ආසියාටා සමූහය නෝර්වේ ටෙලනොර් සමඟ අතිනත ගත් හැටි

 ඡායාරූපය:

ආසියාටා සමූහය නෝර්වේ ටෙලනොර් සමඟ අතිනත ගත් හැටි

ලංකාවේ මොබයිල් සමාගම් දෙකක් වුණු එටිසලාට් සහ හච් සමාගම් පහුගිය කාලේ එකතු වුණා. ඒ නිසා අලුතින් හච් සමාගමට තවත් ටවර් ගොඩක් සහ පාරිභෝගිකයන් ලැබුණා. මැලේසියාවේ තියෙන ආසියාටා ගෲප් එකත් ඒ වගේ විශාල තවත් ටෙලනොර් කියන ගෲප් එක්ක එකතු වෙන්න යනවා.

ආසියාටා සහ ටෙලනෝර් එක්වුණාට පසු ජනගහනය බිලියනයක පමණ ජීවත්වන වපසරියක එම ජාලය ව්‍යාප්ත වෙනවා. දැනට තියෙන දත්ත අනුව එකතු කළාට පස්සේ මිලියන 300ක් කස්ටමර්ලා නව ජාලය එක්ක එකතු වෙනවා. ටෙලනෝර් සහ ආසියාටා එකතුව හදන නව ජාලයට ටවර් 60,000ක් පමණ අයිති වන බව ටෙලනොර් නෝර්වේ වෙබ්අඩවියේ සඳහන් වෙලා තියෙනවා.

 

අයිති රටවල්

මැලේසියාව, තායිලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය කියන රටවල් හතරේ මේ සමාගම් දෙකම විවිධ නම්වලින් දැනට ටෙලිකොම් සර්විස් දෙනවා. ඊට අමතරව ආසියාටා ගෲප් එකට ඉන්දියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, කාම්බෝජය හා නේපාලය තුළ ජාල අයිති වෙනවා. ලංකාවේ ඩයලොග් ආසියාටා එකත් ආසියාටා ගෲප් එකට වැඩි කොටස් තියෙන සමාගමක්. ලංකාවේ ඩයලොග් ආසියාටා ගෲප් එකෙන් සියයට 82ක් මැලේසියාවේ ආසියාටා සමූහයට අයිති වෙනවා. ඒ අනුව මෙම සමාගම් එකතු කිරීම ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයටත් බලපානවා.

 

දොස්තර මහතීර්ගේ කනස්සල්ල

ආසියාටා කියන්නේ මැලේසියාවේ තිබුණ ලොකු සමාගමක්. ආසියාටා නෙට්වර්ක් එක ටෙලනෝර් එක එක්ක එකතු වුණාම මැලේසියානු ජාතිකයන්ට රැකියා නැතිවෙයි කියලා බයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මැලේසියා අගමැති දොස්තර මහතීර් මොහොමඩ් ඒ එකතුවීම ගැන තොරතුරු ඉල්ලලා තියෙනවා. ආරංචිමාර්ගවල තියෙන විදියට දොස්තර මහතීර් මේ එකතුවීම ගැන එච්චරම සතුටකින් නෙවෙයි ඉන්නේ.

ඒ ගැන අදහස් දක්වපු ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජමල්දීන් ඉබ්‍රහිම් කියලා තියෙන්නේ ස්වේච්චා වෙන්වීම් ක්‍රමවේදයකට අනුව සේවකයින් සම්බන්ධයෙන් සලකා බලනවා කියලා. ඔහු සේවකයින් ඉවත්කරනවා කියන අදහස ප්‍රතික්ෂේප කර තියෙනවා. ආසියාටා සමූහයට සම්පූර්ණ ජාලය තුළ සේවකයන් 12,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. කොහොම වුණත් ස්වේච්චාවෙන් විශ්‍රාම ගැනීමේදී වුණත් සේවකයන් ආයතනයෙන් ඉවත්වීමක් නම් සිදු වෙනවා.

 

පාඩු ලබපු සමාගම්

2018 වර්ෂයේදී ආසියාටා සමූහය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2කට වඩා පාඩු ලැබුවා. 2018දී ආසියාටා සමූහයේ ඉන්දියාවේ අයිඩියා සහ ඉන්දුනීසියාවේ මෙහෙයුම්වලින් පාඩු ලැබුවා. ටෙලනොර් තායිලන්තයේ ඉන්නේ ඩීටැක් (DTAC) විදිහට. ඩී ටැක් එකටත් පහුගිය කාලසීමාව හොඳ එකක් වුණේ නැහැ. ටෙලනෝර්වල මියන්මාර් කොටසත් පසුගිය කාලේ ආදායම් වැඩිවෙන ආකාරයක් පෙන්නලා නැහැ. විදුලි සන්දේශ සමාගම් අතර තියෙන තරගයත් මේ පාඩු ලැබීම්වලට හේතු වෙනවා.

 

නව සමාගමේ හැටි

මේ ආසියාටා සහ ටෙලනෝර් එකතු වෙලා හදන අලුත් කම්පැනිය මර්ජ්ඩ් කෝ කියලා දැනට හඳුන්වනවා. ඒ අලුත් සමාගමේ සියයට 56.5ක කොටස් තියෙන්නේ ටෙලනොර් සමාගමට. ඉතුරු ටික ආසියාට එකට අයිති වෙනවා. මේ එකතුකරන ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 40ක්. රොයිටර් කියන විදියට චීනය, ජපානය හැරුණාම ආසියාවේ සිද්ධ වෙන ලොකුම ඩීල් එකක් විදියට තමයි මේ එකතු කිරීම. මේ එකතුවීම සිදුවුණොත් දකුණු සහ අග්නිදිග ආසියාවේ විශාලතම දුරකෙථන ජාලයක් බවට මර්ජ්ඩ්කෝ කියන නව සමාගම පත් වෙනවා.

 

මෙමඟින් අත් වෙන වාසි

ඉන්දුනීසියාව වගේ රටක් ගත්තොත් භූමි වපසරිය ලොකුයි. ලංකාවට වඩා ලොකු දූපත් පහක් ඉන්දුනීසියාවට තියෙනවා. ඒ වගේම ඉන්දුනීසියාවේ දූපත් ඔක්කොම 16,000කට වඩා තියෙනවා. එවන් පසුබිමක රට කවර් කරන්න ගියාම මේ විදියට නෙට්වර්ක් දෙකක් එකතු වීම ලොකු වාසියක් වෙනවා. ඒ වගේම මුළු රීජන් එකටම තවත් එක තරගකාරයෙක් නැතිවීම ඒ සමාගම්වලට ලැබෙන වාසියක්.

විදුලි සන්දේශ ක්ෂේත්‍රයේ පැතිරීම වැඩිකරන්න වගේම අලුත් තාක්ෂණය එක්ක එකතු වෙන්නත් ලොකු වියදමක් යනවා. අලුතින් එන 5G තාක්ෂණයෙන් ආවරණය ලබාදීම 4Gවලට වඩා මිල අධිකයි. තාක්ෂණය අලුත් වෙද්දි අලුතින් ආවරණය ලබාදෙන්න උපකරණ ආදියටත් සෑහෙන වියදමක් යනවා. දැනට මේ ජාල කටයුතු සහ විදුලි සkaදේශ කටයුතු ගැන පර්යේෂණ කරන්න පර්යේෂණාගාරයකුත් ආසියාටා ගෲප් එකට තියෙනවා.

දකුණු ආසියාව තුළ පමණක් ලෝක ජනගහනයෙන් සියයට 25ක් විතර ඉන්නවා. අග්නිදිග ආසියාවත් එකතු වුණාම මේ අගය සියයට 35කට ආසන්න වේවි. මේ විශාල ජනතාවට අවශ්‍ය ටෙලිකොම් සේවාවන් සපයන්න සමාගම් අතර තියෙන්නේ තරගයක්. එක් පැත්තකින් පාරිභෝගිකයන්ට මේ තත්ත්වයෙන් වාසියක් තියෙනවා. අනෙක් පැත්තෙන් මේ තරගය නිසා සමාගම්වල ආදායම අඩු වෙනවා.

[අමිල චතුරංග]

 

මාතෘකා