රජයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සහාය දක්වමින් හැටන් නැෂනල් බැංකුවෙන් සුළු මධ්‍ය හා ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සහනයක්

 ඡායාරූපය:

රජයේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සහාය දක්වමින් හැටන් නැෂනල් බැංකුවෙන් සුළු මධ්‍ය හා ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සහනයක්

ජූඩ් ප්‍රනාන්දු - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

(සුළු හා මධ්‍ය ව්‍යවසායක ක්ෂේත්‍රය) හැටන් නැෂනල් බැංකුව

රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමේ අරමුණෙන් ආරම්භ කළ එන්ටප්‍රයිස්

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රමය සඳහා හැටන් නැෂනල් බැංකුවද සිය පූර්ණ සහාය පළ කරමින් මෙම ණය යෝජනා ක්‍රමය සිය ශාඛා පද්ධතිය තුළින් ලබාදීම දැන් අරඹා ඇත. විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මිලියන 100 දක්වා ලබාදෙන ණය පහසුකම් තුළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය නංවාලීම රජයේ ඉලක්කය වී ඇත. පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන මෙරට ප්‍රධානතම හා පැරණිතම බැංකුවක් ලෙස හැටන් නැෂනල් බැංකුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී වැවිලි ක්ෂේ්ත්‍රයේදී කටයුතු කළ පිරිස් සඳහා වැටුප් ගෙවීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා 1888 වර්සේදී ආරම්භ කරන ලදි. හැටන් නැෂනල් බැංකුව වසර 131ක සිය ප්‍රෞඩ ඉතිහාසය තුළ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් නඟාසිටුවීම සඳහා සුවිශේෂී කාර්යභාර්යක් ද ඉටු කරන ලදී. මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් දිරිගැන්වීම සඳහා දශක දෙකකට අධික කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන ගැමි පුබුදුව ණය යෝජනා ක්‍රමය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය සඳහා බැංකු පද්ධතියක් හඳුන්වාදුන් පුරෝගාමී ණය යෝජනා ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය.

පාරිභෝගික විශ්වාසය දිනාගත් බැංකුවක් ලෙස පිළිිගැනෙන හැටන් නැෂනල් බැංකුව විසින් ණය ලබාදෙනු ලබන ක්ෂේත්‍ර අතර කෘෂි කර්මාන්තයටද විශේෂ තැනක් හිමි වේ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තුළින් වී, එළවළු, සෝයා බඩඉරිඟු වැනි විවිධ අංශ නියෝජනය කරන ලද ධෛර්ය සම්පන්න ව්‍යවසායකයන් ගණනාවක් සඳහාම හැටන් නැෂනල් බැංකුව අවශ්‍ය ණය පහසුකම් ලබා දී ඇත. මීට අමතරව ඕනෑම කර්මාන්තයක්, ස්වයං රැකියාවක් ආරම්භ කිරීමේ අවස්ථාවේ සිට පාරිභෝගිකයා සමඟ සම්බන්ධ වීම මෙන්ම වැඩි වශයෙන් කොළඹින් පරිබාහිරව ගනුදෙනු කටයුතු සිදු කිරීම මෙම මූල්‍ය ආයතනයේ විශේෂත්වයකි.

හැටන් නැෂනල් බැංකුව මඟින් ක්‍රියාත්මක කරන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම යටතේ පවතින ව්‍යාපාරවලට පමණක් නොව අලුතින් ආරම්භ කරන ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සඳහාද අවශ්‍ය ණය මුදල් ලබාදීම සඳහා අවශ්‍ය මූල්‍ය අංශයක් පවත්වාගෙන යනු ලැබේ. එය ක්ෂුද්‍ර මූල්‍ය අංශය ලෙස හඳුන්වා ඇත. මෙම ක්ෂුද්‍ර මුල්‍ය අංශය තුළ සේවකයින් 170ක පමණ ප්‍රමාණයකින් සමන්විත වනු ඇත. ඕනෑම ව්‍යාපාරකයකු හට තම ව්‍යාපාරයේ කුඩාම අවධියේ සිට සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර එම ව්‍යාපාරයේ දියුණුවත් සමඟ අවශ්‍යතාවයේ ප්‍රමාණය මත නිරතුරුවම පාරිභෝගිකයා සමඟ හැටන් නැෂනල් බැංකුව රැඳී සිටිනු ඇත.

ගතානුගතික ණය ක්‍රමයෙන් බැහැරව නූතන තාක්ෂණික දියුණුවත් සමඟ පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතාත් සමඟ හැටන් නැෂනල් බැංකු පද්ධතිය තුළද විවිධ ණය ක්‍රම බිහි වී ඇත. එය කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන හා දිනපතා ලෙස වර්ග වනු ඇත. මේ අනුව ව්‍යාපාරයේ අවශ්‍යතාවය සහ ස්වභාවය මත ණය ක්‍රම නිර්මාණය වී ඇත. ණයක් ලබාගැනීමේදී ඕනෑම ගනුදෙනුකරුවකු බලාපොරොත්තු වන කරුණක් ලෙස අඩු පොලී අනුපාතයක් පෙන්වාදිය හැකිය. රජය, මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය ආදී ආයතනයන්හි ක්‍රියාත්මක කරන ලද සෑම ණය යෝජනා ක්‍රමයක් සමඟම හැටන් නැෂනල් බැංකුව දීර්ඝකාලීනව සම්බන්ධ වී කටයුතු කරනුයේ ඉහත කී පාරිභෝගික අවශ්‍යතා සපුරාලමිනි.

හැටන් නැෂනල් බැංකුව විසින් පාරිභෝගිකයා හට ණය ලබාදීමේදී ලබාගන්නා ණය ප්‍රමාණය, ණය අවශ්‍යතාව, ව්‍යාපාරයේ ස්වභාවය, ණය ගෙවීමට ඇති හැකියාව ආදී කරුණු පිළිබඳ විමසීමක් කෙරෙන අතර දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්තයන්ට අදාළ ව්‍යාපාරයන් සඳහා ප්‍රතිපත්තියක් ලෙස ණය මුදල් ලබා නොදීමට හැටන් නැෂනල් බැංකුව විශේෂයෙන්ම කටයුතු යොදා තිබේ. මෙහිදී ණය ලබාදීමේදී වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ ලංකාවේ දියුණු විය හැකි ව්‍යාපාර ආශ්‍රිතවය. ඒ අනුව පැහැදිලි වනුයේ ප්‍රතිපත්තිමය වශයෙන් ව්‍යාපාරය සුදුසුුු බවට අනුමැතිය ලබාදුන් පසු ණය ලබාදීම සිදු වන බවයි. එම ප්‍රතිපත්ති අතරෙහි ණය මුදලක් ලබාගන්නා අයදුම්කරු

ශ්‍රී ලාංකික පුරවැසියකු වීමද අනිවාර්ය කාරණාවක් වේ.

හැටන් නැෂනල් බැංකුව මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා ව්‍යාපාරිකයන්ටත් අවශ්‍ය එම ණය මුදල් ලබාදීමේදී ණය ලබාදීමෙන් අනතුරුවද ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳ පසු විපරුමක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා විශේෂ පුහුණු ලැබූ නිලධාරීන් පිරිසක් කටයුතු කරන අතර ඔවුන් ගණුදෙනුකරු සමඟ නිරන්තර සම්බන්ධතාවෙන් කටයුතු කරමින් එම ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහාද සහාය ලබා දේ.

මීට අමතරව රටේ සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කිරීමට උචිත ව්‍යාපාර ක්ෂේත්‍ර හඳුනාගෙන එම ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛ අවධානයක් ලබාදීමද හැටන් නැෂනල් බැංකුව ලබා ඇති සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය ණය මුදල් ලබාදීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දී ඇති උපදෙස් අනූව එම කාර්ය වඩා විනිවිද අයුරින් ඉටු කිරීමටද හැටන් නැෂනල් බැංකුව ඇප කැප වී ඇත. ඒ අනූව 6.5% සිට 8%, 9%, 11% ආදී ඉතා ආකර්ෂණීය තරගකාරී පොලී අනුපාත යටතේ අවශ්‍ය ණය මුදල් ලබාදෙන අතර එම ණය ආපසු ගෙවීම සඳහාද ප්‍රමාණවත් තරම් කාලයක් වෙන් කර ඇත.

ණය මුදලක් ලබාදෙන විට සැලකිලිමත් වන කරුණු අතර.

• ණය ලබාගන්නා පුද්ගලයා පිළිබඳ විස්තර විමසීම

• ණය ගෙවීම සඳහා ණය ලබාගන්නා හට තිබෙන හැකියාව

• ණය ලබාගැනීම සඳහා අවශ්‍ය වන කොන්දේසි

• ලබාගන්නා ණය වර්ගය

• මුදල අනූව සුරැකුම් පත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වන හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය ව්‍යවසායක ක්ෂේත්‍රය) ජූඩ් ප්‍රනාන්දු මහතා "හැටන් නැෂනල් බැංකුව තුළ ප්‍රත්පත්තියක් ලෙස ණය මුදල පාරිභෝගිකයා වෙත අදාළ ක්‍රියාවලියෙන් පසු දින 7ක් ඇතුළත ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම නොබෝ දිනකින් එය දින 5ක් වැනි අඩු කාල සීමාවක් තුළ ලබාදීමට කටයුතු කිරීමට හැටන් නැෂනල් බැංකුව උත්සාහ කරමින් පවතී. එහෙත් ණය ලබාදීමේ සිට නැවත එම ණය අය කරගැනීම දක්වා හැටන් නැෂනල් බැංකුව මඟින් ණය ලබාගෙන එය නොගෙවන ප්‍රතිශතය 2.5%ක් වැනි පහළ මට්ටමක රඳවා තබාගැනීමට පසුගිය කාලය තුළ අවස්ථාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික රටාවත් සමඟ මෙවැනි අනුපාතයක් රඳවා තබාගැනීමට හැකි වීමද හැටන් නැෂනල් බැංකුව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිිය. ඒ වගේම

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු බොහෝ විට සම්බන්ධ වී ඇත්තේ දේශගුණික තත්ත්වයන් සමඟ වන බැවින් ගංවතුර, නියඟය වැනි අවස්ථා නොතිබෙන්නට මෙම තත්ත්වය තවත් සුබදායී වන්නට ඉඩ තිබුණා" යනුවෙන් පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් "හැටන් නැෂනල් බැංකුව මඟින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා ස්වයං රැකියා ව්‍යවසායකයන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවත් දිරිමත් කිරීම සඳහා නවීන තාක්ෂණයේ භාවිත උපක්‍රමද අනුගමනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම ව්‍යවසායකයන්ගේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා ඉතා තරගකාරීව පහසුවෙන් දේශීය හා විදේශීය වෙළෙඳපොළ වෙත රැගෙන යෑම සඳහා alibaba.com වෙබ් අඩවියේ සහාය හා HNB app මෘදුකාංගයේ සහය ලබාගැනීමටද කටයුතු යොදා තිබෙන අතර ලෝකයේ ඩිජිටල් තාක්ෂණ භාවිතාව ඉහළ ගොස් තිබීම හේතුවෙන් තොරතුරු තාක්ෂණය භාවිත කරමින් තරුණ පරපුර සඳහා නව මෘදුකාංගයක් නිර්මාණය කරමින් තිබෙනවා" යනුවෙන් පැවසීය.

ව්‍යාපාර සිදු කිරීමට අවශ්‍ය ණය මුදල් ලබාදීමේදී තරුණ හා කාන්තා පිරිස් සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදීමටත් කෘෂිකර්මාන්තය, අපනයන වෙළෙඳාම හා තොරතුරු තාක්ෂණය කෙරෙහි සම්බන්ධ කටයුතු කරන ව්‍යවසායකයන් සඳහා විශේෂ අවධානයක් දැක්වීමටත් හැටන් නැෂනල් බැංකුව කටයුතු යොදා ඇත. ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වන නව ව්‍යවසායකයන් සඳහාද හැටන් නැෂනල් බැංකුව විසින් බැංකු හා මූල්‍ය පහසුකම් නොඅඩුව ලබාදීමට කටයුතු යොදා ඇත.

හැටන් නැෂනල් බැංකුව සතුව දිවයින පුරා ශාඛා 253න් සමන්විත ශාඛා ජාලයක්ද ඇති අතර එම සියලුම ශාඛාවන් ප්‍රධාන කාර්යාලයට අමතරව ස්ථාපිත වුණ ප්‍රාදේශීය කාර්යාල දහයක් යටතේ සිය මෙහෙයුම් කටයුතු සිදු කරයි. පළපුරුදු සේවක මඩුල්ලට ගනුදෙනුකරුවන්ගේ මූල්‍යමය අවශ්‍යතා කලින් හඳුනාගැනීමේ හැකියාව ඇති අතර ගනුදෙනුකරුවන් සඳහා මූල්‍යමය පහසුකම් ඉතා සාර්ථක ලෙස සිදු කරයි. පැහැදිලිවම හැටන් නැෂනල් බැංකුව සැම විටම උත්සාහ කරනු ලබන්නේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන සියලු බැංකු හා මූල්‍ය සේවා කිසිදු අඩුපාඩුවකින් තොරව සපුරාලමින් ඔවුන්ගේ ආදරය හා ගෞරවය දිනු නිල බැංකු සහකරු බවට පත් වීමටයි.

මාතෘකා