Mother Sri Lanka නව අලෙවිසැලක් ශ්‍රී ජයවර්ධනපුරදී විවෘත වේ

 ඡායාරූපය:

Mother Sri Lanka නව අලෙවිසැලක් ශ්‍රී ජයවර්ධනපුරදී විවෘත වේ

Mother Sri Lanka සංවිධානය සිය ‘Empowering Entrepreneurs’ ව්‍යාපෘතිය සමඟ එක්වී සිටින විශාල පිරිසකගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නවීන පහසුකම් සහිත අලෙවිසැලක් කෝට්ටේ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. Mother Sri Lanka යනු ස්වාධීන, ලාභ නොලබන පුණ්‍ය ආයතනයකි. අංක 614, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ (පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල බස් නැවතුම ඉදිරිපිට) පිහිටා ඇති මෙම නව අලෙවිසැල තුළ කාබනික ලෙස පිළියෙල කළ ආහාරපාන මෙන්ම වේවැල් හා පන් භාණ්ඩ, අත්කම් රෙදිපිළි, පිඟන් කෝප්ප, ශෛලමය භාණ්ඩ, මැටි භාණ්ඩ, සිප්පිකටු සහ

පොල්කටුවලින් නිමවන ලද භාණ්ඩ, සෙරමික් භාණ්ඩ, ලිපිද්‍රව්‍ය මෙන්ම තවත් කලාත්මක භාණ්ඩ රාශියක්ද අලෙවියට තබා තිබේ.

'100 Smiles for your 100 rupees' යන තේමාව යටතේ 'Love Sri Lanka' යන උප සන්නාමයෙන් 'Empowering Entrepreneurs' ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ අලෙවි කෙරේ. 2016 වසරේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් දැනටමත් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, කුරුණෑගල, පොළොන්නරුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 100කට අධික සංඛ්‍යාවකට කොළඹ ඉහළ නාගරික වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාව සලසා දී ඇත. මෙහි මූලික දැක්ම වන්නේ 100%ක් දේශීය නිෂ්පාදන ප්‍රචලිත කිරීම වන අතර ශ්‍රී ලංකාවට ආවේණික කලාවන්, සංස්කෘතිය, ජාතික සංකේත ආදියට ප්‍රමුඛත්වය දෙමින්, වියැකී යමින් පවතින උරුමයන්ට නව පණක් ලබාදීමේ මෙහෙවරට එය උරදී සිටී.

නව අලෙවිසැල විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් Mother Sri Lanka හි නිර්මාතෘ/සභාපති ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය මෙසේ පැවසුවාය. "වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් බිහිකිරීම යනු අප සැමදෙනා වෙතම පැවරී ඇති වගකීමක්. හුදෙක් විලාසිතා වෙනුවෙන් නොව වැදගත් සමාජ වගකීමක් ඉටුකිරීම උදෙසා අපගේ නව ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන මෙන් මා සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා. මෙහිදී ඔබට දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ශ්‍රී ලාංකිකයන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීමට පුළුවන්. එය තවත්

ශ්‍රී ලාංකිකයන් පිරිසකට තම ජීවන තත්ත්වය උසස් කරගනිමින්, මූල්‍ය ස්ථාවරත්වය ළඟා කරගනිමින්, තමන්ට සැබැවින්ම ආඩම්බර විය හැකි වෘත්තියක නිරත වීමට අවස්ථාව සලසා දීමක් ලෙස හැඳින්විය හැකිය."

නව ප්‍රදර්ශනාගාරයට අමතරව Mother Sri Lanka ව්‍යාපෘතියේ අනෙක් ප්‍රදර්ශනාගාරය වන අංක 410/131, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටි අලෙවිසැලෙන්ද මෙම භාණ්ඩ මිලදීගත හැකි වේ. තවද www.mothersrilanka.lk වෙබ් අඩවිය ඔස්සේද එම භාණ්ඩ මිලදී ගත හැකි අතර එසේ මිලදී ගනු ලබන භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීමද සිදුකෙරේ.

News Order: 
1
මාතෘකා