ලින්ක් නැචුරල් වෙතින් ‘අසිරි සුරකිමු සමනොළ’ වැඩසටහන දියත් වේ

 ඡායාරූපය:

ලින්ක් නැචුරල් වෙතින් ‘අසිරි සුරකිමු සමනොළ’ වැඩසටහන දියත් වේ

පූජනීය ශ්‍රී පාද අඩවිය සහ ඒ අවට පරිසරය සුරැකීමේ පුරෝගාමී මෙහෙවරක් වශයෙන් ‘අසිරි සුරකිමු සමනොළ’ නමින් ඉතාම පුළුල් මට්ටමේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත් කිරීමට, සමහන් සන්නාමය හිමි ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම පසුගියදා කටයුතු කළේය. සමහන් සන්නාම දැක්ම වන ‘කලින්ම ආරක්ෂාව’ යන්න මූලික කරගෙන මෙම වැඩසටහනද ක්‍රියාවට නංවා ඇත. රජයේ ආයතන, ප්‍රාදේශීය හා පළාත් පාලන ආයතන සහ පෞද්ගලික සමාගම් ඇතුළුව සක්‍රිය හවුල්කරුවන් 15 දෙනකු සමඟ සම්බන්ධ වී ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහන මඟින් පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, එම වැඩසටහන් සඳහා වන්දනාකරුවන්ද සම්බන්ධ කරගැනීම සහ පරිසරය දූෂණය කරන ක්‍රියාවලින් වැළකීම සඳහා වන්දනාකරුවන් පූර්ණ වශයෙන් දැනුවත් කිරීම ඇතුළු විවිධාකාරයේ පියවර ගනු ලැබිණි.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ ආයතනික සම්බන්ධතා කළමනාකරු ප්‍රියන්ත කොලොන්නෙගේ මහතා මෙසේ පැවසී ය. "සමනොළ කන්ද යනු හුදෙක් ආගමික හා ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයක් පමණක් නොවෙයි. එය පාරිසරික වශයෙන් ගත් කල අතිශය වටිනා සත්ත්ව හා ශාක වර්ගවලින් පිරුණු ප්‍රදේශයක්. නිල වාර්තාවලට අනුව වාර්ෂිකව සමනොළ අඩවියේ ප්ලාස්ටික්, පොලිතින් සහ ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 800ක් පමණ ගොඩගැසෙනවා. මේ අතරින් මෙතෙක් ප්‍රතිචක්‍රීකරණයට ලක්ව ඇත්තේ මෙට්‍රික් ටොන් 3කට ආසන්න ප්‍රමාණයක්. ඉතිරි අපද්‍රව්‍ය සියල්ල එම ප්‍රදේශයේ තැන තැන ඉතිරි වී එහි පරිසරය දූෂණයට ලක්කරනවා. පසුගිය වසර 6 පුරාවට මෙම අර්බුදයේ බරපතළකම "සමහන්" ප්‍රජා සත්කාරක කණ්ඩායම හොඳින් අත්දුටුවා. වගකීම් සහගත සමාගමක් ලෙස ඊට විසඳුමක් සෙවීමට අප පෙලඹුණේ ඒ නිසයි." යැයි පැවැසීය.

තිරසර සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් තමන් දක්වන කැපවීමට සමගාමීව ඉදිරියේදී මෙබඳු වැඩසටහන් දිවයිනේ අනෙකුත් ආගමික හා පාරිසරික වශයෙන් වැදගත් ස්ථානවලද ක්‍රියාත්මක කිරීමට ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම බලාපොරොත්තු වේ.

මාතෘකා