අප්පච්චි මළා, ඒත්...

 ඡායාරූපය:

අප්පච්චි මළා, ඒත්...

යෙව්ජිනී ශ්වාර්ට්ස් නම් රුසියානු ලේඛකයාගේ ‘මකරා’ නම් නාට්‍යය අපට හොඳින් පුරුදුය. ඊට හේතුව එය නාට්‍යවේදී හෙන්රි ජයසේනයන් විසින් පරිවර්තනය කරනු ලැබ ඔහු විසින්ම ‘මකරා’ නමින් නිෂ්පාදනය කරනු ලැබීමත් පසු කලෙක ප්‍රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරා විසින් පරිවර්තනය කරනු ලැබ ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් ‘මකරාක්ෂයා’ නමින් නිෂ්පාදනය කරනු ලැබීමත්, මේ දෙකම රසික ජනයා විසින් ආදරයෙන් වැළැඳ ගනු ලැබීමත් නිසාය. මේ නාට්‍යයේ අදෘශ්‍යමානව නගරයක් පාලනය කරන මකරෙක් සිටියි. ඒ මකරාට හිස් තුනකි. මකරා නසන්නට නම් හිස් තුනම කපා දැමිය යුතුය. ඈතක සිට පැමිණෙන ලාන්ස්ලොට් නම් වීරයෙක් හිස් තුනම මරා මකරා නසා නගරය බේරා ගනියි.

ලොව වඩාත්ම කැලඹූ වඩාත්ම භිතියට පත් කළ ත්‍රස්තයා වන අයිසිස් නායක අබු බකර් අල්-බග්දාදි රුසියාවේ, සිරියාවේ සහ තුර්කියේ සහාය ලැබූ අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ මෙහෙයුමකින් ඝාතනය කරන ලදැයි යන පුවත දැන ගන්නට ලැබුණු විට මට සිහිපත් වුණේ ‘මකරා’ නාට්‍යයි. එහෙත් ඒ සමගම මට සිතුණේ ශ්වාට්ස්ගේ නාට්‍යයේ එන මකරාට තිබුණේ ඔළු තුනක් පමණක් වුවත් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තයා නමැති මකරාට ඔළු සියයකටත් වඩා ඇති බවයි.

ඔහු ඝාතනය වූ පුවත පසුගිය සෙනසුරාදා මුලින්ම වාර්තා කළේ රොයිටර්ය. එය උපුටා දැක්වූ ලොව ප්‍රධාන මාධ්‍ය සියල්ල එය වාර්තා කළේ සැකයේ වාසියට ඉඩ තබමිනි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුපුරුදු ගාම්භීර වගාඩම්බරයෙන් තොරව ‘දැන් මේ වෙලාවේ මොකක් හරි ලොකු දෙයක් වෙනවා’යි ට්වීටර් සටහනක් තැබීය.

ඉරිදා මෙයට අදාළ පුවත් කියවමින් සිටියදී මගේ සිත වඩාත්ම ඇද ගත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ ඒ ට්වීටර් පණිවුඩය සහ අල්-ජසීරා පුවතේ ඇතුළත් වූ මෙම වැකියයි. “මෙය සත්‍යයක් නම් ඔහුගේ මරණය ගැන ඇසීම බොහෝ දෙනාට සැනසිල්ලක් ගෙන දෙනු ඇති බව අල්-ජසීරාහි නතාශා ඝොනෙයිම් බැග්ඩෑඩ් සිට වාර්තා කරන්නීය.”

පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් ඔහුගේ මරණය නිල වශයෙන් තහවුරු කරන ලදි.

මේ පුද්ගලයා ඝාතනය වීම මිනිසුන් සිත් තුළ සැනසිල්ලක් ඇති කරන්නේ මන්ද යන්න විග්‍රහ කරන්නට වැඩි දුර දේශයකට හෝ වැඩි දුර අතිතයකට යන්නට අවශ්‍ය නොවේ. උදාහරණ අපේ රටේම තිබේ. දිනය පසුගිය අප්‍රේල් 21 හෙවත් පාස්කු ඉරිදාය.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට නන්දෙසින් සුබ පැතුම් ගලා එන බව සඳහන්ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එසේ සුබපැතුම් එක් කළ අය අතර වෙයි.

බග්දාදිගේ නායකත්වයේ යුත් කණ්ඩායම හැඳින්වෙන කෙටි නාමය IS ය. කෙටි නාමය එසේ වුව ද එහි සම්පූර්ණ නාමය Islamic State of Iraq and Syria - ISIS වෙයි. එයින් අදහස් කෙරෙන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයි. ඇතැම්විට Islamic State of Iraq and Levant - ISIL ලෙසද හැඳින්වෙන අතර වඩාත් ප්‍රකට IS ලෙසය. මෙහි ඛැඩ්බඑ යනු ඉරාකය සහ සිරියාව ඇතුළත් මධ්‍යධරණී වෙරළේ පැතිර ගිය භූමිභාගයකි.

මේ වනාහි සුන්නි ඉස්ලාමයේ සලාෆි ජිහාදීය Islamic State of Iraq and Levant - ISIL සටන්කාමී කණ්ඩායමකි. ඒ සංවිධානයේ අරමුණු මේ නම්වලින් ප්‍රකටය. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ලොව එකසේසත් කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යය හෙවත් කැලිඵේටය (Levant) පිහිටුවීමය.

ISIS ආරම්භ වූයේ 1999 වසරේ බව පැවසේ. ඒ ඉරාක භූමියේය. එය මුලදී තවත් සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන අල්-ඛයිඩා සමග සබඳකම් පවත්වා ඇති අතර පසුව ස්වාධීන විය. පසුව එහි නායකත්වයට පත් අල-බග්දාදි මුලදී එහි සටන්කරුවෙක් විය. ඔවුන්ගේ ක්‍රියාන්විතවල කූඨප්‍රාප්තිය සනිටුහන් වන්නේ 2014 ජුනි මස මුල ඉරාකයේ මොසුල් නගරය අල්ලා ගැනීමත් සමගය. ඒ අවස්ථාවේ ඉරාක හමුදාව තමන් සතු අවි සහ වාහනද අනෙකුත් මෙවලම්ද ඔවුන්ට ගන්නට ඉඩ හැර පලා ගිය හෙයින් ඔවුන්ගේ පාලනය එහි ස්ථාපිත විය. ඉරාක මහ බැංකුවේ මොසුල් ශාඛාව බිඳ ඔවුන් විසින් පැහැර ගන්නා ලද මුදල ඇ.ඩො. මිලියන 500 පමණ වටිනාකමකින් යුත් බව පැවසේ. ඔවුහු එසමයේ බටහිර සිරියාවේ සිට නැගෙනහිර ඉරාකය දක්වා භූමියේ

ව.කි.මි 88,000 පමණ නතු කැර ගෙන සිටියාහුය.ඉරාකයේ ඛනිජතෙල් කර්මාන්තය මුළුමනින්ම පාහේ ඔවුන් විසින් අල්ලා ගන්නා ලද අතර එමගින්ද, පැහැරගෙනයෑම්, වහල්බවට විකිණීම්, කප්පම් ගැනීම්, මං පැහැරීම් යනාදියෙන්ද ඩොලර් බිලියන හත අටක් උපයා ගන්නා ලද බව සඳහන්ය.

2018 නොබල් සාම ත්‍යාගය සමව දිනූ යිඩිශ් ජාතික නාදියා මුරාද්ගේ නෝබල් දේශනයේ ඔවුන් පිළිබඳ බොහෝ විස්තර ඇතුළත්ය.

2013 වසරේ ඇරැඹුණු ඉස්ලාමීය රාජ්‍යය දක්වා යන ඔවුන්ගේ දීර්ඝ චාරිකාව මුලදී ක්‍රියාත්මක වුණේ ඉරාකයේ පමණි. ඒ වසරේ අවස්ථා 18කදී ඔවුහු මිනිස් ජීවිත 1,500 ඉක්මවන සංඛ්‍යාවක් බිලි ගත්හ. එතැන්සිට ඔවුන්ගේ හපන්කම් සැකෙවින් මෙපරිද්දෙනි:

2014 වසරේ විවිධ ප්‍රහාර මගින් බෙල්ජියම, ඉරාකය, ඔස්ට්‍රේලියාව, ඉරාකය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය යන රටවල මිනිසුන් 1,600 අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කළ ඔවුහු 2015 වසරේදී සෞදි අරාබිය, ලිබියාව, ඩෙන්මාර්කය, ටියුනීසියාව, යේමනය, අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, කුවෙට්, ඊජිප්තුව, ඉරාකය, තුර්කිය, රුසියාව සහ ලෙබනනය යන රාජ්‍යවල 1,100ක් දෙනාගේ ජීවිත බිලි ගත්හ. 2016 වසරේ සෞදි අරාබිය, ලිබියාව, ටියුනීසියාව, යේමනය, අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, කුවෙට්, ඊජිප්තුව, ඉරාකය, තුර්කිය, රුසියාව, ලෙබනනය, බෙල්ජියම, ඉන්දුනිසියාව, බංග්ලාදේශය, කසකස්තානය, මැලේසියාව, ජර්මනිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය යන රටවල 1,300 දෙනා ඔවුන්ගේ ප්‍රහාරවලින් අකාලයේ මරු තුරුලට ගියහ. 2017දී අමෙරිකා එක්සත් ජනපදය, ෆ්‍රංසය, ඉරාකය, තුර්කිය, රුසියාව, ලෙබනනය, බෙල්ජියම, ඉන්දුනිසියාව, බංග්ලාදේශය, මැලේසියාව, ජර්මනිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, සිරියාව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, බ්‍රිතාන්‍යය, ස්වීඩ්න්, ඉන්දුනිසියාව, ඉරාණය, ස්පාඤ්ඤය, කැනඩාව යන රටවල 1,600 සාපරාධී ලෙස මරා දැමූ ඔවුහු 2018 වසරේදී ඉරාකය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ලිබියාව, රුසියාව, ප්‍රංශය, ඉන්දුනිසියාව, බෙල්ජියම, මැලේසියාව, කැනඩාව, සිරියාව, තජිකිස්තානය, ඊජිප්තුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල 1,000ක් පමණ දෙනා ඝාතනය කළහ. මෙයින් තජිකිස්තාන ප්‍රහාරය විශේෂිතය. එහිදී ඝාතනයට ලක්වන්නේ තජිකිස්තාන ජාතිකයන් නොව සංචාරක පාපැදිකරුවන් සිව් දෙනෙකි. 2019 වසරේ මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රහාරයද ඇතුළත්ව ප්‍රහාර තුනක් එල්ල කොට ඇති අතර අවම වශයෙන් ඒවායේදී 262ක් මරණයට පත් වූ බව සඳහන්ය. මෙනයින් ඝාතනය වූ සංඛ්‍යාව දළ වශයෙන් 8,400 පමණ වෙයි.

අපේ රටට ප්‍රහාරයක් එල්ල කරන්නට පෙර රටවල් 29ක් ඔවුන්ගේ ප්‍රහාරයට ලක් ව තිබූ අතර මේ වන විට එම සංඛ්‍යාව 32කි.

කෙසේ වෙතත් ඔවුන් කුලියට මිනීමරන්නන් නොවන බව මෙන්ම බාහිර පුද්ගලයකුගේ හෝ සංවිධානයක අවශ්‍යතා ඉටු කරන්නන් නොවන බවද සැලකිය යුතුය.

මෙහි නායකයාව සිටි අභාවයට පත් දිනය ලෙස පසුගිය 26 සිය නම ඉදිරියෙන් සටහන් කරවා ගත් අබු බකර් අල්- බග්දාදි 1971 වසරේ අඥාත දිනෙක ඉරාකයේ සලාදින් පළාතේ ගමක ඊබ්‍රහිම් අව්වාඩ් ඊබ්‍රහිම් අල්-බද්රි ලෙස උපත ලැබීය. වෘත්තියෙන් ඉස්ලාම් පූජකයකු වූ ඔහු අල්-ඛයිදා සංවිධානයේ ක්‍රියාධරයකු ලෙස සම්බන්ධ ව සිටි අතර පසුව එයින් බිඳී ඒ වන විට පෙළ ගැසෙමින් තිබූ අයිසිස් සංවිධානයට සම්බන්ධව එහි නායකත්වයට පත් විය.

ඝාතනය වන විට ඔහු එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය වැනි මුල්පෙළේ අන්තර්ජාතික සංවිධාන සියල්ල විසින් භයානක ත්‍රස්තයකු ලෙස පිටු දකිනු ලැබූ පුද්ගලයෙකි. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බොහෝ රටවල්ද එසේ මය. අමෙරිකා එක්සත් ජනපදයේ වලංගු නීතිය යටතේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ඇති විධායක නියෝග 13,224 යටතේ ඔහු ‘විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තයකු’ (Specially Designated Global Terrorist - SDGT) ලෙස නම් කොට තිබූ අතර ඔහු මරා දමන හෝ මරා දමන්නට හේතු විය හැකි ඔත්තුවක් සපයන්නකුට ඇ.ඩො. මිලියන 25 දක්වා ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කැර තිබිණි.

ඒවා එසේ වුවත් ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ඔහුට පිළිගැනීමක් තිබූ අතර සමස්ත ලෝකයේම සුන්නි ඉස්ලාමය නියාමනය කරන ප්‍රධාන මජ්ලිස් සභාවේ (Majlis) හෙවත් ෂූරියා කවුන්සිලයේ (Majlis-ash-Shura) ඔහුට අසුනක් වෙන් කැර තිබිණි. ඒ ඉරාකයේ සහ ලැවන්ට්හි ඉස්ලාමීය රාජ්‍යයේ හෙවත් කැලිෆේටයේ නියෝජිතයා වශයෙනි. මේ සමුළුවට ලොව සැම රටකින්ම නියෝජිතයන් සහභාගි වන අතර ප්‍රධාන මජ්ලිසය ගන්නා තීරණ ඒ ඒ රටවල මජ්ලිස් වෙත සන්නිවේදනය කෙරේ. මෙයින් පැහැදිලි වන්නේ මුස්ලිම් ලෝකය ඔහුගේ ත්‍රස්ත ක්‍රියාවලට අනුබල දුන් බවයි. IS ලා ඊබ්‍රාහිම්ගේ පුතුන් අතරින් ක්‍රිස්තියානින් සහ යුදෙව් ලබ්ධිකයන් ඝාතනය කරන්නේ කුරාණයේ 9:5 සහ 9:26 වගන්තිවලට අනුකූලව බව ප්‍රකාශයට පත් කොට තිබූ නිසා කුරාණය පිළිබඳ විශේෂඥයන් කවරාකාරයෙන් අර්ථ දැක්වුවත් අල්-බග්ඩාඩි ධර්මානුකූලව ලොවම ලේ විලක් කරන්නට අදහස් කොට සිටි බවට සහ එය ඉස්ලාමයේ ප්‍රධාන පල්ලියෙන් අනුමත කොට තිබුණු බවට ඉදිරිපත් කෙරෙන තර්කය බැහැර කළ නොහැකිය.

2015 වසරේ ටයිම් සඟරාවේ ‘වසරේ පුද්ගලයා’ ලෙස තෝරා ගනු ලැබුවේ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් වූ අතර දෙවැනි ස්ථානයට ලකුණු ලබා ගත්තේ අබු බකර් අල්-බග්දාදිය.

ටයිම් සඟරාව තෝරන්නේ හොඳම පුද්ගලයා හෝ ලොවට වැඩිම සෙතක් සැලසූ පුද්ගලයා හෝ නොවේ, ලොවට වඩාම බලපෑමක් ඇති කළ පුදගලයාය.

එය ඇත්තකි. ලොව බොහෝ තැන්වල අල්-බග්දාදි සරණ ගිය උපාසකයෝ වෙති. අයිසිස් සංවිධානයේ ජනඝාතන සිදු කළ ඇතැම් ඝාතකයන් කිසිදා ඔහු හමු වී හෝ ඔහු ඉදිරියේ ශපථ කළ හෝ අය නොවෙති. අතැමෙකු කිසිම සංවිධානයකට අයත් නැති එකලා පුද්ගලයන්ය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සංවිධානය කළ මහ මොළකරු වු සහරාන් ශෂිම් පවා කිසි දිනෙක ඔහු හමු වූ බව අනාවරණය වී නැත.

වසරේ පුද්ගලයන් අතර දෙවැනියා බවට ඔහු පත් වීමෙන් පසු ටයිම් සඟරාවේ විශේෂාංග රචකයෙක් ඔහු ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබිණි. එහි ආරම්භක ඡෙදය මෙසේය:

‘ප්‍රචණ්ඩකාරීව, නීති භ්‍රෂ්ඨ මෙන්ම අන්ධ ලෙස ඔහුගේ ස්වයං නිවේදිත දිව්‍ය රාජ්‍යයට සයිබර් අවකාශය හරහා පක්ෂපාත වන්නට ප්‍රතිඥා දුන් ලොව නන්දෙසින් එන ජනී ජනයෝ ඔහුගේ ඇමතුමකට රැස්කති. සමහරු ඔහුගේ නාමයෙන් තථ්‍ය ලෝකයේ විවිධ ඝාතනවල නිරත වෙති. පැරිස් සිට සිනායි දක්වා සහ බේරූට් සිට බර්නාඩියෝ දක්වා හෝටල්වල, දේවස්ථානවල, ක්‍රීඩාංගණ සහ ප්‍රසංග ශාලාවල දහස් ගණනක් මිනිසුන් මේ වනවිට මරා දමා හමාරය. ඔහු සමීපයේ සිටින්නේ ඔහුගේ මාංශ වෙළඳාම පවත්වාගෙන යන තැනැත්තිය ඇතුළුව අතළොස්සක් දෙනා පමණි. අනෙක්හු සැතපුම් දහස් ගණන් එපිට ඔහුගේ ආඥාව සහ පාලනය යටතේ ත්‍රස්ත ක්‍රියාවල යෙදෙති. පසුගිය නොවැම්බර් 13 දින මිනිසුන් 130ක් ඝාතනයට ලක් වූ ප්‍රංශ ප්‍රහාරය ගන්න. ඝාතකයන් බැග්ඩෑඩි හමු වී තිබුණේ නැත. දෙසැම්බර් 02 දින දකුණු කැලිෆෝනියා ප්‍රහාරය එල්ල කළ ටෂ්ෆාන් මලික් සහ ඇගේ සහචරයා ඔහු හඳුනාගෙන ඇත්තේ ෆේස්බුක් මගිනි.’

ඉස්ලාමීය රාජ්‍යය වෙනුවෙන් තැන තැන මිනිසුන් ඝාතනය කිරීම සඳහා අල්-බැග්ඩෑඩිට ආකර්ෂණය වූයේ රැඩිකල් තරුණ පිරිස් වන නමුත් මැදිවියේ වූවෝද බැහැර නොවූහ. එසේම සැලකිය යුතු කාන්තා සහභාගිත්වයක්ද දක්නා ලැබිණි. ප්‍රහාර සඳහාම ඉස්ලාමය වැළඳ ගන්නා බටහිර යෞවනයන්ද බහුලය. මොවුන් බොහෝ දෙනා උසස් අධ්‍යාපනය ලැබූ හෝ ඊට යොමුව සිටින අයයි.

තාලිබාන් ආරම්භක නායක මුල්ලා ඔමාර් ස්වාභාවික මරණයකට ගොදුරු වූ නමුත් අනුප්‍රාප්තික අක්තාර් මන්සුර් ඝාතනය කරන ලදි. එහෙත් තාලිබාන් දැන් පෙරටත් වඩා ශක්තිමත්ව හිබතුල්ලා අකුන්සාදා යටතේ ක්‍රියාත්මක වෙයි. අල්-ඛයිඩා නායක ඔසාමා බින්-ලාඩන් ඝාතනය කරන ලද නමුත් ඔහුගේ පුත්‍රයා පසුව ඊට නායකත්වය දුන්නේය. දැන් ඔහුද මළවුන් අතරය. එහෙත් සංවිධානය අර තරම්ම බලවත් නැතත් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා අල්-බග්දාදි ඝාතනය විණි’යි සැනසුම් සුසුම් හෙළුවාට ඒ කෙපමණ කලකට දැයි කිව නොහැකිය. එසේම පෙර සඳහන් කළ පරිදි ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය යනු හිස් සියයක් ඇති මකරෙකි. ඒ කියන්නේ සිතන තරම් සැනසිල්ලක් අප වෙත ළඟා නොවනු ඇති බවය.

මාතෘකා