කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ඇත්තටම ඔබ කවුද?  

නිතර තොල මැතිරෙන  
 ඇසුණේ කවදදැයි නිනවුවක් නැති  
 නුපුරුදු ගීතයක්  
 ඇතිව නැතිවී යන මුහුණක්   
 අහස් නිල්පාට බ්ලවුසයක්  
 හොඳට ඉර පායපු දවසක්    
 හිත පතුලේ 
 සොයා නොගත් කොනක හිඳ  
 සිනාසී අත වනන 
 වචන නැති හැඟීමක්  

 හුරුබුහුටි ඇඟිලි තුඩුවලින් ඇවිද ගිය 
 අඩි ලකුණු සිත පුරාම  
 මගේ නොවෙයි මේ අපිළිවෙළ සිතුවිලි  
 ඉරි තැළුණු තාප්ප බිත්තිවල  
 කහ පාට මල් පිපුණේ කවදද  
 පරණ හීන මන්දිරවල  
 මකුළු දැල් කඩා දූලි පිස දමා 
 ජනෙල් ඇර  
 එන්න ඉඩදී ඇත, අලුත් ඉර එළියට 
 කොට්ටය උඩ තබා ගොස් ඇති සුවඳ කාගෙද 

 හෙමිහිට නින්දකට ගිලා බහින 
 පාළු හැන්දෑවකදිවත් 
 එදිනෙදා කලබල 
 අල්ලාප සල්ලාප සිනා අතරවත් 
 හැර නොයන නිල් පාට ඇස් දෙකක්  
 මුහුද දිහා බලන් ඉන්න  
 පොඩි එකෙක් වගේ  
 බලන් ඉන්නවා  මම 
 
 පිටුපසින් විත් වැලැඳ ගන්නා  
 රෝස පියොවුරු තුඩු දෙකක උණුහුමින් 
 ගැස්සිලා ඇහැරෙනව රෑට 
 සමහර වෙලාවට 
 නොනිදා රැයේ ඉතිරි අඩ  
 පහන් කරනවා මම  
 ඇත්තටම ඔබ කවුද  
 තරුවලින් අහනවා මම

[තරින්ද්‍ර ගලහේන]

 

---------------

අත්තම්මා මරණ මංචකයේ සිට  අම්මාට කියූ කවිය  

ඔක්තෝබර් මාසයේ දිගු හැන්දෑවක
බලාපොරොත්තු නොවූ වස් වැස්සක්
කඨිනය දවසේ ඇදහැලුණා..

ගස් වැල් ඇඹරී දිය කැලැඹී
පෙරහැර කොහෙදෝ විසිරී තිබුණා 
වැස්සට සෙවනක් සොයනා අතරෙදි
අස්සක කඩයක මුල්ලක් හිස් ඇති බව පෙනුණා
පිම්මක දුර ගෙන රිංගුවෙ එතනට
තෙත් වූ හුස්මක් පිටකරලා 

මින් පෙර නොදැනුණු ඉකිබිඳුමක්
හද බිත තුළ කෙඳිරුම් කෑවා
මින් පෙර නොදිටූ මගෙ දූ කුමරී
ඒ අසලින් මට හමු වූවා

වේසියෙ කිය කිය කොච්චර බැන්නත්
සත්තයි දෙතනේ කිරි ඉරුණා  
කුළුදුල් ප්‍රේමයෙ පෙම් සුවයත්
කප්රුකෙ එල්ලා තැබුවා.. 

[කළණ දම්සර]

 

------------------

මට තේරෙන්නෙ නෑ ප්‍රේමරත්න...!!!

ගඟ දිවුවාට හප්පගෛන
ගල් මුල් එක්ක වලගොඩැලි 
ඒවගෙත් තිබුණා බැඳීමක්
ගඟ අතැර යන්නේම නැති ...

මල පරවෙලා ගියාවේ
නටුවකට නොම බරක් වී
හිත කඩාගෙන වැටුණමත්
හිතුවෙ නුඹ තනිවුණු හැටී ...

සිහිනැතුව කළුවර ඇවිත්
වැටුණාම අගුපිළ කොනේ
ප්‍රේමයේ සීතල ඇල්වතුර
ඇසිඩ් ලෙස පපුවට දැනේ...

මතක ලේ දහරක ඉවෙන්
පපුව ගැස්සෙන මේ පැයේ
මලානික වූ තොල් විවරවල
කුහරගත හැඟුමන් දැවේ...

නගරයට එහායින් කොනක
ග්‍රිල් වැටක මල් පිපේ
තවම මගෙ තනි හිතට
පෙම් මලක් පිපෙන් නෑ මගෙ හිතේ ...

[ශ්‍යාමා දේවිකා දමයන්ති]

 

----------------

 

දැන් මාව (අ)මතකද?

මී පැණි එක්ක කෑවත් 
කොහොඹ කොළ තිත්තයි
මැණිකෙ ඔය ඇස්වලට
ආදරේ මම විතරයි 
කඳුළු නැති ඉකිබිඳුම් 
රිද්දන්නෙ පපුව මැදමයි
තප්පර කටුව නැවතියන්
මටත් දැන් හරි මහන්සියි

මැණිකෙ මගෙ පපුවට
පොඩ්ඩක් එබිලා බලපන්
උඹ විතරමයි ඉන්නෙ
බොරුනම් පපුවෙන්ම අහපන්
සැකයක් එහෙම ආවොත්
හයියෙන් තට්ටුවක් දාපන්
වේදනාවෙන් ඇඹරි ඇඹරී
උඹේ නම මුමුණාවි අහපන්

ගල් වුණත් උණු වෙනවා
පපුවෙන් කඳුළු වැටුණම
ගැස්සිලා ඇහැරෙනවා
දැන් මාව (අ)මතකද
මැණික  තව එක්වරක් 
උඹෙ මූණ දැකගන්න
කඳුළු කැට හිරකරන්
මං ඇවිත් යන්නද

මැණිකෙ පෝරුව එහෙම 
ලස්සනට සැරසුවද......

[ශනීෂ් ශ්‍රීමාල්]

-------------

නවුෆර් මුදලාලි

ඉබ්බාගමුව සති පොළේ
එළවළු විකුණන
නවුෆර් මුදලාලි
දවසකට පස් වතාවක්
දෙවියන් වඳිනවා

ගිනි මද්දහනෙත්
සවස් ජාමෙත්
එළවළු ටික
සිංහල වෙළෙඳුන්ට
බලාගන්න කියලා
පරණ පාපැදියෙ නැඟිලා
පල්ලියට යනවා

වැස්සක් කඩා හැළුණොත්
"මේ වෙලාවේ
වැස්සත් ඕන තමයි"
මුදලාලි හිනැහිලා කියනවා
ගිනි සැරේට පෑව්වොත්
"ඔව් අව්වත් නැතුව බෑ" කියනවා

තොරක් නැති අවලාද අපහාස
ඉඳහිට නගරයේ
තාප්ප බිත්තිවල ඇලවුණත්
නොදන්නවා වගේ
මුදලාලි සන්සුන්ව ඉන්නවා

"මේ ඔක්කොම මගෙ යාළුවො"

දත් අඩු මුවින් කටපුරා හිනැහිලා
නවුෆර් මුදලාලි කියනවා

[තිස්ස නිහාල් වික්‍රමසිංහ]

------------

පාපොච්චාරණය

සුළඟකිය මම
හිතුමතයට දෙපා ඔසවන
සැනසුමකි මට
බරක් නොදැනී හමායන එක
හිත බැඳුණු පමණින්ම මට
නුඹත් අසමත් නවත්වන්නට
ටැම් ගෙයටවත් දම්වැලටවත් 
නොහැක සුළඟක් නවත්වන්නට

සුළඟකිය මම
කඳුළු හසරැලි ලොවෙන් හංගන
සුසුමකිය මට
නුඹේ කඳුළැලි ගෙනෙන සිසිලස
එහෙමත්ම තැනකදි ඉල්ලුවත් නුඹ
නැවතෙන්න බැහැ සුළඟ වූ මට
ඉතිං හිතවත ඒ තරම්ම වෙහෙසයි මට
නැවතුණත් නවතින්න බැරි නිසයි දුක

[දිල්මිණී හසින්තා]

--------------

 

ඒ සුළඟ යැයි සිතන්න

මුහුදු සුළඟට නැළැවී 
 විටින් විට ගැස්සී 
 කෙටි සිහිනයක 
 ගිලී ඉන්නා සොඳුර,

බොහෝ ළංවී 
 ගැහැනු සුසුමකට 
 තුරුලු වී නැත  
 කාලෙකින්

හුස්ම සිර කර, 
 ගැහැනු කඳුළක 
 හඬ අසා නැත 
 කාලෙකින්

පාලමකදි විටින් විට 
 මන්දගාමීව සෙලවෙන 
 කොපුලකට දැනුණා නම් 
 හාදුවක දෙකක බර

 සොඳුර; 
 කලබල නොවන්න.

ඒ සුළඟ යැයි සිතන්න

[අයු ප්‍රනාන්දු]

 

---------------

ප්‍රේම චක්‍රය

හිමිදිරියේ සෙමෙන් සෙමෙන්
හකුළා ගනියි හිරු
සිය සෙනෙහෙබර
දිගු මිහිදුම් අත්පා

ප්‍රීතිමත් පෙම් සාද අවසන
නොරැඳෙයි රස, අපුල දනවන
ප්‍රේම ගින්නට හසුව මියැදුණත්
පාන්දර පිනි සුවඳ සිපගෙන
ඇහැරෙයි මිහිකතද සතුටින්

මුදු නෙතැති හිරු එළිය මුමුණන
රහස් මුනුමුනු තෙපුල් අසමින...
ඉනික්බිති හිරු සැඩව නැඟෙමින
විහිදයි ගිනියම් කිරණ සිරසින
අස්වද්දමින් සරු බිම් තැන තැන
සදෙව් ලොවටම හිමිව පවතින

උදුරාගනියි එබිම එක මොහොතින
පාමින් සැඩ ගතිය රුදුරු විලසින
හුරුපුරුදු ලෙසින් ඒ සරස ඉවසන
ඇය සිටියි ඉවසිලිවන්ත හැඟුමින
සැඳෑ කල එළැඹෙනා තුරු විගසින

ගෙවුණු රෑ මතක යළි යළිඳු කැඳවන
හිරුගෙ මුදු සුමුදු ගති නිති පුබුදන
ඇගේ ඔද තෙද සහ බලය පැතිරෙන
හිරුගෙ බල මහිම අඩ දැනිව වැතිරෙන

(නයිජීරියානු කවියකු වූ චිනුවා ඇචෙබෙ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

චිනුවා ඇචෙබෙ

කවියකු, නවකතාකරුවකු, මහාචාර්යවරයකු මෙන්ම විචාරකයකු ලෙස ද ප්‍රකටව සිටි චිනුවා ඇචෙබෙ ජාත්‍යන්තර සාහිත්‍යය තුළ නයිජීරියානු ලකුණ සටහන් කළ ලේඛකයෙකි. වර්ෂ 1930 නොවැම්බර් 16 වැනිදා නයිජීරියාවේ ඔගිඩි පළාතේ ඉග්බෝ නමැති ප්‍රදේශයේ උපත ලද ඔහු ඒ ප්‍රදේශයේම හැදී වැඩී, පාසල් අධ්‍යාපනය ලැබුවේය. වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් හිමි වුවද, එය ප්‍රතික්ෂේප කළ ඔහු සිය උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය තෝරාගත්තේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ රචනා කිරීම ඇරැඹූ ඔහු සිය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු නයිජීරියානු ගුවන්විදුලි සේවයේද කලක් සේවය කළේය. ඔහු රචනා කළ ‘තින්ග්ස් ෆෝල් එපාර්ට්’ :Things Fall Apart නමැති නවකතාව 1958 වසරේදී ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු ලොව පුරා විශාල පිරිසකගේ අවධානයට ලක් විය. ඔහු විසින් ඉංග්‍රීසි බසින්ම රචනා කරන ලද සෙසු නවකතා සියල්ලද  ලොව පුරා පාඨක විචාරක පැසසුම් දිනා ගැනීමට සමත් විය. ඔහුට 2007 වසරේදී මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගයද හිමි විය. නිර්මාණකරණයෙහි යෙදෙන අතරම සාහිත්‍යය පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙසද දීර්ඝ කාලයක් සේවය කළ ඔහු 2013 මාර්තු 21 වැනිදා මෙලොවින් සමු ගත්තේය. 

[අජිත් නිශාන්ත]

 

----------------

කවිය යාවත්කාලීන වෙනවා

එරංගා දිසානායක


(එරංගා දිසානායකගේ පළමු කවිපොත ඉගිල්ලෙන්න තටු දිගැර පසුගියදා ජනගත කෙරිණ)

කවියකින් දැනෙන විදිහට මිනිසුන්ට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද ?

කවියේ අත්දැකීම් විවිධාකාර විදිහට ගන්න දේවල්. තමන්ගේ අත්දැකීම්, වෙන කෙනෙක්ගේ අත්දැකීම් හා තමන් වෙනත් දේ දිහා බලලා පරිකල්පනය කරගන්න අත්දැකීම්. මේවා අනුභූතීන් කරගෙන කවියෝ ලියනවා. කවියාගේ නිර්මාණශීලීත්වය මත තමයි අනිත් මිනිස්සුන්ව ආමන්ත්‍රණය කිරීම රඳා පවතින්නේ. අපිට එදිනෙදා හමුවෙන අනුභූතීන් එකිනෙකට සමානයි. තමන් අත්දකින ආදරයම තමයි වෙනත් කෙනෙකුත් අත්දකින්නේ. ඒක පුද්ගලානුබද්ධයි. ඉතිං කවියාගේ නිර්මාණශීලීත්වය මත කවියා දැනගන්න ඕනේ අනිත් මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන විදිහ.

කවි පොතක සාමාන්‍යයෙන් චිත්‍ර වගේ දෙයක් භාවිත වෙනවා අඩුයි. ඒත් මේ කවි පොතේ චිත්‍ර භාවිත වෙනවා. ඒ චිත්‍ර භාවිත කරන්න හේතුව මොකක්ද? ඒ සඳහා ඩොමිනික් චන්ද්‍රසාලිගේ චිත්‍රම ගන්න හේතුව මොකක්ද?

මගේ මතය තමයි කවියකට චිත්‍රයක් ඕනේ නෑ. ඒක කවිය කියවන රසිකයාගේ රසවින්දනයට බාධාවක්. කවියක් එක් එක්කෙනා තේරුම්ගන්න විදිහ වෙනස්. උදාහරණයක් විදිහට, කවියේ තියෙන්නේ අම්මාගේ සෙනෙහස. ඒත් ඒක උපමා කරගෙන ඊට එහා හිතන්න පුළුවන් පාඨකයෝ ඉන්නවා. ඒත් ඊට එහා ගිහිල්ලා මං භාවිතා කරපු චිත්‍රවලින් රසවින්දනයට බාධාවක් නොවී තියෙනවා. කවියේ මතුපිට අර්ථය චිත්‍රය මගින් හෙළි නොකර ඩොමා අයියා ඒ වැඩේ ලස්සනට කරලා තියෙනවා. මං හිතනවා ඒ චිත්‍ර ඇතුළෙත් ව්‍යංගව පාඨකයා හිතන්න ඕනේ දෙයක් තියෙනවා කියලා.

අලුත් කවියකුට පරණ කවියන්ගෙන් විශාල පිටුවහලක් ලැබෙනවා. මේ කවි පොතට හම්බුණු පිටුවහල කොයි වගේද?

මගේ කවිය සමාජගත වන්නේ ෆේස්බුක්වලින්. මං කවියෝ අඳුරගන්නේ සමාජජාල ඔස්සේ. දැං සමාජ ජාල ඔස්සේ කවි එළිදැකීමේ ප්‍රවණතා තියෙනවා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, දිනූ රාජගුරු, රුවන් බන්දුජීව, අනුරසිරි හෙට්ටිගේ,  වගේ කවීන් සමූහයක් මට හම්බුණා. ඒ ඇසුර මට විචාරවලදී, කවිවලදී දැනුණා. ඒ කවියෝ කවිය ඇතුළේ ලොකු සමාජ වගකීමක් ඉටු කරලා තියෙනවා. ආධුනික කවියෙක් විදිහට මටත් ඒ සමාජ වගකීම පැවරෙනවා. මම දැනගන්න ඕනේ ජ්‍යෙෂ්ඨ කවියෝ අනුකරණය නොකර ඒ ඇසුරෙන් මගේම විදිහක් හදා ගන්න.

ගොඩක් තරුණ පරපුර ෆේස්බුක් හරහා කවි ලියනවා. ඉස්සර පත්තරේක යවනවා වෙනුවට ෆේස්බුක් දැමීම ගැන අදහස කුමක්ද?

මම ඒකේ දෙපැත්තක් දකිනවා. ඉස්සර පත්තරේ දාලා එද්දී කවියෙක්ගේ වුණත් මන්දගාමීත්වයක් ඇති වෙනවා. හැබැයි කවියෙක් තමන්ගේ කවියක් පත්තරේ යනකල්ම බල බල ඉන්න කෙනෙක් නෙවෙයි. ඉස්සර පත්තරේ තිබුණු මන්දගාමීත්වය ෆේස්බුක් එක තුළ නෑ. ඒක හොඳ දෙයක්. ඍනාත්මක බව තමයි ලයික්ස් හා කමෙන්ට් මත, ඉන්න මිතුරන් ප්‍රමාණය මත කවිය මනින එක. හොඳට කවියට ලයික්ස්, කමෙන්ට් වැටුණාම කවියා හිතනවා 'මගේ කවිය හොඳයි, මට තමයි ලයික් වැඩිම.' වගේ. එතකොට කවිය ඇතුළේ සැරිසරන සීමාව අඩුවෙලා එක තැනකට කොටු වෙනවා.

ගොඩක් කථාවෙන දෙයක් තමයි අලුත් කවිය ඇතුළේ සාහිත්‍ය රසය නෑ. ඒකේ භාෂාව සවුත්තුයි කියන දේ. මේ ගැන අදහස මොකක්ද?

කවිය වුණත් යාවත්කාලීන වෙන්න ඕනේ. ඒ කාලේ ටිකිරි මැණිකා, රන් මැණිකා වගේ නමක් අද භාවිත කළොත් ඒක විහිළුවක්. ඒත් ඒකෙ ගුණාත්මක බව ඒ විදිහටම තියෙන්න ඕනේ. සංවාදයේදී කසුන් මහේන්ද්‍ර අයියා කිව්වා කවිය අතීතයේම දිගුවක් කියලා. දිගුවීමකදී කවිය යාවත්කාලීන වෙවී ඉස්සරහට යනවා. පැරණි කවි නෙවෙයි කොළඹ යුගයේ තිබ්බේ. ඒ භාෂාමය වෙනස තියෙන්න ඕනේ. අද තරුණ පරපුර ආමන්ත්‍රණය කිරීමේදී අමුතුම වචන සෙට් එකක් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒක කවිය ඇතුළේ නිර්මාණශීලීව භාවිත කිරීම කවියාගේ වගකීමක්. භාෂාව හරි විදිහට හසුරනවනම් භාෂාවේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

[තමල් මන්ජිත වීරසිංහ]

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]  [email protected]

මාතෘකා