පරිසර දූෂණයට එරෙහිව වැඩිහිටියන්ට තරවටු කරන යෞවනිය

 ඡායාරූපය:

පරිසර දූෂණයට එරෙහිව වැඩිහිටියන්ට තරවටු කරන යෞවනිය

ග්‍රීටා තුන්බර්ග්

වැඩිහිටියන් තමන් ගැන නොසලකා දිගින් දිගටම විනාශකාරී ලෙස පරිසරය අපවිත්‍ර කරමින් සිටීම මේ වන විට බාල පරපුරේ අවධානයට යොමුවෙමින් පවතී. පසුගිය 20 වැනි සිකුරාදා ලොව පුරා ප්‍රධාන නගර 40ක පමණ මිලියන දෙකකට ආසන්න යෞවනයෝ වීදි බැස පාලකයන්ට සිය විරෝධය පළ කළහ.

මෙහි මූලිකත්වය ගෙන ඇත්තේ ග්‍රීටා තුන්බර්ග් නමැති සොළොස්හැවිරිදි පාසල් දැරියකි. 2003 ජනවාරි 03 වැනි දින උපත ලද ඇයගේ පියා, මව මෙන්ම පිය පාර්ශ්වයේ සීයාද කලාවට සම්බන්ධ පුද්ගලයෝ වෙති. මතු සඳහන් ඇගේ ක්‍රියාකාරකම්වලට ඒ තිදෙනාගෙන් ලැබෙන්නේ විශාල පිටුබලයකි. ඇත්තටම කියනවා නම් ඇයට එසේ නොවිණි නම් ඇයට ඒසා දස්කම් සුරුවිරුකම් දක්වන්නට ලැබෙන්නේ නැත.

දෙවසරක් තිස්සේ ඇය ගෙන යන සටන රාජ්‍ය නායකයන් බොහෝ දෙනකුගේ ඇස් අරවන්නට සමත් වී ඇති බව පැහැදිලිය.

2018 වසරේ දිනෙක ඇය ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ඒක පුද්ගල විරෝධතාවක නිරත වූවාය. ඉංගිරිසියට පරිවර්තනය කළ විට ‘School strike for climate’ සිංහලෙන් ‘දේශගුණය වෙනුවෙන් පාසැල් වර්ජනයේ’ යන අරුත් ඇති ස්වීඩන් වැකියක් සටහන් කෙරුණු පුවරුවක් ඇය අත දරා සිටියාය. මෙය සිසුන් අතර පැතිර ගිය අතර ඇගේ මූලිකත්වයෙන් ‘දේශගුණය සඳහා පාසල් වර්ජනය කිරීමේ ව්‍යාපාරය (School climate srike movement) ඇරඹිණි. මීට අනුගත වූ සිසුන් සිකුරාදා දිනවල පන්ති වර්ජනය කරමින් පාරට බැස සාමකාමී විරෝධතා ව්‍යපාරවල නිරත වන්නට පටන් ගත්හ. ඊට වැඩිපුරම සිසුන් ආකර්ෂණය වූයේ මහා බ්‍රිතාන්‍යයේය. ලන්ඩන් නගරාධිපතිවරයාට මෙය මහා හිසරදයක් වූ අතර සිසුන් පාසල් නොගොස් වැඩිහිටියන් කරන වැඩ කරන්නට යෑම ගැන ඔහු සිසුන්ට තරවටු කර ඉන් නොනැවතී දෙගුරුන්ට අනතුරු හැඟවීය.

2018 දෙසැම්බර් 02 සිට 15 දක්වා කාලය තුළ පෝලන්තයේ කැටවයිස් නුවර පැවැති එක්සත් ජාතින්ගේ 24වන දේශගුණ සමුළුවට (COP24) සහභාගි වන්නට ආරාධනාවක් ලැබූ ඇය එහිදී රාජ්‍ය නායකයන් ඉදිරියේ සිය අදහස් පළ කළාය.

ඇයගේ කතා විලාසය සුමට නොවේ. පසුගිය අප්‍රේල් 23දින එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර්හි ශිෂ්‍යයන් ඇමතීමට එහි පැමිණි අවස්ථාවේ එරට විපක්ෂ නායක ජෙරමි කෝබින් ඇතුළු සියලු පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට ඇයට අවස්ථාව ලැබිණි. ‘මගේ ඉංග්‍රීසි හරිද?’ ඇය ඔවුන්ගෙන් විමසා සිටියාය. ‘මගේ භාෂාව රළුයි. ඒ බව මාත් දන්නවා’ ඕ ඔවුන් හමුවේ පැවසුවාය.

පසුගිය 23 වැනිදා ඇය එක්සත් ජාතීන් ඇමතුවාය. රාජ්‍ය නායකයන් 60 දෙනෙක් ඇගේ කෙටි දේශනය පැවැත්වෙන අවස්ථාවේ සභාගැබේ සිටි බව සඳහන්ය. මේ ඇය එහිදී පැවැත්වූ සම්පූර්ණ කතාවයි.

“මගේ පණිවුඩය අප ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටින බවයි. මේ සැම දෙයක්ම වැරදියි. මා මෙහි සිටිය යුතු නෑ, මා සිටිය යුත්තේ සාගරයෙන් අනෙක් පස මගේ රටේ මගේ පාසලේයි, යොවුන් ජනයා වන අප වෙත ඔබ අපේක්‍ෂා රැගෙන එනතුරු. කොතරම් නිර්භයද ඔබ?

“ඔබ ඔබගේ හිස් වදන්වලින් මගේ ළමා විය සහ සිහින සොරාගෙන තිබෙනවා. සමහරවිට මා වාසනාවන්ත අය අතරින් කෙනකු වන්නට පිළිවන්. මිනිසුන් වේදනා විඳිමින් සිටිනවා, මිනිසුන් මියැදෙමින් සිටිනවා. මුළුමහත් පාරිසරික පද්ධතියම කඩා වැටෙමින් පවතිනවා. අප සිටින්නේ මිනිස්වග මිහිතලයෙන් තුරන්ව යෑමේ ආරම්භක අදියරේයි. ඔබ සැමට කතා කළ හැක්කේ මුදල් ගැනම පමණයි. ඔබ කෙතරම් නිර්භයද?

“තිස් වසරකටත් එහා සිටම විද්‍යාව සුපැහැදිලියි. දේශපාලනමය විසඳුම් අහලකවත් පෙනෙන්නට නැතිව තිබියදීත් තමන් ප්‍රමාණවත් පරිදි ක්‍රියා කොට තිබේයැයි අහක බලාගෙන කියන ඔබ කෙතරම් නිර්භයද?

“අපට සවන් දෙන බවත් හදිසි තත්ත්වය ගැන දන්නා බවත් ඔබ කියන්නෙහිය. එහෙත් මා කෙතරම් දුකින් සහ කෝපයෙන් සිටිනවාද යත් එය විශ්වාසයට ගන්නට මට නොහැකියි. මන්දයත් ඔබ ඇත්තටම තත්ත්වය වටහා ගෙන සිටින්නේ නම් සහ ක්‍රියාත්මක වන්නට අසමත් වෙමින් නම් ඒ කියන්නේ ඔබ යනු නපුරම බවයි. එය විශ්වාස කිරීම මා ප්‍රතික්ෂේප කරනවා.

“අපවිත්‍ර වායු විමෝචනය අඩකින් අඩු කර උෂ්ණත්වය වැඩිවීම දසාවුරුද්දකින් සෙල්සියස් 1.5ට අඩු මට්ටමින් පවත්වා ගෙන යෑම සියයට 50ක වාසනාවක් උදා කර දෙන බවත් මිනිසාගේ පාලනයෙන් එපිට ආපසු හැරවිය නොහැකි දාම ප්‍රතික්‍රියාවක් හිලව්වට තැබීමේ අවදානමක් ඇති බවත් ජනප්‍රිය මතයයි.

“මෙය පුරුදු සේ ක්‍රියා කිරීමෙන් සහ තාක්ෂණික විසඳුම් මඟින් විසඳිය හැකිවනු ඇතැයි දැන දැනම බොරු කියන්නට ඔබ කෙතරම් නිර්භයද? දැන් පවතින විමෝචන මට්ටම අනුව කාබන්ඩයොකසයිඩ් ‘අය-වැය’ ඉදිරි වසර අටහමාර තුළ මුළුමනින්ම වැයවී අවසන් වනු ඇති.

“මෙහි අයිපීසීසී වාර්තාවේ දැක්වෙන සංඛ්‍යා සමඟ ගැළපෙන පරිදි ක්‍රියා කරන්නට ඔබට විසඳුම් හෝ සැලසුම් හෝ නැහැ. මන්දයත් මේ සංඛ්‍යා අපාසුවක් දනවන හෙයින්. එසේම එය ඒ ආකාරයෙන්ම කියන්නට තරම් ඔබ පරිණතද නෑ.

“ඔබ අප අසමත් කරවමින් සිටිති. එහෙත් යොවුන් ජනයා ඔබගේ පාවාදීම ගැන වටහාගෙනයි සිටින්නේ. අනාගත පරම්පරාවල සියල්ලන්ගේ නෙත් ඔබ දෙස යොමුව තිබෙනවා. ඉතින් ඔබ තෝරා ගන්නේ අප අසමත් කිරීම නම් මා ඔබට කිව යුතුයි, අප කිසිදා ඔබට සමාව නම් නොදෙන බව.

“ඔබට මින් බැහැර වන්නට අප ඉඩ තබන්නේ නෑ. මේ මොහොත අප සීමා ඉර සලකුණු කරන වේලාවයි. ලොව අවදි වෙමින් පවතිනවා. වෙනසක් එමින් සිටිනවා, ඔබ කැමති වුණත් අකමැති වුණත්.

අසා සිටි ඔබ සැමට ස්තුතියි.”

මේ දේශනය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට පාත්‍ර වූ නමුත් ඇතැමකුගේ උදහසට ලක් වූ බව වාර්තාවේ. ඒ අතරින් ඉතාම පහත් ආකාරයෙන් ඇයට ප්‍රහාර එල්ල කරන්නේ ජර්මනියේ මොටර් රථ නිෂ්පාදන ආයතනවල සේවකයන්ය. ඇය කියන පරිදි කාබන් මෝචනය අඩු කළ විට සිය රැකියා අහිමි වනු ඇත යන බියෙන් ඔවුන් වියරු වැටී සිටින බව ප්‍රකටය. ෆේස්බුක් පුරා ඉතාම අශ්ශීල ලෙසින් කාමුක දෙයින් පවා ඇයට පහර දෙන්නට ඔවුහු පසුබට නොවෙති.

කෙසේවෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඇය අගය කරමින් ට්විටර් සටහනක් තබා ඇත. ඇය දිරිමත් හුරුබුහුටි යෞවනියක් බව ඔහුගේ අදහසයි.

ඇය ඒ කියන විද්‍යාඥ මතවලට රාජ්‍ය නායකයන් සවන් නොදීමේ කනස්සල්ල එක්සත් ජාතීන් පළ කරන්නේ පෘථීවියේ උෂ්ණත්වය අනවරතව ඉහළ නඟිමින් පවතින බවත් තවමත් කූඨප්‍රාප්තියට එළඹ නැති බවත් පවසමිනි. ඒ බව එක්සත් ජාතින්ගේ වෙබ් අඩවියේ සඳහන්ය. තුන්බර්ග් මෙනෙවිය විසින්ද අමතන ලද පෙර සඳහන් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ මුඛ්‍ය තේමාව ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ එයින් ඇරඹෙන ඡේදයකිනි.

“පසුගිය සිව් වසර, 1990න් පසු ගෝලීය උෂ්ණත්වය වැඩියෙන්ම ඉහළ ගිය කාලයයි. එම ප්‍රමාණය සෙ.අංශක 3ක් පමණ වෙයි. ඒ අතර වායුගෝලය දූෂණය වෙයි; මුහුදු මට්ටම ඉහළ නඟියි; කොරල්පර මියයමින් පවතී; එය සහ ආහාර සුරක්‍ෂිතතාව සමඟ ඇතිවන ගැටුම නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවෙයි; අපි ඒ සියල්ල බලා සිටිමු.

“දේශගුණ විපර්යාසයේ ගැටුම සැමට දැනේ. එමඟින් ජන ජීවිතයට සැබෑ බලපෑමක් ඇති කෙරේ. එය රටරටවල ජාතික ආර්ථිකය බිඳහෙලන අතර දරන්නට සිදුවන පිරිවැය අධිකය. එම පිරිවැය කෙමෙන් වැඩිවෙනවා විනා අඩුවීමක් දක්නට නොලැබෙනු ඇත.

“නවතම විශ්ලේෂණ කාලගුණ විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම අරඹා කාබන් විමෝචනය කිරීමේ නිර්දේශිත පියවර ගතහොත් ඉදිරි දොළොස් වසර තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය සෙල්සියස් අංශක 2 මට්ටමේ පවත්වාගෙන යා හැකි වනු ඇත. නවීනතම විද්‍යාව අපට කියා දෙන්නේ එසේ කළහොත් කාර්මික විප්ලවයට පෙර පැවැති ගෝලීය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 පමණක් ඉහළ මට්ටමින් එය පවත්වාගෙන යෑම කළ නොහැක්කක් නොවන බවයි.

“ඒ සඳහා අප සතුව පැරිස් සම්මුතිය ඇති බව ස්තූතිපූර්වකව කිව යුතුය. එය ඉදිරිය දකින ප්‍රතිපත්තිමය රාමුවකි. දේශගුණ විපර්යාස නිසා ඇතිවිය හැකි බිඳීම් නවත්වන්නට ගැටුම් ආපසු හරවන්නට හැකි එම එකඟතාව අත්සන්වලට පමණක් සීමා වූ ලියැවිල්ලක් පමණක් නම් එය තේරුමක් නැති දෙයක් පමණක් වනු ඇත.

“පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඉහත සඳහන් කොරල්පරවල විනාශය සිදුවන්නේ මුහුදු ජලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යෑම නිසාය. මහා බාධක කොරල්පරය මේ වන විට අසාධ්‍ය සහ පණ අදිමින් සිටින බව සඳහන්ය. ඇතැම් වාර්තාවක දැක්වෙන්නේ එය මියගොස් අවසන් බවය. මුහුදු මට්ටම ඉහළ යන්නේ ධ්‍රැවවල අයිස් දියවී ඊට එක්වීම නිසාය.”

පැරිස් සම්මුතිය යනු එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සංහිඳුවීම සඳහා වන පාදක ව්‍යුහය විසින් රාජ්‍ය හරිතාගාර වායු විමෝචන සමනය, උපයෝජනය සහ මූල්‍ය පහසුකම් සැලසීම සඳහා සාමාජික රාජ්‍යවල එකඟත්වය ලබා ගැනීම පිණිස සකස් කරන ලද ප්‍රඥප්තියකි. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය 196 විසින් අත්සන් තබන ලද පොදු සම්මුතියක් වන මෙය 2016 නොවැම්බර් 04 දින සිට බල පැවැත්වෙයි. මේ සම්මුතියට එකඟවූ රාජ්‍ය සිය සැලසුම් ඉදිරිපත් කළ යුතු විය.

මේ සම්මුතිය 1988 ස්ථාපනය කරන ලද දේශගුණ විපර්යාස සඳහා වන අන්තර් ආණ්ඩු පැනලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව සකස් කරන ලද්දකි. එම පැනලය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යවලින් තෝරා ගන්නා ලද ප්‍රවීණ විද්‍යාඥයන් කණ්ඩායමකගෙන් සමන්විතය. එය විසින් කරන ලද සේවය අගයා 2007 වසරේ ඊට නොබල් සාම ත්‍යාගය පිරිනමන ලදි.

පසුගිය 23දා එය විසින් ඉදිරිපත් කරන ලද්දේ පසුගිය මාස 12 ඇතුළත තෙවන වාර්තාවයි.

එහෙත් සංවේගයට කාරණය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ ක්‍රියාකාරකම් සැලසුම් සහ සාකච්ඡාවලට පමණක් සීමා වීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීමයි. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට විද්‍යාඥයන් විසින් නිතිපතා ඉදිරිපත් කෙරෙන වාර්තා සහ ඒවායේ නිර්දේශ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන බව ප්‍රකට කරුණකි.

අවාසනාවකට මෙන් ලොව වැඩිම පරිසර දූෂකයා වන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වූවායින් පසු එරට මෙම සම්මුතියෙන් ඉවත් වන බව නිල වශයෙන් දන්වන ලදී. ඊට හේතුව ෆොසිල ඉන්ධන දහනය නොකර සංවර්ධනය කරා යා නොහැකි බවට වන ජනාධිපතිවරයාගේ විශ්වාසයයි. ඔහුට අනුව යමින් බ්‍රසීලයද ඉන් ඉවත්වන බව ප්‍රකාශයට පත් කොට ඇත. ලොව විශාලතම වැසි වනාන්තරය වන ලෝකයේ පෙණහැල්ල යනුවෙන් ප්‍රශංසාවලි ලත් ඇමසන් වනය මාස දෙකකට අධික කාලයක් තිස්සේ දැවෙමින් පවතින්නේ බ්‍රසීල රජයේ සංවර්ධන විජිගීසාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මාතෘකා