තිස්වසරක් තිස්සේ සරසවි මාවතේ ඇවිදින පොත් ගුල

 ඡායාරූපය:

තිස්වසරක් තිස්සේ සරසවි මාවතේ ඇවිදින පොත් ගුල

 

හෙවනක් සොයා මිනිසුන් ඇදෙන්නා සේම මිනිසුන් ගැවසෙන්නේ කොතැනද වෙළෙන්දෝ එතැන සිටියහ. වෙළෙන්දන් විවිධාකාරය. පත්තර, වතුර, සෙල්ලම් බඩු, අඹ, අන්නාසි, අච්චාරු විකුණන්නන් සහ තව බොහෝ වෙළෙන්දන් දුවමින්, හඬගාමින් තම භාණ්ඩ විකුණා ගැනීම සඳහා තරග කරනු නිතර දක්නට ලැබේ. මේ අතර සංයමයෙන් යුතුව පසෙකට වන්ව පොත් විකුණන වෙළෙන්දෝ ඒ අතරින් සුවිශේෂ පුද්ගලයෝ වෙයි. පිළුණු වන්නට පෙර විකුණා ගැනීම අවශ්‍ය නොවන හෙයින්දෝ මා දකිනා සෑම පොත් වෙළෙන්දෙක්ම ඉවසීමෙන් හා සංයමයෙන් යුතු අය වූහ. එසේ කීමට හේතුව ඒ මේ අත පෙරළමින්, බලමින්, කියවමින් පොතක් තෝරා ගැනීමට බොහෝ වෙලාවක් එක්කෙනකු ගතකරන බැවින්ය.

පොතක පිටකවරය බලා පොතේ ඇතුළාන්තය තීරණය නොකළ යුතු වන්නා සේම මතුපිටින් බලා අප පුද්ගලයන් විනිශ්චය නොකළ යුතුය. මන්ද බොහෝ විට අපගේ තීරණය ක්ෂණයකින් වැරදි මතයක් ගොඩනඟන හෙයිනි.

බොහෝ විට අප සිතනවාට වඩා අපට හමුවන මිනිසුන්ගේ හැඟීම් හරි ඉස්තරම් විය හැකිය. මා එසේ කියන්නේ කිසිසේත්ම නොසිතන අවස්ථාවක අපට ඉතා සොඳුරු මිනිසුන් මුණගැසීමට ඉඩ තිබෙන හෙයිනි. අප මිනිසුන් සමග කතා කළ යුතුය. සිනහ විය යුතුය. සුන්දර මිනිසුන් ඒ කතාවෙන්, ඒ සිනහවෙන් අප හඳුනාගත යුතුය. මේ තවත් එවැනි සොඳුරු මිනිසකුගේ කතාවයි.

“මම මෙතැනට ඇවිත් අවුරුදු 37ක්. ඉස්සර තරම් දැන් ළමයි පොත් කියවන්නෙ නෑ. මං දකින ළමයි ගොඩක් මෙතැනින් යන්නේ ෆෝන් එක දිහා බලාගෙන. එතැනින් කෙනෙක් දෙන්නෙක් නැවතිලා පොතක් බලලා ගියත් ගොඩක් අය එහෙම බලන්නෙවත් නෑ.” ඒ ආරියපාලගේ හඬයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුට විෂයානුබද්ධ පොත් හෝ නවකතාවක් හෝ ඕනෑම පොතක් පිළිබඳ කතා කරනකොට ඉබේම මතක් වෙන පුද්ගලයෙක් වෙයි. ඒ ‘පොත් මාමා’ ය. නිතර නිහතමානී බැල්මකින් සැරසී සිටින හෙයින්දෝ ළඟට ගොස් ඔහුගෙන් විස්තර ඇසීමට සිතීම කවරකුට වුවද නිරායාසයෙන් සිදුවන්නකි.

“පුතේ මගේ උපන් ගම කාලවිල. දැන් ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නේ මීගමුව පහේ කණුව පැත්තේ. මට වයස අවුරුදු 66යි. මටත් ඔයාලා වගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලත් හොඳට ඉගෙනගෙන ඉන්නේ.”

මීගමුව පහේ කණුව ප්‍රදේශයේ ජීවත්වන ඔහු අවුරුදු හැට හයක් වයසැති නිහතමානී පුද්ගලයෙකි. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සරසවි මාවතේ පසෙකට වන්ව පොත් විකුණන ඔහු කැලණි කන්ද නඟින බහින ඕනෑම පුද්ගලයකුට නිතර ඇස ගැටෙන්නකු විය.

දරුවන් දෙදෙනකුගේ පියකු වන ඔහු සෑම දරුවෙක් දෙසම බැලුවේ නිහතමානී බැල්මකිනි. වසර 37ක් පුරාවට ඔහු කරනා සේවය ඔහුට රැකියාවක් පමණක් නොව සමාජ සේවයක්ද වේ.

“මම පිරිවෙනේ ඉගෙනගෙන තියෙන්නේ 5 පන්තියට විතරයි. එත් මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තය වගේම තමයි. වැඩිපුර ඉගෙනගත්තේ නැතුවට මට පොත්පත් ගැන හොඳ දැනුමක් තියනවා. හැම නවකතාවක්ම වගේ මං කියවලා තියෙන්නේ. කාගේ හරි ළඟ අලුතින් පොතක් දැක්කම මම ඒක අරගෙන කියවනවා. නිදහස් හැම වෙලාවකම මං කරන්නේ අලුත් පොත් කියවන එක. මගේ පොත් ලෑල්ලට මං පොත් ගේන්නේ ඒ හැම පොතක්ම කියවා බලලයි.”

ඔහු හඬ අවදි කළේ ඉමහත් ප්‍රීතියකිනි. නිදහස් මනසකින් යුතුව කලබලයකින් තොරව ඔහු පොත් විකුණන්නේ තවකකුටත් කරදරයක් නොවන පරිද්දෙනි. සමාජයේ මිනිසුන් අතර නිදහස් හිතවත් මිනිසුන් හමුවුණද සමාජ සේවයකින් යුතුව තම රැකියාව සිදුකරනු ලබන්නේ අතලොස්සක් විසින් පමණි. ඒ අතලොස්ස අතරින් ඩබ්.ඒ. ආරියපාල ශ්‍රේෂ්ඨ සාඩම්බර මිනිසෙකි.

අවුරුදු 37ක් පුරා ඔබ කරන වෘත්තීය ගැන දැනෙන්නේ මොන වගේ හැඟීමක්දැයි මම අසද්දී ඔහුගේ මුහුණේ ඇඳුනේ ආඩම්බරකාර හිනාවකි.

“මං මුල් දවස්වල ඉඳන් කළේ පොත් විකුණන එක. මං අවංකවම සතුටු වෙනවා මං කරන රස්සාව ගැන. කාටවත් බාල්දු නොවී මං කරන්නේ සමාජයට සේවයක්. අදටත් මගෙන් පොත් අරගෙන කියවපු මිනිස්සු කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු, මහාචාර්යවරු වෙලා ඉන්නේ. ඒවා දකිද්දී මට ගොඩාක් සතුටුයි.”

බොහෝ මිනිසුන් තම රැකියව තුළින් වැඩියෙන් මුදල් හරි හම්බ කළද එය හෘදයාංගම සතුටක් ලැබිය හැකි කරුණක් නොවේ. තම රැකියාව තුළින් අනෙකාගේ ජීවිතය දැක සතුටු විය හැකි නම් ඔහු මිනිසුන් අතර උතුම් වූ ශ්‍රේෂ්ඨ මිනිසකු වන්නේය. අනෙක් අතට ඇසුරට සුදුසු වටිනා මිනිසුන් තමන්ට හරි හම්බ කර ගැනීමට හැකි වීම ගැන ආරියපාල සිටින්නේ ඉමහත් ආඩම්බරයකිනි. මට ඔහු පිළිබඳ මතුවූ සියලු පැනයන්ට ඔහු නිහතමානීව පිළිතුරු බැන්දේය.

මිනිස්සු ජීවනෝපායක් තෝරා ගන්නේ ලාබයක් බලාපොරොත්තුවෙන්. ඇත්තටම මේ පොත් විකුණුවම ලාබයක් හම්බවෙනවද?

කොමිස් මුදල්වලින් තමයි මට ලාබ ලැබෙන්නේ. එක පොතකට 15%, 30% වගේම 10%ත් හම්බවෙනවා. ලාබයක් නැතත් මං කැමතියි මේ වගේ රැකියාවකට. මට තිබුණා පොත් කඩයක් දාගෙන පොත් විකුණන්න. ඊට වඩා මට මෙතනදී මිනිස්සුන්ව මුණගැහෙනවා.

හැමදාම එක වගේ ලාබයක් නැතුව ඇති. වැස්ස දවස්, අව්ව දවස් ඔබේ ගමනට බාධාවක් වුණාද? මොනවගේ දවස්වලටද ඔබෙන් වැඩිපුර පොත් අලෙවි වෙන්නේ?

කැම්පස් එකේ දරුවන්ගේ විභාග කාලෙට වැඩිපුර පොත් විකිණෙනවා. අනෙක් දවස්වලට සාමන්‍ය විදියටයි විකිණෙන්නේ. ඒ වගේම මගෙන් නිතරම පොත් ගන්න අය විශේෂ දවස් නැතිවම මගෙන් පොත් මිලදී ගන්නවා.

නිතර ආශ්‍රය කරන්නේ, දකින්නේ බුද්ධිමත් මිනිස්සු. ඒ අතරින් හොඳටම දැනගත්ත මතක හිටින මිනිස්සු නැද්ද?

කුලතිලක කුමාරසිංහ මහත්තයා, වල්පොල රාහුල හාමුදුරුවෝ මගෙන් පොත් අරන් කියවලා තියෙනවා. අදටත් සමහරු මං දැක්කම මට කතා කරලයි යන්නේ. තව මගෙන් පොත් කියවපු මිනිස්සු අද හොඳ හොඳ තැන්වල ඉන්නවා. මාව දැකපු ගමන් වාහනය නවත්තල කතා කරලා යනවා. ඒක මට ආඩම්බරයක්.”

ඔහු තම පොත් සරසවි මාවතේ තබා අලෙවි කළේ එය ලාබදායී රැකියාවක් නොවෙමින් පවතිද්දී වුවද එයින් ඔහු සවිමත් අත්දැකීම් රාශියක් ලබා ගනී. ඩිජිටල්කරණය වෙමින් පවතින සමාජය තුළ අද වන විට පොතපතට යොමුවන අවධානය ඉතා සීමිත මට්ටමක පවතී. ස්මාර්ට් ජංගම දුරකථන හරහා ස්මාර්ට් වෙමින් පවතින යුගයක් එළැඹෙමින් පවතින අවස්ථාවක පොත අභියෝගයකට ලක්ව ඇති අයුරු සමාජය දෙස බැලීමෙන්ම තහවුරු කරගත හැකිය.

තරුණයන් අන්තර්ජාලයට යොමුවෙලා තියෙද්දී පොත් විකුණන එක ඔබට අභියෝගයක් නොවේදැයි මා අසු ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ ඉමහත් කලකිරීමෙනි.

“ඇත්තටම පුතේ අද කාලේ තරුණ පරම්පරාව ගැන මට තියෙන්නේ ලොකු කනගාටුවක්. ගාණක් හදන්න ගියත් phone එකෙන් කැල්කියුලේටරේ ඔබනවා. එකට මට ගොඩාක් කේන්තියි. මං ලොකුවට ඉගෙනගත්තේ නැතුවට ලොකු ලොකු ගණන් මට සුටුස් ගාල හදන්න පුළුවන්. මේ phone හින්දා තරුණ තරුණියන්ගේ මනස හිස් වෙමිනිනුයි තියෙන්නේ.”

දිනෙන් දින එළැඹෙන නුදුරු අනාගතයේදී පොතපතට ඇති තැන නැති වී ඇසට ප්‍රිය ගෙනෙන මුත් මනසට නුසුදුසු දුරකථනයට, පරිගණකයට සීමාවන්නට සිදුවීම මොන තරම් අභාග්‍යක් වන්නේද? නමුත් පුරුද්දක් ලෙස පොතක් මිලට ගැනීමට බැඳී සිටින්නෙක් පොත් වෙළෙන්දකුට හොඳ මිතුරෙක්ය. එවන් වූ මිනිසුන් සමඟ ආරියපාල මහතා සුහද අමන්ත්‍රණයේ යෙදෙයි. ඔහු එදා ඉඳන් මේ රැකියාව කරන්නේ ඉමහත් සතුටිනි.

ඉතින් විශ්‍රාම යන්න අදහසක් නැතිද?

“මගේ අතපය හොඳට පණ තියෙනකල් දරුවන්ට, සමාජයට බරක් නොවී මගේ බිරිඳත් එක්ක සතුටින් ඉන්නයි මගේ එකම බලාපොරොත්තුව. මට මේවා කරගන්න ශක්තිය නැතුව ගිය දවසට මම විශ්‍රාම ගන්නවා පුතේ...”

ඔහු කිවේ නිහතමානී සිනහවකින් මුව සරසාගෙනය. අදත් කැලණි කන්ද නඟිනකොට ඔහු ඉන්නවා ඔබ දකිනවා ඇති. ඔව් ඇත්තටම ඔහු සැබෑම මිනිසෙකි.

 

සටහන [අසින්තා ප්‍රභාෂිණී]

ඡායාරුප [උදේශිකා විමලසිරි]

මාතෘකා