ඉරානයට එරෙහි ඇමෙරිකානු ප්‍රහාරය තුන්වැනි ලෝක යුද්ධයක එළැඹුමද?

 ඡායාරූපය:

ඉරානයට එරෙහි ඇමෙරිකානු ප්‍රහාරය තුන්වැනි ලෝක යුද්ධයක එළැඹුමද?

පසුගිය 03 වන සිකුරාදා අලුයම ඉරාකයේ බැග්ඩෑඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය නියාමක හමුදාවේ කුඩ්ස් හමුදා (Quds Forces) නම් ඒකකයේ ප්‍රධානියා වූ ජනරාල් ක්වාසිම් සුලෙයිමානි සහ ඉරාකයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි නායකයකු වූ අබු මහ්දි අල්-මුහන්දිස් ඇතුළු දස දෙනෙක් ඝාතනයට ලක් වූහ. ඒ අතර සුලෙයිමානි හැරුණු විට තවත් ඉරාණ ජාතිකයන් සිව් දෙනෙකු වූ බව පැවසේ. එම ඉරාණීයයන්ගේ අවසන් කටයුතු අද (07 අඟහරුවාදා) ඉරානයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

හැට දෙහැවිරිදි ජනරාල් සුලෙයිමානි 1998 සිට ඝාතනය වන තුරු කුඩ්ස් මෙහෙයැවීය.

ප්‍රහාරය එල්ල වූයේ ජනරාල් සුලයිමානි සහ ඉරාණයේ පිටුබලය ඇතිව ඉරාකය, ලෙබනනය සහ සිරියාව වැනි මැද පෙරදිග ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රමුඛයන් පිරිසක් මෝටර් රථ දෙකක නැගී බැග්ඩෑඩ් ගුවන් තොටුපළෙන් පිටත් වන අවස්ථාවේ ඩ්‍රෝන මඟින් බව සඳහන්ය. ඔහු ලෙබනනයේ හෝ සිරියාවේ හෝ සිට බැග්ඩෑඩ් වෙත පැමිණෙන්නට ඇති බව පැවසේ.

ඛටායිබ් හිස්බුල්ලා ඇතුළු මිලීෂියා කණ්ඩායම් 40කින් සමන්විත ‘පොපියුලර් මොබිලයිසේෂන් යුනිට්ස්‘ නම් සංවිධානයේ උප නායකයා වනුයේ අල්-මුහන්දිස් ය. ඇමරිකාව විසින් මැදපෙරදිග ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම්කරනු ලැබ ඇති ඉරාකයේ මෙන්ම ලෙබනනයේ ක්‍රියාත්මක ෂියා ලබ්ධික සන්නද්ධ කණ්ඩායම්වලට සහ පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ඇතුළු තවත් කණ්ඩායම්වලට අවි, මෙවලම් මෙන්ම මූල්‍යමය ආධාරද සැපයෙන්නේ කුඩ්ස් මගින් ඉරාණ රජයෙන් බව ඕවල් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මේ ප්‍රහාරය බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පරිශ්‍රයට පසුගිය 31දා එල්ල කරන ලද ප්‍රහාරයට පළිගැනීමක් ලෙස දැක්වේ. එම ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ සුලෙයිමානි විසින් බවත් ප්‍රහාරය සිදු කරන ලද්දේ අබු මහ්දි අල්-මුහන්දිස් ගේ නායකත්වයෙන් යුත් ඛටායිබ් හිස්බුල්ලා නම් මිලිෂියාව විසින් බවත් පෙන්ටගනයේ පිළිගැනීමයි.

ඊට දින දෙකකට පෙර අමෙරිකානු ඩ්‍රොන ප්‍රහාරයකින් ඛටායිබ් හිස්බුල්ලා කැරලිකරුවන් 35 දෙනෙකු ඝාතනය වී 55කට තුවාල සිදු විය. ඊටත් දෙදිනකට පෙර එනම් දෙසරම්බර් 27දා උතුරු ඉරාකයේ කිර්කුක් හි ගුවන් තොටකට එල්ල වූ රොකට් වෙඩි ප්‍රහාරයකින් අමෙරිකානු හමුදාවට සේවය සපයන සිවිල් කොන්ත්‍රාත්කරුවෙක් සහ එහි රාජකාරියේ නිරත ව සිටි ඉරාක ගුවන් භටයෙක් මිය ගියෝය. දහ දෙනෙකුට පමණ තුවාල සිදුවිය. එයටද වගකිව යුත්තේ එම මිලිෂියාව බව අනාවරණය වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රෝධය කුඩ්ස් හමුදා ප්‍රධානියා සහ ඛටායිබ් හිස්බුල්ලා නායකයා වෙත නාභිගත වනුයේ ඒ සිද්ධියෙන් පසුවය.

ත්‍රස්ත සංවිධානවලට මුදල්, පුහුණුව, අවි ආයුධ ලබා දීමේ ‘ඉරානයේ මූලික යාන්ත්‍රණය’ කොඩ්ස් බලකාය බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන තන්ත්‍රය චෝදනා කරයි.

ඉරාණයේ විප්ලවීය හමුදාව සහ කොඩ්ස් බලකාය විදෙස් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කළ නිවේදනයට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් තැබීය.

පෙන්ටගනය විසින් ලොව ප්‍රමුඛ ත්‍රස්තයන්ගේ නාමලේඛනයට ඇතුළත් කැර සිටි ජනරාල් සුලෙයිමාන් ඉරානය තුළ ඉතා ජනාදරයට පත් පුද්ගලයෙකි. ඇතැම් වාර්තාවකට අනුව ඔහු ඉරාණයේ අග්‍රේෂ නායක අයතොල්ලා අල්-ඛමෙනි ළඟට බලවත්ම පුද්ගලයාය.

එනිසා සුලෙයිමානි ඝාතන සිද්ධියෙන් කම්පාවට මෙන්ම ශෝකයටද පත් ඉරාන ජනයා සෙනසුරාදා සිටම ටෙහෙරාන් නුවරට රැස්ව අමෙරිකා එක්සත් ජනපදයට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙන්ම ඊස්‍රායෙලයටද එරෙහි පාඨ කියමින් පුවරු අතැතිව සිටිති. ‘අමෙරිකාවට මරණය’ යන්න හඬ නගා කියන ඔවුහු තමන් අතැති පුවරුවල එය ප්‍රදර්ශනය කරති. ඉරිදා රැස් වූ ඉරාන පාර්ලිමේන්තුවද එම පාඨය යෝජනාවක් ලෙස සම්මත කළ බව වාර්තා වේ.

මේ ප්‍රහාරය තමන් විසින් එල්ල කරන ලද්දක් බව අමෙරිකා එක්සත් ජනපදය වහා පිළිගත්තේය. එමතු ද නොවේ; එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු අණක් ක්‍රියාත්මක කිරීමක් බවද සඳහන්ය. ඝාතනය සිදු වූ වහාම ජනාධිපති ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ අමෙරිකානු ධජය ප්‍රදර්ශනය කොට තිබිණි.

ජනරාල් සුලෙයිමානි ගල්ෆ් කලාපයේ සිටින ඇමරිකානු රාජතාන්ත්‍රික නිලධාරීන්ට සහ හමුදා සාමාජිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියාකාරී සැලැස්මක් සකස්කොට තිබූ බව එම ඝාතනයත් සමගම පෙන්ටගනය නිකුත් කළ නිවේදයේ දැක්වේ. මෙම ගුවන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඉරාණයේ එම සැලසුම් ව්‍යවර්ථ කිරීමේ අරමුණින් බවද එහි දැක්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් පරිදි විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව සුලෙයිමාන් ඝතනය සඳහා ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළැඹී ඇත.

මේජර් ජනරාල් ක්වාසිම් සුලෙයිමානි සහ අබු මහ්දි අල් මුහන්දිස් යනු ඉරාණයට ඉතා වැදගත් පුද්ගලයන් දෙනෙකු වන අතර පෙන්ටගනයේ ත්‍රස්ත ලැයිස්තුවේ ඉහළින්ම සඳහන්ව තිබූ නම් දෙකක් හිමි පුද්ගලයන්ය.

කෙසේවෙතත් ජනරාල් ක්වාසිම් සුලෙයිමානි ත්‍රස්ත සංවිධාන ලෙස අමෙරිකා එක්සත් ජනපදය විසින් නම් කරනු ලැබු අල්-ඛයිඩා සහ අයිසිස් (ISIS) යන සංවිධාවල නායකයන් මෙන් රහසිගතව සැඟව ජීවත් වූවකු නොවන බවත් ඔහු රාජ්‍ය හමුදාවක ප්‍රමුඛ නිලධාරියකු බවත් සැලසුම් සහගත සැඟවී පහර දී ඔහු ඝාතනය කිරීම යුද අපරාධ මට්ටමට ගැනෙන බවත් සමහර විචාරකයෝ පෙන්වා දෙති.

කුඩ්ස් ඒකකය යනු ඉරාණ විප්ලවකාරී නියාමන හමුදාවේ විදේශ ක්‍රියාත්මක ඒකකයයි.

ඉරානයේ සන්නද්ධ හමුදා කොටස් තුනකින් සමන්විතය. ඉන් පළමුවැන්න වනුයේ සාමාන්‍යයෙන් රටක පවතින පාබල, ගුවන් සහ නාවුක යන ත්‍රිවිධ හමුදාවයි. කෙසේවෙතත් මේ සාම්ප්‍රදායික හමුදාව වෙනත් රටක මෙන් නොව ඉරාණයේදී චතුර්විධ වෙයි. මන්දයත් එරට ඊට අමතර වශයෙන් ගගනාරක්ෂක හමුදාව නම් තවත් සන්නද්ධ හමුදාවක් ඇති හෙයිනි. ඉරානයේ ඇති දෙවැනි හමුදාව වනුයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්‍ෂක නියාමක හමුදාව (Islamic Revolutionary Guard Corps - IRGC)යි. එරට නීතිය බලගැන්වීමේ ආයතනය වන පොලිසියද සන්නද්ධ හමුදා තත්ත්වයේ ලා සැලකෙන අතර මෙම වර්ගිකරණයේ තුන්වැන්න එය වෙයි. මේ සියල්ලේ සේනා විධායක වනුයේ එරට ජනාධිපතිවරයා නොව අග්‍රෙෂ නායක අයතොල්ලාවරයාය. හමුදාවලට අණ දීම සහ වාර්තා කිරීම ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා මගින් සිදු වේ.

කුඩ්ස් යනු ඉහත දෙවැන්න වන IRGC යටතේ වන ඒකකයකි. ශාඛවක්ය කීවොත් වඩා නිවැරදිය. එහි විශේෂත්වය වනුයේ එයට අණදෙන්නේ සහ එය වාර්තා කරනු ලබන්නේ ඍජුවම සේනා විධායක වන අයතොල්ලාවරයාට වීමය.

කුඩ්ස් ක්‍රියාත්මක වනුයේ විදේශවලය. 1978 විප්ලවයෙන් පසු ඉරානය ෂියා ඉස්ලාමයේ දොළොස්වර පාර්ශ්වය (Twelver Shia) සිය රාජ්‍යාගම ලෙස වැළැඳ ගෙන ඒ අනුව 1979 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ රාජ්‍ය ප්‍රතිපත්ති සැකසූ අතර විදේශවල ෂියා ලබ්ධික රාජ්‍ය සහ වෙනත් කණ්ඩායම්වලට ආධාර සැපයීමත් ෂියා ලබ්ධියට එරෙහි කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක වීමත් සිදු කරයි. ඒ සඳහා වන මෙහෙයුම්වල යෙදෙන්නේ කුඩ්ස්ය.

ඉස්ලාමයේ ෂියා පාර්ශ්වය සහ එහි ම සුන්නි පාර්ශ්වය එකිනෙකාට පස මිතුරු වන අතර දෙපාර්ශ්වය අතර පවතින්නේ මාරාන්තික සතුරුකමකි.

ඉරාණය ඉස්ලාමයේ ෂියා පාර්ශ්වයේ ගෝලිය මූස්ථානය ලෙස සැලකේ. සුන්නි පාර්ශ්වයෙන් ඒ තැන ගන්නේ සෞදි අරාබියයි. මේ අනුව මේ දෙරට අතර ඇත්තේ සාමාන්‍ය විරසකයක් නොව මරා ගන්නා තරමේ වෛරයක් බව දත යුතුය.

සෞදි අරාබිය සැම විටම සිය හිත මිතුරා ලෙස අමෙරිකා එක්සත් ජනපදය කෙරේ විශ්වාසය තබයි. මේ බැඳීම ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති වීමත් එම්බීඑස් යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන මොහමඩ් බින් සල්මාන් නමැති සෞදි ඔටුන්න හිමි කුමරු එරට තත්ත්වාකාර පාලකයා වීමත් සමග දැඩි විය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනා වන ජාරෙඩ් කුශ්නර් සහ එම්බීඑස් අතර ඇති ව්‍යාපාරික සබඳතාද ඊට බලපා ඇති බව පැවසෙයි. ඊස්‍රායෙලයද අමෙරිකාවේ සහායකයෙකි. මේ රාජ්‍ය තුන අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක් බව මෑත විදෙස් විත්ති අවලෝකනය කරන විට සිහිපත් වනු ඇත.

1980 දී ආරම්භ කැරුණු කුඩ්ස් යනු විදේශවල රහස් ඔත්තු සේවා පවත්වාගෙන හමුදාවකි. බොහෝවිට රහස් ඔත්තු සේවාවලින් කෙරෙන්නේ විදේශිය රාජ්‍ය කඩාකප්පල් කිරීම සඳහා ඒවාට එරෙහිව ඒ රට අභ්‍යන්තරයෙන්ම විරෝධතා වයාපාර ඇති වන්නට සලස්වා ඉන්පසු එම විරෝධතා ව්‍යාපාරවලට පිටුබලය සැපයිමයි. කොටි සංවිධානයට එබඳු සවියක් තිබූ බව පැවසේ. මේ සඳහා හොඳම උදාහරණය වනුයේ අමෙරිකානු සිඅයිඒ ආයතනයයි. එහෙත් එය සන්නද්ධ හමුදාවක් නොවන අතර සන්නද්ධ අංශයක් පවා නැත. කුඩ්ස් එයින් වෙනස් වන්නේ එය සම්මත (Conventional) හමුදාවක් වන හෙයිනි. එහෙත් නිරතවන්නේ සම්මතාපසාරී යුද මෙහෙයුම්වල (Unconventional warfare - UW) ය.

1980 දී ඉරාකය විසින් ඉරාණය ආක්‍රමණය කරන ලදි. මෙය සදාම් හුසේන් විසින් නොකළ යුතුව තිබුණු ක්‍රියාවකි’යි බොහෝ විචාරකයන්ගේ මතයයි. ඉරාණය යටත් කොට එහි නැවත පර්සියානු ගල්ෆ් රාජ්‍යය පිහිටුවීම හුසෙයින්ගේ අභිමතය විය. හුසෙයින්ගෙන් පසු ඉරාක රජය නිරාගමිකත්වයට නැඹුරු භාතිස්ට් ව්‍යාපාරයට (Baathist Movement) සම්බන්ධ ව සිටි අතර ඉරාණය විසින් ෂියා ලබ්ධිය රාජ්‍යාගම ලෙස පිළිගනු ලැබීම ප්‍රතික්‍ෂෙප කළේය. මේ ආක්‍රමණය අමෙරිකානු පිටුබලයෙන් සිදු වූ බවද පැවසේ. කෙසේවෙතත් එක්සත් ජාතින්ගේ මැදිහත් වීමන් අට වසරක ඇවෑමෙන් ඉරාකයට සිය ප්‍රයත්නය අත්හැර දමන්නට සිදු විය. මේ යුද්ධය කුඩ්ස් ලැබූ මුල්ම අත්දැකීමය. ඉන්පසු කුඩ්ස් හමුදාව මුස්ලිම් රාජ්‍ය සම්බන්ධ යුද්ධවලදී සන්නද්ධ කැරලිකාර කණ්ඩායම් කිහිපයකටම ආධාර කැර තිබේ. වර්තමානයේ යේමනයේ ක්‍රියාත්මක හෞති සටන්කාමීන්ට ආධාර දෙන්නේ කුඩ්ස් බව ප්‍රකට කරුණකි. සෞදි අරාබිය යේමනයට ලවක් දෙවක් නැතිව බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ හෞතින් සමූලඝාතනය කරන්නටය. ඒ සඳහා අවශ්‍ය අවි සහ යානා සෞදි අරාබියට විකුණන්නේ ට්‍රම්ප් පරිපාලනයයි. ඊට එරට උභය මන්ත්‍රී මණ්ඩලයේම විරෝධය පළ වී ඇතත් ජනාධිපති ට්‍රම්ප් කියන්නේ සෞදි අරාබිය යනු පසෙක ලෑ හැකි ගනුදෙනු කරුවකු නොවන බවයි. එහෙත් ඔබාමා පාලන සමයේ නම් සෞදි අරාබියත් සමග සබඳතා පැවැතියේ අතේ දුරිනි.

සුලෙයිමානි ඝාතනය ගැන ට්විටර් මගින් අදහස් දක්වන ඉරාණ විදේශ කටයුතු ඇමති ජාවඩ් සරීෆ් මේ ඝාතන ක්‍රියාදාමය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වයි ‘මේ මැර, අවදානම් ක්‍රියාවේ ප්‍රතිවිපාකවලට ඇමරිකාවට මුහුණ දෙන්නට සිදුවනවා ඇත’

ඉරාණය අමෙරිකාවෙන් දරුණු විදියට පළිගනු ඇතැ’යි ඉරාණ විප්ලවීය නියාමක හමුදාවේ හිටපු හමුදාපති මෝහ්සෙන් රෙසාඉ පැවසුවේය. ගැන සාකච්ඡා කිරීම සඳහා එරට ප්‍රධාන ආරක්ෂක කමිටුව රැස් වූ බව සඳහන් නමුත් සාකච්ඡා වූ දෑ මාධ්‍යයට හෙළිදරව් කෙරී නැත.

අපරාධකරුවෙකු වන අමෙරිකාව සිදු කළ මේ භයානක අපරාධයට ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් පළිගනු ඇතැ’යි ඉරාණ ජනාධිපති හසන් රෞහානි නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඉරාණය අමෙරිකා එක්සත් ජනපදයට අයත් දේපළකට හෝ එරටට සම්බන්ධ පුද්ගලයකුට හෝ හානි පැමිණවුවහොත් ඉරානයේ ඉලක්ක 45කට වහා අමෙරිකානු ප්‍රහාර එල්ල වනු ඇතැ’යි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කරයි.

මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉරානයට හිතවාදී චිනය සහ රුසියාව තවමත් කලබල නැතිව සිටින බවයි. අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කළොත් ඒ නිසොල්මන බිඳෙනු ඇත.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය වෙබ් අඩවියක් ඉරාණීයයන් විසින් හැක් කරනු ලැබ ඇති බව වාර්තා වෙයි. ඉරාණ ධජය සලකුණු කරන ලද කබා අතකින් ජනාධිපති ට්‍රම්ප්ගේ හනුවට ප්‍රහාරයක් එල්ල කොට ඇති අයුරුත් ඔහුගේ මුවින් ලේ විදින අයුරුත් දැක්වෙන පින්තූරයක් එම වෙබ් අඩවිවලට ඇතුළත් කොට ඇත. ‘මේ ආරම්භය පමණයි’ යනුවෙන් සඳහන් වැකියක් එහි දැක්වේ. හැක් කිරීම සත්‍ය බව පිළිගන්නා පෙන්ටගන් බලධාරීන් පවසන්නේ එය කාගේ වැඩක්ද යන්න තවම අනාවරණය කැර ගෙන නැති බවයි.

මින් ඉදිරියට සිය භූමිය තුළ කිසිදු විදේශ හමුදාවකට ක්‍රියාත්මක වන්නට අවසර නොදිය යුතුය යන යෝජනාවක් ඉරාක පාර්ලිමේන්කුව විසින් පසුගිය සෙනසුරාදා සම්මත කරනු ලැබීය.

බොහෝ විචාරකයන්ට අනුව මේ ඝාතනය තුන්වන ලෝක මහා යුද්ධයක එළැඹුම සනිටුහන් කරයි. හරියට ඔස්ට්‍රියා හංගේරියා කිරුළ හිමි කුමාරයාව සිටි ආච්ඩුකේ ෆ්‍රාන්ස් ෆෙර්ඩිනැන්ඩස් 1914 ජුනි 28 දින ඝාතනය කරනු ලැබීම පළමුවන ලෝක මහා යුද්ධයට ආසන්නතම හේතුව වූවාක් මෙනි.

මාතෘකා