සමාජ දේශපාලනයේ යට ඇඳුම හෙවත් සංඝදාසගේ චූටි කලිසම

 ඡායාරූපය:

සමාජ දේශපාලනයේ යට ඇඳුම හෙවත් සංඝදාසගේ චූටි කලිසම

 

හාස්‍යජනක වේදිකා නාට්‍ය ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය ජාලය තුළ දැඩිව මුල් බැසගන්නේ මෑතකදීය. ඉතා හාස්‍යජනක හා දෙපැත්ත කැපෙන ආකාරයේ නම් සහිත බොහොමයක් නාට්‍ය මෑතකදී ජනගත කෙරුණු අතර ඉන් බොහොමයක් වේදිකා නාට්‍ය රසිකයා ඇති මහත් කැමැත්තෙන් යුතුව වැළඳගන්නා බවක් පෙනෙන්නට තිබේ. මින් බහුතරයක් හුදෙක් හාස්‍යජනක නාට්‍ය වුවද සමහරක් නාට්‍ය එම ගොන්නෙන් ඉවතට පැන හාස්‍යයට ගැඹුරු අරුතක් එක් කිරීමට සමත් විය. අසංක සායක්කාරගේ “සංඝදාසගේ චූටි කලිසම” ද රාමුවෙන් බැහැරව ජනතාව අතරට යාමට යත්න දැරූ නාට්‍යයක් ලෙස හඳුනාගත හැකිය.

 

සංඝදාස හද්දා පිටිසර සිට නගරයේ රෝහලට එන්නේ තමාට ලිංගික දුබලතාවයක් තිබේදැයි පරික්ෂා කර බලා සැක හැර දැනගැනීම පිණිසය. ඔහුට සහාය වන හෙදිය, හෙද වර්ජනයක් සඳහා සූදානමින් සිටී. එහෙත් ඇයට නියමිත වෙලාවට වර්ජනයට සහභාගී වීමට නොලැබේ. සංඝදාස හා හෙදිය අතර ඇති වෙන ප්‍රහසනාත්මක නාට්‍ය කතිකාව අවසන් වන්නේ සංඝදාස අපරාධකරුවකු ලෙස හංවඩු ගැසීමෙන් සහ වර්ජනයට සහාය නොදුන් හෙදිය වර්ජකයින්ගේ ගුටි පූජාවක රස බැලීමෙන්ය.

ජගත් චමිල විසින් සංඝදාසගේ චරිතයට පන පොවන අතර ලංකා බණ්ඩාරනායක හෙදියගේ චරිතයට පන පොවයි. ජගත් චමිලගේ රංගනයෙන් දිස්වන්නේ අප සෑම විටම දකින දුප්පත් පිටිසර ගමයාගේ රූපය නොව ‘හැට පැන්නත් කොල්ලා වාගේ’ ගමයෙකි. හාස්‍යමය නාට්‍යයකට මෙවැනි රංග වින්‍යාසයක් ඉතාම උචිත වනවා මෙන්ම ලංකා බණ්ඩාරනායකගේ "උඩඟු හෙදි රංගනය" හා එක්වීමේ ප්‍රතිඵලයක් ලෙස නාට්‍යය පුරාවටම පවතින ඝට්ටනය උද්යෝගීව පවත්වා ගැනේ.

හුදෙක් ප්‍රහසන නාට්‍ය අතුරෙන් වෙනස් නාට්‍යක් ලෙස මා මෙය හඳුන්වා දෙන්නේ ඉන් ලොවට පරාවර්ථනය කරන රාජ්‍ය අර්බුද ගැටලුවක් නිසාය. මෙය පසුගිය කාලයේ පැවතුණු රාජ්‍ය අර්බුදය මෙන් එකක් නොවේ. මෙම අර්බුදය අප උපන් දා පටන් මේ කොදෙව්වේ පවතින, අප විසින්ම සනාථ කරගන්නා ලද අර්බුදයකි. සායක්කාරගේ මෙම නාට්‍යය ප්‍රේක්ෂකයාට හඳුන්වාදෙන්නේ දූෂිත රාජ්‍යකරණය සහ එයට උඩගෙඩි දෙන ජඩ මාධ්‍යකරණය සහ ජනහිතවාදී වනවාට වඩා දේශපාලක-හිතවාදී ලෙස කටයුතු කරන කුපාඩි වෘත්තීය සංගම් නොවේ. මේ සියල්ලම අපට හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් නැත. අප සියලු දෙනාම දන්නා එක දෙයක් වේ නම් ඒ රාජ්‍ය තාන්ත්‍රණය දූෂිතයි යන්නය; බහුතරයක් ජනමාධ්‍ය පක්ෂග්‍රාහී බවය; රජයට විරුද්ධව පාරට බහින්නේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයකට වඩා විරුද්ධ පක්ෂයේ අවශ්‍යතාවය මත බවය. මේ සියලු දෑ හඳුන්වා දෙන්නට නාට්‍යයක් අවශ්‍ය නැත. මේ බව අසංක සායක්කාර මැනවින් වටහාගෙන ඇති අතර ඔහු තම නාට්‍යය හරහා හඳුන්වා දීමට යුහුසුළු වී ඇත්තේ මේ දූෂිත යන්ත්‍රණය හා සටන් කිරීමට අවශ්‍ය ආයුධයයි.

සංඝදාස යනු එදිනෙදා ජීවිතය ගත කරන ඔබ මම වේ. ඔහු මුහුණ දෙන්නේ අප සැමදා මුහුණ දෙන ජීවිතාභියෝග සහ ගැටලුය. සංඝදාස සහ හෙදිය මුහුණ දෙන්නේ අප විඳින ජීවිත කම්කටොලුය. සියලු ජනයාට තමා ජීවිතය ගත කරන රටේ සුබසිද්ධිය තකා සම්පූර්ණ කළ යුතු වගකීම් කොටසක් ඇත. අසංක සායක්කාර නාට්‍යකරුවකු වශයෙන් තමාට හුරු පුරුදු වේදිකාව මැනවින් භාවිතා කරන්නේ කතිකාවත නමැති ආයුධය ජනතාව අතරට පත් කිරීම යන වගකීම සම්පූර්ණ කිරීම මුදුන්පත් කරගෙනය. සායක්කාර තමාගේ නාට්‍ය වර්ගය තෝරා ගැනීමේදී ඔහුගේ පරිණත බව ඉතා මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. ඔහු තමාගේ නාට්‍යය මැක්බත්, ආදී ශෝකාන්තයක් බවට පත් කළේ නම් හෝ වෙන යම් ගැඹුරු ආදර කතාවක් මූලබීජය කරගෙන නාට්‍ය නිර්මාණය කරා නම් ඉහත කී වගකීම ඔහුට සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. සාමාන්‍ය ජනතාව ප්‍රිය කරන හාස්‍ය තෝරාගෙන ඒ හරහා හෙළුවැල්ලෙන් සිටින සමාජ දේශපාලනයට සංඝදාසගේ යට ඇඳුම ඇන්දවීම මගින් සාමාන්‍ය ජනතාව මුහුණපාන, රාජ්‍ය අනුග්‍රහය සහිතව එන තර්ජන ගර්ජන කම්කටොලුවලට මුහුණ දීම සඳහා කතිකාවතක් නිර්මාණය කිරීමට සායක්කාර සමත් වී තිබේ.

[නූපුර සංකලන]

 

මාතෘකා