යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදාගෙන ආකල්පමය වෙනසක් ඇතිකිරීම විශාල අභියෝගයක් : ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ

 ඡායාරූපය:

යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදාගෙන ආකල්පමය වෙනසක් ඇතිකිරීම විශාල අභියෝගයක් : ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ

රටක සංවර්ධනය මැනිය හැකි සාධක රැසක් තිබේ. ඒ අතරින් විවිධ අසරණ තත්ත්වයන්හි පසුවන සහ දිළිඳු බවින් පෙළෙන ජනතාව, වැඩිහිටියන්, ආබාධ සහිත තැනැත්තන්, තනි මවුපිය පවුල්, මතට ඇබ්බැහිවූවන් හා අනාථභාවයට පත්වූවන් නඟාසිටුවීම සඳහා කැපවූ ප්‍රබල, කාර්යක්ෂම, වේගවත් හා ඵලදායී ආයතනයක් පවත්වාගෙන යෑම අභියෝගාත්මක කාර්යයකි. එම අභියෝගයට උරදී සිටින ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය බාර අමාත්‍ය දයා ගමගේ මහතාසමඟ 'රැස' සාකච්ඡාවකට එළැඹියේ අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණිනි.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අරමුණු සහ කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා නම්?

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ගැන කියනවා නම් එය මෙම රජය යටතේ අලුතින්ම පටන් ගත් අමාත්‍යාංශයක්. ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්‍රයේ අගයදාමය වැඩිකිරීම තමයි මෙම අමාත්‍යාංශයේ මූලික අරමුණ. කෙටියෙන් කියනවා නම් කෘෂි කර්මාන්තය, ධීවර අමාත්‍යාංශය, ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය සහ වාරිමාර්ග කියන අමාත්‍යාංශ හතරට අයත්වන විෂය පථයන්ට වඩා වෙනස් සංකීර්ණ කාර්යභාරයක් තමයි මෙම අමාත්‍යාංශයෙන් සිදුවන්නේ.

ඒ පිළිබඳ තවදුරටත්පැහැදිලි කිරීමක් කරනවා නම්?

ප්‍රාථමික කර්මාන්තවල වටිනාකම් නැතහොත් අගයදාමයන් වැඩි කිරීමට නම් එක් එක් කර්මාන්තවල තිබෙන වටිනාකම් මොනවාද? එම වටිනාකම් හැදෙන්නේ කොහොමද? කියන කාරණා හඳුනාගත යුතුයි. ඉන්පසු ඒ වටිනාකම් වැඩිකිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. උදාහරණයක් විදිහට මත්ස්‍ය නිෂ්පාදනය ගත්තොත් අපි කොහොමද ඒක වැඩි කරන්නේ? මොන අපනයන වෙළෙඳපොළද අපි තෝරාගන්නේ? එක් එක් වෙළෙඳපොළට අවශ්‍ය මත්ස්‍ය වර්ග මොනවාද? මොන විදිහටද ඒ අපනයන කටයුතු සිදුවන්නේ කියන කරුණු සොයා බැලිය යුතුයි. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය තුළින් අපි සොයා බලනවා කුළුබඩුවල අගයදාමය වැඩි කරන්නේ කොහොමද කියලා. ආරම්භයේදී අපිට තිබුණේ කුළුබඩු ක්ෂේත්‍රයේ මිලියන දෙසිය ගණනක පමණ අපනයන ධාරිතාවක්. මේ වන විට අපි එය සියයට 80කින් විතර වැඩිකර ගෙන තිබෙනවා. 2025 වසර වන විට අපේ ඉලක්කය මිලියන 1500ක අපනයන ධාරිතාවක් වුවත් අපි අපේක්ෂා කරන ආකාරයට මේ කටයුතු සිදුවුණොත් 2022 වසර වන විටම ඒ ඉලක්කයට යා හැකි වෙතැයි විශ්වාස කරනවා. ඒ වගේම කුරුඳු වගේ කර්මාන්තයක් ගත්තොත් කුරුඳුවල ඖෂධීය ගුණාත්මක භාවයේ වටිනාකම කොයිතරම් ඉහළ වුණත් අපිට තවමත් අපේ කුරුඳු ලෝකයට විකුණගන්න බැරිවෙලා තියෙනවා. නමුත් ඒ ඖෂධීය වටිනාකම ලෝකයට හඳුන්වා දුන්නොත් අපිට කුරුඳුවල වටිනාකම ඩොලර් මිලියන 500කින් පමණ වැඩිකර ගත හැකියි.

අපනයන ආදායම වැඩිකර ගැනීම සදහා ඊට අමතරව ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

අපනයන කෘෂි ගම්මාන 5000ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට අපි ගම්මාන 300ක් පමණ ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ එක් එක් බෝග වගාවන් ප්‍රචලිත කිරීම සිදුවනවා. උදාහරණයක් විදිහට කියනවා නම් ඉස්සර කාලේ නිතරම වගාවන් සඳහා තෝරාගත්තේ කර්තකොලොම්බු වැනි අඹ වර්ග. ඒ අඹ ගස් 55ක් පමණ තමයි ඉඩම් අක්කරේකට හිටෙව්වේ. නමුත් අපි දැන් තෝරගෙන තිබෙනවා ටීජන්සි කියන අඹ වර්ගය. ඒ අඹ වර්ගයේ ගස්, අක්කරයකට 200ක් හිටවන්න පුළුවන්. මේ එක් අඹ ගසකින් අඹ කිලෝග්‍රෑම් 60ක පමණ ඵලදාවක් ගත හැකියි. ඒ කියන්නේ රුපියල් දොළොස්දාහක ආදායමක් වගාකරුවාට ලැබෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක වුණත් මේ අඹ ගස් 25ක් වවාගත්තොත් වසරකට ලක්ෂ 3ක පමණ ආදායමක් ලබාගත හැකියි. අඹ ගම්මානයක් කිව්වොත් එක් ගම්මානයක අඩුම ගාණේ අඹ ගස් දහදාහක්වත් තිබිය යුතුයි. මගේ ඉලක්කය නම් එක් ගම්මානයකට ගස් පහළොස්දාහක් සිටුවීමයි. මේ විදිහට එක ගම්මානයකින් අපිට ඩොලර් මිලියනයක් අපනයන ආදායම එනවා. ඒ විදිහට අඹ විතරක් නෙවෙයි බතික්, පේෂකර්ම, කැටයම් ආදී විවිධ කර්මාන්ත සඳහා අපනයන ගම්මාන ඇතිකර එම ගම්මාන සඳහා අපනයන වෙළෙඳපොළක් සොයා දීමටත් අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ හැම ගම්මානයකින්ම ඩොලර් මිලියන 1ක ආදායමකුත් ඒ විදිහට ගම්මාන 5000න් ඩොලර් මිලියන 5000ක පමණ අපනයන ආදායමක් රට තුළට ගෙන ඒම අපේ අපේක්ෂාවයි.

සමාජ සවිබල ගැන්වීමේදී ඔබ අමාත්‍යාංශය හමුවේ තිබෙන අභියෝග මොනවාද?

අභියෝග කිහිපයක්ම තිබෙනවා. මේ රටේ වැඩ කරන ජනතාවගෙන් පහෙන් එක් අයෙක් රජයේ සේවකයෙක්. නමුත් අපේ ආර්ථිකයට තිබෙන දායකත්වය සියයට 6යි. එම දායකත්වය අපි වැඩිකර ගත යුතුයි. ඒ සඳහා අපි වැඩකරන ජනතාවට අවශ්‍ය පුහුණුව ලබාදිය යුතුයි. මූලික අභියෝගය තමයි පුහුණුව ලබාදිය යුතු අංශ හඳුනාගෙන ඒ පුහුණුව ලබාදීම. ඒ වගේම ඔවුන් තුළ ධනාත්මක ආකල්ප ඇතිකිරීමත් විශාල අභියෝගයක්. උදාහරණයක් විදිහට කියනවා නම් ගම්වල ජීවත්වන බොහෝ අයගේ අපේක්ෂාව රජයේ රැකියාවක් ලබාගැනීමයි. ඔවුන් පෞද්ගලික අංශයේ රැකියාවලට කැමති නැහැ. අද රැකියා ඕන තරම් තියෙනවා. ඇත්තටම රැකියා නැත්තේ ඉගෙන ගත් පිරිසටයි. ඒකටත් හේතුවක් තිබෙනවා. ඔවුන් ලබාගෙන තිබෙන්නේ රැකියා වෙළෙඳපොළට අවශ්‍ය උපාධිය නෙවෙයි. එය දරුවන්ගේ වරදක් නොවෙයි. රැකියා වෙළෙඳපොළට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරගැනීම ගැන දරුවන් දැනුවත් කිරීම රජය, මවුපියන් සහ මාධ්‍යයේ වගකීමක්. විශේෂයෙන් මාධ්‍යට විශේෂ වගකීමක් තිබෙනවා රැකියා වෙළෙඳපොළ නව අවශ්‍යතා ගැන දරුවන් දැනුවත් කිරීමට.

සමාජ සවිබල ගැන්වීම සඳහා මේ වන විට අමාත්‍යාංශයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

මේ වෙද්දි අපේ රටේ වැඩිහිටියෝ ලක්ෂ 26ක් සිටිනවා. ඒ වගේම වයස අවුරුදු 70ට වැඩි අය ලක්ෂ 10ක් ඉන්නවා. ඒ අයට අමාත්‍යාංශයෙන් රුපියල් දෙදාහක දීමනාවක් ගෙවනවා වගේම ඒ දීමනාව බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනයේ තවත් ලක්ෂයක පිරිසක් ඉන්නවා. වැඩිහිටියන් නඩත්තු කිරීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් ඇතිකළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව අපේ අමාත්‍යාංශය සොයා බලමින් සිටිනවා. මේ වන විට රජයේ සේවකයන්ට පමණයි වයසට ගියාම යැපෙන්න විශ්‍රාම වැටුපක් තිබෙන්නේ. පෞද්ගලික අංශයට තිබෙන්නේ අර්ථසාධක අරමුදලක් පමණයි. නමුත් බොහෝ අය ඒ මුදල් නිකරුණේ වියදම් කරනවා මිස තමන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් නිසි ආයෝජනයක් කරන්නේ නැහැ. ඒ නිසා රජයක් විදිහට අපිට වගකීමක් තිබෙනවා ඔවුන් සඳහා වෙනම අරමුදලක් හදලා යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට. වැඩිහිටියන් මහලු නිවාසවලට හිරකරන්නේ නැතුව ඔවුන් දරුවන් සමඟම ජීවත් කරවිය හැකි ක්‍රමයක් සකස් කිරීම පිළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබෙනවා. ඒ සදහා මිනිසුන්ගේ ආදයම් වැඩිකළ යුතුයි. මොකද දරුවන්ට මහලු මවුපියන් නඩත්තු කිරීමේ උවමනාව තිබුණත් එය කළ නොහැක්කේ ආර්ථික නොහැකියාව නිසයි. මේ සියල්ලම සමාජ ප්‍රශ්න. ඒ නිසා රජයක් විදිහට ඒවාට විසඳුම් ලබාදීම සඳහා මැදිහත් විය හැකි ආකාරය පිළිබඳ අපේ අවධානය යොමු කර තිබෙනවා.

සමාජ සවිබල ගැන්වීම යටතේ ඔබ අමාත්‍යාංශයට පැවරී ඇති වෙනත් වගකීම් මොනවාද?

අපේ රටේ වැන්දඹු කාන්තාවන් ලක්ෂ හයහමාරක් පමණ සිටිනවා. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීම වගේම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීමත් මෙම අමාත්‍යාංශයට අයිති දෙයක්. ඒ වගේම සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමත් මේ අමාත්‍යාංශයේ වගකීමක් වුවත් එය සංකීර්ණ කාර්යභාරයක් වී තිබෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය දුන්නේ වසර 2කට. නමුත් සමෘද්ධිලාභීන් ලක්ෂ 14න් සියයට 83ක් අවුරුදු 15ක් තිස්සේම සමෘද්ධිය ගන්නවා. එක පැත්තකින් ඔවුන් සවිබල ගන්වන අතරේ සමෘද්ධිය අපේක්ෂාවෙන් පෝලිමේ සිටින ලක්ෂ අටහමාරක ජනතාවටත් සමෘද්ධිය ලබාදිය යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් මිනිසුන් තුළ තිබෙන යැපුම් මානසිකත්වයෙන් ඔවුන් එළියට ගෙනෙන ආකල්පමය වෙනසක් කළ යුතුයි. එය මේ අමාත්‍යාංශය බාර ඇමතිවරයා ලෙස මට තිබෙන විශාල අභියෝගයක්. නමුත් ඒ වෙනුවෙන් අපේ අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටිනවා. 2025දී පොහොසත් රටක් බිහිකිරීම අපේ ඉලක්කයයි.

සාකච්ඡාව [එම්. අල්මේදා] ඡායා [විපුල අමරසිංහ]

මාතෘකා