යුද්ධයෙන් මෙහා නැවතුණු ඉරාන මිසයිල ප්‍රහාර නාටකය

 ඡායාරූපය:

යුද්ධයෙන් මෙහා නැවතුණු ඉරාන මිසයිල ප්‍රහාර නාටකය

ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් රාත්‍රී දහයට පමණ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවෙන් පසු ඉරාන - ඇමෙරිකානු ගැටුම අරබයා මතුව පැමිණි යුද බිය තාවකාලිකව හෝ පහව ගියේය.

කලක් තිස්සේ පැවති උණුසුම්කාරී තත්ත්වය ජනවාරි 3 වැනිදා තීව්‍ර අතට හැරුණේ ඉරාන ජෙනරාල් කාසෙම් සුලෙයිමානි ඇමෙරිකානු ප්‍රහාරයකින් මරණයට පත්වීමත් සමඟය. එදින පටන් ඉරානය කෙසේ ප්‍රතිචාර දක්වන්නේද යන්න පිළිබඳ බොහෝ දෙනා බලා සිටියහ. ඊට පිළිතුරු ලැබුණේ ජනවාරි 8 වැනිදා උදෑසන (ඇමෙරිකාවේ වෙලාවෙන් ජනවාරි 7 රාත්‍රියේ) ඉරානය විසින් ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් ඊළඟ දිනයේ (ලංකාවේ වෙලාවෙන් එදිනම රාත්‍රියේ) විශේෂ ප්‍රකාශයක් කරන බව සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා සිටියේය.

මේ සමඟ ඇතැම් පුද්ගලයන් තුන්වන ලෝක යුද්ධයක් පිළිබඳ අනියත බියක් ජනිත කිරීමට උත්සාහ කරනු දක්නට ලැබිණි. මෙය බොහෝ රටවල සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙන්ම ඇතැම් මාධ්‍යවේදීන් විසින්ද සිදු කෙරෙන බවක් පෙන්නුම් කෙරිණ. ඇතැමකුගේ මතය වූයේ රුසියාව ඉරානයේ සහායට සිටින හෙයින් මෙම අර්බුදය ලෝක යුද්ධයක් කරා යොමුවන බවය. කෙසේ වෙතත් රුසියානු රජය මෙම සිද්ධිය පිළිබඳ පුදුමාකාර නිහඬ බවක් පෙන්නුම් කළේය.

ඉරාන ප්‍රහාරය

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන්ට සාපේක්ෂව ඉරානය සතුව නවීන අවි නොමැත. එහෙයින් ඔවුහු ප්‍රධාන ක්‍රම දෙකකින් සිය ආරක්ෂාව තර කරගැනීමට උත්සාහ කරති.

මෙයින් පළමු ක්‍රමය නම් "ඉදිරිපෙළ ආරක්ෂාව"යි. එනම් කලාපයේ අන් ප්‍රදේශයන්හි තමන්ට හිතවත් කණ්ඩායම් ශක්තිමත් කිරීමය. හිස්බුල්ලා සංවිධානය, යේමනයේ හූති කැරලිකරුවන්, පලස්තීන ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය ආදිය ශක්තිමත් කිරීම මගින් ඊශ්‍රායලය, සෞදි අරාබිය ආදී තම පසමිතුරන්ට තර්ජනය කිරීම මෙම උපක්‍රමයය.

දෙවැනි ක්‍රමය නම් බැලිස්ටික් මිසයිල වැඩපිළිවෙළ දියුණු කිරීමය. ඉරානය සතුව විවිධ පරාසයන්හි මිසයිල තිබේ. මේ අතර කිලෝමීටර් 200ක පරාසය සහිත කෙටිදුර මිසයිලවල සිට කිලෝමීටර් 2000ක පරාසය දක්වා මිසයිල වෙයි.

ඉරානය මීට පෙර සුල්ෆිකාර්, ක්වයිම්-1 සහ ෆටෙහ්-110 යන මිසයිලවලින් ප්‍රහාර එල්ල කර ඇත. සුල්ෆිකාර්හි පරාසය කිලෝමීටර් 700ක් වේ. ක්වයිම්-1හි පරාසය කිලෝමීටර් 800කි. ෆටෙහ්-110 කිලෝමීටර් 200ක පරාසයකින් යුක්ත බව පැවසේ.

ඉරාකයේ අයින් අල්-අසාද් කඳවුරට සහ අර්බිල් නගරය අසල ගුවන් හමුදා කඳවුරක් වෙත එල්ල වූ ප්‍රහාර සඳහා මෙම මිසයිලවලින් එක් වර්ගයක් හෝ වර්ග කිහිපයක් හෝ භාවිතා කරන්නට ඇත.

මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවට ඇමෙරිකාව නිවේදනය කළේය. ඉරාන මාධ්‍ය ඊට වෙනස් පුවතක් පළ කරමින් 80 දෙනකු මියගියේ යයි කියා සිටියේය. කෙසේ නමුත් ඉරාන මාධ්‍ය විසින් කුමක් පැවසුවද මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජීවිත හානි අවම වන ලෙසට බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබිණි.

ඉරාන රජයේ ප්‍රකාශකයන් කිහිප දෙනෙක් මෙම ප්‍රහාර පිළිබඳ මත පළ කළහ. විදේශ ඇමති ජාවෙඩ් සරීෆ් කියා සිටියේ ඉරානය ආත්මාරක්ෂාව උදෙසා මෙම ප්‍රහාර එල්ල කළ බවය. සුලෙයිමානි ඝාතනයට භාවිත කළ කඳවුරු වෙත මෙසේ පහර දුන්නේ යැයි ඉරාන ස්ථාවරය විය. එමෙන්ම යුද්ධයක් ඇතිවීම ඉරානයේ අවශ්‍යතාව නොවන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

ඇමෙරිකානු ඉලක්ක වෙත පහර දීමට තමන්ට හැකියාව ඇති බව මෙම ප්‍රහාර මඟින් පෙන්නුම් කෙරෙන බව ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකාය කියා සිටියේය. යළි ඇමෙරිකාව ඉරානය වෙත පහර දුන්නොත් ඊට ඉරානයද ප්‍රතිචාර දක්වන බවත් ඊට ඉරානයට හැකියාව ඇතැයි ඉරානය පෙන්වා දුන් බවත් එම බලකාය කියා සිටියේය.

මේ අතර ඉරාන ආරක්ෂක ඇමති අමීර් හටාමිට අනුව ඉරාන ප්‍රහාරය සුලෙයිමානි ඝාතනයට දැක්වූ සමානුපාතික ප්‍රතිචාරයක් විය. තමන් භාවිත කළේ කෙටිදුර මිසයිල බවද ඔහු කියා සිටියේය. මේ අතර නැවතත් ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත් නැවත ඊට සමානුපාතික ප්‍රතිචාරයක් දක්වන්නේ යැයි ඉරානය ප්‍රකාශ කළේය.

රුසියාවේ ප්‍රතිචාරය

මේ සියල්ල සිදු වූයේ ට්‍රම්ප් නිහඬව සිටියදීය. එමෙන්ම පුටින්ද කිසිදු අදහසක් පළ කරනු නොපෙනුණි. ඔහු සිටියේ තුර්කි ජනාධිපති රචෙප් ටයෙප් එර්ඩොවාන් සමඟය. තුර්කියේ සංචාරයක නිරතව සිටි පුටින් ටුර්ක් ස්ට්‍රීම් ස්වභාවික වායු නළ මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූයේය.

රුසියානු ප්‍රතිචාරය පැමිණියේ තුර්කි ජනාධිපති සහ රුසියන් ජනාධිපති විසින් නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙසය. එහිදී ඔවුහු සියලු පාර්ශ්ව වෙත දොස් පවරා තිබිණි. සුලෙයිමානි ඝාතනය පිළිබඳ ඇමෙරිකාවටද දොස් පැවරූ ඔවුහු මිසයිල ප්‍රහාර පිළිබඳ ඉරානයටද දෝෂාරෝපණය කළහ. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගැටලු විසඳාගත යුතු බව ඔවුහු අවධාරණය කළහ.

මෙම අවස්ථාවේ රුසියන් ප්‍රතිචාරය මීට වඩා වෙනස් යැයි බලාපොරොත්තු විය නොහැක. විශේෂයෙන්ම මැදපෙරදිග ප්‍රදේශයන්හි රුසියානු ප්‍රතිපත්තිය මිත්‍රශීලීය. මැදපෙරදිග යනු එකිනෙකා හා බරපතල ලෙස වෛරයෙන් පසුවන පාර්ශ්ව පවා සිටින කලාපයකි. එහෙත් ඒ සියල්ලන් සමඟ පුටින් මිත්‍රශීලීය. සිරියාව, තුර්කිය, ඉරානය, ඊශ්‍රායලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය, ඊජිප්තුව ආදී සියලු රටවල් රුසියාව සමඟ යහපත් මිත්‍ර සබඳතා පවත්වති. එය ඉතා විශිෂ්ට ලෙස කලාපය සංතුලනය කිරීමකි. එවැනි තත්ත්වයක් යටතේ රුසියාව එක් පාර්ශ්වයක් ගැනීම වෙනුවට සිදු කරනු ඇත්තේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීමය.

ජාත්‍යන්තරයෙහි සියලු රටවල් එකිනෙකා හා අන්තර් සබඳතාවලින් වෙළී පවතී. බරපතල යුද්ධයක් මතුවීම සියලු රටවලට හානිකර වන්නේ එහෙයිනි. විශේෂයෙන් සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ගරා වැටී සිටි රුසියාව නැවත නැඟිටින්නේ පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළය. එහෙයින් ඔවුන් කිසි ලෙසකින් විනාශකාරී යුද්ධයකට මැදිහත් නොවනු ඇත. සිරියාවේදී රුසියාව සිදු කළේ හමුදාමය වශයෙන් සීමිත මැදිහත්වීමකි. එයද ත්‍රස්තවාදය පරාජය කිරීම උදෙසාය.

ට්‍රම්ප්ගේ සාමය

මේ සියලු කාරණා මැද ට්‍රම්ප් ජාතිය ඇමතුවේය. ඉරානය මිසයිල ප්‍රහාරයෙන් පසු ආපස්සට පියවර ගත් බව කියා සිටි ට්‍රම්ප් එහෙයින් දරුණු පියවරක් ගැනීම අනවශ්‍ය බව ප්‍රකාශ කළේය. ඇමෙරිකාව සතුව ලොව හොඳම මිසයිල තිබුණද ඒවා භාවිත කිරීම අනිවාර්ය නොවන බව ඔහු සඳහන් කළේය.

මෙසේ ඉරාන ප්‍රහාරය පිළිබඳ නාටකය මේ වතාවට අවසන් වූයේය. ඉරානය මෙන්ම ඇමෙරිකාවද සතුටු කරමින් මෙම ජවනිකාව නිමා වූ බව සටහන් කිරීම වටී. එක් අතකින් තමන් ඇමෙරිකාවට පහර දුන්නේ යැයි සිය ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට ඉරානයට හැකි වූයේය. එමෙන්ම තමන් යුද්ධයක් කරා නොයන්නේ යැයි ප්‍රකාශ කරමින් ලෝකයේ හොඳ හිත දිනාගැනීමට ට්‍රම්ප්ද සමත් වූයේය. මැදපෙරදිග දැවැන්ත පිපිරීමක් වළකාගැනීම පිළිබඳ රුසියාව ආදී අනෙකුත් රටවල්ද සතුටු වනු ඇත.

මේ අතර යේමනයේ සිවිල් යුද්ධය දිගටම ක්‍රියාත්මකය. ඉරාකය නොසන්සුන්ය; සිරියාව නොසන්සුන්ය. මැදපෙරදිග අර්බුදවල ඊළඟ ජවනිකාව අද හෙට වුවද විය හැක.

[චාමර සුමනපාල]

News Order: 
1
මාතෘකා