ලොවම බියගන්වමින් චීනයෙන් අබිරහස් වෛරසයක්

 ඡායාරූපය:

ලොවම බියගන්වමින් චීනයෙන් අබිරහස් වෛරසයක්

මෙතෙක් විද්‍යාඥයන්ට හසු නොවූ 'අබිරහස් වෛරසයක්' චීනයේ වූඛාන් (Wuhan) නගරයෙන් වාර්තා වී තිබේ. පෙණහලු රෝග ඇති කරවන එම වෛරසය පුද්ගලයන් පනහකට අධික පිරිසකට මේ වන විට ආසාදනය වී ඇත. ඉන් හත්දෙනකුගේ තත්ත්වය බරපතළය.

මෙතෙක් හඳුනාගෙන නොතිබුණු එම වෛරසය අසාදනය වූ රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇති කරවන අතර එම අලුත් වෛරසය ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ බරපතළ අවධානයට ලක් වී ඇත. මෙය දින කිහිපයකට පමණක් සීමා වී අතුරුදන් විය හැකි වෛරසයක්ද? නැතහොත් අතිශය භයානක තත්ත්වයක මූලික ලක්ෂණයක්ද?

වෛරසයේ තොරතුරු

ආසාදිත පුද්ගලයන්ගෙන් ලබාගත් මෙම වෛරසයේ නියැඳි විද්‍යාගාර විශ්ලේෂණයන්ට භාජන කර තිබේ. එම පර්යේෂණවලින් අනතුරුව චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ මෙය කොරෝනා වෛරස ගණයට අයත් බවය.

කොරෝනා වෛරස ගණයට අයත් වෛරස රාශියක් පවතින නමුත් මේ දක්වා මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ ඉන් හයක් පමණි. ඉහත කී අලුත් වෛරසය, මිනිසුන්ට ආසාදනය වූ බවට වාර්තාගත වන හත්වැනි කොරෝනා වෛරසය වේ. වසර 2002දීද එම පවුලට අයත් වෛරසයක් ලොව පුරා පැතිර යෑම චීනයෙන් ආරම්භ විය. සාර්ස් (Sars) නමින් හැඳින්වුණු එම වසංගතයට පුද්ගලයන් 8,098 දෙනකු ගොදුරු වූ අතර ඉන් 774 දෙනෙක් මිය ගියහ.

මෙය භයානක තත්ත්වයක්ද?

කොරෝනා වෛරස ආසාදනය වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවෙන් පටන්ගෙන රෝගියා ජීවිතක්ෂයට පත්වීම දක්වා පවතින බරපතළ රෝග ලක්ෂණ දක්වා විහිදිය හැකිය. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මරණය දක්වා පැවතිය හැකි රෝග ලක්ෂණ එක් රේඛාවක් මත පෙළගැස්වුවහොත් මෙම අලුත් වෛරසය එම රේඛාවේ මැද ප්‍රදේශයේ තැබිය හැකි බව පෙනෙන්නට තිබේ.

"අලුත් කොරෝනා වෛරසයක් සොයා ගත්තොත් අපට දැන ගන්න ඕන ඉන් ඇතිවන රෝග ලක්ෂණ කෙතරම් බරපතළ විය හැකිද කියන එක. මේ අලුත් වෛරසයෙන් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවකට වඩා වැඩි රෝග ලක්ෂණ ඇති කෙරෙනවා. ඒ නිසා මෙය බරපතළ තත්ත්වයක්. නමුත් එය සාර්ස් වසංගතය තරම්ම භයානක නැහැ." එඩින්බරා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පැවසීය.

අලුත් වෛරස සොයා ගැනීම ලොව නිරන්තරයෙන් සිදුවන දෙයකි. ඔවුන් බොහෝ විට වෙනත් ජීවියකු තුළ සිට මිනිස් සිරුරට පැමිණෙයි.

"අතීතයේ පැතිරී ගිය වසංගත ගැන සිතා බැලුවොත් ඒක ඇති වුණේ අලුත් කොරෝනා වෛරසයකින් නම් එය ඇවිත් තියෙන්නේ සතුන්ගෙන්." නොටිංහැම් විශ්වවිද්‍යාලයේ වෛරස අධ්‍යයන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොනතන් බෝල් පැවසීය.

සාර්ස් (Sars) වෛරසය මිනිස් සිරුරට පතිත වූයේ උරුලෑවකුගෙනි.

මර්ස් (Mers) වෛරසය වරින්වර මිනිසාට ආසාදනය වන්නේ ඔටුවන්ගෙනි. 2012දී එම වසංගතය ආරම්භ විය. වාර්තා වූ රෝගීන් 2,494 දෙනකුගෙන් 858 දෙනෙක් මියගියහ.

සතා කවුද?

අලුත් වෛරසය පැමිණියේ කුමන සත්ත්වයාගෙන්ද යන්න තහවුරු කර ගැනීමට හැකි වුවහොත් ඊට ප්‍රතිකාර සොයා ගැනීම ඉතා පහසු වනු ඇත. චීනයේ දකුණු කලාපයේ වූඛාන් (Wuhan) නගරයේ ඇති කරදිය මත්ස්‍ය වෙළෙඳපොළක් ආශ්‍රිතව මෙම රෝගීන් වාර්තා වී තිබේ.

තල්මසුන් වැනි කරදියේ වෙසෙන ක්ෂීරපායීන්ගේ සිරුර තුළ කොරෝනා වෛරස පැවතිය හැකි නමුත් ඉහත කී වෙළෙඳපොළේ කුකුළන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන්ද සිටී. එවැනි වන සතුන් තුළ මෙම වර්ගයේ වෛරස පැවතීමට ඇති ඉඩකඩ වැඩිය.

ඇයි චීනය?

මහාචාර්ය වූල්හවුස් පවසන්නේ චීනයේ විශාලත්වය, ජන ඝනත්වය සහ සතුන් සමඟ පවතින සමීප ඇසුර හේතුවෙන් වෛරස ශරීරගත වීම බහුල වන බවය.

"මීළඟ වසංගතය චීනයෙන් හෝ එම කලාපයට අයත් රටකින් ආරම්භ වීම පිළිබඳව කිසිවකු පුදුමයට පත්වන එකක් නැහැ." මහාචාර්ය වූල්හවුස් ප්‍රකාශ කළේය.

කෙතරම් පහසුවෙන් ව්‍යාප්ත වේවිද?

සැනසීමට ඇති එකම කාරණය නම් මෙම වෛරසය එක් මිනිසකුගෙන් තවත් මිනිසකුට බෝවන බවක් පෙනෙන්නට නොතිබීමය. සාමාන්‍යයෙන් පෙණහලු ආසාදනය වූ විට කැස්සෙන් සහ කිවිසුම් යෑමෙන් වෛරසයක් පැතිර යෑම ඉතා ඉක්මනින් සිදුවනු ඇත. එය එසේ වී නම් රෝගීන් සමඟ සමීපව කටයුතු කරන රෝහල් සේවක සේවිකාවන්ට එය වැලඳීම වළක්වාලිය නොහැක. නමුත් චීන බලධාරීන් ප්‍රකාශ කළේ එය එසේ සිදු වී නොමැති බවය.

එය එසේ වී නමුදු ඇතැම් විශේෂඥයන් පවසන්නේ මෙම අලුත් වෛරසය මිනිසකුගෙන් තවත් මිනිසකුට බෝ නොවන බවට නිගමනය කිරීම සඳහා තවමත් ඉක්මන් වැඩි බවය.

කෙතරම් වේගයෙන් පැතිරයාවිද?

මේ වන තෙක් ශීඝ්‍රව පැතිර යන බවක් නොපෙනෙන අතර රෝගීන් 59 දෙනාම වාර්තා වී ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 29 වැනිදා අතර කාලය තුළය. ඉන් අනතුරුව රෝගියකු වාර්තා වී නොමැත.

චීන බලධාරීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් යුතුව කටයුතු කරන බව පැවසේ. කෙසේ නමුත් මෙම මාසය අවසානයේ ආරම්භ වන චීන අලුත් අවුරුදු සමය වෙනුවෙන් එරටට ඇතුළු වන මිලියන ගණනක් වූ පිරිස හරහා මෙම වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමට ඇති ඉඩ කඩ කෙරෙහි බරපතළ අවධානය යොමු වී තිබේ.

චින බලධාරීන්ගේ ප්‍රතිචාරය කෙසේද?

මෙම වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා ආසාදිත රෝගීන් හුදෙකලා කොට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ. ආසාදිත රෝගීන් ඇසුරු කළ 150ට අධික පිරිසක් නිතිපතා වෛද්‍ය විමර්ශනයකට භාජන කෙරෙමින් පවතී. සංචාරයේ යෙදෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාවට ලක් කිරීම සඳහා ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

වෛරසය වාර්තා වූ ස්ථානයේ පවතින කරදිය මත්ස්‍ය වෙළෙඳපොළ වසා දමා එය ජීවාණුහරණය කිරීමට බලධාරීහු පියවර ගත්හ

චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට අනුගමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ

ඒ නව වෛරස් ප්‍රභේදයක් චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍රකොට ගනිමින් වාර්තා වීමත් සමඟයි. ඒ අනුව චීනයේ සංචාරය කිරීමේදී ජනාකීර්ණ ස්ථානවල වැඩි වශයෙන් රැදී නොසිටින ලෙසත් මුහුණු ආවරණ භාවිත කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දැනුම් දීමක් කළේය.

මේ අතර යම් රෝග ලක්ෂණ සහිතව පැමිණෙන මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරෝධායන ඒකකයට යොමු කර අවශ්‍ය පරීක්ෂාවන් සිදුකිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියාය

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

මෙය ලියන මොහොතේ කොරෝනා වෛරස් ගණයට අයත් මෙම අබිරහස් වෛරසය ලොව පුරා පැතිර යෑමේ අවදානමක් ඇති බැවින් විශේෂ අවධානයකින් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලුම රටවල්වලට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මේ අබිරහස් වෛරසය පාලනය කිරීමට මෙතෙක් ඖෂධයක් සොයාගෙන නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

[ෆර්හාන් නිසාම්දින්] (බීබීසී වාර්තාවක් ඇසුරිනි)

News Order: 
-1
මාතෘකා