දුෂ්කර සමයේ අධ්‍යාපනය රැකගත් ස්වේච්ඡා ගුරුවරු යුක්තිය ඉල්ලති

 ඡායාරූපය:

දුෂ්කර සමයේ අධ්‍යාපනය රැකගත් ස්වේච්ඡා ගුරුවරු යුක්තිය ඉල්ලති

"මම අවුරුදු ගාණක් ස්වේච්ඡාවෙන් ඉගැන්වුවේ යුද්ධය නිසා පාසල්වලට ගුරුවරු එන්නැති අවධියකයි. අපිව නිකන් ගත්තේ නැහැ. විදුහල්පතිවරු අපේ සුදුසුකම් බලලා අපේ සේවාව ගත්තේ. මොකුත්ම කළේ නැති කොටසක් ස්ථිර කළා" ත්‍රිකුණාමලය පදවි ශ්‍රී පුර ඩී.කේ.ජී.කේ. රත්නායක මහතා චෝදනාත්මකව පැවසුවේය.

දශක තුනක් පුරා පැවැති යුද ගැටුම් සමයේ පාසල්වල අධ්‍යාපන මට්ටම කඩා වැටෙද්දි අසරණ වූ විදුහල්පතිවරුන්ට කරන්න කිසිවක් නොතිබුණි. පාසලේ සිසුන් දිනෙන් දින දැනුමෙන් පහළ මට්ටමකට වැටෙද්දි ගමේ උගත් තරුණ පිරිස් ස්වේච්ඡා ගුරුවරු ලෙස මෙසේ බඳවා ගෙන තිබුණි. ඒ අධ්‍යාපන බලධාරීන්ගේද අනුදැනුම ඇතිවය.

පදවි ශ්‍රී පුර ඩී.ජී.කේ. රත්නායක මහතාද එසේ බඳවාගත් ස්වේච්ඡා ගුරුවරයෙකි. "මම පදවි ශ්‍රී පුර ගැමුණුපුර විද්‍යාලයේ ප්‍රාථමික අංශවලට වසර ගණනාවක් ඉගැන්වීම් කළේ ඉහළ අධ්‍යාපන බලධාරීන් අපිව සේවයේ ස්ථිර කරන බවට පොරොන්දු දුන් නිසයි. මම ගැමුණුපුර විද්‍යාලයේ ප්‍රාථමික පංතිවල 1998 ඉදලා 2007 දෙසැම්බර් 31 වෙනකම් ඉගැන්නුවා. ස්වේච්ඡාවෙන් උගන්වපු අය ස්ථිර කරන්න සම්මුඛ පරීක්ෂණ තිබ්බා. මෑතකදී ස්වේච්ඡා ගුරුවරු 811ක් ස්ථිර කළා. මම කැපිලා ගියා. පසුව අභියාචනා දැම්මා. කොටසක් ස්ථිර කරලා තව කොටසක් කැපිලා ගියේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් තියනවා. අපේ සුදුසුකම් තියනවා නම්, ඒ නිසා අපි පාසල්වල ස්වේච්ඡාවෙන් ඉගැන්නුවා නම්, මෙතන මොකක් හරි සැකයක් තියනවා" ඔහු ප්‍රශ්නාර්ථයක් මතු කළේය.

මෙසේ ඉගැන්වීම් කළ ස්වේච්ඡා ගුරුවරු 80 දශකයේ හා 90 දශකයේ අවස්ථා ගණනාවකදී සම්මුඛ පරීක්ෂණ පවත්වා ස්ථිර කර තිබූ නිසා, ලබාදුන් නිර්නායක හා අධ්‍යාපන සුදුසුකම් මත විදුහල්පතිවරුන් විසින් ඔවුන් මෙසේ බදවාගෙන තිබුණේ යම් කලකදී ඔවුන්වද ස්ථිර කරාවි යැයි බලාපොරොත්තුවෙනි.

වසර 10ක් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම කළ පදවි ශ්‍රී පුර පදිංචි ඒ.එම්. මායා විමුක්ති කුමාරි මහත්මිය පැවසුවේ අවසානයේ හිස් අතින් ගෙදර යෑමට සිදු වී ඇති බවයි. "මමත් පදවි ශ්‍රී පුර ගැමුණුපුර විද්‍යාලයේ ඉගැන්නුවා ස්වේච්ඡා ගුරුවරු ස්ථිර කරනවා කිව්වා. අවස්ථා සෑම එකකම සම්මුඛ පරීක්ෂණවලට ගියා. මම අන්තිම සම්මුඛ පරීක්ෂණයට ගියේ මේ වසරේ අප්‍රේල් 28දා. ජුනි මාසයේ පත්වීම් දුන්නා. 1998 සැප්තැම්බර් 07දා ඉඳලා 2008 ජනවාරි 27 වෙනකම් උගන්වලා මට හිස් අතින් ගෙදර යන්න වුණා. සේරම සුදුසුකම් සපුරා ඇති මම ස්වේච්ඡාවෙන් සේවය කළ කාල සීමාව බැලුවාම මාව කැපිල යන්න හේතුවක් නැහැ. මොකුත් සුදුසුකම් නැති අයට නම් පත්වීම් ලැබිලා"

ත්‍රිකුණාමලයේ ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කළ ඇතැම් ගුරුවරු බිහිසුණු ප්‍රහාර මැදද සේවය කර තිබුණි. ඇතැම් ගුරුවරු සිය සේවා ස්ථානවලට යෑමට හා ආපසු ඒමට දුෂ්කර වෙහෙසක් ගත්හ. ගැටුම් සමයේ ගමනාගමන පහසුකම්ද නොතිබුණි. ඇතැම් ස්වේච්ඡා ගුරුවරු සිසු දරුවන්ගේ ඇස් පෑදීමට ස්වේච්ඡා සේවය කර තිබුණේ යුධ ගැටුම් මැද සිය ජීවිතය දෙවැනි කොට සලකමිනි.

යුද ගැටුම් ප්‍රහාරවලට මුහුණ දුන් මොරවැව මහදිවුල්වැව ගම්මානවල සිසුන්ට ස්වේච්ඡාවෙන් අකුරු කළ කම්බකෝට්ටේ ප්‍රථමික විද්‍යාලයේ එම්.එම්. මාලා දමයන්ති මහත්මිය මෙසේ පවසයි. හොර ලොග් සටහන් වාර සටහන් ඉදිරිපත් කළා නම් තමන්ද අද ස්ථිර පත්වීම් ලබාගෙන අවසන් බව ඔහු වේදනාත්මකව පැවසීය.

"හොර ලොග් සටහන්, වාර සටහන් ඉදිරිපත් කළා නම් අද මම ස්ථීර සේවයේ ඉන්නේ. සම්මුඛ පරික්ෂණවලදි අපේ ඉගැන්වීම් බැලුවේ ලොග් සටහන් වාර සටහන් පරීක්ෂා කරලා. කම්බකොට්ටේ විද්‍යාලය කියන්නේ ස්වේච්ඡා ගුරුවරු නැතිනම් වැහිලා යන මට්ටමට තිබුණු පාසලක්. අපි නැතිනම් පාසල වැහිලා. මම ස්වේච්ඡාවෙන් උගන්වන්න ගත්තේ 2004 ඉඳලා. අපි නාකි වුණා නම් නාකි වුණේ දරුවන්ට ස්වේච්ඡාවෙන් උගන්වලා. හොර ලොග් සටහන් වාර සටහන් ඉදිරිපත් කළ අය අද ස්ථීර සේවයේ අපි ගෙදර" .

තමන්ට සාධාරණය ඉටු කරගැනීමට මෙම ස්වේච්ඡා ගුරුවරු වරෙක උද්ඝෝෂණ කළහ. වරෙක නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දොරටුව හරස් කර කාර්ය මණ්ඩලවලට සේවයට යෑමට ඉඩ නොදී විරෝධය දැක්වූහ. තවත් වරෙක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළහ. වරෙක තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සංදේශ භාරදුන්හ. එහෙත් ඒවාට වූ දෙයක් නැත.

සම්මුඛ පරීක්ෂණවලදි සේවා සටහන් වාර සටහන් ඉදිරිපත් කළ විට පෙන්වා දුන් අඩුපාඩු සකස් කර නැවත ඉදිරිපත් කළත් තමන් කැපී යෑම ගැටලුවක් බව කී පදවි ශ්‍රී පුර පදිංචි එස්.පී.බී.සේපාලිකා මහත්මිය පැවසුවාය. ඇයද පැවසුදුසුකම් සේවා කාල සම්පූර්ණ නොවූ අය ස්ථිර වීම ප්‍රශ්නයක් බවට ප්‍රශ්නාර්ථයක් මතු කළේය. 1998 ඉදලා 2008 දක්වා ස්වෙච්ඡාවෙන් ගැමුණුපුර විද්‍යාලයේ චිත්‍ර විෂය ඉගැන්වුවා. එක දවසක් වත් මම පාසල් නොගියේ නැහැ. සම්මුඛ පරීක්ෂණවලට ඉල්ලූ සෑම ලේඛනයක්ම ඉදිරිපත් කළා. නමුත් අපිව ස්ථිර නොවීම ගැටලුවක් දැන් අභියාචනා වලට දාලා තියෙන්නේ. සෑම බදාද දිනකම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට යනවා. නැතිනම් ඉසුරුපායේ තියෙන රේඛිය අමාත්‍යාංශයට යනවා.

සුදුසුකම් සපුරා කැපී ගිය ස්වේච්ඡා ගුරුවරු එයට දක්වන හේතු විවිධය. පළාත් දේශපාලකයන් තමන්ගේ හිතවතුන්ගේ නාම ලේඛන ඉදිරිපත් කර ඇති බව එක් මතයකි. ජාතිවාදී බලධාරීන් තමන්ට නිරන්තර කෙනහිලිකම් කරන බව කියති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරු සංගමසයේ සභාපති නිල්ලෙයි පලම් හැරිස්ටන් මහතා මෙසේ පැවසීය

"අපගේ සංගමයේ අසාධාරණයට ලක් වූ ස්වේච්ඡා ගුරුවරුන් 232ක් ඉන්නවා. ඒ අතරින් 31ක් සිංහල මාධ්‍ය ගුරුවරු. මේ අයට පත්වීම් ලැබිලා නැත්තේ සම්මුඛ පරික්ෂණවලට ඉදිරිපත් කිරීමට තිබෙන ලිපි ලේඛනවල සුළු සුළු අඩුපාඩු නිසයි .සමහර ගුරුවරුන්ට සම්මුඛ පරීක්ෂණවලට කලින් ඇතැම් ලිපි ලේඛන ගන්න බැරි වුණා. අපි මේකට අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලලා තියනවා. අපේ සංගමයෙ ඉන්න අය 1991 වසරේ ඉදලා ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කරලා තියනවා. එහෙම නැතුව ඒ අයට සුදුසුකම් නැතුව නොවෙයි කැපිලා තියෙන්නේ. සම්මුඛ පරීක්ෂණවලදි පරීක්ෂා කරන ලේඛන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්ණායක අඩංගු චක්‍රලේඛවල ගැටලු තමයි මෙයට බලපාලා තියෙන්නේ" ඔහු කීය.

ස්වේචඡා ගුරුවරු කරන මෙම චෝදනා සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී අදහස් දැක්වූ පළාත් අධ්‍යාපන ලේකම්වරයා මෙසේ පැවසීය.

"ස්වේච්ඡා ගුරුවරු ස්ථීර කිරීමේදී අපිට කැබිනට් පත්‍රිකාවෙන් දීලා තියන මාර්ගෝපදේශ අනුව කටයුතු කරලා තියෙන්නේ. ඒකට පිටින් කටයුතු කළොත් අපිට එරෙහි විමර්ශනවලට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැතිනම් කැබිනට් පත්‍රිකාව සංශෝධනය කරන්න ඕන. ඒක අපිට කරන්න බැහැ. එහි බලය තියෙන්නේ මධ්‍යම රජයටයි. කැබිනට් පත්‍රිකා උපදෙස්වලට අනුව කටයුතු කිරීමේදී කැපී ගිය ස්වේච්ඡා ගුරුවරු සම්බන්ධයෙන් අපිට කරන්න දෙයක් නැහැ. අපට එවා ඇති අභියාචනා මධ්‍යම රජයේ අධ්‍යාපනය අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා තියනවා" යැයි කීය.

 

ත්‍රි/මලය විශේෂ [ඒ.ටී. එම්. ගුණානන්ද]

News Order: 
0
මාතෘකා