ජෝර්ජ් ස්ටුවර්ට් සහයෝගීත්වයෙන් සෑම 'PickMe' ගමනකටම රක්ෂණාවරණයක්

 ඡායාරූපය:

ජෝර්ජ් ස්ටුවර්ට් සහයෝගීත්වයෙන් සෑම 'PickMe' ගමනකටම රක්ෂණාවරණයක්

තාක්ෂණය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවාහන විසඳුම් සැපයුම්කරු වන PickMe සමාගම එහි රක්ෂණ හවුල්කරු වන ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගමේ සමඟ සහයෝගීත්ව ගිවිසුමකට එළැඹ තිබේ. PickMe සේවාව භාවිත කරන මඟීන්ගේ සහ රියදුරු සහකරුවන්ට සපයන සේවාවේ අගය තව දුරටත් වැඩි කිරීම සඳහා සමාගම එම පියවර ගෙන ඇත.

ඒ අනුව, ජෝර්ජ් ස්ටුවට් විසින් හදිසි අනතුරු, පූර්ණ ආබාධිත තත්ත්වයන් සහ රෝහල්ගතවීම් සඳහා රක්ෂණ ආවරණයක් සීමාසහිත ඔරියන්ට් රක්ෂණ සමාගම මගින් සැපයීමට සැලසුම් කර තිබේ.

එම රක්ෂණ සැලසුම යටතේ රු.200,000ක උපරිමයක් දක්වා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දෙයි. එමෙන්ම අනතුරක් හේතුවෙන් අර්ධ ආබාධිත, පූර්ණ ආබාධිත තත්වයක් හෝ මරණයක් වෙනුවෙන් රු.500,000ක උපරිමයක් දක්වා හිමිකම් ලැබේ. රුපියල් මිලියන 10ක උපරිමයක් දක්වා තෙවන පාර්ශ්වීය ශරීර හානි රක්ෂණයක් සහ දේපළ හානි සඳහ රු.500,000ක උපරිමයක් දක්වා ආවරණයක් ලබාදෙයි.

"අපගේ සාර්ථකත්වය හා ව්‍යාපාරික මෙහෙයුම්වල ස්ථිරසාරබවේ කොඳු නාරටිය වන්නේ අපගේ සියලු පාර්ශ්වකරුවන්ට වැඩි වටිනාකමක් ලබාදීමේ අපගේ හැකියාවයි. මෙහිදී ඇප් පදනම් කරගත් සාමාන්‍ය ප්‍රවාහන සේවාවන්ට සාපේක්ෂව වඩා වැඩි සේවාවක් අපේ මගීන්ට සහ රියදුරු සහකරුවන්ට ලැබෙනවා. රට පුරාව PickMe සේවා භාවිතයේ වැඩි වීමක් දැකිය හැකි නිසා, එලෙස සේවාවන්ට වැඩි වටිනාකමක් එක් කිරීම සඳහා මේ සුදුසුම අවස්ථාව බව අපේ විශ්වාසයි. සැබැවින්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට වඩා පුළුල් හා වටිනා සේවාවක් ලබා දීමට හැකි වීම ගැන අප සතුටු වෙනවා" යනුවෙන් PickMe හි ප්‍රධාන ක්‍රියාකාරි නිලධාරි ඉසිර පෙරේරා මහතා පැවසීය.

මාතෘකා