තුර්කිය සිරියාව ආක්‍රමණය කරමින් සිටියි

 ඡායාරූපය:

තුර්කිය සිරියාව ආක්‍රමණය කරමින් සිටියි

අමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් වීමත් සමග එරටට තවත් බරපතළ ගැටලු කිහිපයකට මුහුණ දෙන්නට සිදුව තිබේ.

පළමුවැන්න නම් තුර්කිය විසින් උතුරු සිරියාව අල්ලා ගැනීමයි. දෙවැන්න ඒ ප්‍රදේශයේ සරණාගත කඳවුරුවල සිටි ත්‍රස්තයන් පලා යෑමයි. ඔවුන් කොහි යනු ඇත්ද කියන්නට දන්නේ නැත. දැන් මේ දෙකම සිදු වී හමාරය. තුර්කිය ඒ ප්‍රදේශය අත්පත් කැරගෙන සිටි කුර්දි හමුදා පලවා හැර භූමිය තමන් සතු කැර ගෙන ඇති අතර සරණාගත කඳවුරුවල සිටි ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් පලාගොස් තිබේ. තුර්කිය මේ කරන්නේ අයිසිස් ත්‍රස්තයන්ගේ බලය නැවත පිහිටුවීම බව ප්‍රකටය.

මේ සියල්ල සිදු වන්නේ පසුගිය 06 ඉරිදා ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයත් සමගය. ‘තුර්කිය දිගු කාලයක් තිස්සේ සැලසුම් කළ පරිදි උතුරු සිරියාවේ ක්‍රියාන්විතවලට එළැඹෙන්නේ නම් කැලිෆේටය පරාජයට පත් කළ අමෙරිකා හමුදා එම ක්‍රියාන්විතවලට සම්බන්ධ වන්නේ හෝ එරෙහි වන්නේ හෝ නැත.’ තුර්කිය, සිරියාව ආක්‍රමණයට එළැඹෙන්නේ ඉන් අනතුරුවය. එහි කැලිෆේටය පරාජය කරන්නට ප්‍රාණපරිත්‍යාගයෙන් සටන් කළ කුර්දි සටන්කාමීන් ගැන සඳහනක් පවා නොවීම විශේෂයකි. මේ තීරණය අමෙරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රැටික් යන දෙපාර්ශ්වයටම අයත් උභය මන්ත්‍රීමණ්ඩල සාමාජිකයන්ගේ විවේචනවලට බඳුන් වී තිබේ. ‘මේ කාරණය අපට සහාය පළ කළ කුර්දි සටන්කාමීන් අත්හැර දැමීමකි. තුර්කිය මන්මතු ඉස්ලාම් අන්තවාදීන්ට විටමින් ලබා දෙනු ඇත’යි රිපබ්ලිකන් සෙනෙට් මන්ත්‍රී ලින්ඩ්සේ ග්‍රැහැම් පවසයි.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් සටන් කරන්නේ තමන් සඳහා පමණක් බවයි. එසේම දිනීම ද පිණිසය.

පෙර සඳහන් නිවේදනය නිකුත් කරන්නට පෙර ජනාධිපති ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රෙසෙප් එර්දගොන් අතර දීර්ඝ දුරකතන සංවාදයක් පැවැති බව සඳහන්ය.

ඔක්තොබර් 07 වනදා ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩය ඉහවහා ගිය ආත්ම වර්ණනාවකින්ද යුක්තය. ‘මා මීට පෙර තදින්ම කියා ඇති පරිදි සහ පුනරුච්චාරණය කරන පරිදි තුර්කිය සීමාව ඉක්මවා යන බව මගේ මහාර්ඝ සහ අසමසම ප්‍රඥාවට හැඟුණහොත් පෙරද මා කර ඇති පරිදි තුර්කියේ ආර්ථිකය කටුගා දමා වනසමි. ඔවුන් යුරෝපය සහ අප හා එක්ව සිටිය යුතුයි’

ඊට පසුදා ඔහු සිය රට සමග වෙළෙඳ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් තුර්කියට ප්‍රශංසා කළ අතර කුර්දිවරුන් තනි නොකරන බවද සඳහන් කළේය.

නැවත 09දා ඔහු ට්වීට් කළේ තුර්කි ක්‍රියාන්විතය මානුෂික මුහුණුවරකින් යුතු වීම අනිවාර්ය බවයි. එසේ නොවුනහොත් දැඩි ආර්ථික විපාකවලට මුහණ දෙන්නට සිදු වනු ඇති බවයි.

නැවත 10දා ජනාධිපති ට්‍රම්ප්, තමා කුර්දිවරුන්ට කැමැත්තෙන් සිටි බවත්, එහෙත් ඔවුන් සටන් කළේ තමන්ගේ උදව්වට නොව තමන්ගේ උදව්වෙන් සිය භූමිය බේරා ගැනීමට බවත් සඳහන් ට්විටර් පණිවුඩයක් තැබීය. දෙවන ලෝක සංග්‍රාමයේදී කුර්දිවරුන් තමන්ද ඇතුළත් මිත්‍ර පාර්ශ්වයට නොව නාසි ජර්මනියට උදව් කළ බවද එහි සිහිපත් කළේය.

තමා සිරියාවෙන් හමුදා ඉවත් කැර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුල්වරට නිවේදනය කළේ ගිය වසරේ දෙසැම්බර් 19දාය. අයිසිස් ත්‍රස්තයන් පැරදී පලා ගොස් ඇති නිසා තමන්ට තවදුරටත් එහි කරනවාය කියා ලෝකයට පෙන්වන්නට දෙයක් නැතිකම ඊට හේතුව ලෙස පෙන්වා දෙනු ලැබිණි. කෙසේ වෙතත් ඔහුගේ ඒ ප්‍රකාශය බොහෝ ආන්දෝලනාත්මක විය.

සිරියාවේ ස්ථානගත කොට සිටි අමෙරිකා එක්සත් ජනපද සෙබළ මුළුවේ ප්‍රමාණය 2,000කි. ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළේ එක්වරම ඔවුන් සියලු දෙනා ආපසු කැඳවන බවයි. නිවේදනයේ දැක්වුණේ අමෙරිකානු හමුදාව සිරියාවේ යොදවා තිබුණේ අයිසිස් ත්‍රස්තයන් පරාජය කරන්නට බැවින් මේ වනවිට ඔවුන් පරාජය කොට අවසන් නිසා තවදුරටත් එහි සිය හමුදා බලඇණි ස්ථානගත කොට සිටීමේ තේරුමක් නැති බවය.

ජනාධිපතිවරයාගේ එම නිවේදනය දැඩි කතාබහට ලක් වූ අතර අමෙරිකානු නිලධාරීන්ගේ පවා කණස්සල්ලට හේතු විණි. එවක ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක උපදේශක වූ ජෝන් බෝල්ටන් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපතිවරයා කීවාට එය එසේ නොවනු ඇති බව ප්‍රකාශ කළෝය. පසුව ජනාධිපතිවරයාට සිය නිවේදනය තරමක් වෙනස් කරන්නට සිදු විය. සිරියාවෙන් සිය හමුදා ඉවත් කැර ගැනීමේ තීරණය වෙනස් නොවන බවත් එහෙත් එය කෙරෙනු ඇත්තේ එක්වරම නොව ක්‍රමිකව බවත් පසුව ඔහු කීය. සිරියානු යුද්ධයට සම්බන්ධ වූයේ පාර්ශ්ව දෙකක් පමණක් නොවේ; හතරකි. රටේ පවතින යුද්ධයකදී රජය පාර්ශ්වකරුවකු වීම අනිවාර්යය. විරුද්ධ පක්‍ෂයේ කණ්ඩායමක්ද මෙහිද රජයට එරෙහිව සටන් වදිමින් සිටියෝය. ඔවුන්ගේ අරමුණ බෂිර් අල්-අසාද් පලවා හැර පාලනය සියතට ගැනීමය. ඉස්ලාමීය රාජ්‍යය තවත් කණ්ඩායමක් වන අතර කුර්දි සටන්කාමීන් පෙරටු කොට ගත් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ විදෙස් හමුදා තවත් පෙරමුණකි.

ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ප්‍රංශය යන යුරෝපීය රටවල්ද ජෝර්දාද ඔස්ට්‍රේලියාවද මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයට සහාය වූහ. එම හමුදා රජයට එරෙහිව සටන් කරන්නේ නැත. එහෙත් ඒවායේ පිටුබලය සහිත කුර්දිවරුන්ගේ අරමුණ සිරියාවේ තමන්ගේයැයි ඔවුන් හිමිකම් පාන ප්‍රදේශ අත්පත් කැර ගැනීමය.

එය අනපේක්‍ෂිත අවස්ථාවක කැරුණු නිවේදනයක් ලෙස ලොවම මවිතය පළ කළත් සිරියාවෙන් සිය හමුදා ඉවත් කැර ගැනීමට කාල සටහනක් සකස් කළ යුතු යැයි ජනාධිපති ට්‍රම්ප් පෙන්ටගනයට දැනුම් දුන්නේ පසුගිය වසරේ මාර්තු මැදය. තවමත් සිය මෙහෙවර අවසන් නොමැති නිසා පෙන්ටගනය ඊට මාස හයක් කල් ඉල්ලා සිටියේය. මාස හයක් නොව නමයක්ම ඉකුත් වූ පසුවය ජනාධිපතිවරයා උක්ත නිවේදනය නිකුත් කළේ. ඒ නිසා මෙය එසැණ හෝ අනපේක්‍ෂිත හෝ නොවීය. එහෙත් විස්මය දැනවීය. ඒ, ක්‍ෂණිකවම සම්පූර්ණ හමුදා බලඇණියම එක්වර ඉවත්කැර ගත යුතු යැයි නිවේදනය කළ හෙයිනි.

අමෙරිකානු හමුදාව සිරියාවේදී ‘ඉරාකය සහ සිරියාව සඳහා ඉස්ලාමීය රාජ්‍යය’ හෙවත් අයිසිස් (ISIS) නමින් හැඳින්වෙන සුන්නි අන්තවාදී ත්‍රස්ත සංවිධානය එරටින් පලවා හැරීමේ අරමුණින් ක්‍රියාත්මක විය. එහෙත් පෙරමුණේ සටනේ යෙදි සිටියෝ කුර්දි සටන්කාමීහුය. අමෙරිකාව කළේ ප්‍රතියුක්ත යුද්ධයකි. (proxy war) බරක් ඔබාමා 2008 ජනාධිපතිවරණයේදී දුන් එක් පොරොන්දුවක් වූයේ ඉරාකයෙන් අමෙරිකානු හමුදාව ආපසු කැඳවීමය. මෙය පූර්වගාමී ජෝජ් ඩබ්. බුෂ්ගේ ප්‍රතිපත්තිවලින් මුළුමණින්ම ආපසු හැරීමකි. ඒ අනුව ඔහු 2011 අවසානය වන විට ඉරාකයෙන් සිය හමුදා ආපසු කැඳවීය. එහෙත් ඒ වනවිට වැඩෙමින් සිටි අයිසිස් 2014දී මොසුල් නගරය අත්පත් කැරගත් හෙයින් අමෙරිකා එක්සත් ජනපදයට ඉන් ඉවත් වන්නට අවස්ථාවක් නොලැබිණි. මන්දයත් අමෙරිකාවේ මැදපෙරදිග ඇලිය ISIS සංවිධානයේ නමේ කියැවෙන ‘රාජ්‍යය’ පිහිටුවුවහොත් යන බියෙන් පෙළන හෙයිනි. එය වැළැක්වීමට අමෙරිකාවට වගකීමක් තිබෙන බව පිළිගන්නට සිදු විය.

මේ අවස්ථාවේදී ජනාධිපති ඔබාමා සිය හමුදා ඍජුවම සංග්‍රාමාවතීර්ණ කරන්නට කැමැත්තක් දැක්වූයේ නැත. ISIS පරාජය කරන්නට කැප විය හැකි මෙන්ම යුද්ධයේ නිරත විය හැකි දේශීය කණ්ඩායමක් වන කුර්දිශ් සටන්කාමීන් අමෙරිකා එක්සත් ජනපදය සමග එකතු වන්නේ ඒ අනුවය.

කුර්දිවරුන් යනු ඉරාණ මූලය සහිත ජන කණ්ඩායමකි. 20 සියවසේ මුලදී ඉංග්‍රීසීන් විසින් රටවල මායිම් බෙදාවෙන් කිරීමේදී මොවුන් ජීවත් වූ පෙදෙස තුර්කිය, සිරියාව, ඉරාකය, ඉරාණය, අසර්බයිජානය, ආර්මේනියාව සහ ජෝර්ජියාව යන රටවලට ඇතුළත් කොට සිතියම් සැකසීම නිසා ඔවුන්ට තම නිජ භූමිය අහිමි විය. දැන් ඔවුහු මේ සෑම රටකම සහ ඩයස්පෝරාවේද ජීවත්වෙති. ලොව පුරා ඔවුන්ගේ මුළු ජනගහණය මිලියන 45 පමණ වෙති’යි ගණන් බලා තිබේ. ඔවුන්ගේ ප්‍රශ්නයට එක්සත් ජාතීන්ට පවා විසඳුමක් නැති අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය පලස්තීනුවන්ටත් අන්තය.

ඉරාකයේ කුර්දිස්තානය නම් කොටසක් පැවැති අතර 2003 සිට සිරියාවේ ඔවුන් වෙසෙන පෙදෙසේ වෙනම පාලන ඒකකයක් ලෙස ඔවුන්ගේ රජයක් තිබේ. එය ‘උතුරු සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරේශනය’ නමි. රොජාවා (Rojawa) නමින්ද හැඳින්වේ. ප්‍රධාන දේශපාලන ධාරා දෙකක් ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්‍ෂය එය පාලනය කරයි. එහි සන්නද්ධ අංශය, එය හැඳින්වෙන කුර්දි බසේ වචනවල මුලකුරු භාවිතයෙන් YPG ලෙස හැඳින්වේ. ජනතා විමුක්ති පෙරමුණට JVP කියන්නාක් මෙනි. අනෙක් පක්‍ෂය කුර්දි ශ්‍රමික පක්‍ෂයයි.

සිරියානු ප්‍රජාතන්ත්‍රීය හමුදාව (SDF) ලෙස නිල වශයෙන් සඳහන් වන YPG යනු දරුණු ගණයේ ත්‍රස්ත කණ්ඩායමක් බව තුර්කි රජය පවසයි. එම කණ්ඩායම සිය පාලන ඒකකයේ විපක්‍ෂයටද හිරිහැර කරයි. එහෙත් නියම හේතුව නම් කුර්දිශ්වරුන් තුර්කි භූමියේ කොටසකට හිමිකම් පෑමයි.

කෙසේවෙතත් කුර්දිශ්වරු සංග්‍රාමොපක්‍රමයෙහි අති දක්ෂ දරුණු ගණයේ සටන්කාමීහුය. පිරිමින් සමග කරට කර සිටින ඔවුන්ගේ සටන්කාරියන් දක්ෂතා අතින් ඉතා ඉහළ බවට පිළිගැනීමක් ඇත. ඔබාමා පරිපාලනය විසින් YPG ගරිල්ලන්ට පුහුණුව, අරමුදල් සහ ආම්පන්න නොමඳව සපයන ලද්දේ මේ කරුණු සලකා බැලීමෙනි. තුර්කිය මේ කාරණයේදී අමෙරිකාව සමග එකඟ නොවූ අතර හොඳ හිත බිඳ නොගෙනම විරෝධය පළ කළේය.

මේ අතර තුර්කිය සිරියානු විරුද්ධ පක්‍ෂයට සහාය පිණිස තමන් නඩත්තු කරන නිදහස් සිරියානු හමුදාවට (FSD) පිටුබලය සපයමිනි.

මේ තත්ත්වය යටතේ අමෙරිකානු බළඇණි සිරියාවෙන් ඉවත්ව ගියහොත් කුමක් සිදුවනු ඇත්ද යන්න පසුගිය දෙසැම්බර් සිටම දේශපාලන විචාරකයන්ගේ අවධානයට යොමුව පැවැතිණි.

රුසියාවේද සහාය ලැබී කුර්දි සටන්කරුවන් විසින් ISIS ත්‍රස්තයන් පලවා හරින ලදි. ඉන් පසු ඔවුහු සිරියානු දේශසීමාවේ තුනෙන් එකක් පමණ නතු කැර ගෙන සිටියෝය. ඒ කොටස සිරියානු භූමියේ සාරවත්ම පෙදෙස බව සාමාන්‍ය පිළිගැනීමයි. ප්‍රධාන ෆොසිල ඉන්ධන නිධි, ප්‍රධාන ජල මූලාශ්‍ර, විදුලි බලාගාර, වේලි යනාදී ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන යැයි හැඳින්විය හැකි ස්ථාන බහුතරය ඇත්තේ ඒ පෙදෙස්වල ය.

අමෙරිකා එක්සත් ජනපදය ස්ථානගතව සිටි සිරියාවේ දේශ සීමා කොටස ඉරාණයටද වැදගත්ය. ඒ ආර්ථික වාසිවලටත් වඩා ආගමික හේතු නිසා ය. ‘ෂියා අඩසඳ’ බටහිර ඇෆ්ගනිස්තානයේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ‘පායන්නට සැලැස්වීම’ ඉරාණයේ ඒකායන අරමුණයි. 2001 වසරේ අමෙරිකා එක්සත් ජනපදය ඉරාකයෙන් හමුදා ඉවත් කැරගත් සැණෙන් ඉරාණය මේ අරමුණ ඉටුකැර ගැනීමට සැලසුම් කළ නමුත් සාර්ථක වූයේ නැත. ඉරාණයේ නැගෙනහිර දේශසීමාව යනු ඉරාකයේ බටහිර දේශ සීමාවයි. ඒ අනුව ටෙහෙරාන් සිට දමස්කස් දක්වා නිර්බාධිත අධිවේගී මාර්ගයක් ඉන් ගොඩනැගීම එහි අරමුණයි. ඉන්පසු එතැන් සිට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් නතු කැරගෙන සිටින පෙදෙස්වලට යෑම ඉතා පහසුය.

අමෙරිකාව සිරියාවෙන් ඉවත් වීමට ගත් තීරණය තමන්ට අහිතකර බව ඊස්‍රායෙලයේ මතයයි. එරට මේ යුද්ධයට පැටලුණේ අමෙරිකාවේ වුවමනාවටය. එහෙත් ඉවත්වීමේ තීරණය ගැනීමේදී අමෙරිකාව සිය අදහස නොවිමසීම ඊස්‍රායෙලයේ කනස්සල්ලට හේතු වෙයි.

මේ තීරණයෙන් වඩාත්ම අමාරුවේ වැටුණේ කුර්දි සටන්කාමීන්ය. සටන්වලදී ඔවුන්ගේ සියයකට අධික පිරිසක් දිවි පිදූහ. අමෙරිකාවේ පිටුබලය තිබියදීය ඒ. අමෙරිකාව ගිය පසු තමන් නිරායුධ වාගේ තත්ත්වයකට පත්වන බව ඔවුන්ගේ මතයයි.

අමෙරිකාව තමන් රැවටූ බව කුර්දිවරුන්ගේ පොදු අදහසයි. ඒ කියන්නේ අමෙරිකාව කුර්දි තරුණ තරුණියන් අතට අවි සමග පොරොන්දු සහ කිලෝ ගණන් බලාපොරොත්තුද දුන් බවය.

මේ වන විට සිරියානු රජයේ හමුදාව කුර්දි සටන්කාමින්ට ආධාර පිණිස සංග්‍රමයට අවතීර්ණ වි සිටියි. ප්‍රතිඵල ලබන සතියේ මේ පිටුවේ ඉදිරිපත් කෙරෙනු ඇත.

මාතෘකා