2019ට රජිනි දුන්නු අලුත් අවුරුදු තෑග්ග - Petta

 ඡායාරූපය:

2019ට රජිනි දුන්නු අලුත් අවුරුදු තෑග්ග - Petta

 

සාමාන්‍යයෙන් තාරකාවක් කියන්නේ කල්පකලාන්තරයක් තිස්සේම ආලෝකය විහිදුවමින් ඉහළ අහසේ හිණිපෙත්තෙහිම බබළන වස්තුවකට. ඒ තරු ගුණය සිනමා ක්ෂේත්‍රයට ආදේශ කරගත්තම, කාලාන්තරයක් තිස්සේම බැබළෙන තාරකාවක් වෙන්නට වාසනාව හිමිකරගන්නා පිරිසත් ඉතාම අල්පයි. එක රැයින් තාරකා බවට පත්වන්නන් පසුදාම කඩා වැටෙන හැටිත් දකින්නට හැකියි. හැබැයි පරම්පරා ගණනාවකටම පේන්න ඉන්දීය සිනමා අඹරෙහි පෑයූ තාරකාවන් අතර "රජිනි කාන්ත්" යනු තවමත් දීප්තිමත්ව දිදුලන සුපිරිම තාරකාවයි. ඒ බව යළිඳු පසක් කරමින් දකුණු ඉන්දීය සිනමාවේ 2019 වසර ආරම්භය සනිටුහන් කළේ පසුගිය ජනවාරි 10 වනදා තිරගත කිරීම් ආරම්භ කෙරුනු නවතම දමිළ චිත්‍රපටය "Petta" සමඟිනුයි.

 

ප්‍රධාන වශයෙන් කාරණා හතරක් නිසා "Petta" චිත්‍රපටය ප්‍රේක්ෂකයන් හට වැදගත් වනවා. අංක එක මෙය "රජිනි කාන්ත්" චිත්‍රපටයක් වීමයි. දෙවැන්න මෙහි අධ්‍යක්ෂකවරයා "කාර්තික් සුබ්බුරාජ්" වීමයි. තෙවැන්න "විජේසේතුපති, නවසුදීන් සිද්දකී, බොබී සිම්හා, ට්‍රීෂා සහ සිම්රන්" ලෙසින් සැඳුම් ලබන දැවැන්ත රංගන සුසංයෝගයයි. සිව්වැන්න නම් කොලිවුඩයේ පෙරළිකාර සංගීත අධ්‍යක්ෂකවරයා වන "අනිරුධ්"ගේ ශක්තිමත් සංගීතයයි.

මුලින්ම මෙය රජිනි කාන්ත් චිත්‍රපටයක් වීම හේතුවෙන්ම නිසැකවම ජනප්‍රිය තලයේම රැඳෙන, ආදායම් අතින් අතිසාර්ථක වන සහ වසරේ දැවැන්තම දමිළ චිත්‍රපටය වනු ඇති බවට සැකයක් නැහැ. නමුත් පසුගිය රජිනි කාන්ත් චිත්‍රපට සියල්ලම සළකා බැලුවහොත් ඒවායෙහි සොබාවික "රජිනි කාන්ත්" තරු ගුණය එලෙසින්ම පැවතියාද කියන සැකය මතුවෙනවා. තවමත් උණුසුම පහව නොගිය '2.0' චිත්‍රපටය තුළත් අපට "රජිනි කාන්ත්" නම් සුපිරි තරුව හමුවන්නේ නැහැ. එනිසාම "Petta" තුළින් දකින්නට ලැබෙන රජිනි පෞරුෂය තුළින්, කාලාන්තරයක් තිස්සේම "රජිනි රසිකයා" විසින් පැතූ සිනමා වීරයාගෙ ආගමනයක් දැකගත හැකියි. ඔහු විසින් පළමු මිනිත්තු 10 තුළ දීම සමස්ත චිත්‍රපටයේම ආධිපත්‍යය හිමි කරගන්නේ තවත් තාරකාවන් රැසක්ම කතන්දරයට ප්‍රවේශය ලබාගන්නට සූදානමින් සිටියදීමයි. සෑම සටන් ජවනිකාවකම, සෑම ගීත ජවනිකාවකම සහ තිරය මත දිස්වන සෑම රූප රාමුවකම "රජිනි කාන්ත් අනන්‍යතාවය" ඔහු විසින් පවත්වාගෙන යන හැටි අපූරුයි. මහා පරිමාණ රජිනි රසිකයෙක් නොවන්නෙකුට වුවත් ඒ ආකර්ෂණයෙන් මිදෙන්නට නොහැකි ආකාරයේ රංගනයක් මෙවර දකින්නට හැකියි.

මීළඟට අධ්‍යක්ෂක කාර්තික් සුබ්බුරාජ් ගැන කතා කළොත්, දමිළ සිනමා රටාව තුළ කැපී පෙනෙන වෙනසක් සිදු කළ නිර්මාණකරුවෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. Pizza, Jigarthanda, Iraivi සහ Mercury යන චිත්‍රපටවලින් ඔහු මැවූ සිනමාත්මක චමත්කාරය අසමසම එකක්. වෙනස්ම කතා තේමාවන් එක්ක සුවිශේෂී සිනමා රීතියක් අනුගමනය කරන ඔහු කොලිවුඩ් සිනමාවේ දුර්ලභ ගනයේ කතන්දර පවසන්නෙක්. නමුත් ඔහුගේ නවතම නිර්මාණය "Petta" තුළදී ඔහු විසින් හැඩ වැඩ දමා තිබෙන්නේ සාම්ප්‍රදායිකව ඇති තරම් හමුවී තිබෙන පාරම්පරික Revenge Saga ආකෘතියකටයි. හැබැයි වෙනස පැවතියේ කලාන්තරයක් තිස්සේම රසිකයා විසින් මඟබලන් සිටි තම සුපිරි තාරකාවේ ප්‍රමිතිය පිරිනැමීම තුළයි. අධ්‍යක්ෂකවරයා රජිනිව රජිනි ලෙසින්ම විඳගන්නට හැකි අවස්ථාවන් නොකඩවා ප්‍රේක්ෂකාගාරයට පොම්ප කරවා තිබෙනවා.

 

කතන්දරයට ප්‍රවේශය ලබාගැනීම තුළත් හොඳ ජවසම්පන්න බවක් තිබුණා. සුන්දර කඳුකරය පරිසරයක පිහිටි විශ්වවිද්‍යාලයක්. භාහිර පාර්ශ්වයන්ගේ බලපෑම් නිසාවෙන් පීඩාවට පත්වන සිසු කැළක්. නිරන්තරයෙන්ම සිදුවන තාඩනයෙන් පීඩනයෙන් අන්ත අසරණ බවට පත්වූ ඔවුන්ගේ පිහිටට ප්‍රාදූර්භූත වන ඉටු දෙවියෙක්. සියල්ල උඩු යටිකුරු කරවමින් සැවොවම රක්ෂා කරනා අභීත නේවාසිකාගාර නියාමකවරයෙක්. කොහේදෝ සිට පැමිණි, යකෙකුටවත් බිය නැති, සේනාංකයක බල ඇති මේ තනි මිනිසා සැබවින්ම කවුරුන්ද කියන එකයි කොයි කාහටත් නොතේරෙන අභිරහස. ඔහුගේ අරමුණ, මෙහෙයුම සහ සියල්ලට තුඩු දුන් පසු කතාව සහ අවසාන මොහොත තෙක්ම පැවති සංග්‍රාමය කියන දේ අධ්‍යක්ෂක කාර්තික් සුබ්බුරාජ් විසින් මනාව හසුරුවා තිබෙනවා.

රජිනි කාන්ත් හැරෙන්නට යොදාගෙන තිබුණු අනෙකුත් රංගන ශිල්පීනුත් සුවිශේෂීම තෝරාගැනීම් වනවා. විශේෂයෙන්ම විජේසේතුපති යනු දමිළ සිනමාවේ රංගන පෞරුෂය අතින් ගුණාත්මකව ඉහළම තලයේ පසුවන්නෙක්. රජිනි නැමති මහා සාධකයට අභිමුව ගොඩනැගෙන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය බලසම්පන්න බවින් සුවිසල් කරවන්නට, කොලිවුඩයෙන් සපයා ගන්නට හැකි විශිෂ්ටතමයෙක් ලෙස විජේ සේතුපතී සහ බොලිවුඩයෙන් සපයා ගන්නට හැකි හොඳම තේරීම ලෙසින් ප්‍රතිභාපූර්ණ නවාසුදීන් සිද්දකීව යොදාගෙන තිබෙනවා. "Petta" යනු තවත් රජිනි චිත්‍රපටයක් පමණක්මයි කියන කාරණේ බොහෝ සෙයින් වෙනස් කරවන්නට එම සුසංයෝගයෙන් හැකිවී තිබෙනවා. එකම රූප රාමුවෙහි රජිනි සිටියදීම සේතුපතී සහ නවාසුදීන් විසින් විසින් ප්‍රේක්ෂක අවධානය බොහෝ සෙයින් ලබාගැනීමට හැකි ඉදිරිපත් කිරීම් සිදු කර තිබෙනවා. ඒ වගේම නොස්ටැල්ජියා මතකයන් අවදි කරවන මට්ටමේ සුන්දර නිරූපණයක් එදා වගේම තවමත් සුරූපී සිම්රන්ගෙන් දකින්නට ලැබෙනවා. සිම්රන් - රජිනි සුසංයෝගය අතිශය වූ අමතර අලංකාරයක් කතන්දරයට එක් කර තිබෙනවා. රංගන ශිල්පිනී ට්‍රිෂාගේ දායකත්වයත් අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයෙන් එක් කර තිබෙනවා. චිත්‍රපටයට සෑම අතින්ම බලසම්පන්න බවක් ආරෝපණය කරවන්නට අනිරුධ්ගේ සංගීතයෙන් ලැබෙන පිටිවහලත් මහඟු එකක්.

පළිගැනීමක ක්‍රියාන්විතයක් මුළු කතන්දරය පුරාම පැවති නමුත් ප්‍රහසනයෙන් පිනා යන්නට සමත් හාස්‍යයත් නොඅඩුවම ගණනකට මිම්මකට අතුරා තිබෙනවා. ප්‍රේක්ෂකාගාරය පිනවෙන්නට ඕන කරන අඩුම කුඩුම යහමින් යොදා තිබුණ හැටි කැපී පෙනෙන කරුණක්. සමස්තයක් වශයෙන් සිනමා නිර්මාණයක් පරිපූර්ණ කරවන්නට අවශ්‍ය සාධකයන් මෙයාකරයෙන් සපිරෙද්දී එහි උපරිම ඵල නෙලාගන්නා පාර්ශ්වය වෙන්නේ ප්‍රේක්ෂකයනුයි. රසිකයෙක් තම වීරයාව සොයාගෙන සිනමා ශාලාවකට දිව එන්නේත් මෙවන් නිර්මාණ නිසායි. තරු ගුණයෙන් බැබළෙන්නට අවශ්‍ය කරන සිනමා රටාව අධ්‍යක්ෂකවරයා විසින් නිවැරදිව හඳුනාගත් යුත්තේත් මෙපරිද්දෙන්මයි. මනස වෙහෙස කරවන ගැඹුරු කතන්දර අතරේ සැරිසරනවා සේම වින්දනයක් ලබන්නට ඉඩක් ලැබෙන මෙවැනි අවස්ථාවනුත් සිනමා ප්‍රේක්ෂකයා සතු විය යුතුමයි. Petta යනු එවන් නිර්මාණාත්මක උත්සාහයක් නිසාවෙන්ම, දමිළ ප්‍රේක්ෂකයා මෙන්ම දමිළ සිනමාවට ඇලුම් කරන ඕනෑම ප්‍රේක්ෂකයෙක් ඊට අනුගත වනු ඇති.

ලක්ෂ්මන් අරංවල

 

මාතෘකා