AIA පොසොන් රැකවරණ වැඩසටහනෙන් ජීවිත 7ක් බේරයි

 ඡායාරූපය:

AIA පොසොන් රැකවරණ වැඩසටහනෙන් ජීවිත 7ක් බේරයි

AIA රක්ෂණ සමාගමේ සංවිධානයෙන් මේ වසරේත් අඛණ්ඩව 26 වැනි වතාවටත් AIA පොසොන් රැකවරණ වැඩසටහන සංවිධානය කර තිබුණි. අනුරාධපුර, පොලොන්නරුව සහ දඹුල්ල යන පූජා නගර වෙත පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් මෙම නගර ආශ්‍රිතව ඇති ජලාශවල දියනෑමට ගොස් දියේ ගිලී අනතුරට පත් වන්දනාකරුවන් 7 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට මෙමඟින් හැකිවිය.

AIA පොසොන් රැකවරණ වැඩසටහන ඔස්සේ, 1993 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිතාරක්ෂකයන්ගේ දායකත්වයෙන් වන්දනාකරුවන් දිය නෑමට වඩාත් කැමැත්තක් දක්වන ජලාශ අවට රැකවරණය සැපයිණි. මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා 200කට අධික වන්දනාකරුවන් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට මෙමඟින් හැකියාව ලැබී ඇති අතර මේ වසරේත් පොසොන් සමයේ දින 3ක් පුරාවට පූජා නගර ආශ්‍රිත වැව් සහ ජලාශ 23ක් ආවරණය වන පරිදි ජීවිතාරක්ෂක නිලධාරීන් 540 දෙනෙකුගේ දායකත්වයෙන් පොසොන් වන්දනාකරුවන්ගේ වටිනා ජීවිත සඳහා රැකවරණය සපයා තිබුණි.

"මගේ අනාගතය ගැන දහසකුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවක තමයි මම මේ අනතුරට මුහුණ දුන්නේ. මගේ ජීවිතේ බේරාගෙන මට ජීවත්වීමට නැවතත් අවස්ථාවක් ලබාදුන් ඒ ජීවිතාරක්ෂකයන්ට මම සදහටම ණය ගැතියි." යැයි කියා සිටියේ මෙවර දියේ ගිලීමෙන් සිය ජීවිතය බේරා ගත් පොසොන් වන්දනාකරුවෙක්.

"අප මේ වනවිට 26 වැනි වතාවටත් පොසොන් රැකවරණ වැඩසටහන ක්‍රියාත්මක කර අවසන්. මෙම වැඩසටහන යටතේ එහි ආරම්භයේ සිට මේ දක්වා වටිනා මිනිස් ජීවිත 200කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකි වීම පිළිබඳව අපට ඇත්තේ ඉමහත් සතුටක්." යැයි AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි පවසයි.

මාතෘකා