බලු සුරතලා රැකබලා ගන්න හැටි

 ඡායාරූපය:

බලු සුරතලා රැකබලා ගන්න හැටි

සුනඛයා යනු අතීතයේ සිටම මිනිසාගේ හොඳම මිතුරා කිවහොත් එය නිවැරදිය. ඔබේ නිවසේත් සුනඛ සුරතලෙක් සිටිනවා නම් ඒ සුරතලාගෙන් ඔබ ලබන ආදරය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඔබ නිවසට පැමිණෙන තුරු පෙරමඟ බලා සිටින බලු සුරතලා සමඟ කාලය ගතකරන විට සිත රැඳි දුක් දොම්නස් පවා දුරු වී යෑමද අරුමයක් නොවේ. බලු සුරතලා ඔබට දක්වන ආදරය, ළෙන්ගතුකමට හා සමාන ආදරයක් ඔබ විසින් දක්වනවා මෙන්ම සුරතලාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ගැනද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

ඔබ සුනඛ හිමිකරුවකු නම් ඔබේ සුනඛයාගේ පිරිසුදු බව ගැන අනෙක් සියලු කරුණුවලට වඩා සැලකිලිමත් විය යුතුය. එයට හේතුව ඇතැම් සුනඛයන් වැඩිපුර ගැවසෙන්නේ නිවස තුළ වන නිසාය. නිවසේ කුඩා දරුවන් සිටී නම් සුනඛයාගේ පිරිසුදුකම ඉතා වැදගත් වන්නේ එයින් ඔබේ දරුවාද රෝගී වීමට ඉඩ තිබෙන නිසාය. සුනඛයාගේ ලෝම අතර කිනිතුල්ලන්, මැක්කන් වැනි සතුන් බෝවීමට වැඩි ඉඩක් තිබෙන නිසා වැඩිපුර ලෝම තිබෙන සුනඛකුයගේ නම් ලෝම කප්පාදු කිරීම සුදුසුය. එවැනි සතුන් බෝවීම වැළැක්වීම සඳහා සුදුසු පවුඩර් වර්ගයක් යොදා සුනඛයා නහවා හොඳින් පිසදමා ලෝම වියළීමට ඉඩ සැලසිය යුතුය. එමෙන්ම සුනඛයාගේ මුඛය පිරිසුදු කිරීමද කළ යුතුම දෙයකි. සුනඛයන් සඳහාම වෙන්වූ එවැනි සනීපාරක්ෂක උපකරණ වෙළෙඳපොලේ මිලදී ගැනීමට තිබෙන නිසා එවැනි උපකරණ මිලදී ගැනීමෙන් සුනඛයාගේ පිරිසුදු කිරීම් පහසුවෙන් කළ හැකිය. සුනඛයාගේ කන් ඇතුළතද පිරිසුදුව තබාගත යුතු අතර කපු පුළුන් සහ ළදරු තෙල් වර්ගයක් භාවිතයෙන් ඒවා පිරිසුදු කරගත හැකිය.

එමෙන්ම සුනඛයාගේ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුය. මස් හෝ මාළු වර්ගයක්, වට්ටක්කා, පළා වර්ගයක් මිශ්‍රකර සකස් කරන බත් වේල් දෙකක් ලබාදීම සුනඛයකුට ප්‍රමාණවත් වේ. සාමාන්‍යයෙන් සුනඛයකු ආහාරවේල් කිහිපයක් දුන්නද අනුභව කළත් ඉහත කී ආකාරයේ පෝෂණීය ආහාරවේල් දෙකක් සුනඛයකුට දිනකට හොඳටම ප්‍රමාණවත් වේ.

සුනඛයා වෙනුවෙන් කූඩුවක් තිබුණද බොහෝ සුනඛයන් වැඩි වේලාවක් රැඳී සිටින්නේ නිවස තුළ බැවින් නිවසේ පිරිසුදුකම ගැනද විශේෂයෙන් සැලිකිලිමත් විය යුතුය. විශේෂයෙන් නිවසට පැමිණෙන අමුත්තන්ට සුනඛයාගේ සුවඳ ප්‍රිය නොවිය හැකිය. එම නිසා නිවස ප්‍රසන්න ලෙස පවත්වාගෙන යෑමට උනන්දු විය යුතුය. ඒ සඳහා විසබීජ නාශකයක් යොදා ගෙබිම සේදීම කළ හැකිය. එමෙන්ම ඔබේ සුනඛයා පැටවකු නම් ඌ ක්‍රීඩා කරන දේවල් සහ ඇතිරිලි ආදියද සතියකට දෙවරක්වත් සෝදා පිරිසුදු කළ යුතුය. දිනපතා සුනඛයා නෑවීම වඩා සුදුසු අතර එසේ කිරීම අපහසු නම් සතියකට තෙවරක්වත් නැහැවීමට අමතක නොකරන්න.

මෙකී කරුණුවලට අමතරව නිසි කාලවකවානුවලදී සුනඛයාට ලබාදිය යුතු එන්නත් වර්ග සහ පණු බෙහෙත් ආදිය ලබාදීමටද අමතක නොකරන්න. අඩුම තරමින් මාස හයකට වරක්වත් ඔබේ සුරතල් සුනඛයා පශු වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් ලබාගැනීමද වඩාත් සුදුසුය.

 

[තුෂාරා සන්දනායක]

මාතෘකා

ජනප්‍රිය ලිපි