ලොතරැයි ජයග්‍රාහකයන්ට ආයෝජන උපදේශනයත් අපි ලබාදෙනවා

 ඡායාරූපය:

ලොතරැයි ජයග්‍රාහකයන්ට ආයෝජන උපදේශනයත් අපි ලබාදෙනවා

සේන සූරියප්පපෙරුම

සභාපති/ප්‍රධාන විධායක නිලධාරි | සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුංචි රුපියල් විස්සකට මිලදීගත් ලොතරැයිපතක අතිවිශාල දිනුමකින් තම ජීවිත ඉරණම වෙනස් කරගත්තෝ බොහෝය. ලොතරැයිපතක් මිලට ගන්නා සෑමගේම අපේක්ෂාව දිනුමක හිමිකරුවකු වීමයි. පාරිභෝගික ජනතා පැතුම එසේ වන විට ලොතරැයි ජයග්‍රහණ වැඩිපුර ලබාදෙමින් ජනතාවගේ අභිවෘද්ධිය සලසන අතරම ලොතරැයි ආදායම තුළින් රටේ සාමාජීය සංවර්ධනයටද දායක වීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දැක්මයි.

36 වසරක් පුරා ඒ වෙනුවෙන් නොනිමි මෙහෙවරක යෙදී සිටින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වත්මන් කාර්යභාරය සහ අනාගත සැලසුම් පිළිබඳව දැනුවත් වීමට අප සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායන නිලධාරි සේන සූරියප්පෙරුම මහතා හමුවීමු. මේ ඔහු සමඟ අප කළ සාකච්ඡා සටහනයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වර්තමාන තත්ත්වය සභාපතිවරයා ලෙස ඔබ දකින්නෙ කොහොමද?

පසුගියදා සිදුවුණු ත්‍රස්තවාදී ප්‍රහාර‍ෙයන් අපේ ව්‍යාපාරයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. පළමු කාර්තුවේදී අපේ වර්ධන වේගය 7%ක් දක්වා තිබුණා. නමුත් අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයත් සමඟ අපේ එම වර්ධන වේගය 80%ක් දක්වා පහළ වැටිලා තියෙනවා මේ වෙද්දි. මේ වන විට 27%කින් පමණ අපේ ලොතරැයි අලෙවියත් පහළ වැටිලා තියෙනවා. නමුත් පසුගිය දින කිහිපය තුළ එය යථා තත්ත්වයට පත් කරන්න අප ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් විදිහට එය 90% ක් වගේ මට්ටමකට ඇවිත් තියෙනවා. නමුත් තවමත් 17%ක් අපි පසුපසින් ඉන්නේ. මේ බලපෑම අපිට විතරක් නෙමෙයි අපේ සහෝදර ආයතනය වෙන ජාතික ලොතරැයි මණ්ඩලයටත් එල්ල වෙලා තියෙනවා.

ලොතරැයි වෙ‍ෙළඳාම කියන්නේ පදික වෙ‍ෙළඳාමක්. සාමාන්‍යයෙන් ලොතරැයි අලෙවි කරන්නේ අඩු ආදායම්ලාභීන්. වැඩිපුරම ලොතරැයි මිලට ගන්නෙත් අඩු ආදායම්ලාභීන්. මේ සියල්ලටම 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමක් වුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදල් යන්නේ ජනාධිපති අරමුදලටයි. ඒ යන මුදල් ප්‍රමාණයෙත් 25%ක් පමණ අඩුවීමක් මේ කාර්තුවේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්.

එවැනි වාතාවරණයක් තුළ ලොතරැයිපත් අලෙවිය වැඩිකර ගැනීමට ඔබ ආයතනය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

ලොතරැයි ව්‍යාපාරය කියන්නේ ක්ෂණිකව වැඩි කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. 2018 වසරේදී අපි හඳුන්වාදුන් විශාල වැඩපිළිවෙළක් මත තමයි 7%ක වර්ධනයක් අපි අත්පත් කරගෙන තිබුණේ. අපි නවීන ලොතරැයි අලෙවි කුටි 600ක් බෙදා දුන්නා. එයින් අලෙවි කුටි 100ක් උතුරු නැඟෙනහිරට බෙදා දුන්නා. ඒ තත්ත්වය තුළ පසුගිය වසරේදී උතුරු නැඟෙනහිර ලොතරැයි අලෙවිය 124%කින් වර්ධනය වුණා. මේ වන විට බෙදා ඇරීමේ ජාලයේ අඩුපාඩු සකස් කර අපි අපේ මානව සම්පත් මනාව කළමනාකරණය කර තිබෙනවා.

සංවර්ධන ලොතරැයිපත් මහජනතාවට සමීප කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සහ නව ප්‍රවර්ධන වැඩසටහන් මොනවාද?

ටිකට්පත් අලෙවිය සඳහා අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ප්‍රචාරණ යාන්ත්‍රණයයි. ඒ අනුව පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි වෙ‍ෙළඳ දැන්වීම් ආශ්‍රයෙන් නිරන්තරයෙන්ම අපි මහජනතාව දැනුම්වත් කරනවා. ඊට අමතරව අපි මාසිකව එක් සන්නාමයක් යටතේ අතිරේක තෑගි සහිත විශේෂ ටිකට්පතක් හඳුන්වාදීලා තියෙනවා. ඒ තුළින් සාමාන්‍යයෙන් තිබෙන තෑගි රටාවට අමතරව විශේෂ තෑගි හඳුන්වාදී තිබෙනවා. නවීන මෝටර් රථ, බයිසිකල්, ස්කූටර්, ත්‍රීවීල්, රන්පවුම් වගේ තෑගි දීලා සන්නාමය පිළිබඳ දැනුම්වත් කරනවා. එම විශේෂ ලොතරැයිය සාමාන්‍ය ටිකට්පතක අලෙවිය වගේ තුන් ගුණයකින් වැඩියි. ඒ සඳහා දැන් ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සංවර්ධන ලොතරැයි මණ්ඩලය හැටියට අපි මාසිකව උත්සවාකාරයෙන් තෑගි ලබාදෙනවා. ඒ වැඩසටහන අපි පුවත්පත් මාර්ගයෙන් සහ රූපවාහිනී මාර්ගයෙන් ප්‍රචාරය කරනවා. ඒ තුළිනුත් ජනතාව දැනුම්වත් වෙලා වැඩි වශයෙන් ටිකට්පත් මිලදී ගන්නවා. ඒ වගේම අපේ සුපිරි ජයමල්ල විශාල මුදලක්. එයත් ජනතා ආකර්ෂණයට විශේෂ හේතුවක් වී තිබෙනවා. පසුගිය වසර එකහමාර තුළ රු, 20 ටිකට්පත රු.30 කරන්න ගිහින් මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණා. එවන් වකවානුවකයි මම සංවර්ධන ලොතරැයි මණ්ඩලය බාරගත්තේ. පසුගිය වසරේ 7%ක වර්ධනයක් සහ මේ වසරේ මුල් කාර්තුවේ 7%ක වර්ධනයක් අපි පෙන්නුම් කර තිබෙනවා. පාරිභෝගිකයාගේ විශ්වාසය අපි දිනාගෙන තිබෙන බව එයින් සනාථ වනවා .

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සතුව විශාල අලෙවි නියෝජිත ජාලයක් පවතිනවා. අලෙවි නියෝජිතයන්ගේ සුබසාධනය වෙනුවෙන් ඔබ ආයතනය විසින් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද?

අලෙවි නියෝජිතයන්ට මුලින්ම සුබසාධනයට වඩා වැදගත් වෙන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් මුදල. මේ ව්‍යාපාරය කොමිස් සහිතව පවත්වාගෙන යන ව්‍යාපාරයක්. මේ විකුණන සෑම ටිකට්පතකින්ම රු.3.50ක් අලෙවි නියෝජිතයාට ලැබෙනවා. රු.3.50ක් කියන්නේ අපේ සම්පූර්ණ පිරිවැයෙන් 17.5%ක්. එවැනි වැඩි කොමිස් මුදලක් වෙන කිසිම ව්‍යාපාරයකින් ලබාදෙන්නේ නැහැ. අලෙවි නියෝජිතයෝ නෙවෙයි දැන් ටිකට් අලෙවි කරන්නේ. ඒ සඳහා ඒ අයට වෙනම සේවක පිරිසක් ඉන්නවා. ඔවුන් අතරේ මේ කොමිස් මුදල බෙදිලා යනවා. ඊට අමතරව අලෙවි නියෝජිත මහත්වරුන්ට අපි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා.

ලොතරැයි අලෙවියට අමතරව රටේ සංවර්ධනයට සංවර්ධන ලොතරැයි මණ්ඩලය දක්වන දායකත්වය කෙබඳුද?

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් ලබාදෙන්නේ රටේ සංවර්ධනයට නොවෙයි. සමාජ සංවර්ධනය වෙනුවෙනුයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුදල් රැස් කරන්නේ ජනාධිපති අරමුදලටයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ශිෂ්‍යාධාර ලබාදීමට සහ ජනාධිපතිතුමා යටතේ පවතින සෞඛ්‍ය වැඩසටහන යටතේ මුදල් වියදම් කරලා වෛද්‍ය පහසුකම් ලබාගත නොහැකි පිරිසේ විවිධ සැත්කම් සඳහා මුදල් ලබාදෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් සමාජ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා.

ලොතරැයි ජයග්‍රහණය තුළින් ධනවතුන් බිහිකරනවා වගේම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ස්ථාවර කරගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගෙන ඇති පියවර මොනවාද?

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් බිහිවන ජයග්‍රාහකයන් තෑගි ලබාගන්න ආවම අපි ඔවුන්ට යම්කිසි උපදේශන සේවාවක් ලබා දෙනවා. බොහෝදුරට අපි එයාලට කියන්නේ සල්ලි ගන්න එනකොට බැංකුවක් එක්ක එන්න කියලා. බැංකු නිලධාරියකුට බොහෝදුරට මුදල් කළමනාකරණය සඳහා උපදෙස් ලබාදෙන්න පුළුවන්. ප්‍රතිපත්තියක් ලෙස බොහෝ දෙනෙක් ජයග්‍රාහී මුදල් බැංකුවේ ස්ථිර තැන්පතුවල දානවා. කිසිම ව්‍යාපාරික ඥානයක් නැති පුද්ගලයකුට ටිකට්පතක් ඇදුණොත් ඔවුන්ට දෙන හොඳම උපදේශන තමයි ඒ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් බැංකුවේ දාලා පොලියක් ලබා ගැනීමට කටයුතු කිරීම. එක පැත්තකින් එය ජාතික සංවර්ධනයට හොඳයි. නමුත් කිසිම දැනුමකින් තොරව ව්‍යාපාර ආරම්භ කරන බෙහෝ අය ඒ මුදල් විනාශ කරගෙන නැවත හිටපු තැනටම එනවා. ඒ වගේම ලොතරැයි ජයග්‍රහණ නිසා තමන්ගේ ජීවිත සරු කරගත් බොහෝ පිරිසකුත් ඉන්නවා. බොහෝ විට ටිකට්පත් මිලදී ගන්නේ අඩු ආදායම්ලාභී ජනතාව. ඔවුන්ට ලොතරැයි පතකින් කෝටි ගාණක මුදල් ත්‍යාගයක් ලැබුණාම ඒ මුදල් පරිහරණය කිරීමේ ප්‍රශ්නයත් ඇති වෙනවා. ලංකාවේ සංස්කෘතියත් ඊට හේතුවක්.

අනාගතය සඳහා වන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉදිරි සැලසුම් මොනවාද?

සාමාන්‍යයෙන් දෛනිකව ක්‍රියාත්මක කරන සැලසුම් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි මේ වන විට අවබෝධ කරගෙන තිබෙනවා ටිකට්පත් කවුන්ටර් හරහා අලෙවි කරන ව්‍යාපාරය තව බොහෝ කාලයක් පවත්වාගෙන යා නොහැකි බව. සමාජය දිනෙන් දින දියුණු වෙනවා. මිනිස්සු ලොතරැයි කූඩුවකින් ටිකට්පත් ගැනීමට යෑමත් ඒ සමඟ ක්‍රමයෙන් අඩුවනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රවාහන රටාවත් වෙනස් වෙලා තියෙනවා. කාන්තා පක්ෂය සහ වෙනත් සංස්කෘතීන්වලට අයත් උදවිය කවුන්ටරයට ගිහින් ටිකට් ගන්නේ නැහැ.

ඒ නිසා නවීන තාක්ෂණය හරහා ටිකට්පත් වෙ‍ෙළඳපොළට ගෙන යෑමට අපි සැලසුම් කර තිබෙනවා. කෙටි පණිවුඩ මාර්ගයෙන් ටිකට්පත් මිලදී ගැනීමට අවකාශය සලසා දී තිබෙනවා. මේ වන විට මේ රටේ ජනගහනයට සමාන ප්‍රමාණයක් Android දුරකථන සහ සාමාන්‍ය දුරකථන භාවිත කරනවා. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ දිනුම් අදින ටිකට්පතම ඒ ආකාරයෙන්ම Android දුරකථනයට යැවීමට. ඒ සඳහා ක්‍රමයක් අපි සකස් කර තිබෙනවා. ඒ මිලදී ගැනීමේදී තමන්ගේ credit කාඩ්පත, ජංගම ගිණුම හෝ වෙනත් මුදල් ගෙවීමේ ක්‍රම භාවිතකර ඉදිරියේදී ටිකට්පත් මිලදී ගන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය තමයි ටිකට්පත මිලදී ගැනීමෙන් අනතුරුව දිනුම් ඇදීම කරන දිනය වගේම ප්‍රතිඵල දැනුම්දීමත් සිදු කරනවා.

ඒ වගේම ලොතරැයි පාරිභෝගිකයන්ට තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි තමන්ට ජයග්‍රහණයක් ලැබිලාද කියා දැනගන්න එක. ලංකාවේ ලොතරැයිපත් මිලදී ගන්න පුද්ගලයන්ගෙන් 3%ක් තෑගි ගන්න එන්නේ නැහැ. ඒකට හේතුව ඒ අය දන්නේ නැහැ ටිකට්පත ඇදිලා කියලා. අපි මුලින් කී ක්‍රමවේදය යටතේ දුරකථනයෙන් ප්‍රතිඵල බලාගන්න පුළුවන් වගේම තමන් ගත්ත ටිකට්පතට ලැබුණු ජයග්‍රහණය ගැනත් දැනගන්න පුළුවන්. වර්තමාන තත්ත්වයත් සමඟ මාස දෙකකට පසුව මේ ක්‍රමවේද මහජනතාවට හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ටිකට්පත් මිලදී ගන්න පාරිභෝගිකයන් සඳහා ලියාපදිංචි වෙන අයට ප්‍රතිඵල SMS මාර්ගයෙන් දැනගන්න අපේ වෙනම ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා. ඒක වර්තමානයේ ඉතා ජනප්‍රියයි. මේ වන විට ඒ සඳහා 20,000ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. දුරකථන ඇමතුමක් හරහා (011 - 4825825) ස්වයංක්‍රිය හඬ භාවිතයෙන් (IVR) ප්‍රතිඵල දැනගැනීමේ ක්‍රමයත් අපි හඳුන්වාදී තිබෙනවා. එයත් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා.

සාකච්ඡා සටහන

[නිර්මාණි බණ්ඩාරනායක] ඡායා [සුදත් නිශාන්ත]

මාතෘකා

ජනප්‍රිය ලිපි