ලෝකයටම ජීවන හුස්ම පිඹින ඇමේසන්

 ඡායාරූපය:

ලෝකයටම ජීවන හුස්ම පිඹින ඇමේසන්

 

මිනිස් සිරුරෙහි එක් රැස්වන අපිරිසුදු වාතය පෙරා බැහැර කරමින් පිරිසුදු ඔක්සිජන් රුධිරයට ලබාදෙන පෙණහැල්ල මිනිස් සිරුරෙහි ජීවයයි. පෙණහැල්ල රෝගී වීම යනු ජීවිතයේ නිරෝගී බවට එල්ල වන බරපතළ ගැටලුවකි. ලෝකයේ පෙණහැල්ල ලෙස ක්‍රියා කරන වනාන්තර පිළිබඳ තත්ත්වයද එසේය. වනාන්තර ආරක්ෂා කර නොගැනීම නිසා ඒවා දිනෙන් දින විනාශයට පත්වෙමින් පවතින්නේ මිනිසා ඇතුළු සමස්ත ජීවයේම අවසානය සනිටුහන් කරමිනි.

වනාන්තරයක් සමස්ත ලෝකයේම පැවැත්ම වෙනුවෙන් බොහෝ කාර්යන් ඉටුකළද ඉන් සිදුවන වැදගත්ම කාර්යය වන්නේ වාතය පිරිසුදු කිරීමයි. එනම් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් බැහැර කිරීමයි. මේ අතරින් සමස්ත ලෝකයේම වාතය පිරිසුදු කිරීමේ වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ වැසි වනාන්තර විසිනි. වසර මුළුල්ලේම නියත අධික උෂ්ණත්වයක් පවතින වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500ට වැඩි වසර මුළුල්ලේම පැතිරුණු ලෙස වර්ෂාව ලැබෙන එනම් පැහැදිලි වියළි ඍතුවක් දක්නට නොලැබෙන වනාන්තර වැසි වනාන්තර ලෙස සැලකේ. මෙම වනාන්තරයන්හි සදාහරිත ශාක පවතින අතර අධික ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. පැහැදිලි ස්තරී භවනයක් හා අඛණ්ඩ වියන් ස්ථරයක්ද මේවායේ දක්නට ලැබේ. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් වනය, මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ වනය, නිරිත දිග ශ්‍රී ලංකාවේ සිංහරාජය සහ ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල තෙත් වර්ෂා වනාන්තර දක්නට ලැබෙන අතර ඇමේසන් වනය, කොංගෝ වනය සහ සිංහරාජය ලෝකයේ පවතින නොයිඳුල් වනාන්තර හෙවත් ආරම්භයේ සිටම පවතින ප්‍රාථමික වනාන්තර ලෙසද සැලකේ. ලෝකයේ වාතය පිරිසුදු කිරීම මෙන්ම ලොව ඉහළ ජෛව විවිධත්වයක් පවතින්නේද මෙම වනාන්තර තුළය. එලෙස ජීව විශේෂ විශාල සංඛ්‍යාවකට වාසස්ථාන සපයමින් ලෝකයේ ප්‍රධාන ජල මූලාශ්‍ර පෝෂණය කරමින් ලෝකයේ ජීවය රඳා පවත්වා ගන්නේද මෙම වැසි වනාන්තර මඟිනි.

මෙම වැසි වනාන්තර අතරින් ලොව ප්‍රමුඛ ස්ථානය හිමිකර ගැනීමට දකුණු ඇමෙරිකානු කලාපය හරහා විහිදී යන ඇමේසන් වැසි වනාන්තරය (Amazon rainforest) සමත්වී තිබේ. ලෝකයේ පවතින වනාන්තර අතරින් විශාලම වනාන්තරය මෙන්ම ලෝක දේශගුණය පාලනය කරන ප්‍රධාන වනාන්තරය වන ඇමේසන් හෙවත් ඇමසෝනියා වැසි වනාන්තරය ලෝකයේ ඔක්සිජන්වලින් සියයට 20ක් නිපදවන අතර ලෝක ජෛව විවිධත්වයෙන් සියයට 10ක ජීවීන් වාසය කරන ලංකාව මෙන් 84 ගුණයක් විශාලත්වයකින් යුතු වනාන්තරයක් ලෙස සැලකේ. දකුණු ඇමෙරිකානු භූමියෙන් සියයට 40ක් වසා සිටිනා ඇ‍මේසන් වනාන්තරය වර්ග කිලෝමීටර 7,000,000ක පමණ විශාලත්වයකින් යුතු ඇ‍මේසන් ද්‍රෝණියේ පිහිටා තිබෙන අතර එහි වර්ග කිලෝමීටර 5,500,000ක පමණ ප්‍රමාණයක් නොයිඳුල් ප්‍රාථමික වනාන්තරවලින් යුක්ත යැයි ගණන් බලා තිබේ. වනයේ ප්‍රමාණය පිළිබඳ විවිධ සංඛ්‍යා දත්තයන් දක්නට ලැබෙන මුත් ඒ කිසිවකට ආසන්න ලෙස හෝ සමවීමට වෙනත් කිසිදු වනාන්තරයකට නොහැකි වීමද විශේෂත්වයකි. ලොව වැඩිම ජල ඝනත්වයක් සහිත ගංගාව වන ඇමසන් නදිය මෙම වනය හරහා ගලා බස්නා අතර අතු ගංගා දහසකින් පමණ සමන්විත ඇමසන් ගංගාව මෙම වනාන්තරයෙන් පෝෂණය ලබයි. එහි බොහෝ අතු ගංගා සැතපුම් 1000කට වඩා දිගකින් යුතු වන අතර ඇමසන් නදිය දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදා හරින බව විශ්වාස කෙරේ. පෘථිවියේ ඉතිරිවී ඇති වැසි වනාන්තරවලින් අඩකට වඩා නියෝජනය කරන ඇමේසන් වනාන්තරය දකුණු ඇමෙරිකානු මහද්වීපයේ රටවල් 9ක් පුරා පැතිර ඇත. මෙම විශාල වනයෙන් සියයට 60ක් බ්‍රසීලයට අයත් වන අතර පේරු රටට සියයට 13ක් හා කොලොම්බියාවට සියයට 10ක පමණ ප්‍රමාණයක් අයත් වේ. වනයේ ඉතිරි කොටස් වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සුරිනාම් සහ ප්‍රංශ ගයනාව යන රටවල් හරහා විහිදී යයි. එය බ්‍රසීලයට සියයට 58.4ක්, පේරූ රටට සියයට 12.8ක්, බොලීවියාවට සියයට 7.7ක්, කොලොම්බියාවට සියයට 7.1ක්, වෙනිසියුලාවට සියයට 6.1ක්, ගයනාවට සියයට 3.1ක්, සුරිනාම් රටට සියයට 2.5ක් , ප්‍රංශ ගයනාවට සියයට 1.3ක් ,ඉක්වදෝරයට සියයට 1ක් යැයි විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වේ.

අප්‍රිකාවේ සහ ආසියාවේ තෙත් වනාන්තරවලට වඩා ජෛව විවිධත්වයෙන් පොහොසත් වැසි වනාන්තරයක් වන ඇමේසන් වනාන්තරය වසර මිලියන 55ක් වයසැති යැයි ගණන් බලා තිබේ. සෑම දින දෙකකටම වරක් නව ශාක විශේෂයක් හෝ සත්ත්ව විශේෂයක් ලොවට හඳුන්වා දෙන ජෛව ගබඩාවක් ලෙස සැලකෙන ඇ‍මේසන් වනාන්තරයේ දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි විශේෂ 80,000කට අයත් තනි ගස් බිලියන 390ක් පමණ ඇතැයි විශ්වාස කරයි. ලොව දැනට හඳුනාගෙන ඇති ශාක විශේෂයන්ගෙන් තුනෙන් දෙකකට පමණ නිවහනක් වී තිබෙන ඇ‍මේසන් වනාන්තරය ගෝලීය දේශගුණය පාලනය කිරීමට විශාල මෙහෙයන් ඉටුකරන අතර කාර්මිකකරණය නිසා වායුගෝලයට එකතු වන අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය උරාගෙන වායුගෝලයට නැවත වරක් පිරිසුදු ඔක්සිජන් ලබාදීමට විශාල වශයෙන් දායක වේ. ශාක විවිධත්වය මෙන්ම සත්ත්ව විවිධත්වය අතින්ද පොහොසත් මෙම කලාපයේදී විවිධ විශේෂයන්ට අයත් සත්ත්වයන් මිලියන ගණනාවක් හඳුනාගෙන ඇති අතර දැනට හඳුනා ගෙන ඇති ප්‍රමාණයට වඩා බොහෝ ජීව විශේෂ ප්‍රමාණයක් හඳුනා ගැනීමට තිබෙන බවටද ජීව විද්‍යාඥයන් මත පළ කරයි. ඇ‍මේසන් නදිය ආශ්‍රිතව විශාල ජලජ ජීව විශේෂ සංඛ්‍යවක්ද හඳුනාගෙන ඇති අතර මෙම වනයේ පමණක් හමුවන සුවිශේෂී ලක්ෂණ සහිත සතුන් නිසා මෙම වනය ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙලෙස මෙම වනයේ හමුවන අපූර්වතම සත්ත්වයන් අරබයා පොත් පත්, කතාන්දර හා චිත්‍රපට ආදියද නිර්මාණය වී තිබේ.

මිලියන 30කට අධික ජනතාවකට ජීවය සපයන ඇමර්සන් වනාන්තරය ජෛව විවිධත්වය මෙන්ම එය තුළ වාසය කරන්නාවූ විවිධ මානව කොට්ඨාස නිසාද ප්‍රසිද්ධියක් අත්කරගෙන තිබේ. මෙම වනය ආශ්‍රිතව ස්වදේශීක ජන කොට්ඨාස රැසක් ජීවත් වන අතර ඔවුන් වනයේම කොටසක් ලෙසින් ජීවිකාව ගෙන යයි. මෙම ජන කොට්ඨාස අතරින් ඇතැම් ජන කොට්ඨාස බාහිර සමාජය හා ගනුදෙනු කරමින් ජීවත්වන නමුත් ඇතැම් කොටස් බාහිර ලෝකය සමඟ කිසිදු සබඳතාවක් නොපවත්වා වනයේ සිටින අනෙකුත් සත්ත්ව විශේෂ මෙන් වර්ගයා බෝ කරමින් වනයේම කොටසක් ලෙස ජීවත් වේ. මේ වන විටත් හඳුනා නොගත් එවැනි මානව කොට්ඨාස රැසක්ම ඇමසන් වනය තුළ සිටින බව විශ්වාස කරයි.

එවැනි අති විශාල වැදගත්කමක් දරමින් ලෝකයට විශාල සේවයක් කලද ඇමසන් වනයටද අනෙකුත් වැසි වනාන්තරවලට මෙන්ම දැඩි තර්ජනයකට මුහුණ දීමට සිදුව තිබේ. මහා පරිමාණ දැව සංහාරය, ඛනිජ හා තෙල් කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් හා රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සිදුවන වන විනාශයන් නිසා ඇමසන් වනය ක්‍රමයෙන් සිය අවසානය කරා ළඟාවෙමින් සිටී. මෙම දිනවල දැඩි අවධානයක් යොමුවී ඇති වන ගිනිගැනීම්වලට හේතුව ලෙසද පරිසරවේදීන් පෙන්වා දෙන්නේ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන එවැනි ගිනි තැබීම් හා වන විනාශ කිරීම්ය. මේ වනවිට වර්ග කිලෝමීටර 750,000 කට වඩා භූමි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරයේ විනාශ කොට ඇති අතර ඉන් විශාල ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු හා ගවපාලනය හේතුවෙන් විනාශයට පත්ව තිබේ.

ඇමසන් වනාන්තරය හරිතාගාර ආචරණය අවම කරමින් ගෝලීය උණුසුම ඉහළ යෑමේ ක්‍රියාවලිය සිදුවන වේගය අඩු කරන දැවැන්තම කාබන් ඩයොක්සයිඩ් අවශෝෂකයයි. එය ලොව විශාල ජීව සංඛ්‍යාවකට ආහාර සහ වාසථාන සපයන නිවහනද වේ.මේ නිසා ලෝකයේ පෙණහැල්ල ලෙස ක්‍රියාකරන මෙම වනයට සිදුවෙමින් පවතින හානිය වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය දරුණු ලෙස ඉහළ යෑම සහ ගෝලීය ඌෂ්ණත්වය ඉහළ යෑමට දායක විය හැකි අතර එය ඇමසන් වනයේම මෙන්ම සමස්ත ලෝකයේම අවසානය සනිටුහන් කිරීම වේගවත් කරනු ඇත. මේ නිසා ලෝකයටම ජීවන හුස්ම පිඹින ලෝකයේ පෙණහැල්ල නිරෝගීව තබා ගැනීම කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය දැඩිව යොමුකළ යුතු කාලය උදාවී තිබේ.

සටහන- මෙහි දැක්වෙන සංඛ්‍යා දත්ත අන්තර්ජාලයෙහි පිළිගත හැකි මූලාශ්‍රවලින් (BBC,CNN,National Geographic,Discovery,Britannica) උපුටාගෙන ඇති නමුත් ඒවයේද විවිධ පරස්පරතා දක්නට ලැබේ. එබැවින් ඇමසන් වනයේ ස්වාභාවය පිළිබඳ දළ අදහසක් ගැනීම සඳහා පමණක් මෙම සංඛ්‍යා දත්ත භාවිත කළ හැකිය.

[අසිරු වේදිත කරුණාරත්න]

 

මාතෘකා