නැති වූ වචනය

 ඡායාරූපය:

නැති වූ වචනය

නැති කරගෙනය වචනයක් ඇය

සොයන්නීය සැම තැනකම එය

සෝෆාව පසුපස, දූවිලි ද ගස ගස

මේස, අල්මාරි, පුටුද පිසපිස.

පීරපීරා බලයි කැළිකසළ පැස.

පාපිස්ස යටින් වෙනත් දේ හමුවෙයි ඇයට

අමතකව අතු ගා දැමූ බොහෝ දෑ එය යටට

හසු නොවේ එහිද ඇය සොයන දෙය ඇසට

කුඩාය එය - අකුරු දෙකක් පමණි හිමි එයට

අඩුවක් නැති වුව එහි අගය ඉන් කිසි ලෙසට

අවුස්සා බලයි මතක ඇය නැවතී එක තැන

අවසන් වරට එයින් වැඩක් ගත් දිනක් ගැන

යළි යළිදු එන්නේම සිත අද්දරට පැනපැන

විඳුම් පමණකිය රිදුම්දෙන හදට ඇනඇන

සිටියුරුව ගැන මුව පිරූ හිස්වචන බැන බැන

තවත් අයෙකුගෙ මුවෙන් පිට වන.

(සමකාලීන බ්‍රිතාන්‍ය කිවිඳියක වන එස්තර් මෝර්ගන් විසින්ර චිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

එස්තර් මෝර්ගන්

වර්ෂ 1970දී එංගලන්තයේ වෝරචෙස්ටර්ෂයර් පළාතේ කිඩර්මින්ස්ටර් නමැති ප්‍රදේශයේ උපත ලද ඇය එහිම හැදීවැඩී, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා, වර්ෂ 1998 දී නැඟෙනහිර ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගත්තාය. ඇය මේ වන විට කාව්‍ය සංග්‍රහයන් හතරක් ලියා පළ කර, සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා ඇත.

ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘බියෝන්ඩ් කෝලිංඩිස්ටන්ස්’ (Beyond Calling Distance) නමින් 2001 වසරේදී පළ වූ පසුව එය මුල්ම කාව්‍ය සංග්‍රහයන් සඳහා පිරිනැමෙන ජර්වුඩ් ඇල්ඩෙබර්ග් නමැති විශේෂ සම්මානයට පාත්‍ර වූ අතර, ජෝන්ලෙවෙලින්රයිස් ත්‍යාගය සඳහාද එය නිර්දේශ විය.

එයින් පසුව ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘දසයිලන්ස් ලිවිංඉන්හවුසස්’ (The Silence Living in Houses) නමින් 2005 වසරේදී පළ විය. ඇගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය ‘ග්රේස්’ (Grace) නමින් 2011 වසරේදී පළ වූ අතර, එය 2012 වසරේ ටී. එස්. එලියට් ත්‍යාගය සඳහාද නිර්දේශ විය. ඇය රචනා කළ නවතම කාව්‍ය නිර්මාණ ඇතුළත් සිව්වැනි කාව්‍ය සංග්‍රහය ‘දවූන්ඩ් රෙජිස්ටර්’ (The Wound Register)-නමින් පසුගියදා පළ විය.

[අජිත් නිශාන්ත]

මාතෘකා