අනවසර වගා නිසා ගොඩවෙමින් විනාශ වෙන සියඹලන්ගමුව වැව

 ඡායාරූපය:

අනවසර වගා නිසා ගොඩවෙමින් විනාශ වෙන සියඹලන්ගමුව වැව

වැව් රක්ෂිතයේත් ගස් කපමින් වගා කරලා

රොන් මඩ පිරීම නිසා වැවේ ජලයත් ප්‍රමාණවත් නෑ

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලන්ගමුව මහ වැවෙහි වැව් තාවුල්ලට අයත් රක්‍ෂිතය තුළ සිදු කෙරෙන අනවසර වගාවන් හේතුවෙන් වැව ගොඩ වී විනාශයට පත් වෙමින් පවතියි.

සියඹලන්ගමුව ගොවීන් ප්‍රකාශ කරන්නේ අක්කර 200ක විශාලත්වයෙන් යුතු මෙම රක්‍ෂිත භූමියේ මේ වන විට අක්කර 30කට වැඩි භූමි ප්‍රමාණයක් සී සා කුඹුරු වපුරා ඇතත් තවත් අක්කර 20ක පමණ ප්‍රමාණයක් බැකෝ යන්ත්‍ර යොදා නියරවල් සකසා වගා කිරීම සඳහා සූදානම් කර ඇති බවයි. වැව යටතේ වී වගා කරන සියඹලන්ගමුව වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති ජේ.එම්. අනුර ශාන්ත මහතා කියා සිටියේ මෙම රක්‍ෂිත භූමිය තුළ 2017 වසරේදී සියඹලන්ගමුව ගොවි සංවිධානය හා පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව කුඹුක්, මී, කරඳ, මාදං, සියඹලා, දෙමට ආදී පැළ සිටවූ බවයි. මෙම අනවසර වගාකරුවන් එම පැළද විනාශ කර වගා කටයුතු සිදුකර ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය. හෙක්ටයාර 208ක විශාලත්වයකින් යුතු සියඹලන්ගමුව වැවෙහි ජල ධාරිතාව අක්කර අඩි 2,600කි. වැවෙහි වම් ඉවුර යටතේ කුඹුරු අක්කර 300ක්ද දකුණු ඉවුර යටතේ අක්කර 200ක්ද ලෙස වැව යටතේ කුඹුරු අක්කර 500ක් වගා කෙරෙන අතර මින් යැපෙන පවුල් ප්‍රමාණය 525කි. මෙම වැව පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි දෙවැනි විශාලතම මහා වාරි ව්‍යාපාරයයි. ගල්ගමුව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මඟින් මෙහි පරිපාලන හා නඩත්තු කටයුතු සිදු කෙරේ.

වැව අද පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳව සියඹලන්ගමුව වම් ඉවුර ගොවි සංවිධානයේ ගොවීන් අදහස් දැක්වූ අතර එහිදී සමන්ත සංජීව මහතා මෙසේ පැවසීය.

“2012 අවුරුද්දේ අපේ ගොවි සංවිධානය පොල්පිතිගම හා පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකේ නිලධාරීන් සමඟ එකතු වෙලා වැව් රක්‍ෂිතය වෙන් කරලා මායිම් ගල් දැම්මා. ඊට පස්සේ අනවසර වගාව අඩු වුණා. ඉතාම ටික දෙනෙක් රහසිගතව වගේ රක්‍ෂිතයේ වගා කළා. 2013දී වැවේ වාන අඩියක් ඉස්සුවා. ඊට පස්සේ අනවසර වගාවන් තවත් සීමා වුණා. 2017 අවුරුද්දේ අපි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් වැව් රක්‍ෂිතයේ අක්කර 200ක පැළ වගා කළා.

“මේ මාස් කන්නයේ අනවසර වගාකරුවන් අක්කර 30ක විතර තිබුණු පැළ විනාශ කරලා, සී සාලා, කුඹුරු වගා කරලා තියෙනවා. තවත් අක්කර 20ක විතර ප්‍රමාණයක බැකෝ යන්ත්‍රවලින් නියරවල් දාලා වගා කරන්න සූදානම් කරලා තියෙනවා. වැවේ ජලය පිරෙන කොටසත් අල්ලලා පුද්ගලික විදුලි වැටකුත් ගහලා තියෙනවා ඒ අයගේ වගාව ආරක්‍ෂා කරන්න කියලා. මේ නිසා කහල්ල - පල්ලේකැලේ අභය භුමියේ ඉඳල සියඹලන්ගමුව වැවට වතුර බොන්න එන වන අලින්ගේ ගමන්මඟත් ඇහිරිලා තියෙනවා. ඒ නිසා අලි සියඹලන්ගමුව හා අවට ගම්මානවලට වැදීමත් වැඩි වෙලා තියෙනවා.

“මේ අනවසර හැම වගාවක්ම මෙන්ම අනවසර ඉදිකිරීමක්ම සිදු වෙලා තියෙන්නේ කහල්ල - පල්ලේකැලේ අභය භූමියට අයිති වනජීවී කලාපයේ. වගකිවයුතු රජයේ නිලධාරීන් මේවා වළක්වා ගැනීමට දක්වන මන්දෝත්සාහී බව නිසා තමයි මේ තරම් මේ හානි උග්‍ර වෙලා තියෙන්නේ. දැන් වැව ගොඩ වෙලා. වැවේ ජල ධාරිතාව අඩු වලා. මේ නිසා යල කන්නය අසාර්ථක වෙනවා. සමහර මහ කන්නත් අසාර්ථක වෙනවා. වැවෙන් යැපෙන ගොවි පවුල් 600කගෙ විතර ධීවර පවුල් 50ගෙ විතර ජීවිකාව අභියෝගයට ලක් වෙලා අසරණ වෙලා ඉන්නවා.”

සියඹලන්ගමුව වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති ජේ.එම්. අනුර ශාන්ත මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“කාලයක් පුරා වැව් තාවුල්ල හිස් කරලා වගා කරන නිසා ඒ පස් ඔක්කොම වගේ වැවට ගලාගෙන ඇවිත් දැන් වැව ගොඩ වෙලා තියෙන්නේ. මේ වෙනකොට වැව පිරිලා. නමුත් වැව රොන් මඩවලින් පිරිලා තියෙන නිසා ජලයෙන් පිරිලා වගේ පෙනුනට වැවේ රැඳෙන ජාල ධාරිතාව හුඟාක් අඩුයි. වැවට ජලය එන සියඹලන්ගමුව ඔය හරහා වැවේ වතුර අඩු වුණු කාලෙකටවත් යන්න බෑ. ඒ තරම් ගැඹුරුයි. එත් අද ඔය හරහා නිකං ඇවිදගෙන යන්න පුළුවන්. ඒ තරමට වැව ගොඩවෙලා. මේ ප්‍රදේශය දැඩි නියඟයෙන් පීඩාවට පත් වෙන ප්‍රදේශයක්. අපට තියෙන එකම සම්පත මේ වැව විතරයි.

“දැන් වැව රක්‍ෂිතයේ අක්කර හතළිහක් විතර විනාශ කරලා තියෙනවා. අපිට ගොවි සංවිධානයේ නිලධාරීන් විදිහට ඒ ගොවීන් නැවත හමුවෙන්න යන්න බෑ. ගැටුම් ඇති වෙනවා. ඒ නිසා මේවට වගකිව යුතු රජයේ නිලධාරීන් තමයි ඒවට මැදිහත් වෙන්න ඕනෑ.”

සියඹලන්ගමුව වැවෙහි ජල සමිතියේ සභාපති උදය කුමාර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“මේ වැවෙහි පිහිටීමත් සංකීර්ණයි. මොකද වැව තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති ප්‍රදේශයක. වැවේ තාවුල්ලට අයිති රක්‍ෂිතය පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. වැවේ වම් ඉවුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන අතර දකුණු ඉවුර පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. ඒ නිසා මේ වැවේ පරිපාලන කටයුතු තරමක් සංකීර්ණයි. එහෙමයි කියල වැව විනාශ වෙන්න ඉඩදීම අනුමත කරන්න බෑ. අදාළ නිලධාරීන් ඒවා තේරුම් බේරුම් කරගෙන ගැටලුව විසඳන්න ඕනෑ. මේක අපට ෙනමෙයි අයිති අනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වගේ දේවල් කියමින් බෝලෙ පාස් කිරීම නිසා තමයි අද මේ වැවට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ. මේ වැව මේ රටේ මිනිස්සුන්ට අයිති සම්පතක්. ඒක අපි අනාගත පරම්පරාවට ඉතිරි කරලා යන්න ඕනෑ.

“අනෙක පසුගිය කාලෙ ප්‍රදේශයේ ඇතැම් දේශපාලකයන් ඉතාම අත්තනෝමතික විදිහට වැව් රක්‍ෂිතයේ ඉඩම මායිම් ලකුණු කරලා තමන්ගේ දේශපාලන හිතවතුන්ට බෙදලා දුන්නා. ඒ වෙනකොටත් වැව් රක්‍ෂිතය තුළ අනවසර හේන් වගාව ආරම්භ කරලා තිබුණා. ඒ වගේම රක්‍ෂිතයේ මිනිස්සු පදිංචි කිරීම සඳහා අවශ්‍ය තාවකාලික ඉදිකිරීම් ආරම්භ කරලත් තිබුණා. කොහොම වුණත් අපේ දැනුම් දීම මත ඒ වේලාවේ වයඹ හා උතුරු පළාත බාරව හිටිය සහකාර වනජීවී අධ්‍යක්‍ෂ මංජුල අමරරත්න මහත්තයා ඒ බලපෑමට යට නොවී වැව බේරලා දුන්නා.”

මේ පිළිබඳව අප කළ විමසුමට ප්‍රතිචාර දැක්වූ වයඹ පළාත බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්.එස්. වේරගම මහතා මෙසේ පැවසීය.

“වැව් රක්‍ෂිතයේ මේ කියන අනවසර වගාවන් හා අනවසර ඉදිකිරීම් අපි නිරීක්ෂණය කළා. ගොවීන් කරන චෝදනාව ඇත්ත. වැවේ ජලය පිරෙන බිමේ පවා වගා කරලා තියෙන බව අපි දැක්කා. මේ ගැටලුවට ඉතා ඉක්මනින් විසඳුම් දෙන්න අවශ්‍යයි. නමුත් ඊට ඉස්සර වෙලා අපි වැවේ නියම මායිම් සලකුණු කර ගන්න ඕනෑ. එහෙම කරලා වැව් රක්‍ෂිතය තුළ ඇති අනවසර වගාවන් හා ඉදිකිරීම් ඉවත් කරන්න කටයුතු කළ යුතුයි. මේ සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගේ රජයේ ආයතන එකතු කර ගන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම වැව් රක්‍ෂිතය අයිති වනජීවී දෙපාර්තමේන්තුවට නම් අපි කිසිම පැකිලීමකින් තොරව මේ සියලු අනවසර කටයුතුවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරලා මේ විනාශය නැති කරන්න කටයුතු කරනවා.”

සියඹලන්ගමුව වැවෙහි නඩත්තු හා පරිපාලන කටයුතු බාර ගල්ගමුව වාරිමාර්ග කාර්යාලයේ සහකාර වාරිමාර්ග ඉංජිනේරු අයි.එම්.කේ.ඒ. බන්දු මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“වැව් රක්‍ෂිතයට හානි සිදු වෙමින් තිබෙන බව සත්‍යයක්. අපි ඒක දැක්කා. ඇත්තටම මේ රක්‍ෂිතය අයිති රජයේ කොයි ආයතනයටද කියලා අපි මුලින්ම හඳුනාගන්න ඕනෑ. ඒ කියන්නේ වැව් රක්‍ෂිතය අයිති වනජීවී දෙපාර්තමේන්තුවටද වාරිමාර්ග දෙපාර්තමේන්තුවටද කියලා හරියටම නිරවුල් කරගත යුතුයි. ඒ අනුව අදාළ වගකීම බාර ගෙන වැව රැක ගන්න කටයුතු කළ යුතුයි. පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනවසරයෙන් වගා කරලා තියෙන සමහර ඉඩම්වලට තාවකාලික බලපත්‍ර දීලත් තියෙනවා. සමහර ඉඩම්වලට ස්ථිර ඔප්පු දීලත් තියෙන බව දැනගන්න තියෙනවා. ඒ අනුව මේක ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම් පරිහරණය කළ සමහර අයට වන්දි දීල ඉවත් කරලත් තියෙනවා. අපි මායිම් නැවත ලකුණු කරලා නැවත ඒ වගේ ගැටලු ඇති නොවෙන්න මායිම් දිගට කානුවක් කපලා මායිම වෙන් කරන්න කටයුතු කළ යුතුයි.”

පොල්පිතිගම සමූහ [කේ.එස්. ප්‍රේමදාස]

News Order: 
3
මාතෘකා