සිරියා තෙල් උල්පත්වලට ට්‍රම්ප්ගේ ඇස

 ඡායාරූපය:

සිරියා තෙල් උල්පත්වලට ට්‍රම්ප්ගේ ඇස

මේ ඉරිදා සිරියානු දේශ සීමාව තුළ තුර්කි හමුදා සහ සිරියා රජයට එරෙහි කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබන ඊසාන දිග සිරියාවේ තල්-අයාද් ආසන්නයේ සිදු වු පිපිරීමකින් සිවිල් වැසියෝ අට දෙනෙක් මියගොස් 20ක් තුවාල ලැබූහ. මේ ප්‍රහාරය ගැන අන්කාරා පාලනය සිරියාවේ ක්‍රියාත්මක කුර්දිශ් සටන්කරුවන්ට චෝදනා කරයි.

තුර්කි හමුදා සිරියාව තුළ ක්‍රියාත්මක වීම ගැන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලවත් විරෝධය පළ කළේය. එහෙත් තුර්කිය එසේ ක්‍රියාත්මක වූයේ ජනාධිපති ට්‍රම්ප් සිය හමුදා සිරියාවෙන් ඉවත් කර ගන්නා බවත් තුර්කියට කැමැති දෙයක් දැන් කළ හැකි බවත් ඔක්තොබර් 06දා නිවේදනය කිරීමත් සමගය.

තුර්කියට එරෙහිව සම්බාධක පැනවීම නීතිගත කිරීමේ පනත අමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලය හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලයේදී අතිවිශාල බහුතරයකගේ ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පනවන ලද සම්බාධක නීත්‍යනුකූල වනු ඇත. එහෙත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ සඳහන් වන්නේ ඊට රාජ්‍ය දෙපාර්තමේන්තුව නොඑකඟ බවයි.

සිරියාවේ නිරායුධ සිවිල් වැසියන්ට පහර දෙන්නේය යන චෝදනාව එල්ල කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් තුර්කියට එරෙහි සම්බාධක පැනවීම සහ තීරුබදු ඉහළ දැමීම සිදු කරන ලද්දේ ඔක්තෝබර් දෙවන සතියේය.

තුර්කිය මීට දෙවසරකට පමණ ඉහත රුසියාවෙන් S-400 වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් ඇණවුම් කළ අතර අමෙරිකාවෙන් ඊට විරෝධය පළ විණි. නේටෝ සාමාජික රාජ්‍යයක් වන තුර්කිය එලෙස රුසියාවෙන් අවි මිලදී ගැනීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙන ලද්දේ වුව තුර්කිය එය ගණන් ගත්තේ නැත. ඇණවුම අනුව නිෂ්පාදිත ඇඩොලර් බිලියන 2ක් වටිනා එම මෙවලම පසුගිය ජූලි මුල් සතියේ රුසියාව විසින් තුර්කියට බාර දෙන ලදි. සිය රටේ නිෂ්පාදන අතර අවි නිෂ්පාදනයට ප්‍රමුඛත්වයක් ලබා දෙන අමෙරිකා එක්සත් ජනපදය මේ නිසා තුර්කිය සමග අමනාප විය.

මේ අනුව තුර්කියට රිදවීමේ වුවමනාවක් ජනාධිපති ට්‍රම්ප්ට නොතිබිණි’යි කිව නොහැකිය. ඔහුගේ රිදවීමේ ප්‍රමුඛ ක්‍රමය වන්නේ අදාළ රාජ්‍යයෙන් සිය රටට ආනයනය කරන දැයට බදු පැනවීමයි. ඊළඟට සම්බාධක පැනවිමයි.

දින කිහිපයකට පෙර අමෙරිකා එක්සත් ජනපදය තුර්කියට මේ දෙකම කළේය. ඒ, තුර්කිය සිරියාවේ නිරායුධ සිවිල් වැසියන්ට පහර දෙන්නේය යන චෝදනාව එල්ල කරමිනි.

එම චෝදනාව ඇත්තකි. තුර්කිය ඔක්තෝබර් 9දා සිට සිරියාවේ උතුරු සහ ඊසාන දිග පෙදෙස්වලට ව්‍යසනකාරී ලෙස ප්‍රහාර එල්ල කළේය. ඒ තුර්කිය සිය පරම සතුරා සේ සලකන සිරියාව වසා සිටි අයිසිස් ත්‍රස්තයන් පලවා හැරි කුර්දි සටන්කාමීන්ට එරෙහිවය.

කුර්දිවරුන් යනු ඉරාණ මූලය සහිත ජන කණ්ඩායමකි. අතීතයේ කුර්දිස්තානය නම් දේශයක් පැවැති අතර 20 සියවසේ මුලදී ඉංග්‍රීසින් විසින් රටවල මායිම් බෙදා වෙන් කිරීමේදී කුර්දිස්තානය සිතියමෙන් ඉවත් කොට වර්තමානයේ තුර්කිය, සිරියාව, ඉරාකය, ඉරාණය, අසර්බයිජානය, ආර්මේනියාව සහ ජෝර්ජියාව යන රටවලට ඇතුළත් කොට සිතියම් සැකසීම නිසා කුර්දිවරුන්ට තම නිජ භූමිය අහිමි විය. දැන් ඔවුහු මේ සෑම රටකම සහ ඩයස්පෝරාවේද ජීවත්වෙති. ලොව පුරා ඔවුන්ගේ මුළු ජනගහණය මිලියන 40 - 45 පමණ වෙති’යි ගණන් බලා තිබේ. ඔවුන්ගේ ප්‍රශ්නයට එක්සත් ජාතීන්ට පවා විසඳුමක් නැති අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය අන්ත අසරණය.

කුර්දි ජනයාට අනුව උතුරු කුර්දිස්තානය නිරිත දිග තුර්කියේත්, බටහිර කුර්දිස්තානය උතුරු සිරියාවේත්, දකුණු කුර්දිස්තානය වයඹ දිග ඉරාකයේත්, නැගෙනහිර කුර්දිස්තානය ඉරාණයේත් තිබිය යුතුය. මේ අතරින් සිරියාව සහ ඉරාකය කුර්දි ජනයාට ස්වයං නිර්ණය සහිත පාලන ප්‍රදේශ වෙන්කොට දී ඇති අතර ඒවායේ පාලනය මධ්‍යම රජයේ පාලනයෙන් වියුක්තව එහෙත් එකම රටකට අයත් සේ පිළිගැනෙනු ඇත.

උතුරු සිරියාවේ තුර්කි දේශ සීමාව ආසන්යේ පිහිටි කුර්දින්ගේ පාලන ප්‍රදේශය ‘උතුරු සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරේශනය’ නමි. රොජාවා (Rojawa) නමින් ද හැඳින්වේ. ඉරාණයේ මධ්‍යම රජය යටතේ ම වෙනම පළාතක් පමණක් කුර්දිවරුන්ට වෙන් කොට ඇති අතර එහි කියාත්මක නීතිය තරමක් වෙනස් ය. තුර්කිය කිසිම ආකාරයකින් කුර්දි ජනයා පිළිගන්නේ නැත.

PKK යනු කුර්දිශ් ජනයාගේ දේශපාලන පක්ෂය වන අතර (YPG) යනු එහි සන්නද්ධ අංශයයි. අයිසිස් ත්‍රස්තයන් හා සිරියාවේ සටන් කළ ‘සිරියානු ප්‍රජාතන්ත්‍රීය හමුදාව’ ^SDF& යනු ISIS සමග සටන් කිරීම සඳහා කුර්දිවරුන් විසින් විධිමත් ලෙස පිහිටුවා ගන්නා ලද හමුදාවයි.

පසගිය 26දා ඉසිස් ත්‍රස්ත කල්ලියේ නායක අබු බකර් අල්-බග්දාදි ඝාතනයේදී කුර්දිශ් සටන්කාමීන් විසින් කරන ලද රහසිගත මෙහෙයුම් අමෙරිකා එක්සත් ජනපදයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වූ බව සඳහන්ය.

පසුගිය සියවස දෙවැනි දශකයේ පමණ කුර්දිවරුන් සහ තුර්කි රජයේ හමුදා අතර ගැටුම් ඇරැඹිණි. දිගින් දිගටම පැවැති එම මරාගෙන මැරෙන ගැටුම් නිසා දෙපාර්ශ්වයේම බොහෝ දෙනා මරණයට පත් වූහ. 1980 වසරේ තුර්කියේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් බලය අල්ලාගත් හමුදාව කුර්දිශ් බස භාවිතය තහනම් කළේය. ඒ බස වැහැරූවන් අල්ලා ලඝු නඩු විභාගවලින් පසු සිරගත කරන ලදී. 1991 දී කුර්ද් යන්නෙන් බිඳී එන සියලු වචන තුර්කියේ භාවිතය තහනම් කරන ලද අතර එම ජන කණ්ඩායම හැඳින්වීමට කඳුකර තුර්කින් (Mountain Turkish) යන්න භාවිතයට ගෙනෙන ලදි. ඉහත සඳහන් PKK යන නමින් හැඳින්වෙන කුර්දි කම්කරු පක්ෂය බිහි වුණේ එසමයේය. තුර්කි හමුදා සමග YPG සටනට එළැඹි අතර තුර්කිය එය ත්‍රස්ත සංවිධානයක් ලෙස සිය රටේ තහනම් කළේය. යුද නීතිය පනවන ලදි. ඒ යටතේ අත් අඩංගුවට ගන්නා ලද කැරලිකරුවන් ලඝු විභාගවලින් අනතුරුව මරණ දඬුවමට යටත් කොට හිස් ගසා දමන ලදි. තුර්කිය තුළ පිහිටි කුර්දි ගම්මාන ගිනිතබා වනසන ලද අතර 20,000 ඉක්මවන පිරිසක් අමුඅමුවේ මරා දමා අසංඛෙය ජනතාවක් පලවා හරින ලදී.

මේ අනුව තුර්කියේ අරමුණ පැහැදිලිය. තුර්කියට අවශ්‍ය වී ඇත්තේ කුර්දි ජනයාට සිය රටේ ඉඩක් නොදන අතරම සිරියාවෙන්ද ඔවුන් පළවා හැරීමය. මතුපිටින් පෙන්වා දෙනු ලබන්නේ වෙනත් හේතුය. ඒ සියල්ල සමාන වැදගත්කමකින් යුත් බව මෙහිදී සැලකිය යුතුය.

එක් හේතුවක් වනුයේ කුර්දිශ්වරුන් තුර්කි භූමියට ද හිමිකම් කීම සහ තුර්කිය එය පිළිනොගැනීම ය. වර්තමානයේ කුර්දිශ් කණ්ඩායම ස්ථානගත වී සිටින්නේ උතුරු සිරියාවේ සහ ඉරාකයේ තුර්කි දේශ සීමාවල හා ඊට ආසන්නව ය. මෙය අන්කාරා පාලනයට නොරිසි ය. සිරියාව තුළ පවතින කුර්දි ස්වයංපාලන ඒකකයේ බලයට පත්ව සිටින්නේ ඉහත සඳහන් YPG නමින් කුර්දි වචනවල මුලකුරුවලින් හැඳින්වෙන කුර්දි ජනතා ආරක්ෂක ඒකකයයි.

අයිසිස් ත්‍රස්තයන් සමග සටන් කරනු පිණිස අමෙරිකානු හමුදාවෙන් සපයන ලද අවි සහ අනෙකුත් යුද්ධොපකරණ එම කණ්ඩායම අත තිබේ. ඔවුන් සිටින්නේ තුර්කි මායිමට නුදුරින් වන හෙයින් ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක් තුර්කි වැසියන්ට තිබේ.

තුර්කිය පෙන්වා දෙන තවත් එක් කාරණයක් නම් සිරියාවේ පැවැති යුදමය තත්ත්වය නිසා සිය ආර්ථිකයට දරාගත නොහැකි තරම් සරණාගතයන් පිරිසක් එරට වෙත සිරියාවේ සිට පලා ඒමයි. දැන් අයිසිස් තර්ජනය නොමැති හෙයින් ඒ සරණාගතයන්ට ආපසු සිය මව් බිම වෙත යන්නට කාලය උදාවී තිබේ. එහෙත් දේශ සීමාවේ සිටින කුර්දිශ් ත්‍රස්තයන්ගෙන් ඊට ඉඩක් නැත. ඒ නිසා තුර්කි සිරියා දේශ සීමාවේ කිමී 480ක් දුරට සිරියාව පැත්තේ කි.මී 32ක් ඇතුළට (වර්ග සැතපුම් 300x20) ආරක්ෂිත කලාපයක් තිබිය යුතුය. තුර්කිය කුර්දි සටන්කාමීන් සමග සටන් වැද සිටින්නේ ඒ ආරක්‍ෂිත කලාපය ස්ථාපිත කරන්නටය.

කෙසේවෙතත් තුර්කිය කුර්දිශ් ගෝත්‍රිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී සිරියාවේ සහාය ලබා ගැනීම සඳහා හරියටම මීට වසර 21ට පෙර අත්සන් තබන ලද ‘1998 අදානා ගිවිසුම’ නමින් හැඳින්වෙන දෙරට අතර ගිවිසුමක් තිබේ. පසුගිය සමයේ දෙරට බිඳී සිටි නමුත් ඒ ගිවිසුම අවලංගු වී නොමැත. එය අනුව සිරියාවේ තුර්කි දේශ සිමාවෙන් ඇතුළත සැතපුම් 20ක කලාපයක් තුළ ආරක්‍ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට තුර්කියට අවසර තිබේ. සිරියාවේ පවතින සිවිල් යුද තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් තුර්කිය වරින් වර සිරියාව තුළට වුත් කුර්දින්ට ප්‍රහාර එල්ල කරන ලදැයි පැවසෙන්නේ මේ ගිවිසුම අනුවය.

කුර්දි ත්‍රස්තයන් එම ආරක්ෂිත කලාපයෙන් ඉවත්ව නොගියහොත් ඔවුන්ගේ 'ඔළුගෙඩි තළා දමන බව' ඔක්තෝබර් 19දා තුර්කි ජනාධිපති රෙසෙප් ටයියිප් එර්දගොන් පැවසූ බව සඳහන්ය.

තුර්කිය විසින් ආරක්ෂිත කලාපය ලෙස නම් කොට ඇති වර්ග සැතපුම් 6,000ක ප්‍රදේශය දකුණේ මුඩු නිස්සාර බිම් මෙන් නොව සාරවත් යහපත් අස්වැන්නක් ගොවීන්ට ලබා දෙන බිමකි. මේ ප්‍රදේශයේ ගම්මාන 50ක් පමණ ඇති අතර ගොවි පවුල් 6,000 ඉක්මවන සංඛ්‍යාවක් ඇති බව සඳහන්ය. තුර්කිය මේ පෙදෙසේ වෙසෙන කුර්දි සටන්කාමින්ට ප්‍රහාර එල්ල කරනවිට ඒවායින් විපතට පත් වන්නේ අහිංසක නිරායුධ ජනතය. පොස්පරස් වැනි තහනම් රසායනික අවි පවා මේ ප්‍රහාරවලදී භාවිත කෙරෙන බව පැවසේ.

තුර්කි හමුදා සිරියා දේශ සිමාව තුළ සිටින කුර්දි සටන්කාමින්ට ප්‍රහාර එල්ල කිරීම පසුගිය 09දා ඇරඹුවේ, තුර්කිය එබඳු ප්‍රහාරයක් එල්ල කළොත් සිය හමුදා ඊට මැදිහත් නොවනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමගය. එහෙත් තුර්කි ප්‍රහාර පමණ ඉක්මවා ගියෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට බැහැරින් පමණක් නොව අභ්‍යන්තරයෙන්ද විරෝධතා එල්ල වන්නට විය. ඉන් කලබලයට පත් වූ ජනාදිපති ට්‍රම්ප් තුර්කියට අවවාද කොට සම්බාධක පැනැවීය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අන්කාරා වෙත ගොස් ජනාධිපති එර්දගොන් හමු වී සටන් විරාමයකට යන ලෙසත් ඒ අනුව සම්බාධක ඉවත් කර ගන්නට සූදානම් බවත් දැනුම් දුන්නෝය. අනතුරුව ප්‍රකාශිත සටන් විරාමය නියමිත ව තිබුණේ ඔක්තෝබර් 22දාය. එදින එර්දගොන් රුසියාවට ගොස් ජනාධිපති පුතින් හමු විය. දෙරටේම අමාත්‍යවරුන් සහ නිලධාරීන්ද සහභාගි වූ මේ හමුව පැය 7ක් පුරා පැවැති දීර්ඝ එකක් වූ බව සඳහන්ය.

තුර්කියේ ප්‍රහාර නිසා රඳවාගෙන සිටි අයිසිස් ත්‍රස්තයන් පලා යා හැකි බව සහ නැවත සිරියාවේ එම ත්‍රස්තවාදය පැන නැගීමට ඉඩ ඇති බැවින් ප්‍රහාර නැවැත්විය යුතු බව රුසියානු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර අනතුරුව දෙපස අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ. ඒ ගිවිසුම අනුව සිරියානු දේශය තුළ තුර්කිය යෝජනා කරන ආරක්‍ෂක කලාපයෙන් කුර්ද් සටන්කාමීන් ඉවත් විය යුතු අතර එම කලාපයේ ආරක්‍ෂාව සිරියානු රජයේ හමුදාව විසින් බලා ගනු ඇත. තුර්කි හමදාව සහ රුසියානු මිලිටරි පොලිසිය මුර සංචාරවල යෙදෙනු ඇත. කුර්දි සටන්කාමීහු ද මිට එකඟත්වය පළ කළෝය. කෙසේ වෙතත් සිරියාවෙන් සිය හමුදා ආපසු කැඳවීමේ තීරණය ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වනවිට වෙනස් කරනු ලැබ ඇතැයි සඳහන්ය. පසුගිය 02දා ඔහු මෙසේ කී ය: ‘අපි අපේ සොල්දාදුවන් ආපසු කැඳවන්නයි ගියේ. ඒත් ඒක අත්හිටෙව්වා. මන්ද අප තෙල් රැක බලා ගත යුතුයි’. ඊළඟට ඔහු මෙසේ කිය: ‘මම තෙල්වලට කැමතියි, අපි තෙල් රකිමින් ඉන්නවා’

ඒ අනුව අමෙරිකා හමුදා ඊසාන සිරියාවේ තෙල් ළිං රැක බලා ගනු ඇත. මෙහි දී කරුණු දෙකක් වැදගත් ය. පළමුවැන්න සිරියාවේ තෙල් නිධි වැඩිපුර ඇත්තේ ඊසාන දිග නොව නැගෙනහිර ප්‍රදේශයේය. ඒවා කුර්දිශ් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතී. ඔවුන් මුලදී ඇමෙරිකානු හමුදාව සමග ක්‍රියාත්මක වූ නමුත් ඔවුන්ට තුර්කියෙන් එල්ල විය හැකි ප්‍රහාර නොසලකා අමෙරිකා එක්සත් ජනපදය විසින් සිය හමුදා ආපසු කැඳවීම නිසා ඔවුන්ට දැන් පිටුබලය සැපයෙන්නේ රුසියාවෙනි. දෙවන කාරණය නම් සිරියාව යනු තෙල් සම්පතින් ආඪ්‍ය දේශයක් නොවිමයි. ලෝක ෆොසිල ඉන්ධන වෙළෙඳ පොළට සිරියාවේ දායකත්වය සියයට 0.5ටත් අඩු බවයි. එම නිසා අමෙරිකානු ජනාධපතිවරයාගේ අරමුණ කොතෙක්දුරට ඉටු වේද යන්න අවනිශ්චිතය.

මේ අතර මේ සම්බන්ධයෙන් තුර්කි ජනාධිපතිවරයා රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය යන බලවතුන් දෙදෙනා සමගම අදහස් හුවමාරු කැර ගනිමින් සිටියි. ඔහු කියන්නේ තමාගේ ගැටලුවලට දෙරටෙන්ම විසඳුමක් නොලද බවයි. පෙර ඔහු රුසියාවට ගොස් ජනාධිපති පුතින් හමු වී සාකච්ඡා කළ අතර හෙට වොෂින්ටන් නුවරට ගොස් ජනාධිපති ට්‍රම්ප් හමු වන්නට නියමිතය.-

මාතෘකා