ලංගම සමඟ අමරණීය වූ අනිල් මුණසිංහ

අපේ රටේ  බස් හදලා  චීනයට  අලෙවි කරන්න සැලැස්මක් තාත්තට තිබුණා   විනෝද් මුණසිංහ ඡායාරූපය:
.අපේ රටේ බස් හදලා චීනයට අලෙවි කරන්න සැලැස්මක් තාත්තට තිබුණා විනෝද් මුණසිංහ

ලංගම සමඟ අමරණීය වූ අනිල් මුණසිංහ

අප රටේ පොදු ප්‍රවාහන සේවය දුම්රිය හා බස් රථ සේවයයි. නමුත් දිවයිනේ වෙරළබඩ මධ්‍යය කඳුකරයේ සීමිත කොටසකට දුම්රිය සේවය සීමා වී ඇත. ඒ අනුව මුළු මහත් රටේම ව්‍යාප්තව ඇති පොදු ප්‍රවාහන සේවය වනුයේ බස් රථ සේවයයි. වර්තමානයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මෙන්ම පෞද්ගලික අංශයේ බස් රථ ද මෙම සේවයට එක් වී ඇත. නමුත් මහජනතාවට සේවයක් සැපයීම තම අරමුණ කරගනිමින් ක්‍රියාත්මක වනුයේ ලංගම බස් රථ සේවයයි. පෞද්ගලික අංශයේ බස් රථ සෑම විටම ලාභය පදනම් කොටගෙන තම සේවය ලබා දීමට උත්සුක වෙයි.

අප රටේ පෞද්ගලික ප්‍රවාහන සේවය දෙස බලා නොයිඳ හැත්තෑව දශකයේ ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පෙරළියක් සිදුකර ඇත. එය ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්වර්ණමය යුගය බව අප පොදු ජන පිළිගැනීමයි. ලංගමයේ ඒ ස්වර්ණමය යුගය ගැන කතාකරන විට සියලු ලාංකිකයන්ගේ මතකයට නැඟෙනුයේ අනිල් මුණසිංහ මහතාවේ. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු, තානාපතිවරයකු වශයෙන් ඉටු කළ මෙහෙවරට වඩා ලංගමයේ සභාපතිවරයා ලෙස සිටි කල ඉටුකළ මෙහෙවර පක්ෂ විපක්ෂ භේදයෙන් තොර ජනතාවට වඩාත් සමීප වී ඇත. අනිල් මුණසිංහ මහතා ලංගමය ගොඩනැඟූ ආකාරය ගැන එතුමාගේ පුත් විනෝද් මුණසිංහ මහතා සමග “රැස” පුවත්පත විශේෂ සාකච්ඡාවක් සිදු කළේ පාඨක ඔබ වෙනුවෙනි.

සාකච්ඡාව අරඹමින් තම පියා පිළිබඳ මතකය අවදි කරමින් විනෝද් මහතා පැවසුවේ “අපේ තාත්තාට අපි පුංචි කාලේ නිතර අපිත් එක්ක ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. තාත්තව නිතර ගෙදරදී දකින්න ලැබුණේ නැහැ. තාත්තට ගෙදර වුණේ අගලවත්ත ආසනයයි.”

1956 සමාජ පෙරළියකට මුල් වුණු මහ මැතිවරණයේදී ලංකා සම සමාජ පක්ෂ අපේක්ෂකයා ලෙස අගලවත්ත ආසනය ජය ගත් අනිල් මුණසිංහ මහතා මියයන තෙක්ම පස්දුන් කෝරළයේ ජනතාවගේ අසහාය ජන නායකයා බවට පත් විය. කොළඹ උපන් අනිල් මුණසිංහයන් පස්දුන් කෝරළයට මෙතරම් සමීප වූ අයුරු අපි විනෝද්ගෙන් පළමුවෙන්ම විමසුවෙමු. එහිදී ඔහු මෙසේ පැවසීය.

“මගේ තාත්තාට ජනතා සේවය ජාතික චින්තනය ඔස්සේ ඇඟට කාවැදී තිබුණා. තාත්තගේ ආච්චි අනගාරික ධර්මපාල තුමන්ගේ නැඟණියක්. එංගලන්තයේ ඉගෙනීම අවසන් කළ තාත්තා නීතිඥයකු විදිහට ලංකාවට ඇවිත් ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වෙනවා. 1954 අවුරුද්දේ අගලවත්ත මොහොමදියා වත්තේ කම්කරු සටනකට නායකත්වය දෙන්න පක්ෂ නියෝජිතයෙක් විදියට තාත්තා මුලින්ම අගලවත්තට ගියේ. ඒ සටනේදී ලැයිම් කාමරවල ජීවත් වුණු කම්කරුවොත් එක්ක එක පැදුරේ නිදාගෙන ඔහු දුන් නායකත්වය ගැන ඒ ප්‍රදේශයේ මිනිස්සු පුදුම විදිහට පැහැදිලා. 1956 මැතිවරණයට තාත්තා අගලවත්ත ආසනයට ඉදිරිපත් කරන්න කියලා පක්ෂයට ලොකු බලපෑමක් කරලා. ඒ පසුබිමත් එක්ක තමයි තාත්තා අගලවත්ත ආසනයට යන්නේ.”

නැවත 1964 සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මන්ත්‍රීවරයකු වූ අනිල් මුණසිංහයන් ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ අතර එහිදී ඔහුගේ මන්ත්‍රී ධුරය 1967දී ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමක් හේතුවෙන් කෙටි කලකදී අහිමි විය. ප්‍රවාහන ඇමතිවරයා ලෙස තම පියා කටයුතු කරන විට විනෝද් තරුණයෙකි. ඒ වකවානුව ගැන තම මතකය ඔහු මෙසේ දිගහරින්නට විය.

“තාත්තා 1964දී කටුනායක ගුවන්තොටුපළ හදන්න මුල්ගල තිබ්බා. ඒ කාලේ මන්ත්‍රීවරු බදුල්ලටත් මාතලේටත් එයාපෝර්ට් ඉල්ලුවා. තාත්තට මේ කාලේ ඉඳලම ලංගම හදන්න ලොකු වුවමනාවක් තිබුණා. ඒත් ඇමතිවරයා විදිහට ලංගමයට විතරක් නොවෙයි අනෙක් කේෂ්ත්‍ර ගැනත් හොයා බලන්න ගියාම ඒ වෙනුවෙන්ම කැපවෙන්න බැරිවුණා. ඒත් 65 අවුරුද්දේ මධ්‍යම බස් නැවතුම හදන්න ඉඩම් පවරා ගන්න තාත්තා කටයුතු කළා. බස් අපේ රටේ හදන්න සූදානමක් එයාට තිබුණා. එහෙම බස් නිපදවලා චීනයට අලෙවි කරන්න අවශ්‍ය පසුබිමත් ඒ වන විට හදාගෙනයි තිබුණේ.”

1965දී උතුරේ නායකයන් ‘ශ්‍රී’ අකුරට විරුද්ධව ගෙනගිය හර්තාලයද ජය ගන්නට තරම් ප්‍රවාහන ඇමතිවරයා ලෙස අනිල් මුණසිංහයන් උපායශීලී විය. ඒ ගැන තම මතකය අවදි කළ විනෝද් මෙසේ පැවසීය.

‘ශ්‍රී’ අකුරට විරුද්ධ පෙඩරල් පක්ෂය උතුරේ ගෙනගිය සටනේදී ලංගම බස් රථවලටත් උතුරට යන්න බැරිවුණා. ‘ශ්‍රී’ අකුර තිබුණු නිසා ඒවාට පහර දුන්නා. මේවා පිටු පස හිටියේ යාපනයේ කල්ලතෝනි බස් මුදලාලිලා කිහිප දෙනකුයි. තාත්තා මේකට හොඳ උපායක් යෙදුවා. ඒ වන විට එංගලන්තයේ බස් කම්පැනියෙන් ගෙනහැල්ලා ධාවනයට එක් නොකරපු බස් රථ රාත්‍රියේම ප්‍රධාන පාරවල් මඟහරිමින් උතුරට ගෙනිච්චා. එදා ලංගමයේ හිටපු සේවකයෝ හැමෝම භේදයකින් තොරව මේකට උදවු කළා. හර්තාලය මෙහෙයවපු නායකයෝ උදේ අවදිවෙන කොට එංගලන්තයේ ලියාපදිංචි අංක ගහපු බස් යාපනයේ දුවනවා.

“උතුරේ ජනතාව මේ බස්වලට දැඩි කැමැත්තක් දැක්වූවා. උතුරේ ‘ශ්‍රී’ අකුරට විරුද්ධවුණු නායකයන්ට කරන්න දෙයක් නැති වුණා. ටික කලක් යන කොට මේ බස් උතුරෙන් අයින් කරන්න බැරි තරමට ජනතාවට සමීප වුණා. පස්සේ මේවා අප රටේ ලියාපදිංචි කළා.”

1967 මන්ත්‍රී ධුරය අහිමි වූ පසු අනිල් මුණසිංහයන් එක්සත් රාජ්‍ය සංස්ථා හා වෙළෙඳ සේවක සමිතිය ගොඩනැංවීය. වසර දෙකක් යන විට එහි සාමාජික සංඛ්‍යාව පනස්දහසකට වැඩි වීමම අනිල් මුණසිංහයන් සතු වූ සංවිධාන ශක්තියට දිය හැකි හොඳම උදාහරණයයි. හැත්තෑව මැතිවරණයට තරග කිරීමට ඔහුට නීතියෙන් අවසර නොමැති විය. එහෙත් අනිල් මුණසිංහයන් යටතේ වූ සේවක සංගමය එම මැතිවරණයේදී බෙලිඅත්ත අසුනට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ බව විනෝද් තම කතාබහ අතර අපට පැවසීය.

හැත්තෑව මැතිවරණයෙන් සමඟි පෙරමුණ ජයගෙන පිහිටු වූ රජයේ ප්‍රවාහන ඇමතිවරයා වූයේ ලෙස්ලි ගුණවර්ධන මහතාය. නමුත් ලංගම සේවකයන්ගේ ඉල්ලීම වූයේ තමන්ගේ සභාපතිවරයා ලෙස අනිල් මුණසිංහ මහතා ලබා දිය යුතු බවයි.

තමාට පෙර ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨයකු වූ අනිල් මුණසිංහයන්ට තමන් යටතේ තනතුරක් බාරගන්නට යෝජනා කරන්නට ලෙස්ලි ගුණවර්ධන ඇමතිවරයා සූදානම් නොවූයේ ඔහුට ඇති ගෞරවය නිසාය.

ජනතා සේවයට සැම විටම පළමු තැන ලබාදුන් අනිල් මුණසිංහයන් සේවක ඉල්ලීමට කන් දෙමින් ලංගම සභාපති ධුරය ලබා ගැනීමට තරම් නිහතමානී විය. ඔහුගේ එම තීරණයේ ප්‍රතිලාබ වැඩිකල් නොයා රටේ ජනතාවට ලබන්නට හැකි විය.

ඒ මතකයන් පිළිබඳ විනෝද් අප සමඟ මෙසේ පැවසීය,

“ සිරිමාවෝ බණ්ඩාරනායක රජය හඳුන්වා දුන් සේවක මණ්ඩල ක්‍රමය මුලින්ම රාජ්‍ය ආයතනයක ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුනේ තාත්තාටයි. ඔහු ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තා. ලංගමයේ සියලු සේවා ස්ථාන සඳහා සේවක මණ්ඩලය බැගින් පිහිටෙව්වා. එතැනින් නොනැවතුණු ඔහු කිසිදු දේශපාලන බලපෑමක් නැතිව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් රහස් ඡන්දයක් පවත්වා සේවක මණ්ඩලවලට නියෝජිතයන් තෝරාගත්තා. එය රටටම ආදර්ශයක් වුණා.”

1956 ලංගමයේ ආරම්භක සභාපති වූ වියර්ඩි මෙල් දැමූ ශක්තිමත් අඩිතාලම මත සිට අනිල් මුණසිංහයන් දියත් කළ නව ක්‍රමවේදයන් එහි ආරම්භක අරමුණු කෙරෙහිද හොඳින් ගැළපිණි. වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියුතුව සිට තමන් ලැබූ අත්දැකීම් අනුව දේශපාලන භේදයකින් තොරව වෘත්තීය සමිතිවල කටයුතු නිරතවූ සේවකයන් සේවයෙන් නිදහස්කර ඔවුන්ට දිවයින පුරා ගමන් කිරීමට නිදහස් ගමන්බලපත්‍රයක් ලබා දීමටද ඔහු පියවර ගත්තේය.

දේශපාලන හිතවත්කම්මත උසස්වීම් ලබාදීම බැහැරකරමින් තම පියා කටයුතු කළ ආකාරය ගැන විනෝද් මෙසේ පැවසීය,

“ කිසිදු දේශපාලන භේදයක් නැතිව වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් ලංගම තිබුණු විනය ව්‍යවස්ථාව තාත්තා සංශෝධනය කළා. උසස් වීම් දෙන්න තරග විභාග ක්‍රමයක් හඳුන්වා දුන්නා. ස්වාධීනව විනය විභාග ක්‍රමයකුත් ඇති කළා. අතිකාල සීමා කරමින් දිරිගැන්වීමේ ක්‍රමයකුත් හඳුන්වා දුන්නා. සුබසාධනය ඇති කරමින් ලංගම සේවකයන්ට ආසියාවේ වෙනත් කිසිදු රටක ප්‍රවාහන සේවකයන් නොලබන ප්‍රතිලාභ දුන්නා.”

ඉතිරි‍ කොටස ලබන සතියට

[පබුදු සපුතන්ත්‍රී]

ඡායා [ශාන් රඹුක්වැල්ල]

News Order: 
5
මාතෘකා