ඉරාකයේ විරෝධතා දරුණු වෙයි

 ඡායාරූපය:

ඉරාකයේ විරෝධතා දරුණු වෙයි

ඉරාකයේ මේ වන විට පවතින විරෝධතා ව්‍යාපාරවලට රජය පිළිතුරු දෙමින් සිටින්නේ ජීවී උණ්ඩ භාවිතයෙන් බව වාර්තාවල දැක්වේ. බස්රා සහ නසිරියා යන නගරවල සිදු වූ වෙඩිතැබීම්වලදී විරෝධතාකරුවන් පස් දෙනකු හමුදා වෙඩිපහරවලින් ජීවිතක්‍ෂයට පත් වූ බව ඊයේ (නොවැ. 25) වාර්තා විය.

තෙල් නිෂ්පාදනයෙන් ලැබිය යුතු ආදායම රටට නොලැබෙන බව පවසමින් එරට වරින්වර උද්ඝෝෂණ පැන නැගුණද ඒවා දිගුකාලීනව පැවැතියේ නැත. පසුගිය වසරේ ග්‍රීෂ්ම ඍතුවේ පැන නැගුණු විරෝධතා මැඩලන්නට රජයේ ආරක්‍ෂක අංශ සමත් විය. මෙවරද රජය අනුගමනය කරන්නේ එම ක්‍රියාමාර්ගයෙන් ලද අත්දැකීමයි.

සාමාන්‍යයෙන් මේ විරෝධතා පැවැත්වෙන්නේ ග්‍රීෂ්ම සමයේය. ඊට හේතුව ජනතාවට දරාගත නොහැකි උණුසුමයි. 2003න් පසු විදුලිබලය ප්‍රමාණවත් තරම් නොමැති නිසා වායුසමන ක්‍රියාත්මක කළ නොහැකි වීම ඊට හේතුව ලෙස දැක්වේ. මෙවර එතරම් උණුසුමක් නැතද විරෝධතා පැන නැගීමට හේතුව විකල්ප ඉදිරිපත් නොකරමින් පදික වේදිකා වෙළෙඳුන් ඉවත් කරන්නට සහ නාගරික වෙළෙඳසැල්වල පදිංචි වී සිටීම තහනම් කරන්නට පසුගිය අගෝස්තු මාසයේ බැග්ඩෑඩ් පුරපතිවරයා ගත් තීරණය බවත් ඒ සමග එරට ජනතාවගේ ඉවසීමේ මට්ටම පහළ ගිය බවත් සඳහන්ය. ඉරාකය පුරා මේ වනවිට පැතිර යන මේ විරෝධතා ඇරැඹුණේ මූලික වශයෙන් ඒවාට එරෙහිව වන නමුත් පසුව සමස්ත වශයෙන් දූෂණයට හා වංචාවලට, විරැකියාවට සහ පොදු සේවාවේ අප්‍රමාණවත් බවට එරෙහිව ඔවුහු නැගී සිටිති.

2003 අප්‍රේල් මාසයේ 03 දින සදාම් හුසේන් ඝාතනයෙන් පසු පත් වූ ආණ්ඩු සියල්ලම මේවාට වගකිව යුතු බව එරට ජනයාගේ අදහසයි.

ආචාර්ය මෙහ්දි අගමැතිවරයා ලෙස පත් කැර ගන්නා ලද්දේ දේශපාලන පක්ෂ නායකයකු වීම නිසා නොව මහමැතිවරණය පැවැත්වී මාස කිහිපයක් ඉක්ම ගියත් පක්ෂ නායකයන් අතරින් සුදුස්සකු තෝරා ගන්නට නොහැකි වීම නිසාය. ඒ සඳහා ඔහුට ෂියා සහ සුන්නි යන ද්විවිධ ඉස්ලාම් පාර්ශ්වයන්ගේ මෙන්ම කුර්ද්වරුන්ගේද අනෙකුත් කණ්ඩායම්වලද සහාය ලැබිණි. ධුරයේ වැඩබාරගත් විගස ඉහළ පැළැන්තියේ ජනයා සහ සාමාන්‍ය මිනිසුන් අතර පරතරය නැති කොට වංචාව හා දූෂණය පිටු දැක රාජ්‍ය සේවාව කාර්යක්‍ෂම කරන බවට ඔහු පොරොන්දු වු නමුත් ඒවා හිස් වචන පමණක් බවට පත්ව තිබේ. ඔහුට සහාය දුන් සියලු කණ්ඩායම්වල ප්‍රභූන් විසින් පවත්වාගෙන යනු ලබන දූෂණවලට අනුබලය නොදුන්නත් ඒවා පිටු දකින්නට ඔහුට නොහැකිය.

වර්තමාන උද්ඝෝෂණ ඇරැඹුණේ පසුගිය ඔක්තෝබර් 01දා ය. එතැන් සිට 08 දින දක්වා එය පැවැති බවත් විරාමයකින් පසු නැවත 24දා ඇරැඹි බවත් බිබීසී වාර්තාවක දැක්වේ. මේ රැල්ලේ ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ විසි ගණන්වල පසුවන තරුණ තරුණියන්ය. පදික වෙළෙඳාම තහනම් කිරීමෙන් පහර වදින්නේ ඔවුන්ටය. ඔවුනතරින් අඩක් උසස් අධ්‍යාපනය ලද්දවුන් බව වාර්තා වේ. එතැන් සිට මේ දක්වා විරෝධතාකරුවෝ අඛණ්ඩ විරෝධතා, පෙළපාලි, එකතැන හිඳීම් (sit-ins) සහ සිවිල් නීති කඩකිරීම්වල යෙදී සිටිති.

මේ වනාහි ඉරාක ඉතිහාසයේ මේ දක්වා ඇති වූ විශාලතම මෙන්ම දීර්ඝතම විරෝධතා ව්‍යාපාරයයි.

2003 මාර්තු 20 ඇරැඹි 2011 දෙසැම්බර් 18 දක්වා පැවැති අමෙරිකාව ප්‍රමුඛ ඇලියේ ඉරාක ආක්‍රමණයට එරෙහිව ඉරාකයේ කැරැල්ලක් පැනනැගිණි. එහෙත් එහි අරමුණ වූයේ අමෙරිකානු ආක්‍රමණයට එරෙහි වීම බැවින් එය සමග මෙය සැසඳීම නොයුතුය. විකිලීක්ස් නමැති අනතුරු හැඟවුම් නාදකයා (whistleblower) විසින්, එම යුද්ධයේදී අමෙරිකානු ඇලියේ හමුදා ඉරාක වැසියන් ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝව නිසා බොහෝ දෑ අනාවරණය විය. විකිලීක්ස් ප්‍රධානියාව සිටි ජුලියන් අසාංශ් මේ වනවිට බ්‍රිතාන්‍ය සිපිරිගෙයක දඬුවම් විඳිමින් සිටින අතර ඒ දඬුවම අවසන් වූ පසු දේශද්‍රෝහි චෝදනා යටතේ නඩු පැවරීම සඳහා ඔහු අමෙරිකා එක්සත් ජනපදයට බාර දෙනු ඇත.

2018 ඔක්තෝබර් 25 දා ඉරාකයේ අගමැතිවරයා ලෙස ආචාර්ය අඩිල් අබුදුල් මහ්ඩි දිව්රුම් දීමෙන් ගෙවී ගිය වසර තුළ ඉරාක ජනතාව අපේක්‍ෂා දෑසින් යුතුව බලා සිටියත් ජනතාවට සහන දෙනු වෙනුවට තවතවත් හිංසාකාරී ක්‍රියා පිළිවෙත්වලට අවතීර්ණ වීම ජනතාවගේ අසහනය දැඩි කරන්නට හේතු වූ බව, මරුට අභියෝග කරමින් පාරට බැස සිටින ජන සමූහය අනුව කිව හැකිය. ආචාර්ය මහ්ඩි ජන ජීවිතය ඔසොවා තබන්නට පියවර ගනු ඇතැයි බොහෝ අනාවැකි පළවිය. දේශපාලනයේ බොහෝ පළපුරුදු කම් ඇත්තකු වීමත්, වංචා දූෂණ යනාදියට ඍජු සම්බන්ධයක් ඇති බව අනාවරණය වී නොතිබීමත් ඒ සියල්ලටමත් වඩා ඔහු ෆ්‍රංසයේ පොයිටියර් විශ්වවිද්‍යාලයයෙන් දේශපාලන ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබීමත් නිසා මිනිස්සු එසේ ඔහු කෙරේ විශ්වාසය තැබූහ.

එහෙත් වසරක් ඉක්මෙන්නටත් පළමු ජනතාවගේ ඒ අපේක්‍ෂා සුන් විය. දූෂිතයන් තානාන්තරවලට පත් කැර ගන්නා ලද අතර පාලන තන්ත්‍රය දූෂකයන්ගෙන් පිරී ගියේය. එහි ප්‍රතිඵල ලෙස ඉරාකය මේ වනවිට ලොව දූෂිත රාජ්‍ය දර්ශකයේ 11වන ස්ථානයේ සිටියි. රටේ ශ්‍රමය වැය කළ හැකි වයස් කාණ්ඩයේ ජනයාගෙන් සියයට 20ක් විරැකියාවෙන් පෙළෙන අතර දරිද්‍රතාව ඉහළ ගොසිනි.

විරෝධතාකරුවන්ට දේශපාලනික හෝ ආගමික හෝ නායකත්වයක් නොමැති බවත් ඔවුන් සමූහගත වී ඇත්තේ නව ප්‍රවනතාවක් වන සමාජ මාධ්‍යජාලා ඔස්සේ බවත් සඳහන්ය. එහෙත් අනෙක් රටවල වර්තමානයේ පවතින උද්ඝෝෂණ හා සසඳන විට මෙහි එවැන්නක් නැත්තේම නැති බවත් වැටහෙනු ඇත.

විරෝධතා මැඩ පවත්වන්නට රජයේ හමුදා එල්ලකරන ප්‍රහාරවලින් මේ වනවිට නිරායුධ සිවිල් පුරවැසියන් 300 ඉක්මවන පිරිසක් මරණයට පත්ව ඇති බවත් ඒ කිසිවකින් විරෝධතාකරුවන් මැඩ පැවැත්විය නොහැකි බවත් වාර්තා වෙයි.

ඉරාකය ෂියා ඉස්ලාමයට ප්‍රමුඛත්වය දෙන රටකි. එසේ වුවත් සුන්නි සහ කුර්දිශ් කණ්ඩායම්වලට පාලනයට සහභාගි වන්නට අවස්ථාව ලබා දීම 2003න් පසු අමෙරිකානු විද්වතුන් කණ්ඩායමකගේ උපදෙස් මත සකසන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය ලක්ෂණයකි. ඉරාණය ඉරාකයට විශේෂත්වයක් දක්වන්නේ එරට ෂියා ඉස්ලාමයට ප්‍රමුඛත්වය දෙන නිසාය. ඒ අනුව ඇති වූ වර්තමාන ඉරාණ - ඉරාක සබඳතා අමෙරිකා එක්සත් ජනපදයේ නොරිස්සුමට හේතුවන තරමට බලවත්ය. ඒ අතරම බැග්ඩෑඞ් පාලනය අමෙරිකා එක්සත් ජනපදයටද ගැතිකම් දක්වන බව ද ප්‍රකටය.

සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සහ ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීම සිදු වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලයෙනි. ජන සංහාරක රසායනික සහ ජීව අවි ඇති බව චෝදනා කරමින් අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීම මැද පෙරදිග බලය තහවුරු කිරීමේ අමෙරිකානු ඇලියේ එක් වැදගත් පියවරක් ලෙස සැලකේ.

2003 ආණ්ඩුව පෙරළා දැමීමෙන් සිදු වූයේ සමෘද්ධිමත් දේශයක් ව පැවැති ඉරාකයේ ආර්ථිකය පල්ලම් බැසීමය. ඉස්ලාමීය ත්‍රස්තයන් ඉරාකය ආක්‍රමණය කිරීමත් ඒ නිසා ඉරාක ආර්ථිකය කඩා වැටීමත් චක්‍රියව සිදු විය. ඉරාණය මැදිහත් වන්නේ එබඳුව දුර්වල වූ රාජ්‍යයකටය. එසේම රුසියාව පළමුව ඉරාකයටත් පසුව සිරියාවටත් අත පොවන්නේ සහ ඉරාණයට සහයෝගය පළ කරන්නේත් මෙලෙස බිඳ වැටුණු තත්ත්වයකදීය. අනෙක් පසින් අමෙරිකා එක්සත් ජනපදය ඉරාක රජයට එරෙහිව කැරලි ගසන ජනයාට සහාය පිණිස වක්‍රව ක්‍රියා කරන්නේද ඒ පසුබිමේය.

ඉස්ලාමීය රාජ්‍යය (ISIS) මුලින්ම ක්‍රියාත්මක වූයේ ඉරාකයේ වන අතර ඔවුන් පලවා හැරීම සඳහා ඉරාක රජයට දැඩි වෙහෙසක් දරන්නට සිදුවිය. ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහ ඉරාණයේ සහාය එරටට ලැබිණි. ඉරාකය භටයන් 6,000කින් සමන්විත අමෙරිකානු බලඇණියකට සිය රට තුළ කඳවුරු පහසුකම් සැලසීය.

කෙසේවෙතත් දැන් පවත්නා විරෝධතාවලදී විරෝධතාකරුවන් සම්බන්ධීකරණය කරනු ලබන්නේ ‘සද්රිස්ට් මූමන්ට්’ නමැති ෂියා ලබ්ධික සංවිධානය විසිනි. එහෙත් විරෝධතාකරුවෝ එහි සාමාජිකයෝ හෝ අනුගාමිකයෝ හෝ නොවෙති. එම අන්තවාදී සංවිධානය ක්‍රියාත්මක වනුයේ අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය සහිතව බවත්, අමෙරිකානු ඇලියේ ඊස්‍රායෙලය, විරෝධතාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ‘ජනතා ජංගමකරණ හමුදාවට (Popular Mobilization Forces - PMF) ගුවන් ප්‍රහාර එල්ල කළ බවටත් චෝදනා කැරිණි.

PMFீයනු ISIS ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු විවිධ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක එකතුවකි. එය ඉරාක ආණ්ඩුවට පාලනය කළ නොහැකිය. විරෝධතාකරුවන් මර්දනයේදී ආණ්ඩුව මෙම හමුදාව මෙවලමක් ලෙස යොදා ගනියි. මරණ සංඛ්‍යාවේ අධිකත්වයට හමුදා විනයෙන් තොර එකී සන්නද්ධ පිරිසගේ ක්‍රියාකලාපය බලපායි. මේ කණ්ඩායමට සන්නද්ධ පුද්ගලයන් 150,000ක් පමණ අයත් වන අතර ඔවුහු නායකයන් 60 දෙනෙක් යටතේ ‘බලකාය’ 60ක් ලෙස බෙදී සිටිති.

ඉරාණය, සිරියාව සහ රුසියාව ඔවුන්ට සහාය පළ කරන රාජ්‍යයන්ය. ඉස්ලාමීය රාජයයට එරෙහි සටනේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ද ඔවුන්ට ලැබිණි. එහෙත් දැන් අමෙරිකාව සිටින්නේ විරුද්ධ පැත්තේ ය. සංවිධාන වශයෙන් ඔවුන් සමග සිට ගන්නේ හිස්බුල්ලා සහ කුර්දිශ්දිවරුන්ගේ සිරියානු ප්‍රජාතන්ත්‍රීය හමුදාවත් ඔවුන්ගේම පෙශ්මෙර්ගා නමැති සන්නද්ධ කණ්ඩායමත් වේ.

මෙයින් පැහැදිලි විය යුත්තේ තත්ත්වය ඉරාක රජයට පාලනය කළ හැකි සීමාවෙන් ඔබ බවත්, මේ නැගීසිටීම් තනිකර තරුණයන්ගේ වැඩක් නොවන බව සහ මාරාන්තික ප්‍රහාර තනිකරම ඉරාක හමුදාවේ වැඩ නොවන බවත්ය.

මේ අතර රටේ එදිනෙදා ජනජීවිතයට බලපාන සාධකවලින් බැහැර තවත් සටන් පාඨයක් ඉදිරිපත් වෙයි. ඒ ‘ඉරාණ ආක්‍රමණයට එරෙහි වෙමු’ යන්නයි. සද්දම් හුසෙන්ගේ සමයේ දෙරට පසමිතුරන් ව සිටි නමුත් පසුව මිතුදමක් වර්ධනය වී තිබේ. එය වත්මන් අගමැති ආචාර්ය මහ්ඩි විසින් ඇති කැර ගන්නා ලද සුහදතාවකි. අතීත කමියුනිස්ට්වාදියකු වූ නමුත් ඔහු ඉරානයේ අයතොල්ලාවරුන්ගේ අනුගාමිකයකු වෙමින් ඒ අත්හැර නියම ෂියා ලබ්ධිකයකු විය. 2003න් පසු කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම උප ජනාධිපතිවරයා ලෙසද ආචාර්ය මහ්ඩි ඉරාණය සමග සබඳකම් ඇති කැර ගනිමින් ඒ වරධනය කැර ගන්නට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරීය. ඇතැම් තැනක සඳහන් වනුයේ ඔහු අයතොල්ලාවරුන්ගේ ඇබිත්තයකු තරමට ගැතිකම් පාන බවයි. මේ නිසා IS මර්දනයේදී 2014 වසරේ සිට ඉරාණ සහාය ලබා ගන්නට ඔහුට හැකි විය. එම ත්‍රස්තයන් මර්දනය කිරීමෙන් පසුවත් ඉරාණය සිය ග්‍රහණය ලිහිල් කළේ නැති අතර අමෙරිකාව චෝදනා කරන්නේ ඉරාණ හමුදා භටයන් 6,000ක් පමණ ඉරාකයේ ස්ථානගත කොට සිටින බවයි. ඇතැම් විටෙක එය ප්‍රතික්‍ෂෙප කෙරෙන නමුත් තවත් විටෙක එය සත්‍යය බව ඉරාකය පිළිගනී. එහෙත් ඒ යුද මෙහෙයුම් සඳහා නොව ඉදිකිරීම් කටයුතු සඳහාය.

කෙසේවෙතත් ඉරාණය කුර්දිවරුන්ගේ පෙශ්මෙර්ගා සන්නද්ධ කල්ලියට අවි සපයන අතර ඉරාක රජයට තාක්ෂණික ආධාර සපයන බව බැහැර කළ නොහැකිය. එහෙත් IS ට එරෙහි සටනේදී ඉරාණය අමෙරිකා එක්සත් ජනපදය සහ කුර්දිශ් කණ්ඩායම් එක්ව පෙළ ගැසුණු බවද අමතක කරනු නොවටී.

මේ අතර ඉරාණය, හිස්බුල්ලා ඇතුඵ ෂිට් ලබ්ධික සන්නද්ධ කණ්ඩායම්වලට ආධාර ලබාදේ. යේමනයේ සටන්වල නිරත එම කණ්ඩායම්වලට ඉරාණය ආධාර දෙන නිසා සෞදි අරාබිය සහ ඉරාණය අතර ප්‍රතියුක්ත යුද්ධයක් පවතියි. එයින් යේමනයේ සිවිල් වැසියන් දස දහස් ගණනක් මේ වනවිට මරණයට පත්ව තවත් දහස් ගණනක් මිනිස්සු සාගින්නට ගොදුරුවෙමින් අවාසනාවන්ත ලෙස මියැදෙමින් සිටින බව වාර්තා වෙයි.

මේ වනවිට ලොව පුරා ආණ්ඩු දහයකට පමණ එරෙහිව මහජන නැගීසිටීම් (springs) පවතියි. අරාබිකරයේ 2011 අගභාගයේ ට්‍යුනිසියාවෙන් අරැඹි නැගීසිටීම් අරාබි වසන්තය ලෙස සිංහලට පරිවර්තනය කෙරෙන Arab Spring ලෙස හැඳින්වේ. ඉරාකයේ වර්තමාන කැළඹිල්ල මතු යම් දිනෙක ඉරාක වසන්තය ලෙස හැඳින්වෙනු ඇතැයි අනාවැකි කිව නොහැකි නමුත් මෙහිදීද අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ජනතාව කබලෙන් ළිපට වැටීම බව නම් ඉඳුරාම කිව හැකිය.

ඒ අනුව ඉරාකයේ වර්තමාන කැරැල්ල ඈත පෙරදිග ආසියාවේ එපිට කෙළවරේ සිදු වන බලවතුන්ගේ ප්‍රතියුක්ත (proxy) අරගලයක් බව මේ වනවිටත් හඳුන්වනු ලැබ තිබේ.

මාතෘකා