පිබිදෙන ලොව

 ඡායාරූපය:

පිබිදෙන ලොව

සුහුරු සුදු සැරයටිය

Smarter Cane - WeWALK

ලෝකයේ බිලියන 2.2කට ආසන්න ප්‍රමාණයක් දෘශ්‍යාබාධ සහිත හෝ අන්ධභාවයෙන් පෙළෙන අතර ඉන් බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් දෘශ්‍යාබාධ සහිත හෝ එය වළක්වා ගැනීමට තවමත් යම් හෝ අවධානයක් යොමු නොකළ පිරිසයි. මින් බහුතරයක් වයස අවුරුදු 50 ඉක්මවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහාම විශේෂයෙන් නිපදවා ඇති මෙම ස්මාර්ට් සැරයටිය (Smarter Cane) ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු තනිවම කරගැනීමට විශාල පහසුවක් වී ඇත.

WeWALK නමින් හඳුන්වන මෙම උපාංගය දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් භාවිත කරන සුදු සැරයටියටම සම්බන්ධ කළ හැකි වන පරිදි සකසා ඇත.

මෙහි ඇති අතිධ්වනි සංවේදකයක් මඟින් පපුවේ මට්ටමට ඉහළින් ඇති බාධක හොඳින් හඳුනාගෙන එම වස්තූන් ඉදිරියේදී දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ව පහසුවෙන් දැනුවත් කිරීමක් සිදුකරයි.

බ්ලූටූත් සමඟ තමාගේ ජංගම දුරකථනය හා සම්බන්ධතාවක් ඇති කරගෙන WeWALK හි ස්පර්ශකය භාවිත කරමින් ජංගම දුරකථනයේ විවිධ සේවාවන් ලබාගැනීමට හැකියාවක් පවතී.

තවද ගූගල් සිතියම හා සම්බන්ධ වී තමාට ගමන් කිරීමට අවශ්‍ය ස්ථානය වෙනත් කෙනකුගේ සහයෝගයක් නොමැතිව ඔවුන්ටම හඳුනාගැනීමට හැකිවීම ස්මාර්ට් සැරයටිය (Smarter Cane) සතු තවත් විශේෂත්වයකි. මෙම උපකරණය වර්තමානයේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා ඩොලර් 499ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

ආරක්ෂිත පාපන්දු හෙල්මටය

VICIS ZERO1 Youth Football Helmet

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙම් ලොව බොහෝ තරුණයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්ව පැවති ඇමෙරිකන් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි තරුණ සහභාගිත්වය අඩුවී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයක් මඟින් පෙන්වාදී ඇත. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ මොළයට තුවාල සිදුවීමට ඇති අවදානමයි. නමුත් වයස අවුරුදු 13ට අඩු ළමුන් අවම වශයෙන් මිලියන 1.2ක පමණ සංඛ්‍යාවක් වර්තමානය වන විටත් පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටින බව Sports and Fitness Industry Association පවසයි.

මෙම තත්ත්වය මත ඇමෙරිකන් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි තරුණයන්ගේ උනන්දුව වැඩි කිරීම සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කළ හිස්වැසුමක් හඳුන්වාදීමට හැකිවූ බව Vicis හි ප්‍රධාන විධායක නිලධාරී ඩේව් මාර්වර් පවසයි.

මෙම හිස්වැසුමෙහි විශේෂත්වය වන්නේ ඉදිරිපස හා දෙපස බල අවශෝෂණ ආධාරක සවිකර තිබීමයි. එමඟින් හිසට එල්ලවන පහරක් මොළයට හානියක් නොවන පරිදි අවශෝෂණය කරගැනීමේ හැකියාව ඉහළ බවයි පර්යේෂකයන් පවසන්නේ.

පාපන්දු හිස්වැසුම් ශ්‍රේණිගත කිරීම්වලදී මෙය පළමු ස්ථානයට පැමිණ ඇති බව Vicis හි ප්‍රධාන විධායක නිලධාරී ඩේව් මාර්වර් පවසන්නේ මහත් ආඩම්බරයෙනි.

පෞද්ගලික සර්වරය

Helm Personal Server

Google, Yahoo හි අපගේ පෞද්ගලික දත්ත ගබඩා කිරීම සිදුකළද වර්තමානය වන විට එම දත්ත සඳහා එහි ආරක්ෂාවක් තිබෙන්නේද යන්න ගැටලුවකි. ඇතැම් අවස්ථාවලදී තාක්ෂණයේ දියුණුවත් සමඟ අපගේ පෞද්ගලික තොරතුරු වෙන අය අතට පත් වූ අවස්ථා නැතුවාම නොවේ.

පෞද්ගලික තොරතුරු ඔබ සතුවම මනා ආරක්ෂාවක් ඇතුව තබා ගැනීමට Helm උපකරණය ඔබට උපකාරී වේවි. 120Gb සිට ඉහළට ධාරිතාව වැඩිකර ගත හැකි මෙම උපකරණය ඔබගේ ඊමේල් සම්බන්ධතාව හා සම්බන්ධ කර ඒ හරහා ලිපිගොනු, ඡායාරූප ආදිය පහසුවෙන් ආරක්ෂිතව ගබඩා කර තබාගත හැකි අතර ඔබට ඕනෑම ස්ථානයක සිට එහි අන්තර්ගතයට පිවිසීමේ හැකියාවද පවතිනවා.

මෙහි දත්ත සෑම විටම වෙනත් ස්ථානයක ගබඩා කර තැබීමට (Cloudහි) එය ක්‍රියාකරන අතර ගින්නකින්, ජලයෙන් හෝ හදිසි අවස්ථාවකදී විනාශ වී යෑමේදී වුවද ඔබගේ පෞද්ගලික තොරතුරුවලට හානියක් කිසිවිට සිදුනොවේ.

Butterfly iQ

තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ උපකරණ එහි ප්‍රමාණයෙන් කුඩා වීම සහ ඉන් ලබාගත හැකි ප්‍රයෝජන අතින් ඉහළ යෑමක් සිදුවේ.

වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින උපකරණවල විශාලත්වය මෙන්ම අධික මිලද ඇතැම්විට මිනිසාට බොහෝ බාධා ගෙනදෙයි. මේ කියන්නට යන්නේ ඔබ දැනට දැක ඇති ප්‍රමාණයෙන් විශාල Ultrasound scan යන්ත්‍රය වෙනුවට භාවිත කළ හැකි ඉතා කුඩා අතේ රැගෙන යා හැකි Butterfly iQ ගැනයි.

Butterfly iQ උපකරණය අතේ වෛද්‍ය වෘත්තිකයන්ට පහසුවෙන් රැගන යා හැකි අතර එය තම ජංගම දුරකථනයට සම්බන්ධ කර දර්ෙශන ලබාගැනීමේ හැකියාවද පවතී.

ඉතා පහසුවෙන් රෝගියකුගේ පෙණහලු, හදවත, වැඩෙන කලලය දෙස බැලීමට හා ඉන් රෝග විනිශ්චය කිරීමටද හැකියාවක් පවතින් අතර වෙළෙඳපොළේ ඩොලර් 1999ක් වැනි මිලකට ලබාගත හැකිය. තවද මෙහි සේවාව සඳහා මාසිකව ඩොලර් 35ක ගෙවීමක්ද සිදුකළ යුතුවේ. Food and Drug Administration මඟින් අනුමත කර ඇති මෙම Butterfly iQ උපකරණය වර්තමානයේ රටවල් 20ක පමණ භාවිත වේ.

සෞඛ්‍ය හිතකාමි පුටුව

Cosm Chair

මිනිසුන්ගේ කොඳුෙඇට පෙළෙහි හටගන්නා විවිධ රෝගී තත්ත්වයන් සඳහා ඔවුන් සිටිනා ඉරියව් හේතුවන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. ඉන් විශේෂයෙන්ම තමා රාජකාරි කරන ස්ථානයේ, නිවසේ, රූපවාහිනිය නැරඹීමේදී හෝ වෙනත් වාඩිවී සිටීමේ ඉරියවු වැඩි වශයෙන් බලපාන බව වෛද්‍යවරුන් පවසා ඇති අතර ඊට විසඳුමක් ලෙස Cosm chair හඳුන්වා දිය හැකිය.

Cosm chair මඟින් එහි වාඩිවී සිටින පුද්ගලයාගේ ශරීරයට හා ඉරියව්වට ක්ෂණිකව හැඩගැසීමේ හැකියාවක් පවතී. මෙය කිසියම් පුද්ගල ක්‍රියාකාරිත්වයකින් තොරවම සිදුවීම විශේෂත්වයකි. මෙමඟන් වාඩිවී සිටින පුද්ගලයාත් පුටුවෙහි පිටුපසත් අතර ඇති පරතරය ඉවත් කර කොඳුඇට පෙළට ආධාරකයක් සපයයි. නම්‍යශීලී ආකාරයට සාදා ඇති මෙම Cosm chair නිර් මාණය කර ඇත්තේ වාඩිවී සිටින පුද්ගලයාට බරක් නොදැනෙන අයුරිනි. මෙම Cosm chair ඩොලර් 895 සිට ඉහළට මිල ගණන්වලින් මිලදී ගත හැකිය.

වැඩිහිටි මිතුරු රොබෝ

Elderly Caring Robotics

සංවර්ධිත ලෝකයේ බොහෝ රටවල වයස අවුරුදු 65ට වැඩි පුද්ගල සංඛ්‍යා වර්ධනයක් පෙන්නුම් කරන අතර ශ්‍රම බලකායේ වර්ධනය ඉන් වේගවත් නොවන බව පර්යේෂකයන් පෙන්වා දෙයි. 2030 පමණ වන විට එක්සත් ජනපදයේ පමණක් වැටුප් ගෙවන සේවකයන්ගේ හිඟය 150,000 ඉක්මවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවයි. මේ සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරුන් යොදා ගැනීමේ සූදානමක් පවතී.

Akara Robotics යනු රැකවරණ මධ්‍යස්ථාන සඳහාම නිපදවා ඇති රොබෝවරයෙකි. මෙම රොබෝ මිත්‍රශීලී මුහුණුවරකින් යුක්ත වන අතර ක්‍රීඩා කිරීමට විවිධ ද්‍රව්‍ය බෙදා හැරීමට වීඩියෝ කතාබස් සඳහාද මනා හැකියාවක් පවතී.

පර්යේෂකයන් විශ්‍රාමික ප්‍රජාව යොදාගෙන කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ මෙම රොබෝවරුන් සමඟ වැඩිහිටියන් කාලය ගත කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවයි. ඒ හොඳින් සවන්දීමේ හැකියාව හා ඔවුන් සමඟ විනෝදාස්වාදයෙන් කාලය ගත කිරීමට රොබෝවරුන්ට හැකි වීමයි.

ඉරුවාරදයේ තතුකියන පළඳනා

Zapping Migraines

Theranica Nerivio

ඉරුවාරදය යනු අද වැඩි වශයෙන් පවතින රෝගී තත්ත්වයකි. ඉරුවාරදය තමන්ටම හඳුනාගෙන ඊට පිළියම් යොදා ගැනීමට හැකිනම් කාර්යබහුල ජීවිතයේදී එය මනා පිටිවහලකි.

Theranica Nerivio යනු ඊට කදිම විසඳුමකි. මෙය අතේ පැලඳ ගැනීමෙන් තමාට ඉරුවාරදය පවතින්නේද නැද්ද යන්න මනාව හඳුනාගෙන වෛද්‍යවරයකුගේ ඖෂධ නිර්දේශයකට යොමුවිය හැකිය. ජංගම දුරකථනයේ මෘදුකාංගයක් හා බ්ලූටූත් මාර්ගයෙන් මෙම උපකරණය සම්බන්ධ වී ඔබගේ සෞඛ්‍ය දත්ත ලබාගැනීමට හැකිය. Food and Drug Administration මඟින් අනුමත කර ඇති මෙම උපකරණය ඩොලර් 99ක් වැනි මුදලකට මිලදී ගත හැකිය. නිතරම ඉරුවාරදයෙන් පීඩා විඳින කෙනකු හට සෑම විටම වෛද්‍යවරයකු මුණගැසීමට නොයා තමන්ටම රෝගී තත්ත්වය නිර්ණය කරගැනීමට මින් හැකියාවක් පවතී.

නැවුම්බව සුරකින ආලේපය

Food Fresh Apeel

වෙනත් පලතුරු වර්ගවලට වඩා ඉතා ඉක්මනින් නරක්වීමට ලක්වන පලතුරක් ලෙස අලිගැටපේර හඳුන්වාදිය හැකියි. දැනට මුළු ඵලදාවෙන් 40%ක් පමණ අපතේ යෑමක් සිදුවේ.

මෙයට විසඳුමක් ලෙස Apeel Sciences මඟින් නැවුම් පලතුරු මෙන්ම එළවළු වර්ග සඳහා ශාකවලින්ම ලබාගත් ආලේපනයක් නිපදවා ඇත. මෙමඟින් පලතුරු හෝ එළවළුවල ඉදීමේ ක්‍රියාවලිය මන්දගාමී වන අතර දිගු කාලයක් පැවතීමට හේතුවේ. Apeel Sciences පවසන පරිදි මෙම ආලේපනය මඟින් පලතුරු හෝ එළවළුවල ආයු කාලය දෙගුණයක් හෝ තුන්ගුණයක් වන බවයි. විශේෂයෙන්ම ඉතා ඉක්මනින් නරක් වන පලතුරක් වන අලිගැටපේර සඳහා මෙය ඉතා සාර්ථක වූ බව ඔවුන් පවසන අතර තවත් බොහෝ පලතුරු හා එළවළු වර්ග සඳහාද අත්හදාබැලීම සිදුකරගෙන යයි.

අධිබල විදුලිපැදිය

Extra-Powerful Electric Bicycle

අප රටේ පාපැදිවලින් ගමන් කිරීම ඉතා අඩු මට්ටමක පැවතියද දියුණු රටවල පරිසර හිතකාමීත්වය හා ශරීර සෞඛ්‍ය උදෙසාම බොහෝ පිරිස එදිනෙදා ගමන් සඳහා පාපැදි භාවිත කරති.

මේ කියන්නට යන්නේ සාමාන්‍ය පාපැදිවලින් වෙනස් අතිරේක විද්‍යුත් බලයක් සහිත පදිකයාගේ පරෙස්සම ගැන සිතා නිපදවන ලද පාපැදියක් ගැනයි.

VanMoof Electrified S2 පාපැදියේ උපරිම වේගය 20 m.p.h. වන අතර සම්පූර්ණ ආරෝපණය කිරීමෙන් සැතපුම් 37ක දුරක් ගමන් කළ හැකිය. තවද මෙය ගෘහස්ථ විදුලියට සම්බන්ධ කිරීමෙන් ආරෝපණය කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි.

LED තිරයකින් අවශ්‍ය දත්ත ලබාදෙන අතර තමන් ගමන්ගන්නා වේගය, හරවන ලද දිශාව ආදිය ඉන් පෙන්නුම් කරයි. ආරක්ෂාව සඳහා මෙය නිෂ්පාදනයේදී වැඩි සැලකිල්ලක් දක්වා ඇති අතර ජංගම දුරකථනය ආශ්‍රයෙන් පාපැදිය ලොක්(අගුළු දැමීම) කිරීමක් කළ හැකිය.

කන්දක් වැනි අපහසු අවස්ථාවකදී ටර්බෝ බොත්තම මඟින් වැඩි ශක්තියක් ගමනට අවශ්‍ය පරිදි ලබාගැනීමට හැකිවීමද මෙහි තවත් විශේෂත්වයකි. මෙවැනි හේතූන් නිසා VanMoof Electrified S2 පාපැදිය සඳහා ඉල්ලුම දිනෙන් දින වැඩිවන බව එම සමාගම පවසයි.

වාතයෙන් - ජල ජනකය

Watergen GENNY

ජලය යනු මිනිසාගේ ප්‍රමුඛ අවශ්‍යතාවකි. ආහාර නොමැතිව ටික දිනක් ජීවත් වුවද ජලය නොමැතිව එසේ සිටිය නොහැකිය. ලොව කොතරම් ජලය තිබුණද ප්‍රයෝජනයට ගැනීමට හැකි සීමාව ඉතා අල්පය.

මීට විසඳුමක් වශයෙන් Watergen GENNY නිපදවීමට ඊස්‍රායල් සමාගමක් සමත්වී ඇත. බැලූ බැල්මට කාර්යාලයීය ජල සිසිලනකාරකයක් ලෙස පෙනෙන මෙහි ක්‍රියාකාරීත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. සංසරණය වන වාතය ආශ්‍රයෙන් ජලය නිපදවීමක් සිදුකිරීමේ හැකියව මෙය සතුය. මේ සඳහා ජලය පිටතින් අවශ්‍ය නොවන අතර විද්‍යුත් ශක්තිය හෝ හිරුඑළිය පමණක් ප්‍රමාණවත්ය. විදුලිය නොමැති ස්ථානයක පවා මෙය පහසුවෙන් හිරුඑළිය උපයෝගී කරගෙන ක්‍රියා කරවීමේ හැකියාව ඇති අතර එක GENNY ඒකකයකට 7gal නිපදවීමේ හැකියාව පවතී. මෙමඟින් අපිරිසුදු වාතය පවතින පරිසර තත්ත්වවලදී වුවද පිරිසුදු ජලය ලබාගැනීමට හැකිය.

ස්වභාවික ආපදාවකදී, යුද්ධයකදී, නියඟයකදී ආදී අවස්ථාවලදී මෙය බොහෝසෙයින් ප්‍රයෝජනවත් වන අතර ඔබට නිවෙසේදී භාවිත කිරීමට ඩොලර් 1500ක පමණ මුදලකට ලබාගැනීමේ හැකියාවද පවතී.

[ගයාන් සංජය]

News Order: 
4
මාතෘකා