පර්සියන් ගල්ෆ් කලාපයේ ආතතිය ලිහිල් වෙයි

 ඡායාරූපය:

පර්සියන් ගල්ෆ් කලාපයේ ආතතිය ලිහිල් වෙයි

මැද පෙරදිග කලාපයේ දස දිනක් පුරා පැවැති අධික ආතතිය සමනය කරමින් අමෙරිකා එක්සත් ජනපදය සහ තමන් අතර ඇති අර්බුදය විසඳා ගැනීමට එකම විසඳුම ‘මන්දනය’ බවට ඉරාණය එකඟ වූ බව සඳහන්ය. පසුගිය ඉරිදා (10) එරට ජනාධිපති හසන් රෞහානි එලෙස අදහස් පළ කොට ඇත්තේ ඛටාර්හි එමිර්වර ෂේක් තමින් බින් හමාඞ් අල්-තානි ටෙහෙරාන් වෙත ගොස් ඔහු හමුවු අවස්ථාවේ ය. වෙනත් කිසිදු විදේශීය පාලකයකු ටෙහෙරාන් වෙත නොපැමිණෙන අවස්ථාවක ඛටාර් එමිර්වරයාගේ මේ ක්‍රියාව අගය කළ යුත්තක් බව පෙන්වා දෙනු ලැබ තිබේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්‍ෂක ලේකම් මාර්ක් එස්පර්ගේ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති ට්‍රම්ප් ඉරාන බලධාරීන් සමග සාකච්ඡා කිරීම පිළිබඳ සිය අදහස අත්හැර දමා නොමැති බවය. එහෙත් ඊට ප්‍රතිචාරයක් නොදක්වන ඉරාණය ‘සම්බාධක ඉවත් කළොත් පමණක් සාකච්ඡාවලට එමි’යි යන ස්ථාවරයේ අචල වැ හිඳියි.

පසුගිය 03 වන සිකුරාදා අලුයම ඉරාකයේ බැග්ඩෑඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරාණ ඉස්ලාමීය විප්ලවීය නියාමක හමුදාවේ (IRGCF) විදේශ සබඳතා ඒකකය වන කුඩ්ස් හමුදාවේ (Quds Forces) ප්‍රධානියා වූ ජනරාල් ක්වාසිම් සුලෙයිමානි සහ ඉරාකයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි නායකයකු වූ අබු මහ්දි අල්-මුහන්දිස් ඇතුළු දස දෙනෙක් ඝාතනයට ලක් වූහ. මේ ඝාතනය මැනැවින් සැලසුම් සහගතව එල්ල කැරුණු ප්‍රහාරයක ප්‍රතිඵලයක් බව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මෙන්ම පෙන්ටගනයද එකපැහැර නිවේදනය කළෝය.

ක්වාසිම් සුලෙයිමානි යනු ඉරානයේ ඉතා බලගතු මෙන්ම ජනාදරයට පාත්‍ර වූ නිලධරයකු වූයෙන් අමෙරිකාවේ මේ ක්‍රියාව ඉරානයට කම්මුල් පහරක් බඳුව දැඩිව රිදුම් දුන්නේය.

ජනවාරි 03 වනදා ඉරාන විදේශාමාත්‍ය ජවාඩ් සරිෆ් මේ ට්වීටර් සටහන තැබී ය: ‘ඉසිස්, අල්-නුස්රා, අල්-ඛයිඩා යනාදී ත්‍රස්ත සංවිධානවලට වඩාත්ම බලපෑම් ඇති කළ ප්‍රහාරකයා වන ජනරාල් සොලෙයිමානි ඉලක්කගත කොට ඝාතනය කිරීම අමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික ත්‍රස්ත ක්‍රියාවකි, එය ප්‍රකටවම අන්තරායදායක වන අතර මුග්ධත්වය උත්සන්න කිරීමකි. අමෙරිකා එක්සත් ජනපදය සිය ම්ලේච්ඡ අතිධාවනකාරීත්වයේ අනිටු ප්‍රතිඵලවල වගකීම දරයි’

මේ සටහන ගැන ඉන්දියාවේ පළවන ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත අමෙරිකාවේ වෙසෙන ප්‍රකට විද්වතකු මෙන්ම දේශපාලන විවේචකයකු සහ ක්‍රියාධරයකුද වන නෝම් චොම්ස්කිගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර මෙසේය: ‘එය (ජනරාල් සොලෙයිමානි ඝාතනය) අන්තර්ජාතික ත්‍රස්තවාදය වන අතර අවිවාදාත්මකවම තත්ත්වය නරක අතට හරවයි.’

අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය ගැන මෙන්ම වොෂින්ටනය විසින් විදේශවල හමුදා ස්ථානගත කිරීම ගැන දැඩි විවේචකයකු වන චොම්ස්කි පෙන්වා දෙන්නේ ඔහු (සුලෙයිමානි) ඉරාකයේදී ඝාතනය කිරීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. ‘අන්තර්ජාතික නීිතිය මෙබඳු කාරණා ගැන සපුරා පැහැදිලියි. අන්තර්ජාතික ක්‍රියාකාරකම්වල දී තර්ජනය කිරීම හෝ බලය පෑම එමගින් වළක්වයි. පටු ව්‍යතිරේක කිහිපයක් ඇතත් මේ සිද්ධියේදී ඒවා අදාළ නොවෙයි.’

ඔහු තවදුරටත් මෙසේ පවසයි: ‘කලාපයේ අමෙරිකානු හමුදා අඩු වීමක් දක්නා නොලැබෙන අතර එවැන්නක් ගැන බලාපොරොත්තුවක් ද තැබිය නොහැකියි. අනාවැකි පැවසිය නොහැකියි. එහෙත් 2003 වසරේ අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කළ දිනවලට වඩා දැන් මැද පෙරදිග අමෙරිකානු හමුදාවේ විශාලත්වය අඩුවී ඇති බව කිව හැකියි’

සුලෙයිමානි ඝාතන සිද්ධියෙන් පසු අමෙරිකානු සහ ඉරාණ නායකයන් එකිනෙකාට එරෙහිව තරගයට මෙන් වගාඩම්බර මුදා හළෝ ය. ඒවායින් මැද පෙරදිග කලාපය දැඩිව උණුසුම් වු අතර පාර්ශ්වකරුවන් නොවූ රාජ්‍ය පවා දැඩි ආතතියකින් පෙළෙන්නට වූ බව වාර්තා විය.

ඛටාර් එමිර්වරයාගේ ටෙහෙරාන් ගමන එහි ප්‍රතිඵලයකි. මැද පෙරදිග ඇති විශාලතම හමුදා කඳවුර ඇත්තේ ඛටාර්හි වුවත් මේ අවස්ථාවේ සාමය සඳහා පෙනීසිටීමෙන් අමෙරිකානු හොඳහිත පළුදු නොවනු ඇති බවට ඔහු විශ්වාස කළා විය යුතුය.

සුලෙයිමාන් ඝාතනයෙන් පසු පර්සියානු ගල්ෆ් කලාපයේ කොයි මොහොතක හෝ යුද්ධයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් පවා දක්නට ලැබිණි. මේ වනාහි තුන්වන ලෝක මහා යුද්ධයේ ඇරැඹුම විය හැකි බවට පවා අනාවැකි පළ විය.

එහෙත් ජනාධිපති ට්‍රම්ප් අඩියක් පස්සට ගත්තේය. ඉරාණයට ප්‍රහාර එල්ල කරන්නට තමාගේ අපේක්ෂාවක් නැති බව ඔහු නිවේදනය කළේය.

අමෙරිකා එක්සත් ජනපදයේ හමුදා බළ ඇණි කිහිපයක්ම පර්සියානු ගල්ෆ් කලාපයේ මාස කිහිපයක සිට ස්ථාන ගත කොට තිබේ. අමෙරිකාව කියන්නේ ඒ සෞදි අරාබියේ ආරක්ෂාවට කියාය. එහෙත් ඉන් සියුම් ලෙස කෙරෙන්නේ ඉරාන හමුදා ක්‍රියාකාරකම් සිමා කිරීම බව අමුතුවෙන් කිවයුතු නොවේ.

යුද්ධයක් ඔන්න මෙන්න කියා තිබුණත් එය යථාවක් බවට පත් නොවීම ගැන ඇත්තටම සතුටු විය යුතුය. යුද්ධයක් නැතිවත් ඉරානයට පැනවූ සම්බාධක නිසා අපේ සපුගස්කනදේ තෙල් පිරිපහදුවට ඉන් සිදු වූ බලපෑම පමණක්ම වුවත් යුද්ධය ප්‍රතික්ෂෙප කරන්නට අපට හේතු සාධක වෙයි.

මේ අතර ඉරානය කේන්ද්‍ර කැර ගනිමින් ඉතා වැදගත් මාතෘකා කිහිපයක්ම මාධ්‍ය සිරස්තල අතර වෙයි.

ඉන් වැදගත්ම වනුයේ පසුගිය 08 දින සිදු වූ යුක්‍රේන මගී ගුවන් යානාවක් බිම හෙළීම තමන්ගේ අත්වැරැද්දකින් හෙවත් අචේතනාන්විතව (unintentionally) සිදු වූවක් බව ඉරාන පාලනය පසුගිය සෙනසුරාදා පිළිගැනීමය. යුක්‍රේනයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය ටෙහෙරාන් නුවරට කඩා වැටීමට හේතුව අත්වැරදීමකින් හෝ සිදු කළ ඉරාන මිසයිල ප්‍රහාරයක් බව මුල සිටම සැක පහළ වී තිබිණි. මෙම අනතුරෙන් එහි ගමන් කළ මගිහු 176 දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ. ඔවුනතුරින් 82ක් ඉරානියයන් වූ අතර, කැනේඩියානුවන් 63ක්, යුක්‍රේන ජාතිකයන් 11ක්, ස්වීඩන් ජාතිකයන් 10ක්, ඇෆ්ගනිස්තානුවන් හතරක්, බ්‍රිතාන්‍යයන් හතරක් සහ ජර්මානුවන් තිදෙනෙක් වූහ. ඔවුනතුරින් පහළොස් දෙනෙක් දරුවන්ය. සාමාජිකයන් සිව්දෙනා බැගින් යුත් පවුල් දෙකක් මුළුමණින්ම මරණයට පත් වූහ.

එම ගුවන් යානය ටෙහෙරාන් නුවර අල්- ඛමෙනි ගුවන් තොටුපොළෙන් ඉවතට ගොස් බටහිර දිශාවට පියාසර කරමින් සිටි බවත් ඊට පසු දකුණට හැරී නැවත ගුවන් තොටුපොළ දිශාවට එද්දී කඩා වැටුණු බවත් ඉරාණ සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රධානියා වන අලි අබේඩ්සාදේ මාධ්‍යයට පවසා තිබිණි.

යානය පියාසර කරන විට හදිසි තත්වයක් පිළිබඳ ගුවන් නියමුවන් පාලක මැදිරියට ඇමතුමක් ලබාදී නොමැති අතර, යානය ගිනිගනිමින් වැටුණු බව සිද්ධිය ඇසින් දුටු අයෙක් පැවසී යැයි එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

ඉරාණ අග්‍රෙෂ නායක අයතොල්ලා අල්-ඛමෙයිනි සිද්ධිය පිළිබඳ සමාව අයැද සිටියේය. ‘එය මානුෂික වරදකි’යි ඔහු පැවසීය.

ජනරාල් සුලෙයිමානිගේ අවමගුල පැවැත්වීමට නියමිත ව තිබූ 06 වන සඳුදා ඔහු වෙනුවෙන් ශෝකය පළ කරනුවස් ටෙහෙරාන් නුවරට මහා ජන ගඟක් ඇදී ආ බවත්, තදබදය නිසා පැමිණි අයගෙන් පනහකට අධික සංඛ්‍යාවක් මරණයට පත් වූ බවත්, තවත් දෙසීයකට පමණ තුවාල සිදු වූ බවත් වාර්තාවල දැක්විණි. එහෙත් 11 දින ගුවන් යානාව කඩා වැටීම පිළිබඳච වගකීම පිළිගැනීමෙන් පසු ඒ ජනතාවගේ කෝපය ඉරාන පාලනය කෙරේ එල්ල විය. දැන් ඔවුහු වීදි බැස අයතොල්ලා ඛමෙයිනිට ඉල්ලා අස්වන ලෙස බලකෙරෙන සටන් පාඨ කියමින් සිටිති.

පසුගිය සෙනසුරාදා ටෙහෙරාන්හි අමිර් කබිර් විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ‘මළවුන් සිහි කිරීම සඳහා වෘත සමාදන්වීමක්’ සංවිධානය කොට තිබිණි. මෙයින් සිහිපත් කැරුණේ ගුවන් යානය වැට්ටවීමෙන් රජය විසින් ඝාතනය කරන ලද්දවුන්ය. වෙනත් විශ්ව විද්‍යාල සිසුන්ද ඊට සහභාගි වු අතර දහසක් ඉක්මවන පිරිසක් විශ්ව විද්‍යාල පරිස්‍රයේ රැස්ව සිටියහ. ඒ අවස්ථාවේ ටෙහෙරානයේ සිටින බ්‍රිතාන්‍ය තානාපති රොබර්ට් මැකායිරේ එයට සහභාගි වී ඇත්තේ බ්‍රිතානීයයන් සිව් දෙනෙක් ද එම අනතුරින් මරණයට පත් වූ හෙයින් ඔවුන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහාය. පසුව ඒ එක්රැස්වීම විරෝධතාවක් බවට පත්ව තිබේ. මැකායිරේ කියන ආකාරයට ඔහු එහි සිට ඇත්තේ මිනිත්තු පහකටත් අඩු කාලයකි. ඒ වන විට විරෝධතාවක් තිබී නැත. එහෙත් ඉරාන විප්ලවීය ආරක්ෂක නියාමක හමුදාව විසින් අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත් වූයේ ය යන චෝදනාව එල්ල කොට ඔහු අත් අඩංගුවට ගනු ලැබ පැය තුනක් රඳවා ගැනීමෙන් පසුව මුදාහරින ලද බව වාර්තාවල දැක්වේ. මෙයට බ්‍රිතාන්‍යය ඉරානයට විරෝධය පළ කොට ඇති අතර ඉරාන විදේශාමාත්‍යංශය ප්‍රතිචාර වශයෙන් දන්වා ඇතතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් ඔහු එතැන සිටි හඳුනා නොගත් විදේශිකයකු වූ නිසා රඳවාගෙන අනන්‍යතාව තහවුරු කැර ගැනීමෙන් ඉක්බිති වහාම මුදාහළ බවය.

විරෝධතාකරුවන්ට IRGC අනුබද්ධ බසිජ් නම් කුලී හේවා කණ්ඩායමක් ලවා පහර දී ඇති අතර ඒවායින් කෙතරම් පිරිසක් තුවාල ලැබුවාද කියා නිශ්චිත සඳහනක් නොමැත. ජනරාල් සුලෙයිමානි ඝාතන සිද්ධිය නිසා යටපත් වී ගිය නමුත් ඉරානයේ ජීවන වියදම දරාගත නොහැකි ජනයා විරෝධතා සඳහා වීදි අවතීර්ණ වූයේ පසුගිය නොවැම්බරයේය. ආරක්ෂක හමුදා ඔවුන්ට තුවාල සිදුවන ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ. ඒ දවස්වල සිට ඉරාණය අන්තර්ජාල සබඳතා බිඳ දමා තිබේ.

මේ අතර ජනාධිපති ට්‍රම්ප් ‘ඉරාන බලධාරීන්ගේ අවධානය පිණිසයි. ඔබේ රටේ විරෝධතාකරුවන්ට පහර නොදෙන්න’ යනුවෙන් ට්වීටර් සටහනක් තබා තිබේ. අන්තර්ජාලය අවහිර කරනු ලැබ ඇති හෙයින් ඒ සටහන ඉරාන පාලකයන් දුටුවාද යන්න සැක සහිත බව ඒ ප්‍රවෘත්තියේම ඇතුළත්ය.

ට්‍රම්ප් යටතේ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිය අවිවලින් පහර දීම නොව සම්බාධක මගින් ආර්ථිකයට පහර දීමය. එය සාධාරණීකරණය සඳහා හේතු නිරමාණය කරන්නට කැපිටල් හිල් සමත්ය. ඔවුන් චීනයට ආර්ථික සම්බාධක පැනවූයේ වෙළෙඳ පරතරය අඩු කැර ගන්නටය කියමිනි. උතුරු කොරියාවට සහ ඉරානයට සම්බාධක පනවන්නේ යුරේනියම් සුපෝෂණය සහ න්‍යෂ්ඨික අවි නිශ්පාදනය යන චෝදනා ඉදිරිපත් කරමිනි. පංච මහා බලවතුන් සහ ජර්මනිය එක් පාර්ශවයක සහ ඉරානය අනෙක් පාර්ශ්වය ලෙසත් පෙනී සිටිමින් 2015 වසරේ ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක සැලැස්ම (JCPOA) නම් ගිවිසුම අත්සන් තබන ලද්දේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩ පිළිවෙල නියාමනය කිරීමට සහ එමගින් එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කරන්නටය. එහෙත් 2016 ජනාධිපතිධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් කළ මුල්ම රාජකාරි අතරින් එකක් වූයේ පූර්ව ජනාධිපති බරක් ඔබාමා විසින් මෝඩ ලෙස අත්සන් තබන ලද එම අහිතකර ගිවිසුමෙන් සිය රට ඉවත් වන බව නිවේදනය කිරීමය. ඒ අනුව 2018 මැයි 08 දින අමෙරිකා එක්සත් ජනපදය ඒක පාර්ශ්විකව ඉන් ඉවත් විය. සම්බාධක ලිහිල් කිරීමෙන් ලැබෙන ආර්ථික වාසිය ඉරානය යොදවන්නේ කලාපයේ ත්‍රස්තවාදය පැතිරවීමට බව ජනාධිපති ට්‍රම්ප් චෝදනා කළේය. එහෙත් අනෙක් රාජ්‍ය ට්‍රම්ප් සමග එකට සිට ගත්තේ නැත.

ජනරාල් සුලෙයිමානි ත්‍රස්තවාදියකු ලෙස නම් කොට ඔහු ඝාතනය කළ යුතු බවට අමෙරිකා එක්සත් ජනපදය සනිටුහන් කැර ගන්නේ විදේශවල අමෙරිකා හමුදාවේ ආක්‍රමණවලට එරෙහි ඉරාන විරෝධතාව ප්‍රතියුක්ත (proxy) ක්‍රමයට පළකිරීම ක්‍රියාත්මක කළ අණදෙන්නා ඔහු වූ හෙයිනි. ප්‍රතියුක්ත යුද්ධයක් යනු තමන් ඍජුවම සහභාගි නොවෙමින් වෙනත් කණ්ඩායම් ලවා ප්‍රහාර එල්ල කිරීමයි. එලෙස ඉරාන කුඩ්ස් හමුදාව මැද පෙරදිග කලාපයේ හිස්බුල්ලා සහ හෞති වැනි ෂියා ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම් දිරි ගැන්වූ බව සඳහන්ය. ඒ අනුව අමෙරිකාව පෙන්වා දෙන්නේ තමන් JCPOA වෙතින් ඉවත් වූවාට අනෙක් රාජ්‍ය ඉවත් නොවූ බැවින් ඉරානයට ඒ ශක්තිය තිබෙන බැවින් ඔවුන්ටද ඒ ගිවිසුමෙන් ඉවත් වන ලෙසය. චීනය සහ රුසියාව කොහොමටත් ජනාධිපති ට්‍රම්ප් සමග එකඟත්වයක් නැත. මේ කාරණයේදී නම් මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනියද එකඟ වන පාටක් නැත. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අනෙක් යුරෝපීය රටවල් දෙකට පවසා ඇත්තේ තමන් එම ගිවිසුමෙන් ඉවත් නොවන බවත් ඔවුන් ද ඉවත් නොවිය යුතු බවත්ය. ඊට එම රාජ්‍ය දෙකේද එකඟත්වය තිබේ.

ඉරානයට සාකච්ඡා සඳහා අවස්ථාව විවෘත බව පෙන්ටගනය පැවසුවත් ඉරානය කියන්නේද උතුරු කොරියාව කියන කතන්දරයමය. ‘සම්බාධක ඉවත් කරන්න. ඉන්පසු සාකච්ඡාවට එමි’ යන්නයි ඒ. ජනාධිපති ට්‍රම්ප් ඒ අතින් අඩියක් පසුපසට ගන්නට සූදානම් නැත.

මේ අතර තවත් අපූරු පුවතක් පළ වී තිබිණි. ඒ ඉසිස් ත්‍රස්ත කල්ලියේම ‘දාඒෂ් තක්ෆිරි’ යන නමින් පෙනීසිටින කල්ලිය නිකුත් කළ නිවේදනයකි. එහි දැක්වෙන්නේ ‘සිය මිත්‍ර අමෙරිකානු හමුදාව විසින් සුලෙයිමානි ඝාතනය කරනු ලැබීම දිව්‍යමය මැදිහත් වීමකි’යන පිනාගිය සිත්නු යුත් ප්‍රශංසාවකි. එයින් ඉහත සඳහන් ඉරාන විදේශාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ ඇති කරුණ සනාථ වෙයි.

මාතෘකා