ලොව භයානක ආක්‍රමණික මසුන් ගැන අපට කියාදෙන ජෙරමි වේඩ් සීයා

 ඡායාරූපය:

ලොව භයානක ආක්‍රමණික මසුන් ගැන අපට කියාදෙන ජෙරමි වේඩ් සීයා

බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ශිල්පියකු, ජීව විද්‍යාඥයකු සහ මසුන් පිළිබඳව පරීක්ෂණ ග්‍රන්ථ කතුවරයකු වගේම ජල කිමිඳුම් රහස් පරීක්ෂයකු වන ජෙරමි සීයා 1956 මාර්තු මස 23 වැනිදා එංගලන්තයේ සෆ්ලොක් ජනපදයේ අයිපස් ගම්මානයේදී උපත ලැබුවා. බ්‍රිතාන්‍ය ජාතිකයකු වන ජෙරමි වේඩ් සීයාගේ පියා එංගලන්ත ප්‍රදේශයක් භාර දේවගැතිවරයෙක්. අධ්‍යාපනය සඳහා ඩීන්ක් ලෝස් පාසලට ඇතුළු වුණු ජෙරමි වේඩ් සීයා සත්ත්ව විද්‍යාව පිළිබඳව උපාධිය ලබාගත්තේ එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන්. ඉන්පසු කෙන්ට් විශ්වවිද්‍යාලයෙන් ජීවවිද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගෙන කෙන්ට්වල ද්වීතියික පාසැලේ ජීවවිද්‍යා ගුරුවරයකු ලෙස සේවය කළා. පෘතුගීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂා ලියන්නට කියවන්නට වගේම කථා කරන්නටත් සීයා දක්ෂයෙක්.

පසු කාලයේ පාසැලෙන් ඉවත්ව ජෙරමි වේඩ්සියා තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් බ්‍රසීලයේ ඇමේසන් ගංඟාව ආශ්‍රිතව ගත කළා. ඒ ලොව ජීවත් වන භයානක මාළුවන් ගැන පරීක්ෂණ කරන්නට සහ දැනුවත් කරන්නට. ඒ පිළිබඳව සීයා නිෂ්පාදනය කළ රිවර් මොන්ස්ටර්ස් රූපවාහිනී වැඩසටහන් මාලාව අදටත් ලොව පුරා ලොකු කුඩා අපි කාගෙත් ජනප්‍රියම පරිසර වැඩසටහනක්.

බ්‍රසීලයේ ඇමේසන් ගංඟාව, අප්‍රිකාවේ කොංගෝ ගංඟාව සහ ටැංගනිකා විලෙත් ආසියාවේ මැලේසියාව, පිලිපීනය සහ ඕස්ට්‍රේලියානු දූපත් ආශ්‍රිතව සීයා කළ පරීක්ෂණවලදී මිනිසුන් සහ සතුන් ආහාරයට ගන්නා ලොව භයානක මිරිදිය මාංශ භක්ෂක ආක්‍රමණික මාළුවන් ගැන සොයා ගත්තා. ඒ අතර සිටි රතු පිරන්හා මාළුවන්, ඇලිගේටර් ගා මාළුවන්, ගුන්ච්කැට් ෆිෂ්, ගොලාත් ටයිගර් මාළුවන්, ඇරෆයිමා මාළුවන්, විදුලි ආඳන් වගේම මිරිදිය ජලාශවල මිනිසුන්ගේ සහ සතුන්ගේ ඇඟට ඇලී ලේ උරාබොන ලැම්ප්‍රේස් මාළුවන් ගැනත් දැනුවත් කළා. ජෙරමි වේඩ් සීයා මේ පර්යේෂණවලදී ඒ මාළුවන්ගේ පහරදීම්වලට ලක් වුණත් කවදාවත් උත්සාහය අත්හැරියේ නැහැ.

ජෙරමි වේඩ් සීයා ලියපු සම්වෙයාර් ඩවුන් ද ක්‍රේසි රිවර් සහ රිවර් මොනස්ටර්ස් කියන පොත් දෙක ලොව පුරා ඉතා ජනප්‍රිය වුණු පොත් දෙකක්. මේ වෙනකොට සීයාට වයස අවුරුදු 63ක්. සීයා තවමත් ඒ භයානක මාළුවන් ගැන පරීක්ෂණ කරමින් අපිව දැනුවත් කරනවා.

පුංචි අපිටත් සීයාගේ මේ පරිසර පරීක්ෂණ කටයුතු ගැන දැන ගන්න සීයා එක්ක අදහස් හුවමාරු කරගන්න මේ වෙබ් අඩවියෙන් පුළුවන්.

[සහන් රසිඳු හර්ෂණ විජයසිංහ]

07 ශ්‍රේණිය

ශ්‍රී භාරතී බොදු විද්‍යාලය

පැණිදෙණිය - පේරාදෙණිය.

මාතෘකා

ජනප්‍රිය ලිපි