ආචාර්ය අබි අහමඩ් අලි 2019 ෙනාෙබල් ත්‍යාගය දිනා ගත් සාම දූතයා

 ඡායාරූපය:

ආචාර්ය අබි අහමඩ් අලි 2019 ෙනාෙබල් ත්‍යාගය දිනා ගත් සාම දූතයා

රාජ්‍යවලට නායකයෝ පත්වෙති. සමහර නායකයෝ මහජන ඡන්දයෙන් තේරී පත්ව සිය ධුර කාලය පුරාම මහජන අරමුදල් රිසි සේ විය පැහැදම් කරමින් අනාගතය සඳහා අතිවිශාල ධන සම්භාරයක් ශේෂ කැර ගෙන ඉතා අකමැත්තෙන් වෙන කරන්නට දෙයක් නැති නිසා තනතුර අත්හැර යති. ඔවුහු ජන සතුරෝය. ඒ අතර එසේ නොකොට සිය දේශයේ උන්නතිය සඳහා වෙහෙස වන ජන මිතුරු නායකයෝද වෙති.

2019 වසරේ සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් ඉතියෝපියානු අගමැති ආචාර්ය අබි අහමඩ් අලි එබඳු ජන මිතුරු යුග පුරුෂයෙකි. පසුගිය මස 11දා ස්විඩනයේ නොබෙල් කමිටුව විසින් ඒ සඳහා වන සම්මානය සහ ත්‍යාග මුදල ඔහු වෙත පිරිනැමිණි. සංක්ෂිප්ත හේතුපාඨය මෙසේ ය: ‘සාමය සහ අන්තර්ජාතික සහයෝගිතාව ළඟා කැර ගැනීම සඳහා වන ඔහුගේ පරිශ්‍රමය වෙනුවෙන් සහ යාබද එරිත්‍රියාව සමග පවත්නා දේශ සීමා ගැටුම විසඳීම සඳහා වන තීරණාත්මක මූලික ප්‍රවේශය වෙනුවෙන්.’

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයන් 223 දෙනෙකගේ සහ සංවිධාන 78කගේ නම් යෝජනා වි තිබිණි. මේ ලේඛන රහසිගත විය. එහෙත් ටයිම් වැනි මාධ්‍ය ඒ තොරතුරු කෙසේ හෝ ලබාගෙන තිබිණි. පසුගිය ඔක්තෝබර් 07 දා ටයිම් සඟරාව ඒ සඳහා යෝජිත ප්‍රමුඛයන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන තොරතුරු පළ කොට තිබිණි. ඔවුනතුරින් මුලින්ම සිටියේ ස්විඩ්න් ජාතික පාසැල් ශිෂ්‍යාවක වන ග්රිටා තුන්බර්ග්ය. සොළොසැවිරිදි ඇය එම ත්‍යාගය සඳහා නම් කැරුණු වයසින් අඩුම පුද්ගලයා වෙයි. ත්‍යාගය ඇයට පිරි නැමිණි නම් ඇය ළාබාලම සාම ත්‍යාගලාභියා වනු ඇත. 2014 වසරේ එය දිනාගත් මලාලා යුසුෆ්සායි එය ලබන විට තෙළෙස් ඇවිරිදි වූවාය. අනෙක් පුද්ගලයන් වූයේ නවසීලන්ත ජනාදිපති ජැසින්ඩා ආර්ඩෙන් සහ බ්‍රසීලයේ ඇමසන් වනය ආශ්‍රිත ගෝත්‍රික නායකයකු වන රාඔනි මෙටුක්ටයර්ය. සංවිධාන වනුයේ දේශ සීමා නොමැති මාධ්‍යවේදීන් සහ එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසම යන දෙකයි.

මේ පස් දෙනා අතරින් අහ්මඩ් අලිට ත්‍යාගය පිරිනැමුණේ සිය රටේ පාලනය භාරගත් විගසම වාගේ, වසර 20ක අතීතයක් ඇති සිවිල් ජනයා 70,000ක් ඉක්මවා ඝාතනයට ලක් වූ එරිත්‍රියා - ඉතියෝපියා දේශ සීමා අර්බුදය විසඳන්නට එසැණ පියවර ගැනීමයි.

ඉතියෝපියාව යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිව්වන අගමැතිවරයා වශයෙන් 2018 අප්‍රේල් 2 වැනිදා පත්වූ අබී අහමඩ් අලී එරට ජනතා විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජික ඔරොමෝ ඩිමොක්‍රටිස් පක්ෂයේ සභාපතිවරයා වෙයි. හමුදා බුද්ධි අංශයේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකි.

අහමඩ් අලි 1976 අගෝස්තු 15 වන දින ඉතියෝපියාවේ කෆා පළාතේ බෙෂාසා හි උපත ලැබීය. අලීගේ පියා වූ අහමඩ් අලීගේ භාර්යාවන් සතර දෙනාගෙන් එක් අයෙක්වූ ටිසීටා වෝල්ඩ් ඔහුගේ මව විය. අබී ඔහුගේ පියාගේ 13 වැනි දරුවා වූ අතර මවගේ සවැනි සහ බාලම දරුවා විය. ඔහුගේ ප්‍රථම උපාධිය වන පරිගණක ඉංජිනේරු උපාධිය 2001දී අඩිස් අබාබා තොරතුරු තාක්ෂණ විද්‍යාලයෙන් ලබාගත් අතර ලන්ඩනයේ ඈෂ්ලන්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ අඩිස් අබාබාහි ලෙඩ්ස්ටාර් කළමනාකරණ හා නායකත්ව විද්‍යාලයෙන් 2011දී ඔහු ව්‍යාපාර පරිපාලනය විෂයයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. අඩිස් අබාබා විශ්වවිද්‍යාලයේ සාමය හා ආරක්ෂක අධ්‍යයන ආයතනයෙන් ඔහු 2017දී ආචාර්ය උපාධිය ලබාගත්තේය.

දේශිය භාෂා කිහිපයක හසළ අබී ඉංගිරිසි බස සම්බන්ධීකරණ භාෂාව ලෙස උපයෝගි කැර ගනියි. අබී එවැන්ජලිකල් පෙන්තකොස්ත කිතුනුවෙකි.

අබී අහමඩ් 1993දී ඉතියෝපියාවේ ජාතික ආරක්ෂක බළකායේ සොල්දාදුවකු බවට පත් වූ අතර වැඩි වශයෙන් බුද්ධි හා සන්නිවේදන අංශවල සේවය කළේය. 1995දී රුවන්ඩා වාර්ගික ජන සංහාරයෙන් පසුව ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ සාමාජිකයකු ලෙස රුවන්ඩාවේ යොදවනු ලැබීය. 1998 දී හා 2000 ඉතියොපියා - එරිත්‍රියා යුද්ධයේදී බුද්ධි අංශ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඔහුය. පසුව අබීව නැවත සිය උපන් නගරය වන බෙෂාසා වෙත යවන ලද අතර එහිදී ඔහුට ආරක්ෂක හමුදාවේ ලුතිනන් කර්නල් නිලධාරියෙකු ලෙස මුස්ලිම්වරුන් හා කිතුනුවන් අතර අන්තර් ආගමික ගැටුම්වලදී මැදිහත් වූයේය. වාර්ගික සහ ආගමික ගැටුම් නිසා ඇති වූ ආතති සහිත අවස්ථාවල ඔහු සන්සුන් ලෙසින් සාමය ගෙන ආයේය. පසුකාලීනව පාර්ගිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමෙන් පසුව ‘සාමය සඳහා වූ ආගමික සංසදය’ නමැති සංවිධානය නිර්මාණය කළ ඔහු එමගින් ආගම් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා සිය මෙම උත්සාහයන් අනවරතව පවත්වාගෙන ගියේය.

අහමඩ් අබි අලි ඉතියොපියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2010 මහ මැතිවරණයේදීය. 2014දී අබී පාර්ලිමේන්තුවේ සිටිමින්ම විද්‍යා හා තාක්ෂණ තොරතුරු මධ්‍යස්ථානය (TIC) නමින් නව පර්යේෂණ ආයතනයක් ආරම්භ කළේය. ඔහු 2015දී ඇරෝමි- ඔරෙමියා කලාපයේ සහ විශේෂයෙන් ඉතියෝපියානු අගනගරය වන අඩිස් අබාබා අවට නීති විරෝධී ඉඩම් කොල්ල කෑම්වලට එරෙහි සටනේ ප්‍රධාන චරිතයක් බවට පත්විය. මුල් බැසගත් එම ආරවුලෙන් බොහෝදෙනා මරණයට පත් වූ අතර තවත් ඊට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ. ඉඩම් කොල්ලයට විරුද්ධ සටන ඔහුගේ දේශපාලන ජීවිතය ඔප් නැංවීය. එය ජන අවධානයට ලක් වීම ඔහුගේ දේශපාලන ආරෝහණයට බෙහෙවින් ඉවහල් විය. 2017 ඔක්තෝබර් මාසයේ සිට සිය පක්‍ෂයේ ප්‍රධානියා ලෙස ඔහු ආගමික හා ජනවාර්ගික බෙදීම් අවසන් කිරීමට ඔරොමෝ සහ අම්හාරා යන වාර්ගික කණ්ඩායම් අතර නව සන්ධානයක් ඇති කිරීමට පහසුකම් සැලසීය. මෙම කණ්ඩායම් දෙක එක්ව ගත් කළ ඉතියෝපියානු ජනගහනය වූ මිලියන 100න් තුනෙන් දෙකකට ආසන්නය.

2014න් පසු ඉතියෝපියාව පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇරැඹිණි. එහි ප්‍රතිඵල ලෙස 2018 මාර්තු 08 දින ක්‍රියාත්මක වන පරිදි අබි අලිගේ පූර්වගාමියා වූ හයිලේමරියාම් ඩෙසලෙග්න් ඉල්ලා අස් විය. ඉතියෝපියානු අගමැති ධුරයට ඩෙමෙක් මෙකොනන් හා අබී අහමඩ් තරග කළ අතර 2018 මර්තු 27 ඩෙමෙක් තරගයෙන් ඉවත් විය. පසුව ඩෙමෙක් නියෝජ්‍ය අගමැති ධුරයට පත් විය. අබීට හවුල්කාර පක්‍ෂවල ඒකමතික ඡන්දයක් ලැබිණ. අබී ඉතියෝපියානු පාලක සභාගයේ සභාපති ලෙස ප්‍රකාශයට පත් කැරුණු අතර බහුතර ඡන්දයෙන් ලබාගනිමින් ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය වරයා ලෙස තේරී පත් විය.

අග්‍රමාත්‍යවරයා ලෙස සිය ආරම්භක කථාවේදී ඔහු දේශපාලන ප්‍රතිසංස්කරණ පොරොන්දු විය. තම රටේ එක්සත්කම හා ජනතාව අතර සමගිය ප්‍රවර්ධනය කිරීමටත් දැනට පවතින එරිත්ත්‍රියා ඉතියෝපියානු දේශසීමා යුද්ධය නිමාකරන්නට සහ ගැටුම විසඳන්නට කඩිනම් වැඩ පිළිවෙළක් ආරම්භකරන බව එහිදී ඔහු පැවසීය. එමගින් අබි අලි ජනතා සිත්සතන් තුළ සුභවාදී හැඟීමක් ඇති කළේය. ඊට ඉතියෝපියාව තුළ ඉතියෝපියානු මහජනතාවගෙන් සහ ඉන් පිටත ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිණි. විරුද්ධවාදි කණ්ඩායම් පවා සිය මතයට නම්මවා ගන්නට එමගින් ඔහු සමත් විය.

බලයට පත්වීමෙන් පසුව අබී ඉතියෝපියානු බන්ධනාගාරවල සිටි දහස් ගණන් දේශපාලන සිරකරුවන් නිදහස් කළේය. 2018 මැයි මාසයේදී ඔරොමෝ කලාපයේ සිරකරුවන් 7,600 කට සමාව දුන් අතර මැයි 29 වැනිදා ත්‍රස්තවාදී චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම ලබාසිටි ”ගින්බොට් 7” නායක ඇන්ඩර්ගචෙච් මුලටු ටෙෂෝම් සහ තවත් රැඳවියන් 575 දෙනකුට සමාව ලබා දී නිදහස් කළේය. එක්සත් ජනපදය පදනම් කරගත් ඊසාට් සහ O.M.N. චන්ද්‍රිකා රූපවාහිනි ජාලයන්ට එරෙහිව තිබූ චෝදනා ඉවත් කරමින් විදෙස් ප්‍රසාදය දිනීය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්නට මෙවලමක් ලෙස බහුල වශයෙන් යොදාගැනෙන ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කරන බව 2018 මැයි 30 දින අබී ප්‍රකාශ කර සිටි අතර ඉතියෝපියාවේ මාධ්‍ය නිදහස පුළුල් කිරීම සඳහා පිටුවහල් කරන ලද මාධ්‍ය ආයතවලට නැවත පැමිණෙන ලෙස ආරාධනා කළේය.

2018 අගෝස්තු 25 වන දින ඔහු බලයට පත් වී මාස පහකට පසුව මාධ්‍ය හමුවක් පවත්වා ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීය. විදුලි සංදේශ, ගුවන් සේවා, විදුලිය යන සැපයුම් අංශවල රාජ්‍ය ඒකාධිකාරය අවසන් කිරීමට පියවර ගනු ලැබු අතර එම සේවා පෞද්ගලික අංශයේ තරග කාරීත්වයට විවෘත කැරිණි. 2018 ජූනි මාසයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතියෝපියාවේ කොටස් හුවමාරු මධ්‍යස්ථානයක් පිහිටුවීම තම අභිප්‍රාය බව අබි අලි නිවේදනය කළේය. කොටස් හුවමාරුවකින් තොර වූ ජනගහනය හා දළ දේශීය නිෂ්පාදිතය අනුව ලෝකයේ විශාලතම රට වූයේ ඉතියෝපියාවයි.

2018 ජුනි මස දිනෙක අබි අලි කයිරෝ වෙත ගොස් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි හමු විය. ඉන් පසු දකුණු සුඩාන ජනපති සල්වා කීර් සහ කැරලිකාර නායක රික් මචාර් අතර හමුවක් සඳහා අඩිස්අබාබා නුවර පහසුකම් සැලසු ඔහුට ඉන් කීර්තියක් අත්විය.

ඉතියෝපියා - එරිත්‍රියා ගැටුම අවසන් කිරීමට ඔහුට අවංක වුවමනාවක් තිබිණි. ඒ සඳහා එරිත්‍රියා රජය සමග සාකච්ඡා පැවැත්වීම සුදුසු බව යෝජනා කළ ඔහු ඒ සඳහා එරිත්‍රියානු නායකයාගේ එතඟත්වය ලබා ගත්තේය. මතභේදාත්මක දේශසීමා නගරයක් වන බැඞ්මේ එරිත්‍රියාවට භාරදීමට රජය එකඟ වී ඇති බවත් එමගින් එරිත්ත්‍රියාව හා ඉතියෝපියාව අතර පවතින ආතතිය අවසන් කිරීම සඳහා ‘2000 ඇල්ජියර්ස් ගිවිසුමේ’ නියමයන්ට අනුකූල බව 2018 ජුනි මාසයේදී නිවේදනය කරන ලදී. 2018 ජුනි 20 දින පැවැති ජාතික සැමරුම් උළෙලේදී එරිත්‍රියාවේ ජනපති ඉසියාස් අෆ්වර්කි, අබි අලි විසින් ඉදිරිපත් කරන ලද සාම වැඩ පිළිවෙළ පිළිගෙන අඩිස්අබාබා වෙත සාම දූත පිරිසක් යවන්නට සිය රජයට නියම කළේය. මේ අනුව 2018 ජුනි 26 වන දින එරිත්‍රියානු විදේශ ඇමැති ඔස්මාන් සාලේ මොහොමඩ් ඇතුළු පිරිස සාම දුතයන් ලෙස ඉතියෝපියාවට පැමිණියෝය. දේශ සීමා ගැටුම් ඇරැඹුණායින් පසු ඉතියෝපියාවට පැමිණි පළමු එරිත්‍රියානු දූත පිරිස බවට ඔවුන්ය.

2018 ජුලි මස 8 වන දින පැවැති එරිත්ත්‍රියා - ඉතියෝපියා සමුළුවේදී දෙරට නායකයෝ සාමය හා මිත්‍රත්වය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබා පැවැති වසර 20 ක් පුරා පැවැති යුද්ධයට තිත තැබූහ. අනතුරුව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා විවෘත විණි. සෘජු විදුලි සංදේශ, දෙරට අතර ගුවන් ගමන් යනාදිය නැවත ඇරැඹිණි.

2018දී අබීට ඉතියෝපියානු පල්ලිය විසින් ”සාමය හා සංහිඳියාව” යන සම්මානයද ලබා දෙන ලදි. 2018 ජුනි 9 වැනිදා අබීට උගන්ඩාව විසින් ”අප්‍රිකාවේ මුතු ඇටයේ විශිෂ්ටතම ඇණවුම” සම්මානය පුදකරන ලදි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අප්‍රිකානු කලාකරුවන්ගේ සාම මුලපිරීම සංවිධානය, ඉතියෝපියානු මුස්ලිම් ප්‍රජාව, ටිපිරරි සාම සම්මුතිය, සෞදි අරාබිය, යුනෙස්කෝව, ලෝක සංචාරක සංසදය, හෙසන් ප්‍රාන්තය මෙන්ම තවත් රටවල් ආයතන රාශියක් අබී අහමඩ්ට සම්මාන හා ත්‍යාග පුද කර ඇත්තේ ඔහුගේ සාම ප්‍රයත්නයේ ප්‍රතිඵලයන්ටය.

මෙම මහා කර්තව්‍යයට බොහෝ වෙහෙස වී දායකත්වය සැපයීමෙන් විසි වසරක් සපිරි ඉතියෝපියා - එරිත්ත්‍රියා යුද්ධය අවසන් කොට සාමය උදා කිරීම සඳහා මූලිකත්වය ගෙන අප්‍රතිහත දායකත්වය සැපයීම ලොව පුරා ඇගැයීමට ලක් විය. ඒ අනුව 2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයන් හා සංවිධාන 301 අතරින් වඩාත්ම සුදුස්සා ඔහු බව නෝබල් කමිටුව විසින් තීරණය කරන්නට යෙදුණේ පසුගිය කාලය තුළ ඔහු විසින් ඉටු කරන ලද ශීඝ්‍ර සාම මෙහෙවර වෙනුවෙනි.

මාතෘකා