හදවතින් අන්ධ නොවූ හෙලන් කෙලර්

 ඡායාරූපය:

හදවතින් අන්ධ නොවූ හෙලන් කෙලර්

අන්ධකාරය සමඟ මිනිසුන් ගනුදෙනු කරන ආකාරය විවිධාකාරය. සදහටම වර්ණ සහ රූප නොමැතිව අඳුර සමඟ මුළු ජීවිත කාලයම ගෙවන මිනිසුන් ඉන් විශේෂය. රූප, ශබ්ද, සුවඳ, රසය සහ ස්පර්ශය යන සියල්ලම නොඅඩුව හිමි පුද්ගලයා තම ජීවිතය අන්ධකාරයෙන් වැසෙන අවස්ථාවලදී යළි හිස එසවිය නොහැකි ලෙස මනසින් දුර්වල වේ. නමුත් මේ කතාව ඒ අන්ධකාර පරිච්ඡේදයම ජීවිතයේ තීව්‍ර අලෝකයක් කරගත් ගැහැනියක් පිළිබඳවය.

හෙලන් ඇඩම්ස් කෙලර් ඉපදුනේ 1880 ජුනි මස 27 වැනි දින වයඹදිග ඇලබාමාහිදීය. ඇයගේ පියා විශ්‍රාමික හමුදා කපිතාන්වරයකු සහ ප්‍රාදේශීය පුවත්පතක කතෘවරයෙකි. ඇගේ මව උගත් ගැහැනියකි. හෙලන් ඉපදී මාස 19ක් වන විට ඇයගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් හේතුවෙන් බිහිරි සහ අන්ධ ස්වභාවයට පත් විය. නීරෝගීව ඉපදුණු දරුවෙක් හිටිහැටියේම ශබ්ද ඇසීම අඩපණ වී යෑම සහ සදහටම පෙනීමෙන් තොර වීම ජීවිතයේ අන්ධකාර පිටුවක ආරම්භයක් මෙනි.

නමුත් හෙලන් අතිශය බුද්ධිමත් වූ අතර රූප සහ ශබ්ද තමන්ගේ ජීවිතයෙන් ඈතකට ගියද සුවඳ, රසය සහ ස්පර්ශය තුළින් ඇයගේ වටපිටාවේ පරිසරය තේරුම් ගැනීමට උත්සාහ කළාය. කෙසේ වෙතත් ඇයගේ පවුලේ සාමාජිකයන් ඇය මෙන් සංඥා භාවිත කරනු වෙනුවට කටින් කතා කරමින් සිටින බව ඇය තේරුම් ගත්තාය. ඔවුන්ගේ චලනය වන තොල් දැනුන ඇය ඔවුන්ගේ සංවාදයට සම්බන්ධ වීමට නොහැකි වූ විට කෝපයට පත්වූවාය.හෙලන් විසින් රචනා කරන ලද ස්වයං චරිතාපදානයේ ඒ බව මෙසේ සඳහන් විය.

"යම් සන්නිවේදන මාධ්‍යයක අවශ්‍යතාව කොතරම් අවැසිද යත් මෙම කෝපසහගත පිපිරීම් දිනපතා, සමහර විට පැයකට වරක් සිදුවිය."

මේ සියල්ල සමඟ ගැටෙමින් වුන් ඇයගේ ආත්මය දෙවැනි වර නැවතත් ඉපදීම සිදුවෙන්නේ 1887 මාර්තු 03 වැනි දින හෙලන්ගේ ගුරුවරිය ලෙස සුලිවන්ගේ පැමිණීමත් සමඟය. හෙලන් මෙම දිනය නම් කරන්නේ ‘ආත්මයේ උපන්දිනය’ ලෙසය. අපහසු අවස්ථාවන්ට මුහුණදීමට තරම් ශක්තිමත් කැමැත්තකින් යුක්ත සුලිවන්ට හෙලන් හමුවූ පළමු සති කිහිපය තුළ නොපසුබට උත්සාහයක නිරත වීමට සිදුවිය. මන්ද හෙලන් තම ගුරුවරියට පහරදීම හේතුවෙන්ය. තම ගුරුවරියව ප්‍රතික්ෂේප කරමින් හිතුවක්කාර හැසිරීම්වලින් යුක්ත වූ හෙලන්ගේ පාලනය, සුලිවන්ගේ ඉවසීම සහ ස්ථිරභාවය හේතුවෙන් ඇගේ අතට පත්විය.

සුලිවන් අවසානයේදී හෙලන්ගේ හදවත සහ විශ්වාසය දිනා ගත්තාය. එය හෙලන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙනයෑමට පෙර අත්‍යවශ්‍ය පියවරකි.

අන්ධ සහ බිහිරි දරුවකුට තම ජීවිතය නිවැරදි කොණින් අල්ලා දීම සඳහා සුලිවන් තමා විසින්ම නිර්මාණය කරන ලද ශිල්පීය ක්‍රම අනුගමනය කළාය. ඇය හෙලන්ගේ අතේ ඇඟිලි හරහා වස්තූන් හඳුනාගැනීමට හෙලන්ට හුරු කළාය. හෙලන් ඊළඟ දිනය ගැන මෙසේ ලිවීය.

"මම මගේ දෑතින් ස්පර්ශ කළ සෑම වස්තුවකම නම ඉගෙන ගැනීම හැර වෙන කිසිවක් නොකළෙමි. මම යම් දේවල් හසුරවන විට සහ ඒවායේ නම් හා භාවිතයන් ඉගෙන ගන්නා තරමට ප්‍රීතියෙන් සහ විශ්වාසයෙන් යුතුව බාහිර ලෝකය සමඟ මගේ සංඥා සබඳතාව වර්ධනය විය."

බොහෝ දෙනා විශ්වාස කරන්නේ හෙලන්ට භාෂාවට ඇති ඇල්ම, ලේඛිකාවක් සහ ප්‍රසිද්ධ කථිකයකු ලෙස ඇයගේ විශිෂ්ට ප්‍රකාශනයේ ඉහළින් වැජඹීමට මෙම කාරණාව මත පදනම ගොඩනැඟුණු බවයි. 1888 මැයි මාසයේදී සුලිවන් හෙලන්ව බොස්ටන්හි අන්ධයන් සඳහා වූ පර්කින්ස් පාසලට ගෙන ආ අතර එහිදී හෙලන්ගේ ලෝකය අලුත් විය. හෙලන් එහිදී බ්‍රේල් ක්‍රමයට අංක ගණිතය, භූගෝල විද්‍යාව සහ තවත් විෂයන් කිහිපයක් හැදෑරීය.

හෙලන් විශ්වවිද්‍යාල උපාධියක් ලබාගත් බිහිරි භාවයෙන් යුක්ත ලොව පළමු පුද්ගලයා ලෙස ලෝකප්‍රසිද්ධියට පත්විය. 1968දී වයස අවුරුදු 87ක් වන විට අභාවප්‍රාප්ත වීමට පෙර ඇය කීර්තිමත් කතුවරියක් සහා ක්‍රියාකාරිනියක් ලෙස ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වී තිබුණි. නොබෙල් සාම ත්‍යාගයටද ඇයව යෝජනා කෙරිණි. 1952 හෙලන් මයිඩාස්ට් වෙත ගොස් ප්‍රාදේශීය නායකයන් හමුවී අන්ධ හා ආබාධිත අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමත් සමඟ එම යෝජනා ලැබිණ.

එමෙන්ම ඇය අතිශයින්ම දේශපාලනිකය. හෙලන් සමාජවාදී පක්ෂ‍යේ සාමාජිකයකු වීමට අමතරව ඇමෙරිකානු සිවිල් නිදහස් සංවිධානයේ (ACLU) නිර්මාතෘවරියයි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි සහ උපත් පාලනය සඳහා ප්‍රබල ලෙස ආධාරකරුවකු ලෙස ක්‍රියාකළ අයෙකි. මේ සියල්ල විසි වැනි සියවසේ මුල් භාගයේ කාන්තාවක් සඳහා වූ රැඩිකල් අදහස් විය.

හෙලන් සුනඛයන්ට දැඩි ලෙස ආදරය කළ සොඳුරු හදවතක් ඇත්තියකි.

"මගේ සුනඛ මිතුරන් මගේ සීමාවන් තේරුම්ගෙන ඇති අතර සෑම විටම මා අසලින් සිටියි. මම ඔවුන්ගේ ආදරණීය ක්‍රමවලට සහ ඔවුන්ගේ වලිගවල විචිත්‍රවත් චලනයන්ටද ආදරය කරමි."

-හෙලන් කෙලර්

හෙලන් සුනඛයන් තුළ සැනසිල්ල සොයාගත් අවිහිංසාවාදී කාන්තාවකි.

හෙලන් කෙලර් සිය ජීවිත කාලය පුරාම සිය ශක්තීන් මානුෂීය කටයුතුවලට කැප කළ අතර ආර්ථිකය, යුක්තිය සහ කාන්තාවන් මෙන්ම ආබාධිතයන් වෙනුවෙන්ද පෙනී සිටියාය. ඇය ඇයගේ දක්ෂතාව හා වෙහෙස නොබලා ක්‍රියා කිරීම තුළින් සියලු මිනිසුන් වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් මියෙනතුරු සටන් කළ අපූරු ගැහැනියකි.

සටහන [හංසි පෙරේරා]

News Order: 
1
මාතෘකා