අද දවසේ කලාව

 ඡායාරූපය:

අද දවසේ කලාව

මොහොත එසේත් නැතිනම් අප පසු කරන ඉතාම කිට්ටු කාලය තුළ නිෂ්පාදනය කරන කලා කෘති හැඳින්වීම සඳහා සමකාලීන කලාව යන පදය භාවිතයට ගැනේ. 1970 දශකයේ සිට මේ මොහොත දක්වා කාල රේඛීයව සමකාලීන මොහොත වෙන්කර හඳුනාගත හැකි බව පෙන්වා දෙයි. මේ මොහොතේ ජීවත්ව සිටිමින් සහ එසේ නිෂ්පාදනය කරනු ලබන නිර්මාණ මෙම වර්ගීකරණයට ඇතුළත් වන අතර වර්තමානයේ ජීවත් වන සියලු නිර්මාණකරුවන් සමකාලීන ශිල්පීන්ද යන්න ගැටලුවක්ව තිබේ. සංකල්පීයව විෂයට අදාළව ගොඩනඟන සිද්ධාන්තමය දැනුමත් ප්‍රායෝගික දැනුමත් මත සමකාලීන කලාවේ ධාරිතාව තීරණය වේ. අදහස් සහ න්‍යායන් සමකාලීන කලාවේ මුඛ්‍ය අංගයන්ය .සම්මිශ්‍රිත සංස්කෘතීන්ගේ සහ කලාවන්ගේ වැඩබිමක් වූ සමකාලීන කලාව චිත්‍රයද මුර්තියද යන සීමා සහිත අදහස දෘශ්‍ය කලාව ලෙස බහුත්ව කියවීමකට ගමන් කිරීමක් ලෙසද හඳුනාගත හැක. රූපවාහිනිය, තාක්ෂණය, ඩිජිටල්, සිනමාව, ජනමාධ්‍ය සමකාලීන කලාව පෝෂණය කරයි.

කලා ඉතිහාසය තුළ 1960 දශකය යනු සමාජ දේශපාලනික හා සංස්කෘතික ගතිකයන් හරහා කලාවේ මුහුණුවර වෙනස් කළ කාලයකි. ජනමාධ්‍ය, වෙළෙඳපොළ හැසිරෙන ආකාරය සහ එයට සවිඥානික වීමට කලාකරුවෝ වගබලා ගත්හ. මේ පරිසරය තුළ චිත්‍රය, චිත්‍ර ශිල්පියා, කලාගාර අවකාශ, චිත්‍ර කලා ආයතන, කෞතුකාගාර අවකාශ පැවැති අර්ථයට එහා ගිය තැනකින් ක්‍රියාත්මක වන පරිසරයක් උදා විය. පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාරවල සිට ව්‍යුහවාදය, මනෝවිශ්ලේෂණවාදය, සංඥාර්ථවේදය, ස්ත්‍රීවාදය, ජනප්‍රියවාදය යන විෂයන් පුළුල් වීමත් සමඟ පෙර පැවතියාට එහා ගිය නව තත්ත්වයක් තුළ තමන්ගේ ප්‍රකාශනය සමකාලීන කලාව තුළ ස්ථානගත කිරීමට ශිල්පීන්ට පරිසරය උදා කළේය.

මෙය නව තත්ත්වයකි. මෙයින් විනිර්මුක්තව සමකාලීන ශිල්පීන්ට වැඩ කළ නොහැකිය. කෘතිය සහ කෘතිය ගොඩනඟාගන්නා අතර සවිඥානිකත්වය මේ තුළ ප්‍රබල ලෙස මතුවන්නට විය. නූතන යුගය තුළ කෘතිය නිම වූ පසු ශිල්පියා එයින් ඉවත් වුවත් සමකාලීන කෘතිය තුළ ශිල්පියාගේ පෙනීසිටීම අනිවාර්ය විය. එසේත් නැතිනම් artist statement එක ප්‍රබල විය. විශ්වීය අදහස වෙනුවට සන්දර්භීය අදහස කලාකෘති එක්ක සම්බන්ධ විය.

වියමනක තබා කලාකෘති කියවන්න සමකාලීන කලාව අපට බලකරයි. එය කලාව සම්බන්ධ කලින් තිබූ උත්කෘෂ්ටත්වය, දිව්‍යමය අදහස මහපොළොවට රැගෙන ඒම සහ පාරභෞතික අදහස් ලෝකය පුපුරවා හැරීමකි. මෙවැනි පරිසරයක් තුළ සමකාලීන චිත්‍රය යනු පාරිභෝගික භාණ්ඩයක් ලෙස භෞතීස්ම වන්නට ගැනීමකි. මේ හරහා සීමා මායිම් නැති කලාවක නිදහසේ සැරිසැරීමේ ආකෘතික නිදහසක් ලැබෙන අතර තවදුරටත් කෘතියක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන් පවා වෙනස්වනු ඇත. පර්යේෂණාත්මක නව්‍ය දෘශ්‍ය කලා ප්‍රවණතාවක් ලෙස Pop art, Performance art, Land art, වීඩියෝ ආට් හරහා නූතන කලාව තුළ තිබූ සීමා මායිම් පුපුරවා හරිමින් නව්‍ය ආකාරයේ බහු පාඨනයන් අපට අභිමුඛ කරයි.

[ප්‍රගීත් රත්නායක]

News Order: 
0
මාතෘකා