රෝමය - ඔස්ට්‍රේලියාව ගිනිගනී

 ඡායාරූපය:

රෝමය - ඔස්ට්‍රේලියාව ගිනිගනී

විසි එක්වැනි සියවසෙහි දෙවැනි දශකය ලෝකයට තීරණාත්මක දශකයක් බවට පත් වන්නේ එය ලෝකයේ ඉදිරි දිශානතිය තීරණය කරන මාලිමාවක් වන නිසාය. ආර්ථිකමය වශයෙන්, පාරිසරික වශයෙන් සහ සමාජයීය වශයෙන් මේ දශකයේ මුල් භාගයේදී රටක් සහ ලෝකයක් වශයෙන් ගන්නා සියලු තීරණ ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ පැවැත්ම කෙසේ වේ දැයි තීරණය කරනු ඇත. කෙසේ වුවත් මේ සියල්ල පුරෝකථනය කිරීම හෝ පෙර දත්ත ආශ්‍රයෙන් අනාවැකි පළ කිරීම ඉතා අපහසු වී ඇත්තේ ලෝකයේ සියලුම ස්ථරවල පවතින අස්ථාවරභාවය නිසාය. උදාහරණයක් ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වූ පසු බොහෝ දෙනා සිතා සිටියේ ඇමෙරිකානු - උතුරු කොරියා යුද්ධයක් ඇතිවිය හැකි බවයි. ඒ සියල්ල හිතලුවක් පමණක් කරමින් දෙරට අතර මූනිච්චාවට හෝ හොඳ හිත වර්ධනය කර ගැනීම සිදු විය. තවද හදිසියේම ඇමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරාවි යැයි කිසිදු බුද්ධි තොරතුරක පුරෝකථනය වූ කාරණා නොවේ. මෙවැනි හදිසි අවස්ථා සිදු වන විට වසර කිහිපයක් තිස්සේ පැවත ආ ප්‍රවණතාවන් අවුල් වී යෑම දැකිය හැක. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ මුළු ලෝකයම කිසියම් වූ දේශපාලනික සහ ආර්ථිකමය ඔද්දල් වීමක සිටිනු දැකිය හැකිය. එසේම එය පාලනය කිරීමද සාමාන්‍ය අපට සිදු කළ හැක්කක් නොවේ. එය අදාළ ලෝක බලවතුන්ගේ තීරණ මත යැපෙන කරුණක් වේ. සමාජයීය ප්‍රවණතාද බොහෝ විට තීරණය වන්නේ ප්‍රබල රටවලින් ලැබන ආදර්ශ මත වුවත් අවාසනාවකට ප්‍රබල රටවලින් ලැබෙන යහපත් සමාජ ප්‍රවණතාවන් අප රටවල සමාජය වැලඳ ගැනීම ඉතා සෙමෙන් සහ සුළු වශයෙන් සිදුවන්නකි. මේ නිසා එයින් විශාල බලපෑමක් නොවූවත් යහපත් ප්‍රවණතාවන්ගේ ආගමනය වැඩි කිරීම සහ එය පැතිරවීම ඉක්මනින් කළ හැකිය. කළ යුතුය.

සමාජයීය ප්‍රවණතාවක කොටසක්ම වන පාරිසරික සංරක්‍ෂණය, මේ දශකයේ ඉහළ අවධානයක් දිනාගත් කරුණක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සැකසූ තිරසර සංවර්ධන ඉලක්ක 17න්

6. පිරිසුදු ජලය සහ සනීපාරක්‍ෂාව

7. ලාභදායී පිරිසුදු බලශක්තිය

11. ධරණීය නගර සහ ප්‍රජාව

12. වගකීම් සහිත පරිභෝජනය සහ නිෂ්පාදනය

13. දේශගුණය කෙරෙහි සිදුකරන ක්‍රියාකාරකම්

14. ජලජ ජීවය

15. මිහිමත ජීවය

යන කරුණු සියල්ලම ඍජුව හෝ වක්‍රව පරිසරය හා බැඳුණු ඉලක්කයන් වේ.

ඒ අනුව අප මේ දශකය තුළ මේ කරුණු සියල්ල සාක්‍ෂාත් කර ගැනීමේ පෞද්ගලික, සමාජයීය සහ ජාතික ඉලක්ක වෙත ගමන් කළයුතු වේ. නමුත් තවමත් මේ පිළිබඳ කටයුතු තවමත් මූලික අදියරේ සිදු වීම තරමක සංවේගයට කරුණකි. ඒ අනුව 2017 - 2020 වසරවල ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්කවලට රාජ්‍ය ආයෝජන සැලැස්ම අනුව සමපාත වීම ප්‍රස්ථාරයේ දැක්වේ.

ඒ අනුව රටක් ජාතියක් වශයෙන් අප යා යුතු දුර බොහෝය. මෙසේම සෑම රටක්ම සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටී. ඒ කෙසේ වුවත් අපටත් නොදන්වා අප වෙත එන හදිසි උපද්‍රව සියල්ලම මේ තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමේ කාල සීමා වෙනස් කරන බවද නොකියාම බැරිය.

පසුගිය වසරේ දකුණු ඇමෙරිකාවේ ඇමසන් වනාන්තරයේ සිදු වූ පාලනය කළ නොහැකි ළැව්ගිනි සමූහය නිසා වර්ග කිලෝමීටර් 10,000ක ප්‍රමාණයක් දැවී අළු වී ගිය අතර එයින් ලෝක වායුගෝලයට එකතු වූ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන්ම වැඩි වූ උෂ්ණත්වයද සැලකිල්ලට ගැනීම වටී. එයට සාපේක්‍ෂව ගත් කල මේ වන විට ඔස්ට්‍රේලියාවේ අහිමි වූ වනාන්තර ප්‍රමාණය වර්ග කිලෝමීටර 63,000කි. මේ වන විට ස්වේච්ඡා ගිනි නිවන භටයන් තිදෙනකු ඇතුළුව 24 දෙනකුගේ ජීවිත අහිමි වී තිබේ. 2019 වසරේ ජනවාරි මුල් සතියේ වූ වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය, 409.5ppmවලට වඩා මේ වසරේ මුල් සතියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම 414.0ppm ආසන්න වශයෙන් 4.5ppmවලින් වැඩි වී තිබෙන්නේ සාමාන්‍ය ප්‍රවණතාවටත් වඩා එහා ගොසිනි. එසේම එය මේ ඔස්ට්‍රේලියානු ළැව්ගිනි හේතුවෙන් තවත් වැඩි වන බව පුරෝකථනය කළ හැක.

ඔස්ට්‍රේලියානු මහාද්වීපය සලකනු ලබන්නේ ලෝකයේ කාලගුණ දර්ශකය ලෙසිනි. ලොව වියළිම මහාද්වීපය වන එය බොහෝ විට ඉදිරි ලෝකයට පැමිණෙන කාලගුණ දුක්ගැහැට පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබාදීම සිදු කරයි. සාමාන්‍යයෙන් ඍතු භේදය ඇති රටවල ග්‍රීෂ්ම ඍතුවේදී ළැව්ගිනි ඇති වීම ස්වභාවික සංසිද්ධියක් ලෙස සලකයි. ඒ අනුව ස්වභාවික හේතු නිසා වනාන්තරවල ඇතිවන ස්වභාවික ගිනි - ස්වභාවධර්මය මඟින්ම නිවා දමන අතර වසන්ත ඍතුවේදී එම පරිසරය නැවත දලුලා වැඩී නව ජීවය වර්ධනය කරයි. එසේම එවැනි ගිනි මඟින් පරිසරය අලුත් කරන අතර එහි වසන ජීවීන්ට වාසස්ථාන අහිමි වුවත් ජීවිත අහිමි වන අන්දමේ ව්‍යසනයන් සිදු නොවන තරම්ය.

නමුත් මෙවර ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි කාලය පෙරටත් වඩා ඉක්මනින් පැමිණ ඇති බව පෙනේ. එසේම මෙවර එම ගිනි ගැනීම් පෙරට වඩා බලවත්ව සහ පාලනය කළ නොහැකි අන්දමට පැතිරෙන බවක්ද පෙනේ. මෙයට ප්‍රධාන සහායක් ලැබෙනුයේ විටින් විට හමන සුළඟ, වියළි ස්වභාවය මෙන්ම වනයේ කෘත්‍රිමව සිටුවූ යුකැලිප්ටස් සහ ෆයිනස් වැනි ගින්නට ආධාර දෙන ශාක ගිනි ගැනීම නිසා ගින්නෙහි බරපතළභාවය වැඩි වී තිබේ. සාමාන්‍ය ගස් මෙන් නොව ෆයිනස්, යුකැලිප්ටස් වැනි ශාකවල ස්වභාවයෙන්ම ගිනිගන්නාසුලු සගන්ධ තෙල් තිබීම සහ ස්වභාවයෙන්ම වියළි ස්වභාවය නිසා එම ශාකවල ඇති තෙල් ප්‍රමාණය වැඩි වීම නිසා ගින්නකදී එයට සහාය දීම වැඩි වේ. මෙයට තවත් සහායක් ලැබෙනුයේ මේ දිනවල ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන උණුසුම් වායු තරංගයයි. මෙය ඉන්දීය සාගර ද්විධ්‍රැවය (Indian Ocean Dipole – IOD) යනුවෙන් හඳුන්වනු ලැබේ. එහිදී සිදුවන්නේ ඉන්දියන් සාගරයේ බටහිර මුහුදු ප්‍රදේශයේ සාගර තලය නැඟෙනහිර ප්‍රදේශයේ සාගර තලයට වඩා උණුසුම් වීම නිසා අප්‍රිකාවට අධික වර්ෂාපතනයත් දකුණු සහ නැඟෙනහිර ආසියාවට මෙන්ම ඔස්ට්‍රේලියාවට අධික වියළි කාලයකුත් ලැබීමයි. මේ නිසා පරිසර උෂ්ණත්වය ඉහළ යනවා පමණක් නොව, ළැව්ගිනි ඇති වීමේ ප්‍රවණතාවද ඉහළ යයි.

මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ පවත්නා ළැව්ගිනි හේතුවෙන් විවිධ විශේෂවල සතුන් මිලියන 500ක් පමණ මියගොස් තිබෙන බව ගණන් බලා තිබේ. මේ අතර සමහර සත්ත්ව විශේෂ සදහටම වඳවී ගොස් ඇති බවටත් බිය පළ කෙරෙයි. එය ඔස්ට්‍රේලියානු ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල කරයි. එසේම දැන් දැන් සෑම රටකම සිදුවන වායු දූෂණයත් සමඟ අපවිත්‍ර වන වාතය තව තවත් බරපතළ තත්ත්වයන්ට පත් කරමින් මේ ලැව්ගිනි නිසා වායු දූෂක දර්ශකයන් සිතාගත නොහැකි අන්දමේ ගණනයන්ට වැඩි වී තිබේ. සාමාන්‍යයෙන් ජනවාරි පළමුවැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදු කරන ගිනිකෙළි සංදර්ශනය නිසා වායුගෝලය අපවිත්‍ර වන අතර එය ටික දිනකින් යථා තත්ත්වයට පත් වෙයි. නමුත් මෙවර ලැව්ගිනි තත්ත්වය වැඩි වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල වායු දර්ශකයන් අසීමාන්තිකව ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් නගර තුළ සාමාන්‍ය වාතයේ අඩංගු අපද්‍රව්‍ය ප්‍රමාණය ආඝ්‍රාණය කළහොත් එය සිගරට් 60ක් දිනක් තුළ භාවිත කිරීමක් හා සමාන කරයි. මේ නිසා මිනිසුන්ට සිදු වන හානිය කෙතරම්ද කියා සිතාගත හැකියි. මේ ඉහළ වායුගෝලයට එකතු වන අංශූන් සුළං ධාරා සමඟ අසල්වැසි නවසීලන්තයටද හමා ගොස් තිබෙයි. ඒ අනුව දැන් නවසීලන්තයේ හිම කඳු සහ ග්ලැසියර කහ පැහැති ස්වභාවයක් ගෙන ඇති අතර ඒවා දියවීම ඉක්මන් වී තිබේ. මේ නිසා එය තවත් ව්‍යසනයක ආරම්භයක් බව කිව යුතුය. මේ වන විට ළැව්ගිනිවලින් නිකුත් වන දුමාරය සැතපුම් 7,000ක් පමණ දුර ගෙවාගෙන දකුණු ඇමෙරිකානු මහාද්වීපය කරා ළඟා වී ඇති බවටද වාර්තා පළ වේ.

එසේම මේ දුමාරය සහ අංශූන් ඉහළ වායුගෝලයේ සිදුවන එකතු වීම නිසා සූර්ය කිරණ පතිත වීමද සීමා වේ. මෙය තරමක් තාවකාලික වන අතර එයින් පසුව පතිත වන වැස්ස මේ අංශූන් සියල්ලම නැවත පොළොවට රැගෙන එනු ලබයි. එයින් ජල පද්ධතියද දූෂණයට ලක් වේ. ඊට අමතරව මේ ළැව්ගිනි නිසා වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය තවමත් ගණන් බැලිය නොහැකි මට්ටමක තිබේ. එය අනිවාර්යයෙන්ම ඇමසන් වනාන්තරය ගිනිගෙන දැවුනා මෙන් තුන් ගුණයක කාබන් එකතුවීමකි. සාමාන්‍යයෙන් ළැව්ගිනි සමයකදී වාතයට එකතුවන කාබන් ප්‍රමාණය වසන්ත ඍතුවේදී නැවතත් ශාක මඟින් අවශෝෂණය කර ගත්තද මෙවර එය එසේ වන්නේ නැත. මේ නිසා ලොවට නැවත චක්‍රීකරණය නොවන කාබන් විශාල ප්‍රමාණයක් එකතු වේ. මේ නිසා නැවතත් හරිතාගාර ආචරණය වැඩි වීම, ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ යෑම ආදී විෂම චක්‍රයෙහි නැවත වතාවක් ගමන් කරයි. එසේම දීර්ඝකාලීනව මේ අංශූන් වායුගෝලයෙහි පැතිර ගොස් නවතින්නේ සමකය ඉහළ වූ අහසෙහි වන අතර එමඟින් සූර්යාලෝකය කිසියම් ප්‍රමාණයකට අවහිර කරනු ලබයි. මෙහි යහපත් ආචරණය වන්නේ සමකය අවට උණුසුම අඩු වීම වුවත් එය සමකය අවට රටවල ආහාර නිෂ්පාදනය කෙරෙහි ඍජුව බලපෑම් ඇති කළ හැකිය.

කෙසේ වුවත් අපට කිසි විටෙක ස්වභාවධර්මය පාලනය කළ නොහැකිය. අප ඉදිරියක් ගැන සිතන්නේ නම් තිරසර බලශක්තිය, තිරසර සම්පත් පාවිච්චිය, තිරසර සහ සමබර ජීවන රටාවකට හුරු වී නිරන්තරයෙන් පරිසර සංරක්‍ෂණය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මේ දශකය තීරණාත්මක දශකයක් වන අතර අප පරිසරයට සලකන ආකාරයෙන්ම පරිසරයද අපට සලකන බව අමතක නොකළ යුතුය.

[පියල් ආරියනන්ද]

News Order: 
0
මාතෘකා