ලිබියාවේ බල අරගලයට ඉක්මන් විසඳුම් නෑ

 ඡායාරූපය:

ලිබියාවේ බල අරගලයට ඉක්මන් විසඳුම් නෑ

පසුගිය ඉරිදා (ජනවාරි 19) ජර්මනියේ බර්ලින් අගනුවර විශේෂ සමුළුවක් පැවැත්විණි. ඒ ලිබියාවේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට වන හිංසාව අවම කිරීම පිණිස එකඟතාවලට එළැඹීම සඳහාය. බර්ලින් පාලනය විසින් කැඳවන ලද මෙම එක්දින සමුළුවට ජර්මනියට අමතරව චීනය හැර අනෙක් ලෝක බලවතුන් සහ තවත් ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නියෝජිතයෝද එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, අප්‍රිකානු සංගමය සහ අරාබි ලීගය යන සංවිධානද සහභාගි වූහ.

ඒ සමුළුව පැවැත්වීමේ සුලමුල පිළිබඳ විස්තර කතාව සැකෙවින් මෙසේය.

ලිබියාවේ වර්තමාන අග්‍රාමාත්‍ය ෆයීස් අල් සර්රාජ් බලයට පත්වූයේ 2015 එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව දේශපාලන ගිවිසුමක් මඟිනි. ඔහුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ‘ජාතික සම්මුතියේ ආණ්ඩුව’ (Government of National Accord - GNA) ලෙස හැඳින්වෙයි. එක්සත් ජාතීන් විසින් පිළිගනු ලබන්නේ මේ ආණ්ඩුවයි. ඒ අතර නැඟෙනහිර ලිබියාවේ ප්‍රතිවාදී රජයක් ස්ථාපිත වී 76 හැවිරිදි විශ්‍රාමික හමුදා ප්‍රධානියකු වූ ෆීල්ඩ් මාෂල් කලිෆා හෆ්තා එහි හමුදාව වන ලිබියානු ජාතික හමුදාවේ (Libyan National Army - LNA) ප්‍රධානියා ලෙස පත් කර ගන්නා ලදි. එම හමුදාව නිත්‍ය හමුදා සහ ඉන් බැහැර සටන්කරුවන්ගේ සන්ධානයකි. මේ හමුදාව අල්-ඛයිඩා අනුබද්ධ සටන්කාමීන්ගෙන් බෙන්ගාසි සහ ඩර්නා නගර මුදාගෙන කීර්තියක් අත්කර ගත්තේය. හෆ්තා පසුව දකුණ කෙරෙහි සිය ග්‍රහණය දිගු කළේය. ලිබියාවේ බොහෝ තෙල් බිම් සහ පර්යන්ත පාලනය කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි. 2018දී තෙල් අලෙවියෙන් ලැබෙන මුදල් සිය පාලන තන්ත්‍රයට ලබා ගැනීමේ උත්සාහයක නිරත විය. අැමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් එය වැළකී ගිය අතර පසුව ට්‍රිපොලි පාලනය යටතේ පවතින ජාතික තෙල් සංස්ථාවට සම්පත් පාලනය බාර කෙරිණි. ලැබෙන ආදායම ලිබියාවේ මහ බැංකුවට ප්‍රේෂණය කෙරෙයි.

හෆ්තා යනු ගඩාෆි සමයේ පවා ලිබියාවේ පාලනය අල්ලා ගැනීමට සිහින දුටු හමුදා නිලධාරියකි. ගඩාෆි පාලනය පෙරළී යෑමෙන් පසු ට්‍රිපොලි අල්ලා ගැනීමට ඔහු 2014දී කුමණ්ත්‍රණයක නිරත වූ නමුත් එය අසාර්ථක විය. ඉන්පසු ඔහු උපක්‍රමශීලී ලෙස නැඟෙනහිර ලිබියාවේ සාර්ථකත්වයට පත් විය. එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් සහ අැමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බලවත්තු මේ දෙපාර්ශ්වය අතර දේශපාලන එකඟතා ගිවිසුමක් ඇති කර ගැනීමෙන් ලිබියානු පාලනය අස්ථාවර වීමෙන් වළක්වා ගැනීම අපේක්ෂා කළහ. මැතිවරණයට තුඩු දෙන බලය බෙදා ගැනීමේ ක්‍රියාවලියක් ගැන සර්රාජ්ගේ එකඟතා පිළිගත හැකි නොවන බව හෆ්තාර්ගේ උපදේශකයන් විසින් පෙන්වා දෙන ලදි. තවද සර්රාජ් මිලීෂියා සමඟ එක්ව සිටින බවට සහ අන්තවාදීන්ට සවන් දෙන බවට චෝදනා නැඟිණි. ආන්තික නැඟෙනහිරට ඓතිහාසික වශයෙන් ලැබිය යුතු ඉන්ධන ආදායමේ වාසිය නොලැබෙන බව චෝදනා කළ හෆ්තා කණ්ඩා එම ආදායම බෙදා හැරෙන්නේ අසාධාරණ ලෙසට බව චෝදනා කරයි. එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර රටවල් සමඟ එක්ව 2016දී ඉස්ලාමීය රාජ්‍යය (ISIS) සිර්ටෙ වෙතින් පලවා හැරීමේදී රජයට පක්ෂපාතී වූ බලවේගයන්ගේ සාර්ථකත්වය පෙන්වා දෙමින් සර්රාජ්ගේ රජය අන්තවාදී චෝදනාවට ප්‍රතිචාර දැක්විය.

තවමත් ගැටුම්කාරී තත්ත්වය එපරිදිමය. යුද පෙරමුණු එලෙසින්ම පවතියි. තුර්කි ඩ්‍රෝන යානාවල පිටුබලය ඇතිව ජාතික සම්මුති ආණ්ඩුවේ හවුල්කාර කණ්ඩායම් පසුගිය ගිම්හාන සමයේ හෆ්තාගේ ඉදිරි කඳවුර වූ ගරියන් නගරය සහ තවත් පෙදෙස් නැවත අල්ලා ගැනීමෙන් සාර්ථක බවක් පෙන්වීය. එහෙත් පසුව සිරියාවේ සහ යුක්රේනයේ කාලතුවක්කු සහ භූමි සටන් පිළිබඳ විශේෂ අත්දැකීම් සහිත රුසියානු කුලී හේවායන් හෆ්තාගේ සහායට එක්වීම නිසා අල්ලා ගත් පෙදෙස් ආරක්‍ෂා කර ගැනීමට සම්මුති කණ්ඩායමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සපයන ලද සුඩාන කුලී හේවායන් සහ ඩ්‍රෝන යානාවල පිටුබලය ඇතිව හෆ්තාගේ හමුදාව ට්‍රිපොලි නගරෝපාන්ත ග්‍රහණයට නතු කර ගනිමින් ට්‍රිපොලිහි ආරක්ෂක වළලු බිඳ දැමීමට මාස ගණනාවක් තිස්සේ උත්සාහ කරමින් සිටී. වෙරළබඩ නගරයක් වන සිර්ටෙද ඔවුහු අත්පත් කර ගත්හ. මේ නගරය එහි පිහිටීම නිසා ඉතා වැදගත්ය. සිර්ටෙ මුහුදු බොක්කේ වෙරළ නගරය වන මෙහි තෙල් අපනයන වරායක් වෙයි. එසේම එය ටූනා මසුන් සඳහා චිරප්‍රසිද්ධියක් උසුලයි. මේ වන විට ලිබියාවට සාමය උදාකිරීම ගැන ලෝක නායකයන්ගේ අවධානය යොමුවී තිබේ.

ලිබියාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය ෆොසිල ඉන්ධන වෙළෙඳාමයි. ලිබියාව සතුව ඇත්තේ අප්‍රිකාවේ විශාලතම තෙල් සංචිතයයි. ලෝක ෆොසිල ඉන්ධන සංචිතවලින් සියයට 4ක් පමණ එහි නිදන් වී තිබේ. මෙම බල අරගලය නිෂ්පාදනයට බලපෑම් කළ හැකි බවට අනතුරු හඟවනු ලැබ තිබේ. 2011 කැරැල්ලෙන් පසු අරාජික සමය තුළ පිරිහුණු ඉන්ධන නිෂ්පාදනය මේ වන විට දිනකට බැරල් මිලියනයකට ඉහළ මට්ටමක ස්ථාවර වී ඇති වුවද ගඩාෆි සමයේ නිෂ්පාදනය දිනකට මිලියන 1.6 ඉක්මවීය. තෙල් කෙත්වල හෆ්තා විසින් ග්‍රහණයට ගනු ලැබීම නිශ්චිත නොවන නමුත් නිෂ්පාදනයේ විරාමයක් ඇති කරමින් ජනවාරි මාසයේ අපනයන අවහිර කිරීමට ඔහුට හැකි විය.

සමුළුවට ලෝක බලවතුන්ට අමතරව ප්‍රතිවාදී ලිබියානු කණ්ඩායම්වල ප්‍රධාන ආධාරකරුවන් සහභාගි වූ බව වාර්තාවල සඳහන් වෙතත් අවසාන විග්‍රහයේදී ඒ කණ්ඩායම් දෙකටම අයත් වන්නේ එකම අයය. එහෙත් සාමූහික වශයෙන් සියල්ලන් එක්ව ගත් තීරණය වූයේ යුද වැදී සිටින පාර්ශ්වවලට පිටතින් ලබා දෙන මිලිටරි සහයෝගය අවසන් කිරීමට සහ පවත්නා එක්සත් ජාතීන්ගේ අවි තහනම තහවුරු කිරීමය. ඒ සඳහා කරුණු 55කින් යුත් සමාප්ති පත්‍රයක් හෙවත් එකඟතා ලේඛනයක් අත්සන් තබන ලදි. ලිබියාවේ පස මිතුරු කණ්ඩායම් මේ සමුළුවට සහභාගි කරවා ගන්නා ලද්දේ එම අවසාන ලියැවිල්ල ඔවුන් අත පත් කිරීම සඳහා පමණි.

ලිබියාවේ රජය ශක්තිමත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් දේශපාලන ක්‍රියාවලියට නැවත එළැඹීමට ගන්නා පියවර එහි සඳහන්ය. රජයේ ආරක්ෂක අංශවල ප්‍රචණ්ඩකාරීත්වය අවසන් කිරීම සඳහා ප්‍රතිසංස්කරණයක් මඟින් ඒ පිළිබඳ රාජ්‍ය අංශයේ ඒකාධිකාරය යථා තත්ත්වයට පත් කළ යුතු බව එය පවසයි.

බර්ලින් සමුළුව එබඳු සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වූ සමුළුවක් නොවීය. එහිදී සටන් වැදී සිටින පාර්ශ්වවලට ආධාර දෙමින් පවත්වාගෙන යන ප්‍රතියුක්ත යුද්ධයකට (Proxy War) සීමා පැනවීම සිදු විය.

ප්‍රතියුක්ත යුද්ධක් යනු සිංහලෙන් කියනවා නම් ‘බළලුන් ලවා කොස් ඇට බෑමකි.’

ඊට ප්‍රතිචාර වශයෙන් තුර්කිය හෆ්තාගේ ප්‍රහාරයට එරෙහිව සේරාජ්ට උදවු සඳහා තමන්ගේම හමුදා සහ තුර්කි පිටුබලය ලත් සන්නද්ධ කණ්ඩායම් සිරියාවේ සිට ට්‍රිපොලි වෙත ගෙන ගියේය.

ලිබියාවේ වර්තමාන බල අරගලය නිසා රුසියාවට, තුර්කියට සහ අරාබි රාජ්‍යවලට ලිබියාවේ ප්‍රතියුක්ත යුද්ධයක යෙදීමට ඉඩ ප්‍රස්තාව සැලසී ඇත.

ට්‍රිපොලිහි ස්ථිර සටන් විරාමයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් බර්ලින් රැස්වීමේ තාවකාලික ගිවිසුම අනුව සටනට එළැඹ සිටින දෙපාර්ශ්වයේම හමුදා නිලධාරීන් පස් දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් සටන් විරාමය අධීක්ෂණය කිරීම සඳහා පත් කෙරෙනු ඇත.

එදිනම හෆ්තාර් සහ සේරාජ් දෙදෙනාම කමිටුව සඳහා නම් ඉදිරිපත් කරන ලද අතර එමඟින් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමට වක්‍රව එකඟ වූ බව පිළිගැනේ. මෙම 2×5 කමිටුව ඉදිරි දින කිහිපය තුළ ජිනීවාහි රැස්වනු ඇත.

මීට පෙර පැරිසියේ හා ඉතාලියේ පැලෙර්මෝහි පිළිවෙළින් 2018 මැයි 28 සහ එම වසරේම නොවැම්බර් 19 යන දිනවල ලිබියාවේ අර්බුදය ගැන බලවත් රාජ්‍ය හා සංවිධාන සාකච්ඡා පැවැත්වූවත් ඒවායින් සාර්ථක ප්‍රතිඵල අත් වී නැත. මේ සමුළුවද එවැනි තත්ත්වයකට පත් නොවන්නට වගබලාගත යුතු බව සහභාගි වූ පාර්ශ්ව විසින් අවධාරණ කරන ලදි. එහෙත් සම්බාධක පැනවීම, අවි ආයුධ තහනම් කිරීම, ආයුධ නැව්ගත කිරීම නැවැත්වීම, රටේ සමගිය පවත්වා ගැනීම සහ දේශපාලන යාන්ත්‍රණය නිසි මඟට ගෙන ඒම වැනි දෑ සඳහා වූ නොපැහැදිලි කැපවීම්වලට වඩා වැඩි යමක් ඉදිරිපත් කැරුණේ නැත. ඒ කියන්නේ මෙය ගිවිසුමක් නොව එකඟතා ලියැවිල්ලක් පමණක් බවය. කිසියම් රාජ්‍යයක් එකඟතා කඩ කළහොත් අනෙක් රාජ්‍යයද පිළිතුරු ලෙස එසේ කරන්නට ඉඩ ඇති අතර පියවර ගන්නට හැකියාවක් නැත.

සේරාජ්ට සහ හෆ්තාර්ට සමුළුවේදී හමුවන්නට අවස්ථාවක් නොවීය. සමුළුවට පෙර හෆ්තා චාන්සලර් මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමුවී ඇති බවත් අල්-සේරාජ් තුර්කි දූත පිරිසක් සමඟ සාකච්ඡා කළ බවත් සඳහන්ය. මේ අතර සමුළුවට සහභාගි වූ නායකයන්, ක්‍රියාවලිය දිගටම කරගෙන යෑම සඳහා අමතර රැස්වීම් පැවැත්වීමට එකඟ වූ බව චාන්සලර් මර්කෙල් පවසයි.

ලිබියානු ගැටුමට අත පෙවීමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියේය. ‘ලිබියාවේ ගැටුමට මිලිටරි විසඳුමක් නොමැති බවට සමුළුවේ නිගමනයට ප්‍රමාණවත් ලෙස බර තැබිය නොහැකි බව’ ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

කෙසේ වෙතත් ජර්මානු නායකත්වයෙන් යුත් සමුළුව, අර්බුද කළමනාකරණය උදෙසා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කෙරෙහි විශ්වාසය තැබීම යළිත් වරක් පෙන්නුම් කරන බව යුරෝපා සංගමය පිළිගන්නේ යැයිද ඔහු පැවසීය.

යුරෝපීයයන් එක හඬකින් කතා නොකළ කාලයක් තිබූ බව මර්කෙල් මාධ්‍යයට පැවසුවාය. ‘මේ වතාවේ යුරෝපීය හවුල්කරුවන් ලිබියානු ගැටුමේදී ඔවුන්ගේ ස්ථාවරය තුළ එකිනෙකාට වඩා සමීප වී ඇති බව ප්‍රකටය.’

තවදුරටත් අදහස් දැක්වූ මර්කෙල් ‘එහෙත් සහභාගි වූවන් වන ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව සහ තුර්කියද සටන් විරාමයකට එකඟ වී තිබීම නිසා යුරෝපීයයන්ට මෙහි මතයක් පළ කිරීම පහසු වී තිබේ. නැතහොත් එය වෙනත් ආකාරයකින් කියන්නට මට ඉඩ දෙන්න: යුරෝපයද මෙම සාර්ථකත්වයට දායක වී ඇත. අවුරුද්දකට හෝ දෙකකට පෙරට වඩා මේ ගැන යහපත් හැඟීමක් මට දැන් ඇත්තේ එබැවිනි.’

මැදහත් විචාරකයන් පෙන්වා දෙන්නේ මේ එකඟතාවලින් නම් ලිබියාවේ කුලල් කා ගැනීම නවත්වාලිය නොහැකි බවයි. ලිබියාව ලොව ෆොසිල ඉන්ධන නිධිවලින් සියයට 4කට ආසන්න ප්‍රමාණයක නිධානය වෙයි. මේ සියලු දෙනාගේ අපේක්ෂාව ලිබියානු ජනයාගෙන් එය කෙල්ලකෑම මිස අන් යමක් නොවේ. යුරෝපා සංගම් බලධාරීන් ව්‍යංගයෙන් පෙන්වා දෙන්නේ එයයි.

මාතෘකා