සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ යෝජනාව

 ඡායාරූපය:

සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ යෝජනාව

 

මේ දිනවල සනීපාරක්ෂක තුවා හෙවත් 'පෑඩ්' ගැන කතාබහක් පවතී. ඊට පාදක වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් කරන ලද ප්‍රකාශයකි. ඔහු මැතිවරණ වේදිකාවේදී කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බව පවසයි. ඊට අවලාද නඟන්නෝද ඊට ප්‍රසාදය පළ කරන්නෝද බොහෝ වෙති. ලංකාවේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන්ය. ඔහු කතා කරන්නේ ඒ සියයට 52ටම බලපාන සාතිශය සංවේදී ප්‍රශ්නයක් පිළිබඳවය. එහෙත් එයින් සිදුව තිබෙන්නේ සනීපාරක්ෂක තුවා පලඳින, නොපලඳින සමහරකුගේ උපහාසයට හෙතෙම ලක්වීමය. කාන්තාවකගේ ජීවිතයේ වසර 30ක් පමණ ආර්තවය සිදුවෙයි නම් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක් භාවිත කළ යුතුය. ආසන්න වශයෙන් ජීවිත කාලය පුරා එවන් සනීපාරක්ෂක තුවා 7,200ක් පමණ පාවිච්චි කිරීමට ඇයට සිදුවෙයි. ලංකාවේ දරිද්‍රතාවෙන් පෙළෙන්නන්ගෙන් සියයට 82ක අති බහුතරයක් ග්‍රාමීය දිළිඳු පිරිසක් වන අතර අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටිති. මෙවන් වාතාවරණයක මැතිවරණ වේදිකාවක එවැනි පොරොන්දුවක් ලබාදීම කාන්තාවගේ පාර්ශ්වයෙන් බලන කල්හි ප්‍රශස්තය. මේ ඒ පිළිබඳව මහජනතාව දැක්වූ අදහස් වේ.

 

ඉතා සාධනීය තීරණයක්

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා

සනීපාරක්ෂක තුවා සෑම කාන්තාවකටම නොමිලේ ලබාදෙනවා නම් හොඳයි. විශේෂයෙන් කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඒක හොඳ තීරණයක් විදිහට මම දකිනවා. කාන්තාවන්ගේ පිරිසුදුකම ගැන කතා කරනකොට සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම ඉතා හොඳයි. නමුත් හැමෝටම සනීපාරක්ෂක තුවා මිලදී ගන්න තරම් වත්කමක් නැහැ. ඒ නිසා ඒකට විසඳුමක් ලෙස රෙදි කෑලි භාවිතා කරන කාන්තාවන් තවමත් ලංකාවේ ඉන්නවා. ඒ හරහා විෂබීජ ශරීරය තුළට යන ප්‍රවණතාව ඉහළයි. ඒ වගේම ඒ ඔස්සේ විවිධ ආසාදන ඇති වෙන්නත් පුළුවන්. තරුණ වියේ සිටම කාන්තාවගේ සෞඛ්‍යාරක්ෂාව ඉතා වැදගත්. කාන්තාව කියන්නේ දරුවෙක් බිහි කරන කෙනෙක්. ඒ නිසා කාන්තාවගේ පමණක් නෙවෙයි ලැබෙන දරුවාගේ පවා සෞඛ්‍යාරක්ෂාව පැවරෙන්නේ කාන්තාවට. ඒ නිසා මේවා නොමිලේ ලබාදෙනවා නම් හොඳයි. ඒ තීරණය කාන්තාවගේ පැත්තෙන් ගත්ත සාධනීය තීරණයක් විදිහට මම දකිනවා. සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් සමාජය තවමත් පවතින්නේ බොහොම ලැජ්ජාශීලී දුර්මතවල. ඒ නිසාම තමයි ඒ ඔස්සේ ලබාදෙන මැතිවරණ පොරොන්දු පවා ලැජ්ජාවට පත් කරන්න උත්සාහ කරන්නේ. මේක කාන්තාවට අදාළ අතිශය සාමාන්‍ය දෙයක්; ඒක උත්කර්ෂයටවත් විහිළුවටවත් ලක් කරන්න අවශ්‍ය නැහැ.

 

කාන්තා ගැටළු ගැන කතා කිරීමම වැදගත්

ජේ. වී. රෝෂිණි - ගණේමුල්ල

 

අපිට දේශපාලනය අදාළ නැහැ. මැතිවරණ වේදිකාවක මෙහෙම හරි කාන්තා ගැටලුවක් කතා කරපු එකත් ලොකු දෙයක්. ඡන්දෙන් පස්සේ කවුරු ආවත් කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙනවා නම් ඒක ඉතාම හොඳ වැඩක් කියලා මම හිතනවා. මොකද නිතරම භාවිත කරලා ඉවත් කරන දෙයක් විදිහට සීමාවක් නැතිව කාන්තාවන්ට ඒවා අවශ්‍ය වෙනවා. ඒ නිසා කාන්තාවන්ට මුදල් ගොඩක් වැය වෙනවා සනීපාරක්ෂක තුවා මිලදී ගන්න. මුදල් තියෙන අයට එය ඒ තරම් ගැටලුවක් නැති වුණාට මුදල් නැති අසරණ මිනිස්සුන්ට ඒ වගේ පොරොන්දුවක් ලොකු දෙයක්. විශේෂයෙන් ගැහැණු ළමයි ගොඩක් ඉන්න ගෙවල්වලට නිතරම අවශ්‍ය වෙන දෙයක් මේ සනීපාරක්ෂක තුවා කියන්නේ. මේක ඇත්තටම කාන්තාවක්ගේ සෞඛ්‍ය එක්ක බැඳුණු සාමාන්‍ය දෙයක්. ඒත් අපි දැක්කා දේශපාලන වේදිකාවේ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙනවා කියපු එක විහිළුවක් බවට පත් කරගෙන තියෙනවා. කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය එහෙම විහිළුවට, හෑල්ලුවට ලක් කරන එක වැරදියි. සමාජයක් විදිහට අපි ගැටලු විසඳගෙන ඉස්සරහට යන්න ඕනේ. මේ පොරොන්දුවත් ඒකේ එක පියවරක් විදිහට මම දකිනවා. අපේ හොඳ කාලේ ගෙවිලා ඉවරයි. අඩුම තරමින් අපේ දරුවන්ටවත් මේ වගේ හොඳ ක්‍රියාමාර්ගවලින් ප්‍රතිලාභ ලැබෙනවා නම් හොඳයි.

අපිට මේක විහිළුවක් නෙවෙයි

සොනාලි ප්‍රනාන්දු - කළුතර

කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙනවා නම් හොඳයි. මොකද ගොඩක් ලොකු වියදමක් දරන්න වෙනවා අපිට මේවා ගන්න. ඒ නිසා රජයක් විදිහට එහෙම තීරණයක් ගන්නවා නම් හොඳයි කියලා මම හිතනවා. විශේෂයෙන් ලංකාවේ දුප්පත් ගෑනු ළමයි ගොඩක් ඉන්නවා මුදල් අගහිඟකම් නිසා සනීපාරක්ෂක තුවා ගන්න ක්‍රමයක් නැතුව. ඒකට හොඳ විසඳුමක් මේක. මේක සමහර අයට විහිළුවක් වෙන්න පුළුවන්. ගොඩක් අය මේකට විහිළු කරනවා සමාජ මාධ්‍යවලින් අපි දැක්කා. ඒ අයට මේක විහිළුවක් වුණාට අපිට විහිළුවක් නෙවෙයි. මේ ප්‍රශ්නෙදි ගෑනු හරිම අසරණයි. ඒ වගේ සංවේදී දේවල් එක්ක මිනිස්සු විහිළු කරනවා කියන එකත් හරිම කැත වැඩක්. මටත් ඉන්නේ දුවලා දෙන්නෙක්. අපිට නොලැබුණත් කවදාහරි අපේ දරුවන්ටවත් මේ යෝජනාව ක්‍රියාත්මක වෙලා, ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් හොඳයි.

මැතිවරණ වේදිකාවක කතා කරපු එක ලොකු දෙයක්

ශර්මිලා පෙරේරා - නුගේගොඩ

මැතිවරණ වේදිකාවක සනීපාරක්ෂක තුවා ගැන කතා කරපු එකම ලොකු දෙයක්. බොහෝ විට කාන්තා ගැටලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ අවධානයට ලක් වෙන්නේ නැති තරම්. සනීපාරක්ෂක තුවා කියන්නේ කාන්තාවකගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ දෙයක්. මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන බය, බොහොම ලැජ්ජාශීලී සංස්කෘතියක අපි ජීවත් වෙන්නේ. කඩේකට ගියත් කොළයක ඔතලා සනීපාරක්ෂක තුවා ලබාදෙන සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ වගේ වාතාවරණයක මැතිවරණ වේදිකාවක ප්‍රසිද්ධියේ සනීපාරක්ෂක තුවා ගැන කතා කරපු එක මම දකින්නේ සමාජීය වශයෙන් ඉදිරියට තබපු පියවරක් හැටියට. ඒ නිසා මේක හොඳ ප්‍රවණතාවක්. සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන එක හොඳ වැඩක්. ගොඩක් දුෂ්කර ප්‍රදේශවල කාන්තාවන් මේවා ගන්න මුදල් නැතුව ලතවෙනවා. පොරොන්දුවක් වගේම මේක ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒක බලයට පැමිණෙන කවුරු හෝ ක්‍රියාත්මක කළොත් ලංකාවේ කාන්තාව වෙනුවෙන් ගත්ත හොඳම තීරණයක් වේවි.

 

 

 

ඉතා හොඳ පියවරක්

නිල්මිණී දීප්තිකා - ගම්පහ

 

කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනස්. ඒවා පෞද්ගලික ප්‍රශ්න කියලා සමාජයෙන් වෙන් කරපු කාලයක් තිබුණා. දැන් ඒ ගැන ටිකක් සමාජයේ කතා කරනවානේ. අපි දැක්කා පසුගිය දවසක මැතිවරණ වේදිකාවක අපේක්ෂකයෙක් කාන්තා ප්‍රඥප්තියේ වෙනස් වෙන්න ඕනේ දේවල් ගැනත් කතා කරනවා. සනීපාරක්ෂක තුවා ගැනත් ප්‍රසිද්ධ වේදිකාවේ කතා කරනවා කියන්නේ ඉතාම හොඳ දෙයක්. නොමිලේ දෙන එක හොඳයි. කාන්තාවන් මේ කාලවකවානුව ගත කරන්නේ ඉතා අපහසුවෙන්. විශේෂයෙන් පිරිසුදුකමත් එක්ක බැඳුණු දෙයක් නිසා මේක ඉතා හොඳ පියවරක් හැටියට මම දකිනවා. සනීපාරක්ෂක තුවාවලට වැය කරන්න මුදල් නැති කාන්තාවන්ට මේක ඉතාම වටිනා බලාපොරොත්තුවක්.

 

බෙදා හැරීමේ නිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ

අංජු අල්විස් - කොට්ටාව

සනීපාරක්ෂක තුවා කාන්තාවන්ට නොමිලේ ලබාදෙන එක හොඳයි. ඒක ප්‍රශස්ත පියවරක්. නමුත් ලංකාවේ ජනගහනයෙන් සියයට 52ක්ම කාන්තාවන්. ඒ තරම් විශාල ප්‍රමාණයකට මුළු වසරක් තුළම සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. මූල්‍යමය අතින් රට ඒ සඳහා ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වගේම සනීපාරක්ෂක තුවා මිලදී ගන්න පවා කාන්තාවන් පසුබට වෙන සමාජයක මේක බෙදා හැරීමේ නිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ඒක කාන්තාවගේ පෞද්ගලිකත්වයට හානිදායක වෙන්න බැහැ. මේ වගේ සාධනීය මැතිවරණ පොරොන්දු දෙන එක හොඳයි. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ වගේම ඒවා ක්‍රියාත්මක කරනකොට එන ප්‍රායෝගික ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන්නත් ඕනේ. වෛද්‍යවරුන්ගෙන් වගේම සමාජ විද්‍යාඥයන්ගෙන් රජය මේ සඳහා උපදෙස් ලබාගන්න ඕනේ.

 

සනීපාරක්ෂක තුවා දැකලවත් නැති කාන්තාවන් ඉන්නවා

කෞෂල්‍යා චාර්ල්ස් - වත්තල

 

කාන්තා පාර්ශ්වය ගැන සමාජයේ ඒ තරම් අවධානයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති හදනකොට බොහෝ රජයන් කාන්තාව අමතක කරනවා. එහෙම රටක කාන්තාවට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට පොරොන්දු වීම හොඳ වැඩක් හැටියට මම දකිනවා. ඒක මිල මුදල් නැති කාන්තාවන්ට ලොකු දෙයක්. ආර්ථවයේදී කාන්තාව විඳින වේදනාව මේවා හාස්‍යයට ගන්න පිරිමි දන්නේ නැහැ. සනීපාරක්ෂක තුවා එක වතාවක්වත් පාවිච්චි නොකළ කාන්තාවන් පවා ලංකාවේ ඉන්නවා. සනීපාරක්ෂක තුවා ගැන දැනුම නැති කාන්තාවන් ඉන්නවා. ඒ අයට මේ වගේ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම ලොකු උපකාරයක් වේවි.

ලංකාව වගේ රටකට අවශ්‍ය ප්‍රතිපත්තියක්

කෝෂිලා කාරියප්පෙරුම

කොළඹ විශ්වවිද්‍යාලය

කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙනවා නම් හොඳයි. ඒවා ආනයනය කරන්න ලොකු බද්දකුත් එකතු කරනවා. මිල මුදල් තියන අයට වුණත් සනීපාරක්ෂක තුවා ගන්නකොට ඒ බදු මුදල් ගෙවන්න වෙන නිසා අපහසුතාවට ලක් වෙනවා. මැතිවරණ වේදිකාවල කාන්තා ගැටලු කතා කරනවා අඩුයි. මේ වගේ පොරොන්දු ලබාදෙනවා වගේම පොරොන්දුවලට පමණක් සීමා නොකර ඒවා ක්‍රියාත්මක කරන්නත් මහන්සි වෙනවා නම් ගොඩක් හොඳයි. ගොඩක් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගන්න එක දුෂ්කරයි. නගරයෙන් පිට ඈත පළාත්වල කාන්තාවන් සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිත කරන්නේ රෙදි කෑලි. නගරබද කාන්තාවන් පවා එහෙම අය ඉන්නවා. ඒකෙන් සෞඛ්‍ය ගැටලු නිර්මාණය වෙනවා. ඒ වගේ ප්‍රතිපත්තියක් ලංකාව වගේ රටකට අවශ්‍යයි. නමුත් ඒවා නොමිලේ ලබාදෙනවා වගේම සනීපාරක්ෂක තුවා භාවිතා කරන ආකාරය සහ බැහැර කරන ආකාරය ගැනත් කාන්තාවන් දැනුවත් කිරීම අවශ්‍යයි.

[නිර්මාණි බණ්ඩාරණායක]

News Order: 
0
මාතෘකා