ගඟ බඩ කෑම ගංගාවෙන් උපදිනවා

 ඡායාරූපය:

ගඟ බඩ කෑම ගංගාවෙන් උපදිනවා

එතකොට මං හිච්චි කොලුවෙක්. පන්නගමුවෙ ආත්තලා මුත්තලා ඉන්න කාලෙ වැව් තාවුලේ පුංචි මැටි ගෙදර දානයක් දුන්නා මෙහෙණින්නාන්සෙලාට. දානෙ අහවර වෙලා රහමෙරත් ටිකක් බීපු තාත්තලා මහප්පලා මීකිරි ඇතිලිවලටම රතු බත් බෙදං කද්දි ආත්තා කුරහන් පිට්ටුවක් උඩට මී කිරි කොතක් ඉන්දලා ටික ටික කෑවා. මේ කොයි එකටත් වැඩිය මට මතක එදා කාපු පුසුඹ ව්‍යංජනයක්. ඒ දානෙට ඉව්ව වෙන කිසිම දෙයක් මතකෙ නැතත් තෙල් පෑදෙන්න කිරි දාලා උයලා තිබුණු වෑංජනය රතු කැකුළු බත් රහ කරපු හැටි මතකයි. තාත්තා කිව්වා ඒ කැරන් කොකු කියලා. ආපහු ගෙදර ආවම අම්මා කිව්වා ආං එව්වා කිතුල්දෝව පීල්ල අහ තියෙනවා. ඔය හීං නැන්දලා එහෙම දන්නවා. මෙහා කියන්නේ කොකු පලා කියලා. පස්සෙන් පහු දවසක අම්මා බණ්ඩාරවෙල පොළෙන් කැරන් කොකු ගෙනැල්ලා රහට උයලා දුන්නා.

කැරන් කොකු අයිති මීවන පරම්පරාවට. දාස් ගාණක් මීවන වර්ග තියෙනවා විතරක් නෙවෙයි. ඒවා මේ මහ පොළවෙ මුල් උරුමක්කාරයො. මුලින්ම බිහිවුණු ශාඛ ප්‍රජාවක් හින්දාම සජීවී කෞතුක වස්තුවක් වගෙයි. වර්ග හුඟක් තිබුණට හැම එකක්ම කන්න උයන්නෙ නෑ. හැබැයි උයන්න පුළුවන් වර්ග ඔක්කොම හැමෝම අඳුනන්නෙත් නෑ. ඒක අපරාධයක්. මොකද ගතේ වස විෂ නසන, හර්නියා, පිළිකා වගේ ලෙඩ රෝග වලටත් ගුණයි කියන සහසුද්දෙන්ම කාබනිකයි කියලා කියන්න පුළුවන් මේ ජාති නොදන්නකම නිසා නොකා ඉන්න එක අපරාධයක් නෙමෙයිද?

ජලාශ්‍රිතව මීවන වර්ග බොහෝම සාරෙට වැවුණත් මං නම් ඒවට කියන්න කැමති ගඟබඩ කෑම කියලයි. මොකද වැව් වගුරු වල තියෙනවාට වඩා පිළිවෙළකට මීවන තියෙන්නෙත් ඒවා උයා කෑමේ සංස්කෘතියක් ගොඩනැගිලා තියෙන්නෙත් ගංගා නිම්නයක කියලා මං අත්වින්ද නිසා. ඒ තමයි සපරගමු උරුමයක් වුණු කළු ගං නිම්නය. රත්නපුර පානදුරා පාර දෙපැත්තේ පුංචි කඩමැහි වල සාරසුබාවට මේවා විකුණනවා. කැරන්කොකු නම් අඩුයි. මොකද මීවන වර්ග වැවෙද්දි දේශගුණික කලාප අනුව වර්ග වෙනස් වෙන හින්දා. ඉතිං එහේ බහුලව තියෙන්නෙ වීදුරු කොළපාට මියෙන දලුයි, බැර කොකුයි. මේ දෙවගෙම කන්නයි උයන්නයි මාව හුරුකරපු පින කැටේපොල මැණිකෙ නැන්දට. දුම්බර ඇත්තන්ගෙ ඉඩම් පන්සල් ඇත්තෙක් හුරා කන වෙලාවෙ මිනිස්සුන්නෙ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්න යම් යම් දේවල් කරන්න මාත් අවුරුදු කීපයක් ඔය ගම්තුලානවල ගෑටුවා කකුල් කෙඩෙත්තුව හැදෙනකං. ගමරාළලා මොනවහරි දිනාගනිද්දි මට හම්බුවුණ දිනුම තමයි කෑම්පීම් ජාති සමහරක් ගැන සංස්කෘතික දැනුමක් ඉතිරි වීම.

සමහරු බැරකොකුම කැරන්කොකු කියලා හිතුවාට මං හිතන්නේ ඒ වරිග දෙකක්. කැරන් කොකු කොළ පාටයි, බැර කොකු නැත්නම් බරු කොකු රතු දුඹුරු පාටයි. මොනව වුණත් මේ දෙකම හයියට කරදඬු උස්සලා ඉන්න වර්ග. මියෙන දලු නම් හරිම ළාමකයි.

රට උඩහට වෙන්න උයන්න ගන්න තවත් මීවන වර්ග තියෙනවා. ඕං මං ඒවයෙ නම් දන්නෙ නෑ. අපේ ඥාණයා නම් කියන්නෙ ඕවා සේරම ‘කන වැරැල්ල’ කියලයි. මොකද ඉහළ ඌවේ අපි මොන මීවන ජාතියටත් කිව්වෙ වැරැල්ල කියලනේ. අපේ කන්තෝරුවෙ වත්තෙත් කන වැරැල්ල ජාතියක් සාරෙට හැදිලා. බලංගොඩ තුඹගොඩ ආමි කඩේ දවසක් දෙකක් කන වැරැල්ල ජාතියක් තිබ්බා. ඒවා ඇන්න එන්නෙ සමනල වත්ත උඩ්ඩිස්සෙන් කියලයි ගැමියෙක් කිව්වෙ. ජලාශ්‍රිත නොවන මීවන නෑයෙක් වගේ පෙනෙන තවත් ශාඛයක් මඩු. ඒවයෙත් කොකු ගැහිලා තියෙන දලු මාලුව කනවනෙ. මඩුවලින් හදන කෑම තවත් තියෙන නිසා වෙන දවසක කතා කරමු. තව ගඟබඩ කෑමක් වෙච්චි කෙකටිය ගැනත් කිව්වද කොහෙද ඉස්සර දවසක.

හරි, ඉතිං මීවන ගැන කිව්ව ඇති. දැන් මේං උයන හැටි. මුලින්ම මියෙන දලු උයමු. ඒවා දලු මිටියක අහක් කරන්න තියෙන්නෙ මෝරපු කකුල් දඬු විතරයි. ඉතිරිවා කැබලි වලට කපාන හරි කඩාන හරි ඇතිලියකට දාලා දුරු, මිරිස්, කහ ස්වල්පයක් එක්ක කුරුඳු පොත්තක්, කරපිංච, ලුණු, ලූනු දාලා ඇඹුලට තක්කාලි ඩිංගක් වගේම ගොරක පෙති කීපයක් දාලා වතුර ටිකක් මුහු කරලා තැම්බෙන්න තියනවා. තැම්බුණාම ඇතිලියෙන් වෙන ඇතිලියකට මාරු කරලා මුල් එකට තෙල් ටිකක් දාලා රත්වුණාම අබ සුදු ලූනු බැඳලා තෙම්පරාදු කරගන්නවා. සුවඳටම බත් කතෑකි. තැම්බෙන්න තියද්දි කිරි මුහු කළානම් වෑංජනය කිරට. තියෙනවා නම් කැබලි කරගත්ත කොස් ඇට ටිකක් දාන්න. හොද්ද උකු වෙනවා විතරක් නෙවෙයි රහ දෙගුණ වෙයි. කැරන් කොකු හරි බැර කොකු හරි උයනවානම් ඒවා කැබලි කරගෙන ලුණු ගොරක දාලා තම්බා දිය ඇරගන්න එකයි මුලින්ම කරන්නෙ. ඊට පස්සෙ ලූනු, තක්කාලි, දුරු මිරිස් කහ, උම්බලකඩ ටිකකුත් දාලා තෙම්පරාදුවට හදාගන්නවා. කැමති නම් කිරි ටිකකුත් දැම්මට කාරි නෑ. ඕං ඉතිං මින්මනත ගමන්බිමන් යද්දි කඩමැහිවල මීවන පලා ජාති තියෙනවා දැක්කොත් වාහනෙ අයිනට කරල නවත්තන්න ආයිබෝවන්ඩ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා