මැදපෙරදිග යුද උණුසුමින් රත් වෙයි

 ඡායාරූපය:

මැදපෙරදිග යුද උණුසුමින් රත් වෙයි

ඉරාණය ආශ්‍රිත මැදපෙරදිග කලාපයේ මේ වන විට යුද උණුසුමක් සහ යුද ආතතියක් කෙමෙන් වැඩෙමින් පවතියි. මුහුද දෙසින් හෝ ඉරාකය සහ සෞදි අරාබිය පැත්තෙන් ගොඩබිමින් හෝ ගුවනින් හෝ ඕනෑම වෙලාවක ඉරාණයට ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානමක් පවතියි. ඊට හේතුකාරක වන කතාවේ ලුහුඬු සටහනකි මේ.

පසුගිය 14 සෙනසුරාදා සෞදි අරාබියේ ප්‍රධානතම ෆොසිල ඉන්ධන නිෂ්පාදන ආයතනය වන සෞදි අරම්කො සමාගමේ (Arabian-American Oil Company) තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට ඩ්‍රෝන මගින් බෝම්බ හෙළන ලදුව විනාශයට පත් විය. මේ විනාශය නිසා සෞදි අරාබියේ තෙල් නිෂ්පාදනය අඩකින් අඩු වනු ඇති අතර ලෝක තෙල් නිෂ්පාදනය සියයට 6කින් පමණ අඩු වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල පසුගිය සතිය තුළ සියයට 15-20 කින් පමණ ඉහළ ගියේය.

මේ ප්‍රහාරවල වගකීම යේමනයේ සටන්වැද සිටින හෞති සටන්කාමීන් විසින් භාර ගන්නා ලදි.

එහෙත් මෙහි විශේෂත්වය වනුයේ අමෙරිකා එක්සත් ජනපදය හෞති සටන්කරුවන්ගේ ඒ ප්‍රකාශය බැහැර කොට එහි වගකීම ඉරාණයට පැවරීමයි. ඍජු සාක්ෂි නොමැති අතර හුදෙක් තර්කයක් පමණකි. අමෙරිකාව කියන්නේ ඩ්‍රෝන නික්මී ඇත්තේ යේමනයේ සිට නොව ඉරාණ පරිශ්‍රයක් වෙතින් බවය. පසුව සෞදි විදේශ අමාත්‍ය අදෙල් අල්-ජුබෙයිර් මාධ්‍ය හමුවකදී ඍජුවම ඉරාණයට චෝදනා එල්ල නොකළ නමුත් උතුරු දෙසින් ප්‍රහාර එල්ල වූ බව පැවසීය.

කෙසේ වෙතත් ඉරාණය මේ චෝදනා දැඩි සේ හැඟීම්බරව ප්‍රතික්‍ෂෙප කරයි.

හෞති සටන්කරුවන් සෞදි තෙල් සුකරයකට (oil facility) පහර දීමත්, ඉරාණය ඊට ඈඳා ගන්නට අමෙරිකා එක්සත් ජනපදය දරන උත්සාහයත් කලාපීය දේශපාලනයේ තවත් පැත්තක් අපට පෙන්වන අතර ඉස්ලාමයේ සුන්නි-ෂියා ගැටුම් වෙතද අපගේ අවධානය යොමු කරවයි.

ඉස්ලාමයේ ෂිට් පාර්ශ්වයේ සන්නද්ධ කණ්ඩායමක් වන හෞති නම් සන්නද්ධ කල්ලිය අවි බලයෙන් යේමන ජනාධිපති අබ්රාබුහ් මන්සුර් හාඩි බලයෙන් පහ කිරීමට මහත් පරිශ්‍රමයක් දරති.

යේමනය යනු අරාබිකරයේ තිබෙන දුප්පත්ම රාජ්‍යයයි. එරට 2012ට පෙර සිටි ජනාධිපති වූයේ අලි අබ්දෙල්ලා සාලේය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චෞර පාලකයෙක් හෙවත් පාලක චෞරයෙක් (Kleptocrat) වූයේය.

ජනාධිපති සාලේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමයිරේටය සමග දැඩි සබඳතා පවත්වා ගෙන ගියේය. මේ නිසා එම රාජ්‍ය හෞති කණ්ඩායම වැනසීමේ ප්‍රයත්නයක නිරත වෙයි.

මෙහි තවක් පැත්තක් තිබේ. පෙර සඳහන් කළ පරිදි හෞති යනු ෂිට් පාර්ශ්වයේ කණ්ඩායමකි. ලොව සුන්නි ලබ්ධියේ මූලස්ථානය ලෙස සැලකෙන සෞදි අරාබිය ඔවුන් සමග ලාබ්ධික වශයෙන් විරසකය. ඉරාණය යනු ලොව ෂිට් ලබ්ධියේ මූලස්ථානයයි. ඉරාණය හෞතින්ට සහාය දෙන එක් හේතුවක් ඒ ය.

හෞති කණ්ඩායම මේ වන විට යේමනයේ සෑහෙන ප්‍රදේශයක් නතු කැර ගෙන සිටිති. සනා අගනුවර පවා පවතින්නේ ඔවුන්ගේ පාලනය යටතේය. ඔවුන් සමග සටන් වැදී සිටින්නේ ‘යේමන ප්‍රතිසංස්කරණ සංඝය’ හෙවත් අල්-ඉස්ලාහ් නමින් හැඳින්වෙන කණ්ඩායමයි. එහි සේනාධිනායක ජනාධිපති හාඩි නොවෙතත් එය මෙහෙයවන්නේ ඔහුය. ඊට මෙහි මතු විස්තර කෙරෙන ඇලියේ සහාය ලැබේ.

මේ අතර 2015 අප්‍රෙල් 22 දින සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි සහ අෆ්‍රිකානු මුස්ලිම් රාජ්‍ය කිහිපයක සංධානයක් විසින් යේමනය ආක්‍රමණය කරන ලදි. එක්සත් අරාබි එමයිරේටය, බහරේන්, කුවේට්, ජෝර්දානය යන අරාබි රාජ්‍යද ඊජිප්තුව සහ සුඩානය යන අෆ්‍රිකානු රාජ්‍යද ඊට සම්බන්ධ විය. 2016 වසරේ සෙනගල්ද 2017 වසරේ කටාර්ද මේ වසරේ මොරොක්කෝවද ඊට එක් ව තිබේ. මෙහි විශේෂත්වය නම් මීට අල්-ඛයිඩා සංවිධානයේද සහාය ලැබීමයි. මේ ආක්‍රමණය පෙන්ටගනයේ පිටුබලයෙන් සිදු වූ අතර අමෙරිකා එක්සත් ජනපදයේ පාබල සහ නාවුක හමුදා ඊට භෞතික ආධාර සපයයි. ප්‍රබල ලෙස නොවුවද බ්‍රිතාන්‍යයද මේ සටනේ නිරතය.

දැන් සටන් පවතින අතර සෞදි අරාබිය යේමන වැසියන් මත අතෝරයක් නැතිව බෝම්බ හෙළමින් සිටියි.

එයින් දැඩි පීඩාවට පත්ව සිටින්නේ දරිද්‍රතාවයේ අන්තිම අඩියේ සිටින සාමාන්‍ය යේමන ජනයාය. ඔවුන්ගේ මූලික අවශ්‍යතා කිසිවක් ඉටු නොවේ. ඒ අතරිනුත් දරුවෝ මහත් ව්‍යසනයකට මුහුණ පා සිටිති. එරට මුළු ජනගහනය මිලියන 28ට මඳක් අඩුය. ඉන් මිලියන 24ක් ඉක්මවන ප්‍රමාණයකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දී ඇත.

ඉරාණයට චෝදනා කිරීමේදී අමෙරිකා එක්සත් ජනපදය අභිචෝදක, ජූරිය සහ විනිසුරු යන තුන් භූමිකාවම නියෝජනය කරන බව ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙවත් විදේශාමාත්‍ය මයික් පොම්පියෝ ප්‍රහාරය එල්ල වු 14දාම ඔහුගේ ට්විටර් ගිණුමේ මේ පණිවුඩය තැබි ය: ‘ඉරාණය ලොව බලශක්ති සැපයුම වෙත අපූර්ව ප්‍රහාරයක් එල්ල කරයි. එය යේමනය වෙතින් එල්ල වූ බවට සාක්ෂි නැත.’

17දා පොම්පියෝ සෞදි අරාබිය වෙත ගියේය. එහිදි ඔහු පවසා ඇත්තේ ‘ඉරාණය සෙනසුරාදා ප්‍රහාරය හැසිරවූයේ ජනාධිපති ට්‍රම්ප් විසින් ඔවුන් වෙත පනවන ලද සම්බාධකවලට එරෙහි වීමක් ලෙස නම්, ඒ කියන්නේ ඔවුන් අසමත් බවයි’

අමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් සිය අදහස පළ කළේ මෙසේ ය: ‘අපි සියලු සාක්‍ෂි සලකා බලමින් සිටිමු. අපි අපගේ සියලුම මිතුරු පාර්ශ්ව වෙතින් උපදෙස් ගනිමින් සිටිමු. ජනාධිපතිවරයා සුදුසුම ක්‍රියා මාර්ගය ගන්නවා ඇත.’

එහෙත් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ ප්‍රහාරකයා ඉරාණය බව තමන්ට ඒකාන්ත නමුත් තහවුරු කිරීම සඳහා සාක්‍ෂි රැස් කරන බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අමෙරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලද අලුත්ම තානාපති කෙලී ක්රාෆ්ට් පසුගිය 16දා පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ යේමනය පිළිබඳ කමිටු රැස්වීමේ දී පුන පුනා පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළේ ඉරාණය බවයි. එහෙත් ඒ සඳහා සාක්‍ෂි ඉදිරිපත් කරනු ලැබ නැත.

ට්‍රම්ප් පරිපාලනය පසුගිය 20දා සිය ආරක්‍ෂක කවුන්සලයේ රැස්වීමක් කැඳවීය. ජනාධිපතිවරයාගේ නව ආරක්‍ෂක උපදේශක රොබට් ඔ’බ්‍රයන් සහභාගි වූ මුල්ම ආරක්‍ෂක කවුන්සල රැස්වීම මෙයයි. පසුගිය 09 දින ජනාධිපති ට්‍රම්ප් හිටපු ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන්ට ‘දැන් හිටියා ඇති’යි ට්වීටර් පනිවුඩයක් නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු තනතුරට 10දා ඔ’බ්‍රයන් පත් කැර ගන්නා ලදි. තමා බෝල්ටන්ගේ දුටු එක් අඩුපාඩුවක් වූයේ ඉරානයේ රෙජිමය පෙරළා දමන්නට ඔහු දැරූ උත්සාහය බව ජනාධිපතිවරයා පසුව ට්වීට් කොට තිබිණි. තවත් අඩුපාඩු දෙකක් වී ඇත්තේ කියුබාව සහ වෙනිස්‍යුලාව යන රාජ්‍ය කෙරේ ඔහු දැක්වූ පමණ ඉක්මවන සතුරු ආකල්පයයි.

එම රැස්වීමේදී සෞදි අරාබියට ආරක්‍ෂක පහසුකම් සැපයිය යුතු බව තීරණය කරනු ලැබ ඇත. ඒවා අතර හමුදාව යෙදැවීම සහ මිසයිල් ආරක්‍ෂණ පද්ධති සැපයීමද වේ. ආරක්‍ෂක ලේකම් මාක් එස්පර් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජොසප් සන්ෆෝර්ඩ් එක්ව ඉරාණයට එරෙහි මිලිටරිමය ක්‍රියාමාර්ග සඳහා වන විකල්ප මෙනුවක් හෙවත් සැලැස්මක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව සෞදි අරාබියට පාබල සේනාංකයක් සහ මිසයිල් ආක්‍ෂණ පද්ධති කිහිපයක් සැපයීමට තීරණය කොට ඇත. මේ වන විට රියාද් නගරෝපාන්තයේ ප්‍රින්ස් සල්ටන් ගුවන් කඳවුරේ අමෙරිකානු භටයන් 600ගෙන් සැදුම්ලත් භට ඛණ්ඩයක් ස්ථානගත කොට ඇති බව වාර්තා වෙයි. එලෙසම අමෙරිකාව විසින් එක්සත් අරාබි එමයිරොටය සහ ඉරාකයටද උපකරණ අවි සහ යානා සපයා ඇති බව සඳහන්ය. ආරක්‍ෂණ පද්ධතියට එකක් ඩොලර් මිලියන 5ක් වටිනා පැට්‍රියට් මිසයිල්ද ඇතුළය. ඩොලර් තුන් හාර දහසක් වන ඩ්‍රෝනයක් වනසන්නට එබඳු මුදලක් වැය කිරීම යුද උමතුවම හැර අන් කිසිවක් නොවන බව මෙහිදී ප්‍රකටය. කෙසේවෙතත් මේවා අමෙරිකා එක්සත් ජනපදය සෞදිඅරාබියට සපයන්නේ නිකම්ම නොවන බව සැලකූ විට මේ පෙළ ගැස්මේ අමෙරිකානු යටි පෙළ වටහා ගත හැකිය.

සෞදි අරාබිය ප්‍රමුඛ යුද සන්ධානය තවදුරටත් යේමනයේ අහිංසක ජනයාට හානි සිදුවන ප්‍රහාරවල නිරත වන්නේ නම් තමන්ට තවත් ඉලක්ක ඇති බව තමන් ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බව හෞති සටන්කාමීන් 14 දින නිකුත් කළ නිවේදනයක සඳහන් බව වාර්තාවල දැක්වේ.

සෞදි අමාත්‍යවරුන්ගේ කවුන්සිලය හෙවත් කැබිනට් මණ්ඩලය පවසන්නේ ලෝකයේ සියලුම රාජ්‍ය මේ ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කරන ලද වුවත් එය නොතකා විරෝධය පළ කළ යුතු බවයි. මන්ද මෙයින් බල ශක්ති අර්බුදයක් ඇති වී ලෝක ආර්ථිකයට ඉන් බලපෑමක් ඇති වන්නට ඉඩ ඇති බැවිනි.

ප්‍රහාරය එල්ල වූදා රාත්‍රියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි රජු අමතා සිය කණගාටුව පළ කළ අවස්ථාවේ ප්‍රහාරවලට මුහුණ දෙන්නට තරම් ශක්තියක් තමන් සතුව ඇති බව රජු පවසා ඇත. ඒ සමගම ට්‍රම්ප් එරට තත්ත්වාකාර පාලක මොහමඩ් බින් සල්මාන් හෙවත් එම්බීඑස් සමග පවත්නා තත්ත්වය සහ ගතයුතු ඉදිරි පියවර ගැන සාකච්ඡා කළ බව වාර්තා වේ.

තුර්කිය, රුසියාව සහ ඉරාණය යන රටවල ජනාධිපතිවරුන්ගේ පස්වන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව පසුගිය 16දා අන්කාරාහිදී අවසන් විය. ඊට එම රාජ්‍ය තුනේ ජනාධිපතිවරුන් වන රිසෙප් එර්දගොන්, ව්ලදිමිර් පුතින් සහ හසන් රෞහානි සහභාගි වුහ. එය අවසන 17 වන අඟහරුවාදා පැවැති පුවත් හමුවේ දී ඔවුන් වැඩි වශයෙන් අදහස් දැක් වූයේ සිරියාවේ ප්‍රශ්නය ගැනය. ඉරාණ ජනාධිපති හසන් රෞහානි සෞදියට එල්ල වූ ප්‍රහාරය ගැන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුවේ හෞති සටන්කාමීන් කර ඇත්තේ යේමනය මත හෙළන සෞදි බෝම්බවලට ප්‍රතිචාර දැක්වීමක් පමණක් බවයි.

පසුගිය වසර හතරහමාරක කාලයක් පුරා සෞදි අරාබිය යේමනයේ පවත්වාගෙන යන යුද්ධය නිසා එරට සිවිල් වැසියන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී ඇත. හාමතින් පෙළෙන සංඛ්‍යාව මිලියන අටත් දහයත් අතර වේ. මේ විනාශය නිර්මාණයේ ලා වොෂින්ටනය ඍජුවම වගකිව යුතුය. අමෙරිකා එක්සත් ජනපදය යේමනයට පහර දෙන්නට සෞදි අරාබියට බෝම්බ යනාදිය විකුණන අතර ඒවා හෙළන්නට සිය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා ලබා දෙයි. හෞති සටන්කාමීන් කියන්නේ තමන් සෞදි තෙල් නිෂ්පාදන අංගනවලට අවිවලින් සමන්විත ඩ්‍රෝන යානා එවු බවයි. එය සත්‍ය බව ඔවුහු පුන පුනා කියති. එසේ නම් ඒ ස්වයං ආරක්‍ෂාව සඳහා බව පිළිගන්නට සිදු වේ.

අමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබිය සන්නද්ධ කරන අතරවාරයේම පර්සියන් ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිය යුද නැව් පෙළක්ම ස්ථානගත කොට තිබේ. එහි ඇත්තේ හරියට ඉරාණය මුහුදින් වටලෑවාක් වැනි තත්ත්වයකි. මේ ගැන අදහස් දක්වන ජනාධිපති රෞහානි පවසන්නේ කවුරු මොනවා කළත් සිය රටේ සීමා උල්ලංඝනය කරනු ලැබුවහොත් බරපතළ විපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවයි. අමෙරිකා එක්සත් ජනපදය කලාපයේ යුද ආතතිය වැඩි කරමින් සිටින්නේ ය’යි ඔහු චෝදනා කළේය. ‘යුදනැව්, ප්‍රහාරක ගුවන්යානා, බෝම්බ යනාදිය ගල්ෆ් කලාපයට එවීමෙන් වැළැකී සිටින්නට වග බලා ගත යුතුයි. ගුවනින් හෝ මුහුදින් හෝ ගොඩබිමින් අපගේ සීමා උල්ලංඝනය නොකරන්නට සියල්ලන් වගබලා ගත යුතුයි’

මාතෘකා