාෂාමය හා දෘෂ්ටිමය වශයෙන් යම් යම් දුර්වලතා පෙන්නුම් කරන ආකාරයත් මේ නිර්මාණ එකතුව සියුම්ව නිරීක්ෂණය කරන විට පෙනේ.

උන් වහන්සේ ගේ සියුම් නිරීක්ෂණාත්මක හැකියාව පෙන්වන කවකි මේ.

ඉහවහා ගිය සන්තොසින්

තුඟු කුළු පෙළක් අවධානයෙන්

මූ කෙලෙස යටපත් කරමිද

තුඟු කුළු පෙළක් අවධානයෙන්

(තුඟු කුළු - පිටුව 21)

නමුත් කවිය නිමා වන විට මේ ප්‍රබල අනුභූතිය ක්‍රමයෙන් දියවී ගොස් ඒ තුළට යති දෘෂ්ටිය ඇතුළු වේ. යති දෘෂ්ටිය නරක දෙයක් නොවූවද එය කවියේ ප්‍රබලත්වයට හානි පමුණුවන්නේ නම් එතැන ගැටලුවක් පැන නගී.

සිරිවිමල හිමියන් ගේ කවි අතර අපැහැදිලි දේශපාලනික දෘෂ්ටිවාදයක් සහිත කවි කිහිපයක්ද දක්නට ලැබේ.

මේ වගේ වැහි වෙලාවක

දුක හිතී හඬන

උළු වහල දැක

මසිත ශෝකයෙන් පිරී යයි

වැසි දාට බෝඩිමේ කාමරය එහෙමය

(වැහි කවි - පිටුව 28)

උන් වහන්සේ මේ පවසන්නේ සමාජයේ අප නිතර අත් දකින පන්ති විසමතාවයි. නමුත් දුක දකිනා උන්වහන්සේ දුකට හේතුව හා දුක නැති කිරීමේ මාර්ගය නොදකියි.

ඒ විසල් මාලිගාවට නොපෙනෙන

උන්ගෙ කූඩාරමේ

තහඩු උඩ රැඟුම් දෙන

උළු වහලය ද ටකරම් ද

ගානක් නැතිය

වැස්ස නම් සම සිතින් සම මෙතින්

හැමදාම හැම රෑක

වහිනවා ඇති තරම්.

ආගම, එහි ඇති දාර්ශනික තලයෙන් පිට පැන ඇදහිලිවාදී වීම ගැන උන් වහන්සේ ගේ සිතෙහි පැන නගින විස්සෝපය පළ කරන කවි කිහිපයක්ද මෙහි එයි. 'මහලු බෝධිය', 'හිනැහෙනව බෝධියත්', 'දෙවියො දැන් සිය දිවි නසාගෙන ඇති', 'වෙසක්' වැනි නිර්මාණ තුළ උන්වහන්සේ ආගමික ඇදහිල්ල සියුම්ව හාස්‍යයට බඳුන් කරයි. ඒවා තුළ ඇත්තේ උත්ප්‍රාසයකි.

ගැහැනුන්ට බබ්බු දෙන්නයි

මිනිසුන්ට රස්සා දෙන්නයි

නඩු හබ බේරලා දෙන්නයි

දෙවියනි නුඹට වෙන වැඩ නැද්ද?

(දෙවියො දැන් සිය දිවි නසාගෙන ඇති - පිටුව 56)

යල් පැනපු ශනි රාහු

සිරව බෝ රුකක් මැද

ශ්‍රමණ චීවරධාරී

පූජා ලබති දැහැත් වට්ටි

ගරු සරු වන්දනා මාන

හරි හරියට බෝධිය අසල

සාදු සාදු හඬ නගති

උපාසක හුදී ජන

 

හිනාවෙන්නට බැරි කමින්

බෝධියෙන් වැටෙනවා

දළු, කොළ

(හිනැහෙනව බෝධියත් - පිටුව 41)

ලෞකික ජීවිතය හා බැ‍ඳෙන ප්‍රේමය ආදරය වැනි චෛතසිකයන් ගැන පවා උන්වහන්සේ සිය කවි ඇස යොමු කරයි. නමුත් එහිදී පරිස්සම් වෙයි. ශ්‍රමණ ව්‍රතයට හානි නොවේයැයි හැඟෙන සීමාව පමණක් ස්පර්ශ කරයි.

ගිරි කුළක හති දදා දළුලන‍

හරිතවත් තුරු ලතාවකි අපේ ප්‍රේමය

නාය යාමක්

පිපිර යාමක්

කිනම් මොහොතක ඒවිදැයි සිත සිත

මේ වැඩෙන්නේ දළු දමා

අපේ ප්‍රේමය

(අපේ ප්‍රේමය - පිටුව 51)

කෙසේ වෙතත් ගුරුගොඩ සිරිවිමල ස්වාමීන්වහන්සේ කවියට දැඩිව ඇලුම් කරන තරුණ හිමිනමකි. ඒ නිසාම උන් වහන්සේ ආදී-අනාගත වශයෙන් සිංහල කවියේ ඉම් ඉසව් ගැන සිය අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් තෝරාගන්නා අනුභූතියේ සියුම් බව පුපුරා යා නොදෙන කවි බසක් ගැන උන්වහන්සේ ස්වකීය අවධානය යොමු කරන්නේ නම් මැනවි. එලෙසම සිය කවිය මාංශයෙන් වැඩෙන තුරු උන්වහන්සේ ඉවසා සිටිය යුතුය. රිද්මය, ලය ගැනද මදක් සැලකිලිමත් වන්නේ නම් සිය කවියේ රසෝද්දීපනය වැඩි වනු ඇත. නමුත් අප උන් වහන්සේට ගරු කළ යුතු වන්නේ ආගම සමාජ පීඩක අවියක් ලෙස භාවිත වන සමයෙක කවිය වැනි සාහිත්‍යාංගයකින් සමාජය සුවපත් කිරීමේ මගට උන් වහන්සේ නිර්ලෝභීව පිවිස ඇති නිසාය.

මාතෘකා