මියැන්මාරයේ ජන සංහාරයට එක්සත් ජාතීන්ගේ ප්‍රතික්‍රියාව මදි

 ඡායාරූපය:

මියැන්මාරයේ ජන සංහාරයට එක්සත් ජාතීන්ගේ ප්‍රතික්‍රියාව මදි

පසුගිය ඔක්තෝබර් 31 දින තායිලන්තයේ බැංකොක් නුවර ඇරැඹි ආසියාන් සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තොනියෝ ගටර්ස් අනෙකුත් කාරණා අතර මියැන්මාරයේ මානව හිමිකම් ගැටලුව ගැනද සඳහන් කරමින් සිය ජනතාවගේ මානව හිමිකම් ආරක්‍ෂා කරන්නට එරට රජය බැඳී සිටින බව පැවසීය.

මෙම සමුළුවට මියැන්මාරය වෙනුවෙන් එරට තත්ත්වාකාර පාලිකා අඋන් සාං සූ කී සහභාගි වූවාය. මේ සමුළුව ඊයේ අවසන් විය.

මහලේකම්වරයාගේ මේ ප්‍රකාශයත් සමග මියැන්මාරයේ මානව හිමිකම් ප්‍රශ්නය ලැන නැවත අවධානය යොමු වෙයි. එරට රඛිනේ ප්‍රාන්තයේ රොහිංයා මුස්ලිමුන්ට හමුදාව සහ හමුදාවේ පිටුබලය සහිත මැර කල්ලි විසින් 2017 අගෝස්තු 25දායින් පසු එල්ල කැරුණු ප්‍රහාරවලින් මේ වන විට 40,000කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

2017 අගෝස්තු 25 දිනට පෙර එබඳු සිදුවීම් නොතිබුණා නොවේ. එහෙත් එදින කඩ-ඉම ලෙස ගැනෙන්නේ මුස්ලිම් මුජාහිදින් කල්ලියක් විසින් සුළු අවි භාවිතයෙන් රඛිනේ ප්‍රාන්ත සීමාවේ කලෑබද පොලිස් මුරපොළ 30කට එල්ල කරන ලද ප්‍රහාර සමගය. මෙයින් භටයෝ 12ක් මරණයට පත් වූහ.

හමුදාව ඍජුවම සහ රජයේ පිටුබලය සහිත තත්මදාව් යනුවෙන් හැඳින්වෙන එරට පැරා මිලිටරි බලකායක් සහ රංචු ගැසෙන කල්ලි විසින් රොහිංයා ජනයාට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක කෙරේ. එරට ජනගහණයෙන් 94% පමණ බෞද්ධයන් වන හෙයින් අන්තර්ජාතික තලයේ එය බෞද්ධ මැරකම් ලෙස හැඳින්වෙයි. 969 යනුවෙන් හැඳින්වෙන මුස්ලිම් විරෝධී බෞද්ධ ව්‍යාපාරය මතවාදී වශයෙන් ඒවාට මග පෙන්වයි. තමා ‘බෞද්ධ බින්-ලාදන්’ ලෙස හඳුන්වා ගන්නා අශින් විරතු නම් බෞද්ධ භික්ෂුව 2001 සිට එහි නායකත්වය දරයි. ඔහුගේ ඡායාරූපයක් පිට කවරයට යොදා ගැනුණු ටයිම් සඟරාවේ 2013 ජුලි 01 කලාපය බුරුමයේ වාර්ගික සංහාරය ගැන සවිස්තර වාර්තාවක් ලොවට ඉදිරිපත් කළේ ‘බෞද්ධ මැරකමේ මුහුණුවර’ යන හිසිනි. ඒ චීවරධාරියාගේ ක්‍රියා කලාපය නිසා පොදුවේ බුදු සසුන විස්තර කළ නොහැකි තරමේ අපකීර්තියකට බඳුන් විය.

රොහිංයා මුස්ලිමුන් පලවා හැරීම සඳහා මියැන්මාර් බොදුනු ජනයාගේ මෑත කාලීන ප්‍රහාර දරුණු ගණයේ ඒවාය. වගවිභාගයක් නැති මිනීමැරීම්, සාමූහික ස්ත්‍රී දූෂණ, ළමුන්ට පහර දීම්, ගම්මාන ගිනිතැබීම්, ස්ත්‍රීන් ලිංගික වහල්භාවයට ගැනීම් සහ පිරිමින්ගෙන් වහලුන් ලෙස වැඩ ගැනීම්, බලාත්කාර අතුරුදන් කිරීම් යනාදී වශයෙන් සියලු ආකාරයේ වධහිංසාවලට ඔවුන් පාත්‍ර තරනු ලැබේ. ඝාතනය කිරීමේදී වෙඩිතැබීම මෙන්ම පණපිටින්ම පුළුස්සා දැමීමද සිදු ව ඇති බව සාක්ෂි ඇතැ’යි වාර්තාවල දැක්වේ. ඝාතනය වූවන් අතර කුඩා දරුවන් පවා සිට ඇත. පහරදීම් දැක්වෙන වීඩියෝපට මාධ්‍යවලින් දැක ගත හැකිය.

මියන්මාරයෙන් පළවා හරින විට ඔවුන්ට තෝරා ගන්නට ඉඩ ඇත්තේ යාබද බංග්ලාදේශයයි. එහෙත් එරටේ දේශසීමා ආරක්ෂකයෝ ඔවුන්ට සිය රටට පිවිසීමට බාධා කරති. ඒ අනුව මෙය රොහිංයා ජනයාගේ ජීවිත සමග දෙරට කරන ක්‍රීඩාවක් බවට පත්ව තිබේ. යාබද කිසිම රාජ්‍යයක් ඔවුන්ට සිය රටට ඇතුළු වන්නට ඉඩ නොදේ. කෙසේ වෙතත් පසුගිය දෙවසරක කාලසීමාව තුළ පමණක් රට හැරගිය රොහිංයා සරණාගතයන් සංඛ්‍යාව 740,000ක් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන්ය.

එහෙත් මියැන්මාර් රජයට අනුව මේ සියල්ල සාවද්‍යය. මරණයට පත් වූ සංඛ්‍යාව 400ක් පමණි. ස්ත්‍රී දූෂණ යනාදිය බොරු කතාය. රොහිංයා මිනිසුන් එතරම් ප්‍රමාණයක් සිය රටේ කිසිදා සිටියේ නැත. රජයට අනුව එරටේ සිටි සමස්ත මුස්ලිම් ලබ්ධිකයන්ගේ සංඛ්‍යාව 200,000ත් අඩු ය. මෙසේ කිව හැක්කේ 2014 සංගණනයේදී 800,000ක් පමණ ඉන් පිටමං කරන ලද හෙයිනි.

රොහිංයා ජනයා සහ මියැන්මාර් රජයේ හමුදා අතර මුලින්ම ගැටුම් ඇරැඹී ඇත්තේ 1947 තරම් ඈත සමයකය. එවකට වර්තමාන මියැන්මාරය යනුවෙන් හැඳින්වෙන දේශය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති අතර බුරුමය නමින් හැඳින්විණි. මුජාහිදින් කල්ලියක් විසින් මෙහෙයවන ලද එසමයේ අර්කන් ලෙසින් හැඳින්වුණු වර්තමාන රඛිනේ ප්‍රාන්තයේ මුස්ලිම් කුලී හේවා කණ්ඩායමක් බ්‍රිතාන්‍ය බුරුම යටත් විජිත පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කිරීම එහි ඇරඹුම විය. 1948 ජනවාරි 04දා බුරුම දේශයට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුණු අතර රටවල පාලනය භාරදීමේ සීමා නීර්ණයේදී අර්කන් කොටස බ්‍රිතාන්‍ය ඉන්දියාවට ඇතුළත් කරන ලදි. බ්‍රිතාන්‍ය ඉන්දියාව හින්දුස්තානය වූ අතර හින්දුස්තානය ඉන්දියාව සහ පාකිස්තානය ලෙසද පසු ව පාකිස්තානයේ නැගෙනහිර කොටස බංග්ලාදේශය ලෙස වෙන් විය. ඒ අනුව අර්කන් බංග්ලාදේශයට අයත් වුවත් පසු කලෙක නැවත බුරුමයට ඈඳිණි.

මියැන්මාර් වර්තමාන ජනගහනයෙන් මුස්ලිමුන් සිටින්නේ 4 පමණ ප්‍රතිශතයකි. ක්‍රි.ව. 1004 තරම් ඈත සමයක මුල්ම මුස්ලිමුන් දෙදෙනා බුරුමයට ආගමනය වූ බවත් එතෙක් එහි මුස්ලිමුන් නොසිටි බවත් පැවසේ. අතීතයේ මුස්ලිම් ප්‍රජාවක් නොවූ බුරුම දේශයේ එය නිර්මාණය කරන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසිනි. ඒ 1941දී අත්සන් තබන ලද ඉන්දු - බුරුම විගමණ එකඟතාව නම් ප්‍රඥප්තිය මගිනි. එයට අනුව ඉන්දියානු මුස්ලිමුන් සංක්‍රමණය වූ අතර ඉන්පසු ප්‍රජාව නිර්මාණය වූ බවත් සැලකේ. මෙසේ පැමිණි බොහෝ පිරිසක් නැවතී ඇත්තේ දේශ සීමාව අසල අර්කන් පළාතේය. අර්කන් කඳුවැටිය නිසා ප්‍රධාන දේශයෙන් බොහෝ සෙයින් වෙන්ව පවතින ඒ පෙදෙසේ ඔවුන් නවාතැන් ගැනීමට එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ ඒ දුරස්ත බවයි. රොහිංයා යනු ඔවුන්ගේ ගෝත්‍රය අතීත හින්දුස්තානයේ වර්තමාන බංග්ලාදේශයට අයත් ප්‍රදේශයේදී හැඳින්වුණු නාමයයි. පසුව අර්කන් පෙදෙස රඛිනේ ලෙස පරිපාලනමය වශයෙන් වෙනස් වීම්වලට බඳුන් විය. විවිධ පරිණාමනවලින් පසුව මේ වන විට මේ ජන කණ්ඩායම හැඳින්වෙන්නේ රඛිනේ හි රොහිංයා ජනයා ලෙසය.

ඔවුන් ස්වයං පාලනයක් ඉල්ලා බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් අරඹා ඇත්තේ 1947 තරම් ඈතකදී බව පෙර සඳහන් කැරිණි. ඉතිහාසයේ සඳහන් වන්නේ එය මුස්ලිම් මුජාහිදීන් කල්ලියක වැඩක් ලෙසය. ඒ කෙසේ වෙතත් මේ අරගලය දිගටම පැවැතිණි. එයට සාධාරණ විසඳුමක් ලබා දෙන්නට මියැන්මාර ජාතියේ පියා ලෙස සැලකෙන බුරුම නිදහස් සටනේ නියමුවා වූ අවුන් සාන් විසින් පොරොන්දු දී තිබුණත් එරටට නිදහස ලැබෙන්නට මාස කිහිපයකට පෙර අවාසනාවන්ත ලෙස ඔහු ඝාතනය විය.

පසු කලෙක මියැන්මාරයේ අගමැති මෙන්ම පසුව ජනාධිපතිද වූ නේ වින් විසින්ද රොහිංයා මුස්ලිමුන්ගේ ගැටලුවට විසඳුම් ලබා දෙන්නට උත්සාහ කළත් ඒවාද ක්‍රියාවට නොනැංවිණි

රොහිංයා මුස්ලිමුන් පිළිබඳ අතීත කතාව ඉතා සැකෙවින් එසේය. ඇතැම් මූලාශ්‍රවල මේවා යම් යම් වෙනස්කම් සහිතව තිබිය හැකි නමුත් රොහිංයා කණ්ඩායම අතීතයේ සිටම මියැන්මාරය සහ බංග්ලා දේශය විසින් ප්‍රතික්‍ෂෙප කරන ඉතා අසරණ බවට පත් ජන කණ්ඩායමක් බව නම් පැහැදිලිය.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් විසින් පසුගිය සැප්තැම්බරයේ පැවැත් එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සාම්ප්‍රදායානුකූලව වාර්තාවක් ඉදිර්පත් කොට තිබිණි. අගෝස්තු 30 දිනැතිව නිකුත් කැරුණු A/74/342 දරන එම වාර්තාව සකසා ඇත්තේ මියැන්මාරයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තා සකසන්නිය (UN's special rapporteur on human rights in Myanmar) වන යැන්ග්හී ලී විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් ඇසුරෙනි. මියැන්මාරයේ රොහිංයා ජනයාට එරෙහි මර්දන ක්‍රියාදාමය වරින්වර යට යමින් ඉස්මතු වෙමින් පවතින රොහිංයා ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ අවධානය ප්‍රමාණවත් තරම් යොමු වී නොමැති බවට චෝදනා එල්ල වී ඇති බවද එම වාර්තාවේ සඳහන්ය.

එකී චෝදනාව එල්ල කරන්නේ මේ වනවිට එක්සත් ජාතින්ගේ සාමය ගොඩ නැගීම සඳහා වන ක්‍රියා මාර්ග විමර්ශන කණ්ඩායමේ උපදේශකයකු වන එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල සේවය කොට ඇති ගෝතමාලාවේ හිටපු විදේශාමාත්‍ය ගර්ට් රොසැන්තෙල්ය. ඔහු විසින් මහලේකම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ස්වාධීන වාර්තාවට අනුව මියැන්මාරයේ කටයුතුවලට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ නිලධාරීන් එරට හමුදාවට එරෙහිව යන්නේ නැත. ඒ නිසා රොහිංයා මුස්ලිමුන්ට සාධාරණය ඉටු කරන්නට එක්සත් ජාතීන් අපොහොසත්ය. කිසියම් කෙනෙකු තමන්ට එරෙහි වන්නට එන්නේ යැයි වැටහුණහොත් එරට හමුදා බලාධිකාරය ඒ පුද්ගලයාට සලකනු ඇත්තේ යැන්ග්හී ලීට සැලකූ ආකාරයෙන්මය.

ඉහත වාර්තාව සකසන්නට ලීට මියැන්මාරයට ඇතුළු වන්නට එරට රජය අවසර දුන්නේ නැත. ඊට හේතුව එවැනි වාර්තාවක් සකසන්නට ඇයට ඇති අධිකාරී බලය මියැන්මාර් රජය පිළිනොගැනීම බව නිල වශයෙන් සඳහන් කළත් නියම හේතුව එවැනි වාර්තා සකසනවාට ඔවුන්ගේ විරෝධයයි. ඒ බව ඇය එහි සඳහන් කරයි. ඇය වාර්තාව සකසා ඇත්තේ මැලේසියාවේ සහ තායිලන්තයේ අවසරය ඇතිව ඒ ඒ රටවලට ගොස් මියැන්මාරයට සම්බන්ධ මානව හිමිකම් ක්‍රියාධරයන් තමා වෙත ගෙන්වා ගෙන ඔවුන්ගෙන් ලද තොරතුරු අනුවය. මේ ආකාරයට ඇය විවිධ පුද්ගලයන් 745 දෙනෙකු හමු වූ බව සඳහන්ය. මියැන්මාර් රජය කියන්නේ ඇය මියැන්මාර් පොළොවේ පය නොගසා සකසන වාර්තාවක් තමන්ට පිළිගත නොහැකි බවයි.

බීබීසී වැනි ප්‍රමුඛ මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් යනාදීන් ඇය ඒ වාර්තාව සැකසීමේදී හමු වූ බව සඳහන්ය. විවිධ මාධ්‍ය ආයතන විසින් සහ ස්වාධීන පුද්ගලයන්ද විසින් ගම්බිම් අත්හැර පලා යමින් සිටින රොහිංයා අනාථයන් ඇසුරෙන් නිපදවන ලද වීඩියෝ දර්ශන ඇය නරඹා ඇත.

දැන් වඩා අහිංසාව කෙරේ නැඹුරුවක් දක්වන ලෝකය මෙවැනි සිද්ධිවලින් කම්පාවට පත් වීම අහඹුවක් නොවේ. ලොව පුරා තිබෙන හිංසාවට එරෙහි සංවිධාන රොහිංයා නිරායුධ මිනිසුන්ට එල්ල කරන විවිධ ප්‍රහාර හෙළා දකින්නේ එහෙයිනි.

මෙහිදී ජාත්‍යන්තර සංවිධාන වැඩි වශයෙන්ම විමතියට පත් ව සිටින්නේ අවුන් සාන් සූ කීගේ නිහඬතාව ගැනයි. බුරුම හමුදා පාලනය විසින් ඇයට විවිධ තහංචි පනවා තිබූ අවධියේ ලොව බොහෝ සංවිධාන ඇය ගැන කතා කළේය. නෝබල් ත්‍යාග කමිටුව 1991 වසරේ ඇයට සාමය පිළිබඳ නෝබල් ත්‍යාගය පිරිනැමූ අතර අමෙරිකානු කොන්ග්‍රසීය රන් පදක්කම ඇතුළු සාමය උදෙසා වන ත්‍යාග හා පදක්කම් 8ක් ඇය වෙත පිරිනැමී ඇත. මීට වසර හැත්තෑවකට පමණ පෙර රොහිංයා ජනයාගේ ගැටලුව ගැන සලකා බැලූ අවුන් සාන් ඇයගේ පියාය. වර්තමාන මියැන්මාරයේ තත්වාකාර (de facto) පාලිකාව ඇයය. ඇය දැන් දරන තනතුර හැඳින්වෙන්නේ පෙරෙවි මාණ්ඩලික (Counsellor of State) යන නමිනි. එයට අග්‍රාමාත්‍යවරයකුගේ බලතල හිමිය.

වර්තමානයේ මේ ඝාතන වළක්වන්නට පියවර ගත හැකි ප්‍රමුඛයකුව සිටියදීත් ඇගේ නිහඬ බව පිළිගත නොහැකි බව ජාත්‍යන්තර තලයේ විද්වත්හු පෙන්වා දෙති. එක්සත් ජාතින්ගේ සංවිධානයේ යැන්ග්හී ලී, සූ කීගේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව විස්මය මෙන්ම කණස්සල්ලද පළ කරන්නීය. ‘තත්ත්වාකාර නායිකාව වහා මැදිහත් විය යුතුයි. සිය රටේ අධිකරණ විෂය සීමාව තුළ රටවැසියන් ආරක්ෂා කරන්නට බැඳී සිටින ඕනෑම ආණ්ඩුවකින් මෙය බලාපොරොත්තු වෙමු’

තමාට පිරිනැමුණු සාමය පිළිබඳ නෝබල් ත්‍යාගය පිළිගනිමින් ඇය පැවැත්වූ දේශනයේ එන මේ වැකිය තුළ මියැන්මාරයේ වර්තමාන තත්ත්වය සාරංශ කෙරී තිබේ: ‘විඳීම් නොසලකා හැරීම්ද සමච්චල් කිරීම්, සිත් රිදවීම් සහ ප්‍රකෝප කිරීම් ඇති කෙරෙන විටද ගැටුම්වල බීජ එතැන තිබෙනු ඇත.’

2014 වසරේ නෝබල් සාම ත්‍යාගය දිනු මලාලා යූසුෆ්සායි ලීගේ කියමන ප්‍රතිරාවය කරමින් සූකීගේ මැදිහත් වීම මේ මොහොතේ අත්‍යවශ්‍යම බව ට්ව්ටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කොට තිබිණි. ආසියානු කලාපයේ මුස්ලිම් රටවලින්ද මියැන්මාර රජය වෙත විරෝධතාව පළ විය.

මියැන්මාරයේ දැන් හමුදා පාලනය අවසන්ය කියා කීවත්, යථාව එය නොවන බව මින් පැහැදිලි ය. ඍජු මිලිටරි පාලනයක් නැතත් එරට පාර්ලිමේන්තු ආසනවලින් 25%ක් හමුදාව සඳහා වෙන් කොට ඇති අතර 21 දෙනෙකුගෙන් සමන්විත අමත්‍ය මණ්ඩලයෙන් තුනෙන් එකක් හිමි නිසා හමුදාවට රාජ්‍ය පාලනයේ හිමි බලතල අධිකය. ආරක්ෂක, දේශසීමා කටයුතු සහ ස්වදේශ කටයුතු යන අමාත්‍යංශ හමුදාවේය. මේ නිසා සිවිල් පුරවැසියකු වන සූ කීට මෙන්ම ජනාධිපති තින් ක්යාවුටද කළ හැකි කිසිවක් නැතැයී බීබීසී පෙන්වා දෙයි.

රොහිංයා ජනවර්ගයට එරෙහි සියලු මර්දන දියත් කෙරෙන්නේ එරට හමුදාව විසිනි. ඒවා නවත්වන්නට නම් මැදිහත් විය යුත්තේ ජනාධිපතිවරයාය. තින් ක්යාවු යනු 1962න් පසු මියැන්මාරයේ හමුදාමය සම්භවයක් නොමැති ප්‍රථම ජනාධිපතිවරයාය. ඔහුද මේවා මැඩ පැවැත්වීමට පියවර නොගැනීම පුදුම සහගත බව පෙන්වා දෙනු ලැබ ඇත.

මාතෘකා