යුරෝපා සංගමය ඇමෙරිකාවට නැවෙයි

 ඡායාරූපය:

යුරෝපා සංගමය ඇමෙරිකාවට නැවෙයි

යුරෝපා සංගමයේ විධායක ශාඛාව වන යුරෝපා කොමිසමේ සභාපතිව සිටි ශොන් ක්ලෝඩ් ජුන්කර්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු පසුගිය දෙසැම්බර් 01 වැනි දින එහි නව සභාපතිනිය ලෙස ජර්මනියේ අමාත්‍යවරියක ලෙස දිගුකාලීන අත්දැකීම් සහිත උර්සුලා ගර්ටෘඩ් වොන්ඩර් ලේන් පත් වූවාය. ඇයගේ නායකත්වය යටතේ එහි ප්‍රධාන පෙළේ අංශයක් වන විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වනුයේ ස්පාඤ්ඤයේ වගකීම් සහිත අමාත්‍යවරයකුව සිටි ජෙසෙප් බැරෙල්ය. ලෝකයේ විශාලතම වෙළෙඳ කණ්ඩායම ලෙස යුරෝපා සංගමයේ තත්ත්වය පිළිබිඹු කරමින් යුරෝපය ජාත්‍යන්තර කටයුතුවල ප්‍රමුඛ දේශපාලනික භූමිකාවක් නිරූපණය කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි. එහෙත් ඒ අභිලාෂ ඉටු කර ගත හැකි වනු ඇත්ද යන ගැටලුව පසුගිය සති හයක් වැනි කෙටි කාලය තුළ පැන නැඟී තිබේ.

‘යුරෝපා සංගමය බාහිර සබඳතා සඳහා වන ප්‍රවේශය තුළ වඩාත් උපායමාර්ගික, වඩා ස්ථීර හා වඩා එක්සත් විය යුතුය’ යනුවෙන් වොන්ඩර්ලේන් සිය මෙහෙවර ප්‍රකාශනයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති යටතේ සඳහන් කළාය. එය සාක්ෂාත් කැර ගැනීම ඍජුවම පැවරෙන්නේ බොරෙල්ටය. ‘ගෝලීය ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා අපගේ රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථීක ශක්තිය භාවිත කළ යුතු අතර අපගේ සාරධර්ම හා ප්‍රමිත විදේශවල පතුරුවාලීමට තරම් යහපත් විය යුතු ය.’

ඒ ආරම්භයේදීය. 72 හැවිරිදි ප්‍රවීණ දේශපාලනඥයකු වන බොරෙල් තමාට පැවරී ඇති මෙම බරපතල කාර්යභාරය ඉටු කිරීමට උත්සාහයක් ගන්නා බවක්වත් නොපෙනේයැ’යි බ්‍රිතාන්‍යයේ පළවන ‘ද ගාඩියන්’ සිය කතුවැකියකින් පෙන්වා දෙයි. අධිකාරිත්වයට පත්ව ගත වූ සති හයක කාලය තුළ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්තිය නින්දාව රැස්කරන තැනක් බවට පත් වී ඇත’යි එහි සඳහන්ය. යුරෝපා සංගමය සාර්ථකත්වයට ළඟා වනවා වෙනුවට ‘වගේ වගක් නැතිව ඔහේ සිටීම’ ප්‍රිය කරන බව දැන් පැහැදිලිය. ඉරානයේ ප්‍රමුඛ හමුදා නිලධාරියකු වූ ජනරාල් ක්වාසෙම් සුලෙයිමානි ඝාතනය කරන්නට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරන අවස්ථාවේ ඔහු සිය යුරෝපීය සගයන් මුළුමනින්ම නොසලකා හැරි බවත් යුරෝපා කොමිසම ඒ ගැන කනස්සල්ල හෝ පළ නොකරන බවත් ප්‍රකටය.

ජනාධිපති ට්‍රම්ප් ඉරානය අරබයා ගන්නා ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ අතීත ක්‍රියා පිළිවෙත් නොසලකා හැරීමකි. එසේම බොරෙල්ද සිය පූර්වගාමීන් වූ ෆෙඩ්රිකා මොගෙරිනි සහ කැතරින් ඈෂ්ටන් විසින් අනුගමනය කරන ලද මාර්ගයෙන් පීලි පැනීමකි. ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ රුසියාව යන පංච මහා බලවතුන් සහ ජර්මනිය එක් පාර්ශ්වයකටත් ඉරානය අනෙක් පාර්ශ්වයටත් හිඳ 2015 අත්සන් තබන ලද නිර්න්‍යෂ්ඨිකකරණ ගිවිසුමෙන් (JCPOA) ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ ඒකපාර්ශ්විකව ඉවත් විය. මේ ගිවිසුම සම්බන්ධීකරණයේදී යුරෝපා සංගමය විසින් දරන ලද ඉහළ අගයකින් යුත් දායකත්වය නොසලකා හැරීමකි ඒ. ඉනික්බිති ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවීය. වොෂින්ටනය ගිවිසුමෙන් බැහැර වූයේ සම්බාධක පනවන්නටම බව ඉන් ප්‍රකට විය. එය යුරෝපීයයන් මතු නොව ලොවම අගය කළ ජයග්‍රහණයක් ආපස්සට හැරවීමකි. ඉන්පසු එක්සත් ජනපදය බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍ය තුනට (EU3) තමා අනුගමනය කරන මෙන් බලපෑම් කළේය.

යුරෝපා සංගමය මුලදී ටෙහෙරානය කෙරෙහි උපරිම පීඩනය යෙදීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට විරුද්ධ විය. එහෙත් මේ වන විට එය මඟහැරීමට ක්‍රම සොයමින් සිටියි. ඩොලර් නොවන ආහාර හා ඖෂධ වෙළෙඳාම පවත්වාගෙන යෑම උදාහරණයකි . එහෙත් එක්සත් ජනපද පළිගැනීම්වලට බියෙන් යුරෝපීය ව්‍යාපාර දැන් දැන් එය ප්‍රතික්ෂේප කරමින් සිටියි. යුරෝපා කොමිසම යුරෝපීය ආයෝජන බැංකුවට ඉරානයේ ආයෝජන සඳහා සහාය දෙන්නට බලය පැවරූ නමුත් එම කාරණය ඊට හරහට හිටියේය.

ආරවුල් යාන්ත්‍රණයට සහාය නොලැබුවහොත් යුරෝපීය මෝටර් රථ ආනයනය සඳහා සියයට 25ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් රහසිගතව තර්ජනය කළ බව දැන් හෙළිවී තිබේ. එබදු පහත් පෙළේ තර්ජනයක් ලැජ්ජාවට කරුණකි.

මේ සිද්ධිය එක්සත් ජනපදය යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීමට උත්සාහ කිරීම හා සාර්ථක වීම පිළිබඳ කනස්සලු සහගත උදාහරණයකි.

ලොව බලවත්ම රාජ්‍ය එකමුතුව වන යුරෝපා සංගමය ඇමෙරිකාවේ තර්ජනයට පිටුපාන්නට ස්වාධීන තනි තීරණයක් ගන්නා ලද නමුත් සාමාජික රාජ්‍ය ඒවාට එල්ල වන වෙළෙඳපොළ තර්ජනය හමුවේ පසුබැසීම එයාකාර නම් අනෙකුත් ස්වාධීන රාජ්‍ය විශේෂයෙන්ම තමන්ගේ ආර්ථිකය ඉතා පහළ මට්ටමේ පවතින; ආර්ථික හයියක් නැති රාජ්‍ය ගැන කවර කතාද? උදාහරණයක් ලෙස අපේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවට ගෙන ආයේ ඉරාන බොර තෙල්ය. එහෙත් ඉරානය සමඟ ගනුදෙනු කළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය අපටත් සම්බාධක පනවනු ලැබිය හැකි බැවින් අපට අපගේ තෙල් පිරිපහදුව මළ කන්නට හැර දමා සංශුද්ධ පෙට්‍රෝලියම් ආනයනය කරන්නට සිදුවේ. මේ නිසා පසුගිය සමයේ අප රටට බරපතළ ලෙස අවාසි සහගත අවස්ථා උද්ගත වූ බව අමතක නැත.

ඉරානයට ඇමෙරිකාව පැනවූ සම්බාධක නිසා මුහුණ දෙන්නට සිදුවන ආර්ථික හානිය දරාගන්නට අපහසුය.

යථාර්ථය නම් යුරෝපයට තවමත් තම බලය ප්‍රක්ෂේපණය කිරීමේ මෙවලම් නැතිකමයි. රැඩිකල් ලෙස ප්‍රතිසංස්කරණය කළහොත් මිස යුරෝව සංචිත මුදල් ලෙස ඩොලරයට විශ්වාසදායක විකල්පයක් නොවේ. එසේ නොමැතිව යුරෝපයේ මූල්‍ය ශක්තිය එක්සත් ජනපදයට අනුරූප වීම ගැන සිතන්නටවත් නොහැකිය. අනෙක් අතට යුරෝපා සංගමයේ බලගතු පාර්ශ්වකරුවකු වන බ්‍රිතාන්‍යය මේ වන විට ඉන් බැහැර වන්නට සියලු පියවර ගෙන අවසානය. එරට නොමැති වීම ඉස්මතු වන්නට යුරෝපා සංගමයට ඇති මං තවත් අහුරයි.

ඉරානයේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී ටෙහෙරානයේ පාලන තන්ත්‍රයට නැවත සම්බාධක පැනවීමට ට්‍රම්ප් ගත් තීරණයෙන් පසුව එක්සත් ජනපදය හා ඉරානය අතර ආතති වර්ධනයේ උපරිම අවස්ථාව සුලෙයිමානි ඝාතනය වේ. පසුගිය කාලය පුරාම ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරුවන් 2015 JCPOA ගිවිසුම සක්‍රියව තබා ගැනීමට උත්සාහ කරන ලද නමුත් සාර්ථකත්වය කරා ළඟා වන්නට නොහැකි විය.

කවුරුන් එකඟ නොවූවත් ට්‍රම්ප් පාලනාධිකාරිය ඉරානයට වඩවඩාත් සම්බාධක පැනවීම නොකඩවා කරගෙන ගියේය. ඒ කාරණයේදී පුද්ගලයන්ද ඉලක්ක කරගන්නා ලදි. ඉරාන විදේශ ඇමති ජාවඩ් සරීෆ් ඒ අතර ප්‍රමුඛ පුද්ගලයෙකි. දෙසතියකට පෙර නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති සමුළුවකට සහභාගි වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන්නට සරිෆ්ට වීසා නොදෙන ලදි. මෙයින් පැහැදිලි වන්නේ ආතති ලිහිල් කිරීම සඳහා ටෙහෙරානය සමඟ සාකච්ඡා කිරීමට ඇති ඕනෑම ඉඩක් අවහිර කරන්නට එක්සත් ජනපදය පියවර ගනිමින් සිටින බවයි. ඒ අතරම ප්‍රකට වන තවත් කාරණයක් නම් න්‍යෂ්ටික බලයට අදාළව පවත්නා තත්ත්වය වඩාත් අනතුරුදායක මට්ටමකට ගෙන එන්නට EU3 රාජ්‍ය උත්සාහ දරමින් සිටින බවයි. ඉහත සඳහන් ‘ද ගාඩියන්’ කතුවැකියේ පෙන්වා දෙන පරිදි යුරෝපා කොමිසමේ වර්තමාන පාලනය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ලිස්සනසුලු ප්‍රතිපත්තියකි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EU3 රාජ්‍යවලට තර්ජනය කිරීම පිළිබඳව 19දා වොෂිංටන් පෝස්ට් නැවත තහවුරු කළේය. එයින් ඒ රාජ්‍ය ඇමෙරිකා එක්සත් ජනපදයේ අහිතකර මෙන්ම ත්‍රස්තවාදී ජේසීපීඕඒ විරෝධී ප්‍රතිපත්තියට අවනත වෙමින් සිටින බව ස්ථිරය. මෙය පූර්වාදර්ශය කර ගනිමින් පසුකලෙක එම යුරෝපා රාජ්‍ය මෙන්ම යුරෝපා සංගමයේ අනෙකුත් සාමාජික රාජ්‍යද ඇමෙරිකා එක්සත් ජනපදයේ පදයට අඩව් ඇල්ලීම කිසි හිරිකිතයකින් තොරවම පවත්වා ගෙන යනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එයාකාරයෙන් බලපෑම් ඇති කරමින් ගිවිසුමට සම්බන්ධ යුරෝපා රාජ්‍ය එයින් ඉවත් කරවා ගත්පසු තවදුරටත් ගිවිසුමේ සිටින්නේ ඉරානයට අමතරව චීනය සහ රුසියාව පමණි.

පසුගිය සතියේ ඉන්දියාවේ පැවැති ‘රයිසිනා ඩයලොග්’ නමැති සමුළුවට ඉරානයේ විදේශාමාත්‍ය ජවාද් සරිෆ්ද සහභාගි විය. ‘යුරෝපා රටවල් ඇමෙරිකාවට ඔතරම් බිය ඇයිදැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ආතති දුරු කිරීම සඳහා ඉන්දියාවට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බව ඇමති සරීෆ් එහිදී ඉඟි කළේය.

එක්සත් ජනපදය හා ඉරානය අතර පවතින ආතති සම්බන්ධයෙන් ඉන්දියාව ගෙන ඇති ස්ථාවරය පිළිබඳව ඉරානය සෑහීමකට පත්වේදැයි අසන ලදුව ‘එය එසේ විය යුතු’ බව පැවසූ සරිෆ් ‘ඉන්දියාව යනු විශාල රටක්ය’යි පැවසීය.

‘රයිසිනා සංවාදය’ යනු ඉන්දීය විදේශ කටයුතු හා නිරීක්ෂණ හා පර්යේෂණ සම්මේලනය එරට විදේශාමාත්‍යාංශය එක්ව වාර්ෂිකව පවත්වන සාකච්ඡා වටයකි.

සරීෆ් වැඩිදුරටත් පැවසුවේ ඉන්දියාවේ නගර 430ක් මේ මස මුලදී ඉරාන අණ දෙන නිලධාරි සුලෙයිමානි ඝාතනය කිරීමෙන් පසු සිය කැමැත්තෙන්ම සැමරුම් රැස්වීම් සංවිධානය කළ බවයි.

‘මුම්බායිහි වීදිවල පවා ඉරානයට ලැදි මිනිසුන් සිටිනවා’ ඔහු පැවසීය.

යුක්රේන ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් 752 ගුවන් යානයට වෙඩි තැබීමේ සිද්ධිය ‘අනවධානය නිසා සිදු වූ වරදකි’යි පැවසූ ඉරාන විදේශ ඇමතිවරයා අර්බුදයක් ඇති වූ විට වැරදි සිදුවන බවත් එම අර්බුදයට එක්සත් ජනපදය දොස් ලැබිය යුතු බවත් පැවසීය.

සුලෙයිමානි ඝාතනය කිරීමෙන් එක්සත් ජනපදය ඩේෂ් ලෙසද හැඳින්වෙන අයිඑස්අයිඑස්ට එරෙහිව සටන් කළ එකම බලය තුරන් කළ බවත් භයානක මිලීෂියාවන්ට එරෙහිව නව සන්ධානයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් තමන් අයිසිස්ට එරෙහි බව එක්සත් ජනපදය ඔප්පු කර පෙන්විය යුතු බවත් ඔහු පැවසීය.

ගිවිසුම වලංගුභාවයෙන් තොර වූයේ සියරට න්‍යෂ්ටික ආරවුල් යාන්ත්‍රණය දියත් කර නමුත් එක්සත් ජනපදය ඉන් ඉවත් වීමෙන් පසු ගනුදෙනුව සඳහා වූ ඔවුන්ගේ කැපවීම් ඉටු කිරීම මඟහැරි නිසා බව සරිෆ් පැවසීය.

එබැවින් ඉරානය නිර්න්‍යෂ්ඨික ගිවිසුම උල්ලංඝනය කර ඇති බව පවසමින් එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන යුරෝපීය රටවල් තුන අලුත් ආරවුලක් උද්ගත කළ බව කී ඔහු ප්‍රධාන යුරෝපා රාජ්‍ය මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉරානය බෙහෙවින් කැප වී සිටි සමයක බැවින් එක්සත් ජනපදය ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් ප්‍රායෝගිකව අනුගමනය කරන බව පෙන්නුම් කරන සාක්ෂි විශාල ප්‍රමාණයක් පවතින බව ඉන් පැහැදිලි වන්නේ ය’යිද කීය.

යුරෝපීය සමාගම් ඉරානයෙන් බැහැරවීම, එරටින් තෙල් ආනයනය ශුන්‍ය කිරීම, ඉරාන බැංකු වර්ජනය කිරීම සහ එක්සත් ජනපද සම්බාධකවලින් නිදහස් භාණ්ඩ - ඖෂධ සහ ආහාර පවා විකිණීමට ඇති නොහැකියාව යුරෝපීයයන් JCPOAහි ඉරාන පාර්ශ්වයේ කොන්දේසි ඉටු කරන්නට කැපවී නොමැති බව පෙන්නුම් කරන ප්‍රකට සාක්ෂි වේ.

උද්ගත වූ ආරවුල නිසා ඉරානය මේ වන විට සිටිනා අස්ථාවර ස්වභාවය තුළ ප්‍රකට කෙරෙන පසුබෑම සමඟ යුරෝපීයයන් ඉරානයට එරෙහිව ත්‍රෛපාර්ශ්වික ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ලොව පුරා තනි ස්වාධීන යුරෝපයක් ලෙස ක්‍රියාත්මක යුරෝපා සංගමය ස්ථාවරය හෑල්ලුවට ලක් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට බියෙන් යුරෝපා රටවල් සිය රටට ආහාර සහ ඖෂධ අපනයනය අත්හිටුවා ඇති හෙයින් එයින් සිය රටේ ජනතාව නිරාහාරව රෝ දුකින් පීඩිතව මිය යනු ඇති බව පැවසූ ඉරාන විදේශාමාත්‍යවරයා එය කෙරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වුවමනාවට බැවින් එරටට ජනසංහාර චෝදනා එල්ල වනු ඇති බවද පැවසීය.

මාතෘකා