කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

අම්මා....

වටක් ගැඹුරට ගිලුණු ඇස්
අඳුරේම දොරගුල මත ඔතා
රැය පුරා විඳි පිළුණු හුස්මට
පලුදු මෙරුතටු බැඳ තියා
සෙරකි නමගිය ඇපත් නැති
චෝදනා ගෙයි දොරකඩ තියා
මේස වත්තේ කානු ගැටියක
ඇය මලක් වී හිනැහුණා

දඩයමින් ලද හංපසුම්බියේ
කඳුළු දහඩිය ඉවදැන
පිළී ගඳ කොළ ගණන් නොකරම
කඩේ ණය පොත පියවන
කලත කලතා හිත් පැසේ
සමනල මතක බිජු රැකගෙන
තිස්සේම සඳ එළි නිවා
තරු පිරුණු අහසක් මට දෙන

සිහින් උරුවම් මතින් දුම් ගඳ
නින්දෙදිත් හඳුනාගෙන
ළඟ ළඟම හුස්මක් දෙකක් ගෙන
රැහැයියන් අළු කරවන
කානු ගැටියෙන් එහා ලොව
සිතුවමින් මාසිත පුරවන
මාංචුවේ දඬුවමේ රළු පද
නැළවිල්ලකට හරවන

[නිර්මලී මේරියන්]


මුහුණුපොතේ කතන්දරේ

ටික ටික ගෙවන්නට
අමාරුවෙන් අරගත්
කාර්පොඩ්ඩා
පසුබිමේ හිඳුවා ගත්
පවුලේ පින්තූර පෙළහර
‘ශෙයා’ කළෙමි මේ දැන්
මුහුණුපොතේ...

චයිනීස් පිඟන් ගඩොලින්
යන්තමින් ඔප කළ
එකම කාමරයෙන්
නිවසක සිරි මවා ඇත

කපරාරු නොවැසූ
නිරුවත් බිත්ති මත ලැගි
පියස්සත් නූසුලන ණය බර
පින්තූර රාමුවෙන් බොහෝ ඉහළය

වල් වැසූ මිදුල කෙළවර
මියෙන මල්වැටියට පෙනිපෙනි
බිත්තියේ පිපි මකුඵ මල්පෙළ
නාභිගත වන්න ඉඩ දී නැත

ඇවිළි ඇවිළී තියෙන
අසල්වැසි ගිනිපුපුරු
නිතර මුවහත් කෙරෙන
ලේ ඥාති කටු පොකුරු
පින්තූර මායිමෙන් එපිටට
තල්ලු කොට දමා ඇත

ගෙයිමුල්ලෙ වක ගැහුණු
අම්මගේ කෙඳිරියත්
මළ මූ ගඳට මුසු
කසායේ අපුලත්
දැනෙන්නට කිසිත් ඉඩ තබානැත

ඉරුණු තැන් යා කෙරෙන
හිත්වල පැලැස්තර
බිත්තියේ පැල්ලම්ද සමඟින්
ෆොටෝෂොප් මන්තරෙන්
අතුරුදන් කර ඇත

නාභිගත වන්නට
මොහොතකට පෙර පවා
බැණ අඬගසාගත්
මුහුණුවල රොස්පරොස්
වත්සුණු සැරහුමෙන්
කදිමට වසා ඇත

අහා! දැන්කදිමය
ඇදයක් පලුද්දක් නොමැතිය

ඉතින් හිත මිතුරනි!
දාන්න සිනාමුහුණැති ‘ලයික්ස්’
ආදරේ උතුරන‘කමෙන්ට්ස්’
දැන දැනම රැවටි රැවටී
අපවද රවටමින් ටිකකට...

[රුවනි සිසිජා]


මල් ඩිංග

ඉස්සර සරලා එක්ක සෙල්ලමට හිටියේ
මායි, කිටියයි විතරයි.
සරලාගෙ නංගි සමදරා
හරි ම වදකාරි
සෙල්ලමට ගත්තත් අඬනවා.
ගත්තෙ නැතත් තරහයි කිය කිය අඬනවා.

අපේ අම්මා මට අලුත් මල්ලියෙක් ගෙනාවා.
සමදරා වගේ නෙවෙයි එයා,
ලස්සන සුදු බෝලයක්...
මම එයා තුරුලු කරගත්තම
එයා මාත් එක්ක හිනාවෙනවා.

තවම චූටිනෙ.
තව ටික දවසින්
අපිත් එක්ක සෙල්ලමට ඒවි කියලා
අම්මා කිව්වා.
එතකොට අපිට සමදරා නැතුව,
කොට්ටම්බා ගහ යට සෙල්ලම් කරතැහැකි

ඒත් එයාගෙ කකුල් දෙක මැද්දේ
මොකක්ද ලොකුවට තියෙනවා.
හරියට කැවුමක් වගේ...

සමදරාවත් එක්කගෙනමයි
සරලා මල්ලි බලන්න ආවේ.
කිටියත් ඉන්නවා මගේ කකුල්වල එති එතී.
සමදරා මල්ලියාව වඩන්න ඉල්ලනවා.
එහෙම කොහොමද?
"මල්ලිව වඩන්න දෙන්න බෑ.
තවම චූටියි.
ඔයා වඩාගත්තොත් එයා කළු වෙයි."
සමදරා ආයෙත් අඬනවා

"එහෙම කළුවෙන්නෙ නැහැ පුතේ
ඔයත් තාම පුංචියිනේ
අක්කලාටත් දෙන්නෑ මං මල්ලිව වඩන්න"
අම්මා කිව්වම සමදරා දිව දික්කරනවා.

"නැන්දේ, අර මොකක්ද අර,
මල්ලිගෙ අතන තියෙන්නේ?"
සරලා අහපු ගමන් කිටියත්,
ඒ තාලෙටම 'මියෑව්' ගෑවා.
ඒ කියන්නේ මට විතරක් නෙවෙයි,
කිටියටත් පුදුමයක්, සරලාටත් පුදුමයක්!
නොකිව්වට මොකද සමදරාගෙ ඇස්වලත්
තිබුණේ පුදුමයක්!
ගත් කටටම මාත් ඇහුවා,
"ඔව් අම්මේ, මොකක්ද ඒ?"
අම්මා එතකොට මෙහෙම කිව්වා,

"කම්බායට නෑ...
සරමට විතරයි.
ඒ තමා පුතේ
මල් ඩිංග"

[ශිල්පා නෙත්මි]


ගෙදර

තෙතමනය සහ දූවිලි
පරණ සුවඳ
බිත්තිවල පින්තාරු කළ සෙවණැලි
අඳුර නිදා සිටී එළිපත්තෙහි වකුටුව
හඬ නොනැඟෙන්නට අඩි තබමි
ඇඳරෙදි මත
මසකට පෙර තබාගිය රැලි තවම ඇත
ගෙදර යනු නිසල බවය

වහලෙන් ඇදහැලෙන
ඉදල් ඉරි රටා වැහි ඉරි
මිදුලේ සීරුවට හදන
වළවල් පෙළක්

පරණ තේ කොප්පය
නා පිරිසිදුව,
තේ පුරවාගෙන හිඳී
පුටු ඇන්ද උඩ
බවුන් වඩමින්,
දුම් දමමින්

එන්ජිම නිවිය යුතුය
දූවිලි බැඳෙන්නට ඉඩ දිය යුතුය
තෙල් දමන්නට අමතක කළ යුතුය

කළු බළලෙක් තප්පය දිගේ ඇවිද
අතුරුදන් වෙයි අඳුරට
අපිත් අඳුරෙහි අතුරුදන් විය යුතුය
හෙට උදේ වන තුරු වත්

[තරින්ද්‍ර ගලහේන]


රඟපෑම් ඇති

සෝපහාසෙන් පිරුණු සිනාවෙන් අමතන්න
මා නැඟී ගිය තැනදි බෲටස්ව හමුවන්න
ඒ නමුත් පිටුපසින් ඉනු කුමට රඟදෙන්න
කිරිච්චිය සෑහේද අසිපතක් ගෙන එන්න

වරිච්චිය ගැළවේවි ඔබේ තැන රැක ගන්න
කුවේරගේ මැඳුර මෙය නිරායුද නොම වන්න
ඉලක්කය මමම නම් නුඹේ හෙල්ල අරගන්න
කමක් නෑ පරයන්න බැරිම නම් හිනැහෙන්න

[දිල්මිණී හසින්තා]


ගෙවීගිය රාත්‍රිය...

පැලට ඉහළ අහසේ
රෑක තරු විසිතුරු
කටු පඳුරු සඟවලා
විසල් පා සලකුණු

තුම්පත් රෑනක් උන්නා
පැලට ළඟින්, වසා තරු
වැටුණු අහස් දිය බිඳු
නෙත මෙන් සිත පියකරු...

අහස ආදරෙන් පොළොවට
තෙමන පෙම්බස් සීතලට
නැවුම් සුවඳක් හමාගෙන
පිබිදුවා කිරිවදින යායම

අඳුරු මැදියමට සමුදීගෙන
එන හිමිදිරිය සුන්දරව
කිරිවදින යාය දෙස බලා
මතකයටයි මගෙ ආදරය..!

[ළහිරු දිලංක]


අම්මා

නම්බු නාම කිරුළු දාල
ඉල්ලා අස් වෙලා එන්න
ඔපීසියට ලියුම ගැහුවෙ
කන්තෝරුව අත අරින්න

ඔහේ ඉඳල මැරිල ගියත්
රිදෙන තැනදි වැලඳගන්න
ජීවත් වෙන ටික කාලෙට
හිනා වපුරගෙන ඉඳින්න

අම්මේ මට ඉඩක් දෙන්න
ආ‍ෙය නුඹේ පුතා වෙන්න

තාම ඇලෙන් නාල කරල
වතුර කළෙත් ඇරං එන්න
හේන වුණත් මට ඇහැකියි
ආයෙම තනියෙන් කොටන්න

ගබඩාවේ බූරු ඇඳට
ආයෙම රජ මඟුල් ඔන්න
දූවිලි ටික පිහල ගන්න
ටිකක් ඇවිත් ඈඳිගන්න

අම්මේ මට ඉඩක් දෙන්න
ආය නුඹේ පුතා වෙන්න

මං හරි ආදරෙන් උන්නෙ
අම්මට විතරමයි ඔන්න
ඉතින් මගේ දුක අහන්න
ටිකක් ඔළුව අතගාන්න

මටත් ටිකක් හැමදෙයක්ම- දාල යන්න බෑ හිතෙන්න
අම්ම ළඟින් ඉඳගත්තම -දුක සේරම මැකිල යන්න
ඉස්සර වගෙ ළඟට කරන් -චූටි කතාවක් කියන්න
එතකොට මට පුළුවං වෙයි ලෝකෙම අමතක කරන්න

අම්මේ මට එක දවසක්
ආසයි ආයෙත් ඇවිදින්
ඔටුනු නම්බු නාම දාල
ආයෙ නුඹේ පුතා වෙන්න

එහෙම හිතන් ගමට එද්දි
ගෙදරට එන පාර දිගේ
මීට මාස දෙකක ඇද්ද
සුදු කොඩි වැල් එපා ඉන්න

පයින් උනත් මට පුළුවං
අම්මා වළලපු සොහොනට
ගමන් මහන්සිය නොහිතා
වේගෙන් අඬ අඬ දුවන්න

සොහොනෙ හැදුව පුංචි පැළේ
මල් එනකොට මං නැතිදා
අනේ කවුද අහං ඉන්නෙ
ඒ මල් සොහොනට ඉහින්න

[ක්‍රිෂාන් රත්නායක]


සුවඳ අතීතය

දින සති ගණන්
මාස අවුරුදු ගණන්
ගෙවිගෙවී - ගෙවිගෙවී
ගිය හැටි,
අවුරුදු හැටහැත්තෑවකට පෙරදා
බෝ කෙළි දෙළෙන්
කා බී - ප්‍රීතියෙන්
ගී ගයා නටමින්
මේ තැනිතලාවේ
දුවපැන ඇවිද ගිය හැටි,
මහා හයියෙන්
කෑ ගසා හිනැහී
පන්දු කෙළියේ යෙදුණු
උන් සොහොන් මත
මල් පිපෙනු- පරවනු
හැලෙනු දැකදැක
වේදනාවෙන් වුව
සොම්නස් සිතින්
යළි යළිදු සිහිපත් කරයි
මහල්ලා
ඒ සුවඳ අතීතය
ගෙවිගෙවී- ගෙවිගෙවී
ගිය හැටි.

(ඇමෙරිකානු ජාතික කවියකු වූ
ඩොනල්ඩ් හෝල් විසින් රචිත
කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

ඩොනල්ඩ් හෝල්

ඇමෙරිකානු කවියකු, ලේඛකයකු, සංස්කාරකවරයකු මෙන්ම සාහිත්‍ය විචාරකයකුද වූ ඩොනල්ඩ් හෝල් ළමා සාහිත්‍යය, චරිතාපදාන, මතක සටහන්, විචාර ලිපි සහ කාව්‍යය සංග්‍රහයන් ඇතුළු විවිධ කෘතීන් 50කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇත. වර්ෂ 1928 සැප්තැම්බර් 20 වැනිදා ඇමෙරිකාවේ කනෙක්ටිකට් පළාතේ හැම්ඩන් නමැති ප්‍රදේශයේදී උපත ලැබූ ඔහු බේට්ස්කොලේජ්, හාවර්ඩ්, ඔක්ස්පර්ඩ් සහ ෆිලිප්ස් එක්සිටර් ඇකඩමි යන විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලැබීය. දීර්ඝ කාලයක් සාහිත්‍ය සේවනයෙහි යෙදෙමින් විවිධ විෂය ක්ෂේත්‍රයන් සහ තේමාවන් ඔස්සේ කාව්‍ය නිර්මාණ සහ ලිපි රචනා කළ ඔහු 2018 ජුනි 23 වැනිදා ඇමෙරිකාවේ නිව් හැම්ප්ෂයර් පළාතේ විල්මට් නමැති ප්‍රදේශයේදී අවසන් හුස්ම හෙළීය.

[අජිත් නිශාන්ත]

 

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

[email protected]

මාතෘකා