ආතුරයා යකා නැටූ තොවිල් පොළේ විත්ති

 ඡායාරූපය:

ආතුරයා යකා නැටූ තොවිල් පොළේ විත්ති

මන්තර ගුරුකම් පිළිබඳව වන ගැමි විශ්වාසයන් අනාදිමත් කාලයක සිට මෙරට සමාජය තුළ මුල් බැසගෙන තිබේ. මේ කටයුතු අරබයා අපේ ගම්බිම්වල ඇති විශ්වාස රැසකි. දෙහි කැපීම, හදි හූනියම්, ඇස්වහ මැතිරීම ආදී දහසකුත් කටයුතු කෙරෙහි යන්ත්‍ර මන්ත්‍ර භාවිත විය. මේ සඳහා නම ගිය ඇදුරන් අපේ ගම්බිම්වල එකල හිඟ නොවීය. නමුත් මේ ඇදුරෝ දහස් ගණන් මිල ගෙවා ඉරිදා පුවත්පත්වල දැන්වීම් පළකළ අය නොවෙති. ඔවුන්ගේ සැබෑ වුවමනාව වූයේ ගැමි සමාජය සුවපත් කිරීමයි. නමුත් අතැම් අවස්ථාවන්හිදී කෙනකුට විපත් කිරීමේ අරමුණෙන් යුතුව හදි හූනියම් කටයුතුවල නිරත වූවන්ද නැතුවම නොවේ. මේ යකැදුරන්ගේ කියුම් කෙරුම් පිළිබඳව මම උනන්දු වූයේ පාලින්දනුවර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ රැකියාවට ගිය මුල් කාල සීමාවේදීමය. කල් යෑමත් සමඟ ඔවුන්ගේ නිවෙස්, දේවාල මට හුරුපුරුදු තැන් බවට පත් විය. වරෙක ඔවුන්ගේ කටයුතු හාස්‍ය රසය දනවයි. තවත් වරෙක ඒවා තුළ සැඟව ඇත්තේ පරිසරය පිළිබඳව ඔවුන් තුළ ඇති ගෞරවයයි. ඇතැම් අවස්ථාවන්හිදී මේ කටයුතු ඔස්සේ පිළිබිඹු වන්නේ සිය ඥාතියා, අසල්වැසියා කෙරෙහි ඔවුන් තුළ ලෙන්ගතු බවයි.

"අනේ හැන්ඩි අයියේ අපේ පොඩි එකීට ඇස්වහ කටවහ වතුර ඩිංගක් මතුරල දෙහි ඩිංගිත්තක් කපා දියන්. ඒකිට හැම එකාගෙම අඬෝවැඩියාව" ගැමි ගැහැනියක් තම දූ සිඟිත්තට සිදුව ඇති වින්නැහිය එකල අපේ ගමේ යකැදුරකු සේ පරසිදු හැන්ඩි මාමාට පවසන්නීය. මේ කටයුත්තේදී ඊට අවැසි දෙහි දීමට බොහෝ ගැමි ගැහැනු මැලිවෙති. දෙහි කැපීමට දෙහි කැඩූ පසු ගස මිය යන වගට විශ්වාසයක් එකල අපේ ගම්බිම්වල විය. "අර සොපියගෙ කෙල්ලට දෙහි කපන්න දෙහි කඩන් ගියා විතරයි. යස අගේට තිබුණු දෙහි ගහ හේබෑවිලා ගියා. අන්න දැං ඒක ඉවරයි." යනුවෙන් සිය දෙහි ගස මිය යෑමේ පුවත් එකල අපේ ගම් දොරවල්වල ගැහැනුන්ගේ මුවින් ඉඳහිට අසන්නට ලැබේ.

යම් යම් අපල උපද්‍රව සඳහා සුරයක් පැළඳීම එකල ගැමියන්ගේ සිරිතකි. මා කුඩා කල දිනක් අම්මා මාගේ වේලාපත්කඩය පිරික්සා බැලුවේ අපේ ගමේ එකල සිටි පරසිදු දෛවඥයකු වෙතිනි. මා හට ඇති අපල උපද්‍රව පිළිබඳව අම්මාට පහදා දුන් ඔහු මට සුරයක් ලෑමෙන් ගුණ ලැබිය හැකි බව පවසා තිබේ. ඒ අනුව කටයුත්ත ලක ලෑස්ති කෙරිණ. දිනක් රාත්‍රිය පුරා යන්ත්‍ර මන්ත්‍ර කියා පසුදා උදෑසන මගේ බෙල්ලේ සුරයක් එල්ලීමට යකැදුරා කටයුතු කළේය.

"කිලි අහුවෙන්න එහෙම කොහෙවත් යනවා නෙවෙයි. සතියක් යනකම් හොඳහැටි ප්‍රවේශම් වෙන්න වෙයි. මළ ගෙදරක යනවා නම් බුදු පහන ගාවින් සුරේ ගලවලා තියලා යනවා හොඳයි. ආපහු ඇවිත් නා කියාගෙන පළඳින්න ඕනෑ."

ඔහුගෙන් මට උපදෙස් මාලාවක් ලැබිණ. සතියක් යන තුරු මමද ඒ බසට අනුකූලවම කටයුතු කළෙමි. දිනක් කොලු නඩයක් මාළු ඇල්ලීමට සූදානම් වූහ. නොවරදින ආරාධනය මටද ලැබිණ. මම මුවින් වදනකුදු නොදොඩා කටයුත්තට හවුල් වූයෙමි. කටයුත්ත අවසානයේ මම යළි නිවසට පැමිණියෙමි. නමුත් සිදුව ඇත්තේ අලි ඇබැද්දියකි. සුරයේ විල්ල පමණක් කළු පැහැ නූලෙන් බෙල්ලේ එල්ලී ඇත. එහි කොපුව හැලී ගොසිනි.

"උඹට අනන්ත කිව්වා කිලි අහුවෙන්න යන්න එපාය කියලා. කෝ කිව්ව දේ ඇහුවයැ. කියන දේ නාහන එකා ඉහළ ගියත් එකයි. පහළ ගියත් එකයි."

සුරයේ විල්ල දුටු අම්මා දොස්මුරය ඇරඹුවාය. ඒ සුරයේ කතාව එතැනින් අහවර විය.

චූලරත්න කට්ටඩි තැන මා දැන හඳුනා ගන්නා විට ඔහු දශක අටකට වඩා වැඩි ජීවිත අත්දැකීම් ඇත්තෙකි. හෙතෙම අනවින කොඩිවින සඳහා නම ගිය අයෙකි. මේ නිසාම ඔහුගේ නිවසට යෑමට ඊමට පවා ගැමියෝ මැලි වූහ. තමා විසින් කළ කොඩිවිනයක් පිළිබඳව වගතුග දිනක් ඔහු මා සමඟ පැවසීය. මේ කටයුත්තට මුල් වූයේ ඔහුට අයත් මී ගවයන් කිහිපදෙනකු පිළිබඳ සිදුවීමකි. යම්කිසි අයකු ඔහුගේ මී ගවයන් කැත්තෙන් කපා තුවාල කර තිබිණ. ඒ තමා සමඟ වන ආරෝවක් පිරිමැසීමට වග කට්ටඩියාගේ කන වැකිණ. ගවයන්ට තුවාල කළ තැනැත්තාට යස පාඩමක් ඉගැන්වීමට සිතූ හෙතෙම වෙල් යාය පුරා පිරික්සා නයි හැවක් සොයා ගත්තේය. ඒ කොඩිවිනයට අවැසිවූවකි. අනතුරුව දලුක් කිරිත් නැවුම් මුට්ටි පොඩියකුත් රැගෙන විත් කටයුත්ත සූදානම් කළේය. ගවයන්ට ආරෝව කළ තැනැත්තාගේ පිය සටහන වැදි තැනකින් ඔහුට හොරා පස් රැගෙන ආ කට්ටඩියා ඒවා දලුක් කිරෙන් අනා මැටි මුට්ටියේ බහා එකසිය අටවරක් අදාළ මැතිරීම් කටයුතු කළේය. අනතුරුව ඒ කුඩා මුට්ටිය දුමෙහි එල්ලා තැබිණ. දින කිහිපයකට පසු මුට්ටියේ වූ දළුක් කිරි වේලී එහි වූ පස් මුට්ටිය තුළම පැලි වළං පැළුණා සේ විය. ඒ මැටි පැළුණා සේම ගවයන්ට හිරිහැර කළ පුද්ගලයාගේ දෙපා පැලී ඕජස් ගලන්නට විය. කොඩිවිනය කපන්නට විවිධ පෙදෙස්වලින් යකැදුරෝ පැමිණියහ. නමුත් කටයුත්ත සාර්ථක නොවීය. අවසානයේ කොඩිවිනය කළ යකැදුරාම කටයුත්ත නිම කළේ එතෙක් හිතේ පැවති ආරෝව සමනය කරගනිමිනි.

අපේ ගම්මානයන්හි සිදු කෙරෙන දහසකුත් එකක් කටයුතු සඳහා යකැදුරන්ගේ සහාය ලැබීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. පාලින්ද නුවරට අධිගෘහිතව වැඩ වාසය කරන මාකෙළි දෙවියනුත් ඒ හා බැඳි වතාවනුත් මේ ගම් දනව්වල පැතිර ඇත්තේ යකැදුරන්ගේ මුල් වීමෙනි. අතීතයේ පාලින්දනුවර ප්‍රදේශාධිපතියාව විසූ වීදිය බණ්ඩාර මරනින් පසු යක්ෂාත්මයක උපන් වගට ගැමි විශ්වාසයක් විය. වීදිය බණ්ඩාර එකල මේ පෙදෙසෙහි වැඳුම් පිඳුම් සඳහා මුල් වූයේ යක්ෂාත්මයක් ලෙසිනි. පසු කලෙක මෙම පෙදෙස්හි විසූ යකැදුරෝ වීදිය බණ්ඩාර යක්ෂාත්මයක නොව දේවාත්මයක උපන් වග පවසමින් මාකෙළි දෙවියන් උදෙසා පුද සත්කාර කළහ. මාකෙළි ඇල්ල ආසන්නයේ වන මාකෙළි දෙවියන් උදෙසා වතාවත් සිදු කරන නුග ගසත්, මාකෙළි ඇල්ල ආශ්‍රිතව වර්ෂයක් පාසා සිදු කෙරෙන දිය කැපීමේ උත්සවයක් මේ වගට දෙස් දෙන කරුණු කාරණාය. අදටත් පාලින්දනුවර ආශ්‍රිත දේවාල හතකදී මේ පුද සත්කාරයන් වාර්ෂිකව සිදු කෙරෙන්නේ යකැදුරන්ගේ මුල් වීමෙනි.

යකැදුරන් නිසා ගම්මුන්ට සිදුවූ හෙයියම්මාරුත්, ආතුරයන් නිසා යකැදුරන්ට සිදු වූ අකරතැබ්බත් අපේ ගම්මානයන්හි හිඟ නොවේ. වරක් කොස්ගුලන ප්‍රදේශයේ එක්තරා ගැමි නිවෙසක විසූ ආතුරයකු වෙනුවෙන් තොවිලයකට කටයුතු සූදානම් කෙරිණ. බුලත්සිංහල පරගොඩ නැමති ගමෙන් නියමිත දින ආතුරයාගේ නිවසට පැමිණි යකැදුරෝ කටයුතු සූදානම් කිරීමට මත්තෙන් හොඳහැටි මධු විතෙන් සප්පායම් වූහ. අනතුරුව නිවැසියන්ගේ ආදර සංග්‍රහයන්ද භුක්ති විඳ තොවිලයේ කටයුතු ඇරඹූහ. ආතුරයාද එසේ මෙසේ එකකු නොව අඩව්, කස්තිරම් පා පෝරක හතෙන් වැටී පොල් පිති හත පසුකළ මිනිසෙකි. මධුවිතෙහි අනුහස නිසාම යකැදුරන්ගෙන් තොවිලයේ කටයුතු හරි හැටි ඉටු නොවනා වග ආතුරයාට අවබෝධ විය. තවත් මොවුන්ට සාත්තු සප්පායම් කිරීමත් මුදල් හදල් දීමත් නොමැනවයි සිතූ ආතුරයාගේ සිතට මනා අදහසක් උපන්නේය. හෙතෙම ආවේස වූ ලීලාවෙන් නැඟී සිටියේය. තමා ඉදිරියෙහි වූ තොවිලයේ කටයුතු උදෙසා යොදා ගත් පුවක් මලක් දෑතට ගත්තේය. හිස වටයක් දෙකක් කරකැවීය. අනතුරුව තමා ඉදිරියෙන්ම සිටි යකැදුරාගේ නළලට දෑත බදා පුවක් මලෙන් පත බෑවේය. කට්ටඩියාගේ නළල පැලී ලේ ගලන්නට විය. මේ ආවේශ වීම එතකින් හමාර නොවීය. ආවේස ලීලාවෙන්ම නිවසේ සඟවා තිබූ කඩුවක් සැනෙන් අතට ගෙන යකැදුරන් පසු පස අඹන්නට විය. තොවිලයේ කටයුතු අතරමග නවතා ලූ යකැදුරෝ හිස් ලූ ලූ අත දිව ගියහ. රාත්‍රී කාලයේ ඝන අඳුර මැද දිව ගිය බැවින් යකැදුරන්ගේ පා බැඳි පා සලං ආදී ආභරණ සී සී කඩ විසි විය. ඇතැමකු පා ලූ පා සලං සමඟම පුවක් ගස් මත බඩගාන්නට විය. මේ අතර සිටි පේමන් කට්ටඩියා දිව ගොස් ගඟට පැන්නේය. රාත්‍රී කාලය බැවින් ගඟේ ඉහළ පහළ තෝරා ගැනීමටද හෙතෙම අපොහොසත් විය. මේ සිදුවීම එවකට මෝල්කාවේ සිටි "යකා මහත්තයා" නමින් පරසිදු පුද්ගලයාගේ කන වැකිණ. ගමේ වන මෙබඳු සිදුවීම් අළලා කවියක් දෙකක් ගෙතීම ඔහුගේ සිරිතකි. හෙතෙම මේ සිදුවීම මුල්කර ගනිමින් කවි කිහිපයක් නිමැවීය. මෝල්කාවේ ලලිත් ඒ අතරින් කවියක් දෙකක් මතකයේ ඇති අයෙකි.

"කාලා මුං මගෙ සම්බ හාලෙ බත - බොන්නට දුන්නේ වෙරි වෙන මධු විත

කරපු තොවිලෙ තොපි කිසියම් පල නැත - කියමින් ආතුර කඩුවක් ලෙලවත",

"ගහන බෙරේ පද ගුඳ ගත නද දෙති - පේමන් කට්ටඩි හිටගෙන වෙවුලති

ආතුර දෑතේ මල් මිට ලෙළ දෙති - කොතැන දුවම්දැයි යකැදුරු සිත් නැති"

"බැන්ද ගෙජ්ජි හඬ කඳු මුදුනෙ ඇසේයා - බැන්ද පබළු වැල් උණ පඳුරෙ දිලේයා

ඉන බැඳි බෙර කොට අරඹෙ වැටේයා - යකැදුරු බල සැනකින් සුන් වේයා"

"වුවහොත් තව කල් මෙතැන වසන්ටා - වන්නේ කඩුවෙන් ගෙල සිඳ ගන්ටා

අඳුර දෙබෑකර පැන්නේ ගඟටා - කල්පන කෙරුවා වුණ සේ අපටා”

යනු මෙකී සිදුවීම අලලා යකා මහත්තයා විසින් ගොතනා ලද කවි කිහිපයකි.

වරක් යකැදුරකු කළ හෙයියම්මාරුවක් පිළිබඳ විත්ති මට පැවසුවේ පැළඳි ගම්මානයේ ගැමියෙකි. ඔහුගේ ගමට අසල්වැසි ගමක තරමක ධනවතෙක් විසීය. දිනක් යකැදුරකු ඔහු සොයා ආවේ ඔහුට වාසිදායක ආරංචියක්ද සමඟිනි.

"ඔන්න මහත්තයෝ කරනවා නම් වැඩක්. ආයෙ ගලේ කෙටුවා වගේ ප්‍රතිඵල සහතිකයි." හෙතෙම කථාව ඇරඹීය.

"මහත්තයට කියන්න මහත්තයෝ; පහළ ඔයේ තියෙනවා තරමක ගල් කුළක්. ඕකෙ තියෙන සලකුණ මම දෑහින් දැක්කා. සැකයක් නෑ. ඔතන තියෙන්නේ මැණික්. එදා වීදිය බණ්ඩාර රජ්ජුරුවෝ වස්තුව හංගපු වෙලාවේ තමයි ඔතන මැණික් තැන්පත් කරලා තියෙන්නේ. ඕක ආයෙ මේ පළාතෙ ගන්නවා නම් ඉතින් මහත්තයාම තමයි." යනුවෙන් පැවසීය. බැලූ බැල්මටම මේ හත් වාසියම ඇති යෝජනාවකි. ඒ අනුව 'මහත්තයා' කටයුත්තට එකඟ විය. දොළෙහි වූ ගල් කුලද පිරික්සා බැලිණ. යකැදුරා පවසන පරිදි එහි සලකුණක්ද ඇත. නමුත් පරහකට ඇත්තේ මෙහි නිදන් සෙවීමට යෑමෙන් කටයුත්ත ගම්මුන්ගේ ඇස්වර ගැටීමයි. මහත්තයාට ගණ දෙවි නුවණ ලැබිණ. ඒ අනුව ගල් කුල; කප්පියක ආධාරයෙන් දොළ දිගේ; දොළ අද්දර වූ මහත්තයාගේ ඉඩමකට ගෙන යෑමට යකැදුරාත් මහත්තයාත් කතිකා කර ගත්හ. අවසානයේදී සැමට හොර රහසේම ගල වත්තට ගෙනයෑමට දෙදෙනා සමත් වූහ. දැන් එළැඹ ඇත්තේ යකැදුරාගේ වාරයයි. ඒ අනුව හෙතෙම කටයුත්ත ආරම්භ කළේය. නිධානය පාදා ගැනීම පිණිස ඉටු කළ යුතු පිළිවෙත් මෙන්ම පුද පූජාවන් සඳහා අවැසි පූජා භාණ්ඩත් යකැදුරාගේ විය පැහැදමුත් මහත්තයාගෙන් ලැබිණ.

දින සති බවට පත්ව මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියේය. යකැදුරා මේ කටයුත්ත අහවර කරන සැටියක්ද නොපෙනේ. මීය කඩා අත ලෙවකා ගැනීමට මහත්තයාද සූදානම් නැත. අවසානයේදී මහත්තයාත් කට්ටඩියාත් උරණ වූහ. එන පොට හොඳ නැති වග තේරුම් ගත් කට්ටඩියා කොට්ටයටද නොකියාම ගමෙන් පළා ගියේය. මහත්තයා තවත් කිපුණේය. තමා රවටා පලා ගිය කට්ටඩියාට යස පාඩමක් උගන්වා හෙතෙම ආණ්ඩුමට්ටු කළ යුතු යැයි සිතූ මහත්තයා ප්‍රදේශයේ නම ගිය වෙනත් ඇදුරකු සොයා ගියේය. නමුත් මේ නව යකැදුරා ඉදිරියේ තමාට සිදුව ඇති වින්නැහිය හෙළි කිරීමට මහත්තයාගේ සිත් නොදේ. මේ වග විත්ති පිළිබඳව ගමේ පැතිරුණහොත් තමාගේ සායම අහවර වග මහත්තයා හොඳින් දනී.

'අනේ කට්ටඩි උන්නැහේ, මේ දෙහි ඩිංගිත්තක් කපා ගන්න උඹට ඉවර තියෙන දොහක අපේ දිහා ඇවිල්ලා පලයන්කෝ.' යනුවෙන් මහත්තයා වදන් ගැළපීය.

ඇදුරාගෙන් උපදෙස් ලැබිණ. ඒ අනුව අවැසි කටයුතු සූදානම් විය. නියමිත දිනය එළැඹිණ. ඇදුරා මහතැනගේ නිවසට පැමිණියේය. මහත් භක්තියෙන් මේ නව ඇදුරාව පිළිගත් මහත්තයා ඇදුරාගේ ඕනෑ එපාකම් පිරිමසා සියල්ල සම්පාදනය කළේය. දැන් දෙහි කැපීමේ කටයුත්ත සඳහා සියල්ල සූදානම්ය.

‘එහෙනම් මහත්තයෝ ආතුරයාව එක්කරගෙන ආවනම්' යනුවෙන් ඇදුරාගෙන් උපදෙස් ලැබිණ. මහත්තයා හීන් සීරුවේ ඇදුරා වෙත ළං වීය. දෙතොල් සෙමෙන් සොලවා සිතෙහි නැඟි අදහස ආයාසයෙන් වචන බවට පෙරළීය.

"ගුරුන්නාන්සේ, මෙහේ ඇති ආතුරයෙක් නෑ. ආං ගේ පිටිපස්සේ ගල්ගෙඩියක් තියෙනවා. ඔය දෙහි කපන්ඩ ඕනෑ ඒ ගල් කුලට. ඒකෙ තියෙන නිධානෙ මතුකර ගන්ට."

මහත්තයාගේ මුවින් නික්මිණ. ඇදුරා ජීවිතයේ පළමුවරට සිය දෙසවන් විශ්වාස නොකළේය. තුෂ්නිම්භූතව මහත්තයා දෙස බලා සිටියේය. මහත්තයා තමාට සිදුව ඇති විලැම්බෑසිය වචනයකුදු නෑර ඇදුරාට පැවසීය. මේ නම් කිසිසේත් ඉටු කළ නොහැකි ඉල්ලීමකැයි කියූ ඇදුරා කටයුත්ත නවතා දෙපය ඉක්මන් කළේ මෙතැන තවත් රැඳී සිටීමෙන් මොන විජ්ජුම්බරයක් තම හිස වැටේදැයි යන සිතිවිල්ලෙනි.

අවසානයේ මහත්තයාම කටයුත්ත ඉටු කළේය. ගල් කුලු ගැසීමට සමතුන් දෙදෙනකු සොයා ගත් හෙතෙම කටයුත්ත ඔවුනට පැවරීය. ගල් කුල කුඩා කැබලි වන සේ කුලු ගැසූ මුත් එහි වූ නිධානයක් නම් නැත. ගල් කුලේ වූ සලකුණ කාලාන්තරයක් පුරා එය දිය දහරාව සමග ගැටීමෙන් ඇති වූවකි. කරුණු අවබෝධ වන විට තමා පමා වී වැඩි වග වටහා ගත් මහත්තයා කිසිවක් නොවූ සේ කටයුතු කළේය. හෙතෙම මේ සිදුවීම සඟවන්නට කොතරම් වීර්ය කළද ඒ සියල්ල ගඟට ඉනි කැපුවා බඳු විය. මේ වග විත්ති කඩ පිල්වල ගැමියන්ගේ මුවට නැඟෙන රසබර ඕපාදූපයන්ට වෙන්වන කාලය තවත් පැයකින් හමාරකින් දීර්ඝ කරන්නට විය.

මෙබඳු සිදුවීම් එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් අපේ ගම් බිම්වල සිදුවනු ඇත. එදා විසූ යකැදුරන් සෑමවිටකම පාහේ ගැමි ජනයාට මානසික සුව සහනය ගෙන ඒම පිණිසම කටයුතු කළහ. එකී කටයුතු සිදුකිරීමට මේ යකැදුරෝ ඉදිරිපත් වන්නේ කාසි ගැන බලාපොරොත්තුවකින් නොවේ. නමුත් අසීමිත තණ්හාවෙන් යුතු කෑදර මිනිසුන් ගැමි සමාජයට පැමිණීමත් සමඟ එදා ගැමි සමාජය සුවපත් කළ, ගැමි සිත්හි ව්‍යාධීන් දුරු කළ යකැදුරන්ගේ කටයුතුවලට කන කොකා හැඬීය. එබැවින් මේ යකැදුරන් සතුව තිබූ සම්ප්‍රදායික ඥානය ගැමි සමාජයෙන් ඉවත්ව යන්නට විය. අද මේ ගම් බිම්වල පවා ශේෂව ඇති එකී ඥානය එය දරා සිටින්නවුන්ගේ අභාවයත් සමඟ මේ ගම්මානවලට පමණක් නොව සියලු ලක්වාසීන්ටද අහිමිව යනවා ඇත.

සටහන [දුමින්ද ජයවර්ධන]

කාටුන් නිර්මාණ [සමන් කුමාර]

News Order: 
5
මාතෘකා